අපේ රටේ ජාතික ආදායම නැමැති ඵල ලැබෙන වෘක්ෂ තුනක් ඇත. ඒවා නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවයි. මේවා අතරින් ජාතික ආදායමට වැඩි කොටසක් දායක වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි. එසේ වුවද සෑහෙන කාලයක සිට මෙම ආයතන තුනෙන් රජයට ලැබෙන ආදායම අඩුවෙමින් පවතී. එයට හේතුව වාර්ෂිකව ඇස්තමේන්තුගත ආදායමෙන් සෑහෙන කොටසක් ලබාගැනීමට අපොහොසත් වීමය. මෙලෙස දිගින් දිගටම ආදායම පහළ බැසීමට අකාර්යක්ෂමතාව සහ එම ආයතනවල පවතින වංචාව, දූෂණය සහ සොරකම ද හේතු වී තිබේ.
2023 වසර අවසන් වනවිට නොලැබී ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් කෝටි එක්ලක්ෂ දහතුන් දහස් එකසිය පනහක් හෙවත් රුපියල් බිලියන 1131.5 ක් බවට සොයාගෙන ඇත. මෙහිදී වඩාත්ම හිඟ හිටුවා ඇත්තේ අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වන අතර එම මුදල රුපියල් කෝටි එක්ලක්ෂ හයදහස් හයසියයක් හෙවත් බිලියන 1066 කි. මෙම තොරතුරු අනාවරණය වන්නේ පාර්ලිමේන්තු විධි කාරක සභාවේ නව වාර්තා තුළිනි.
මෙහිදී අපට පෙනී යන සුවිශේෂ කරුණක් වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විධිමත් කිරීමට හැකිවන්නේ නම් බොහෝ දුරට එම අඩුව පුරවාගත හැකි බවය. ලෝකය කොතරම් තාක්ෂණික දියුණුවක් ලැබුවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තවමත් ගමන් කරන්නේ ඔවුන්ටම උචිත වූ සාම්ප්‍රදායික ඉබි ගමනෙනි. නිලධාරින්ගේ මානසිකත්වය ද එයටම අනුකූල වෙයි. මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා එහි කාර්යාවලිය සෑහෙන ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුව ඇත. අපේ රටේ පාලකයන් විටින් විට දමන පැලැස්තරවලින් මෙම තත්ත්වය වෙනස් කළ නොහැකිය. ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් කර අවශ්‍ය පිළියම් යෙදීම ජාතික වගකීමක් බව ප්‍රකාශ කළ යුතුය.
රජයට අයවිය යුතු බදු ආදායම පැහැර හැරීම අද පමණක් සිදුවූවක් නොව එය කාලයක සිට සිදුවෙමින් පවතින දෙයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.
“සාර්ථක ලෙස මෙම තත්ත්වය අවම කිරීමට තවම නිසි ක්‍රියාමාර්ග ගෙන නැහැ. ඒ නිසයි වසරක් පාසා ඉහළ නගින්නේ. බදු පැහැර හැරීමට ප්‍රධාන හේතුවක් වන්නේ අපේ රටේ බදු ව්‍යුහය සංකීර්ණ වීමයි. මෙය සරල කළා නම් මෙයට වඩා අඩු වෙන්න ඉඩ තිබුණා. බදු පැහැර හැරීම කොටස් දෙකකට කඩන්න පුළුවන්. එක් කණ්ඩායමක් වන්නේ මේ වනවිට බදු දැල තුළ ඉන්න අයයි. එසේම අනිත් කොටස බදු ගෙවීමට ඇතුළත් නොවූ අයයි. ඔවුන් කවදාවත් බදු ගෙවා නැහැ. ආදායම් පිළිබඳ ඔවුන්ගේ තොරතුරු නැහැ. බදු දැලට බදු නොගෙවන මේ සියල්ලන්ම ඇතුළු කරන වැඩපිළිවෙළක් අවශ්‍යයි.
2023 වසර අවසන් වනවිට පැහැර හැර ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් කෝටි එක්ලක්ෂ දහතුන් දහස් එකසිය පනහක් හෙවත් රුපියල් බිලියන 1131.5 ක්. එයින් වැඩි මුදලක් ලැබී නැත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටයි. එම බදු මුදල රුපියල් කෝටි එක්ලක්ෂ හය දහස් හයසියයක් හෙවත් බිලියන 1066 ක්. මෙලෙස අහිමි වී ඇති ආදායමෙන් රුපියල් කෝටි 18,800 ක් හිඟ බදු ලෙසත් රුපියල් මිලියන 87,880 ක් රඳවා තබාගත් බදු හැටියටත් වර්ග කළ හැකි වෙනවා.”
තවද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට නොගෙවා ඇති බදුවල සමස්ත වටිනාකම රුපියල් කෝටි පනස් දහස් අටසිය හැටක් හෙවත් රුපියල් බිලියන 58.6 ක් බවද හෙතෙම පැහැදිලි කළේය. එසේම රුපියල් කෝටි 690 ක් හෙවත් බිලියන 6.9 ක මුදලක් සුරා බදු දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇති බව ඔහු කීවේය.
