සිරිමාවෝ මැතිනියට පසුව අගමැති ධුරයට පත්වූයේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහුට ද හේමපාල මහතා සේවය කර ඇත. “රනිල් මහත්තයත් කිසිම කරදරයක් නැති හොඳ මහත්තයෙක්. එතුමා අගමැති මැඳුරට ආවම නුවරඑළියෙ ග්‍රෑන්ඩ් හෝටලෙන් හිල් ක්ලබ් එකෙන් එහෙමත් අගමැතිතුමාට කෑම බීම එව්ව. එතුමා උදේට හුඟක් වෙලාවට කෑවෙ කෝන් ෆ්ලෙක්ස් වගේ දේවල්. දවල් වෙලාව බත්, මාළු වැනි ඕන දෙයක් කනව. රනිල් මහත්තය එනකොට හුඟක් වෙලාවට එතුමගෙ අම්මා නාලිනී මැඩමුත් එනව. එතුමා බැන්දට පස්සෙ මෛත්‍රී මැඩම් එක්කත් වාර ගණනක් මන්දිරේට ආව.”
අනතුරුව බලයට පත්වූයේ මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු ඉතා සුහදශීලී නායකයෙකි. සේවකයන් සමඟ ද සමීපව කතාබස් කරමින් හැමෝම සමඟම ඉතා හිතවත්ව ක්‍රියා කළ බව හේමපාල මහතා පවසයි. “එතුමා අපෙන් විශේෂ කෑම බීම ඉල්ලන්නෙ නැහැ. අපි හදල දෙන දෙයක් රසයි කියල කන නායකයෙක්. එතුමා මටත් විශේෂ උදව්වක් කරල තියෙනව. මහින්ද මහත්තය දවසක් මගෙන් ඇහුව පදිංචිය නුවරඑළියෙ ද කියල. ඉතින් මම කිව්ව සර් මට විශ්‍රාම ගියාම ඉන්න තැනක් නැහැ කියල. ඊටපස්සෙ එතුමා දිසාපතිතුමාට වහාම කතා කරල මට මිපිළිමාන ගමෙන් පර්චස් 10 ක ඉඩම් කෑල්ලක් දුන්න. එතැන තමයි මම ගේ හදාගෙන පදිංචි වුණේ. මිනිස්සුන්ගෙ ප්‍රශ්න තේරුම් අරන් ඒව විසඳල දීල මිනිස්සු දිනාගන්න එතුමට හොඳ දක්ෂකමක් තියෙනව...”
අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් විය. ඒ සමඟ රත්නසිරි වික්‍රමනායක මහතා අගමැති ලෙස පත් කෙරිණි. “එතුමා බොහොම විනෝදෙන් කල්ගත කළ කෙනෙක්. ඉතාම සුහදයි. හොඳට කන්න බොන්න ඕන. රත්නසිරි වික්‍රමනායක මහත්තය තමයි මම සේවය කරපු අන්තිම අගමැති.
මම මුලින්ම රස්සාව පටන් ගන්නකොට ලැබුණේ දවස් පඩි. දවසට රු. 4.30 යි. 2005 විශ්‍රාම ගන්නකොට පඩිය මාසෙකට රුපියල් 35,000 ක් විතර තිබුණ.”
රාජ්‍ය නායකයන්ගේ සූපවේදියකු ලෙස කටයුතු කිරීම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩකි. එහෙත් බොහෝ රාජ්‍ය නායකයන් සූපවේදීන් සමඟ සුහදතාව පවත්වා ගත්තේය. හේමපාල මහතා නම සඳහන් නොකළ එක් රාජ්‍ය නායකයකු අගමැති මැඳුරට පැමිණි විට ඔහු ආහාර පිණිස ගම් කුකුළු මස්ම ඉල්ලයි. එවිට කොහෙන් හෝ ගම් කුකුළු මස් සපයා දිය යුතුය.
“රාජ්‍ය නායකයො මන්දිරේට ඇවිල්ල නිවාඩු ගතකරල යනකොට අපට සන්තෝසෙට ගණනක් දෙනව. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මට හැම වාරෙකදිම රු. 1000/- ක් විතර දුන්න. අනෙක් සේවකයන්ටත් රු. 500/- වගේ දුන්න. ප්‍රේමදාස මහත්තය හැම වාරෙම මට රු. 50/- ක් දුන්න. අනෙක් සේවකයන්ට රු. 30/- බැගින් කාටත් බෙදල දුන්න. මහින්ද රාජපක්ෂ මහත්තයත් රනිල් මහත්තයත් නුවරඑළියේ ඇවිත් යනකොට රු. 1000/- ක්වත් අඩුම තරමින් අපට දෙනව. රනිල් මහත්තය අවුරුදු කාලෙ ආවොත් මටත් නෝනටත් රෙදි පෙරදිත් තෑග්ගට දෙනව. චන්ද්‍රිකා මැඩමුත් විජේතුංග මහත්තයත් ඇවිල්ල යනකොට අපට අතට කීයක් හරි දෙනවමයි. නුවරඑළියෙ සේවය කරන අපට තියෙන වගකීමක් තමයි රාජ්‍ය නායකයො නිදාගන්න කාමරවල ගිනි උඳුන් දැල්වීම එහෙම කරල කාමර රත් කරන්න ඕන”
අගමැතිවරුන් අගමැති මැඳුරට පැමිණි විට ඔවුනට ආහාරපාන සැපයීමේ වියදම දරන්නේ අගමැති කාර්යාලයයි. බංගලා භාරකරු විසින් ඒ සඳහා අවශ්‍ය බිල්පත් අගමැති කාර්යාලයට ඉදිරිපත් කළ පසු අදාළ ගෙවීම් සිදු කෙරේ.
“රාජ්‍ය නායකයකුට කෑමවේලක් සකස් කරනකොට උදේට නම් කිරිබත්, රොටි, පිට්ටු, ආප්ප, මුං ඇට වගේ සේරම දේවල් හදනව. දවල්ටත් එළවළු, මස් මාළු වර්ග තුන හතරක් තියෙන්නෙම ඕන. සිරිමාවෝ මැතිනිය ගමේ කෑමට ආසයි. දෙල්, කොස් ඉල්ලනව. මැතිනිය වගේම මහින්ද රාජපක්ෂ මහත්තයත් මෙහේ එනකොට එළවළු, හාල්, පොල්, මස්, මාළු පවා අරන් එනව. ඒ නිසා එතුමාල ආවම අපිට කොළඹට බිල් යවන්න වෙන්නෙ නැහැ.”
ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වෙනුවෙන් බ්‍රිතාන්‍ය යුගයේ සුදු ජාතික පාලකයන් මෙම අගමැති මැඳුර ඉදිකර තිබේ. අගමැතිවරයාට මෙන්ම අගමැති ලේකම්වරයාට ද වෙනම බංගලාවක් එම භූමියේම ඇත. ආරක්ෂක අංශයට පවා නවාතැන් සපයන ගෙයක් එහි තිබේ. අක්කර 35 ක් පුරා පැතිරුණු මෙම අගමැති මන්දිරය ශ්‍රී ලංකාවේ ඩී.එස්. සේනානායක ප්‍රථම අග්‍රාමාත්‍යවරයාගේ සිට මේ දක්වාම අගමැතිවරු භාවිත කරති. හේමපාල මහතා අගමැති මැඳුරේ ප්‍රධාන සූපවේදියා සහ භාරකරු වුවත් රාජ්‍ය නායකයකු මන්දිරයට පැමිණි විට එහි සිටින කිසිම සේවකයකුට මන්දිරයෙන් පිටතට යාමට අවසර නැත. අත්‍යවශ්‍යම කරුණකට බංගලා භාරකරු වුවද පිටතට යන්නේ නම් ආරක්ෂක නිලධාරින් සමඟ ආරක්ෂක රථයක යා යුතුය. සිය මතක සටහන් අප සමඟ අවදි කළ හේමපාල මහතා තමන්ගේ රාජකාරී දිවිය ගැන බෙහෙවින් තෘප්තිමත් බව විශේෂයෙන් සඳහන් කළේය. කිසිම රාජ්‍ය නායකයකුගෙන් දොසක් බැණුමක් නොඅසා සේවය කිරීමම ලොකු දෙයක් බව හෙතෙම අවසන් වරට පැවසීය.
රන්ජිත් ආනන්ද ජයසිංහ
(විශේෂ ස්තූතිය:- හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු සහ ආරක්ෂක ලේකම්වරයකු වන හේමසිරි ප්‍රනාන්දු මහතාට)