එසේම 2023 අග වනවිට පැවැති බදු ලිපිගොනු ප්‍රමාණය 997,858ක් බව කී හෙතෙම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ලිපිගොනු මිලියන 1.2 ක් විවෘත කිරීමට පසුගිය සමයේ සැලසුම් කළ නමුත් එම වසරේ අවසන් භාගය ඉක්මවන තුරුම අවසන් කර ගැනීමට පුළුවන්කම ලැබී ඇත්තේ ගොනු 368,455 පමණක් බවද පැවසුවේය.
ඔහු පවසන පරිදි 2023 වසරේ අවසාන දින වනවිට ගෙවීම් නොකර ඇති පිරිස 4479 ක් වන අතර, එයින් රුපියල් මිලියන 1 කට වැඩි බදු නොගෙවා ඇති පිරිස 90 කි. 88 දෙනෙක් මිලියන 500 – 1000 අතර බදු නොගෙවූ අය වෙති. රුපියල් මිලියන 300 – 500 අතර බදු ගෙවා නොමැති පිරිස 104 ක් වන අතර, රුපියල් මිලියන 300 – 500 අතර බදු ගෙවා නොමැති පිරිස 104 කි. රුපියල් මිලියන 300 – 100 අතර නොගෙවූ පිරිස 457 ක් බවද ඔහු කීවේය. එසේම 632 ක් රුපියල් මිලියන 100 – 50 අතර බදු නොගෙවූ පිරිස වෙති. වැඩිම වශයෙන් බදු නොගෙවූ පිරිස වන්නේ මිලියන 50 – 10 අතර බදු නොගෙවූ අය වන අතර ඔවුන්ගේ සංඛ්‍යාව 3108ක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මහාචාර්යවරයා කියන්නේ බදු ගෙවීම යථාවත් කිරීමට නම් දැනට අනුගමනය කරන සාම්ප්‍රදායික මැනුවල් ක්‍රම වෙනුවට තාක්ෂණික ක්‍රම හඳුන්වා දිය යුතුය යන්නය.
“සුරා බදු දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුව ඩිජිටලයිස් කළ යුතුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඇති ප්‍රධාන බාධකය නම් එහි නිලධාරින් ප්‍රමාණවත් නොවීමයි. උසස් නිලධාරින් මෙන්ම විශේෂයෙන් මධ්‍යම මට්ටමේ නිලධාරින්ගේ අඩුව විශාලයි. රටේ බදු ගෙවන ගම් 14,000 ක් පමණ තියෙනවා. ඒ ගම්වල නිලධාරින් යවා ගවේෂණයක යෙදිය යුතුයි. ජනතාව එවන විස්තර මත පමණක් ක්‍රියා නොකර ඇත්වශයෙන්ම බදු ගෙවිය යුතු, ගෙවිය හැකි පිරිස් සැඟවී සිටිනවාද කියා සොයා බලා ඒ අය බදු ගෙවන්නන් බවට පත් කළ යුතුයි. ‘ටින්’ එකක් තබාගත යුතුය යන යෝජනාව ඉතාම හොඳයි. දිගුකාලීනව ඒ පිළිවෙත අනුගමනය කළොත් රජයට බදු වැඩිකර ගන්න පුළුවන්. දේශපාලන රැකවරණ ලබමින් බදු ගෙවීම පැහැර හරින මහා පරිමාණ ව්‍යාපාරිකයන් සිටිනවා. මේ අයගෙන් බදු අය කිරීමට දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොවේ නම් අලුතෙන් නීති තනන්න ඕනෑ. මේ පිළිබඳ අයවැය ලේඛනවලින් පොරොන්දු වුණත් අද දක්වා ක්‍රියාත්මක වුණේ නැහැ. බදු අයකර ගැනීමට ඇති අධිකරණ ක්‍රියාමාර්ගය විශාල ලෙස කල් ගතවන ක්‍රමයක්. ඒ නිසා ඉක්මනින් නඩු විමසා නියෝග දිය යුතුයි. බදු පැහැර හැරි නඩුවල තීන්දුව දෙන විට බොහෝ විට වසර පහක් පමණ ගත වෙනවා. ඒ වනවිට මුලින් තිබූ මුදලේ අගය අඩුවෙලා. නඩුව ජයගෙන හිඟ අයකර ගත්තත් දෙපාර්තමේන්තුවට පාඩුයි. බදු ගෙවන අය තමා පැරදුණත් ජය ගත්තා වෙන්නේ. ඔවුන්ට වසර 5 ක් බදු ගෙවීමෙන් වැළකී ඉන්න ඉඩ ලැබෙනවා.
බදු ගෙවීම පැහැර හරින අයට එරෙහිව දැනට අධිකරණයේ නඩු 350 ක් තියෙනවා. දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අභියාචනා සංඛ්‍යාව 2934 ක්. කොමිෂන් සභාව තුළ බදු පිළිබඳ අභියාචනා 1505 ක් විභාග වෙමින් පවතින බව පාර්ලිමේන්තු විධි කාරක සභාවේ 2 කොටස තුළ දැක්වෙනවා. මේ පිළිබඳ දිගු ක්‍රියාදාමයක් තමා යන්නේ.”
දැනට ඇති දුර්වලතා මගහරවාගෙන ආදායම් බදු අයකර ගැනීම කාර්යක්ෂමව කිරීම සඳහා මහාචාර්යවරයා කරුණු හතරක් ගෙනහැර පායි.
1. ආදායම හා වියදම ගැන සරල ක්‍රමවේදයක් තිබිය යුතු අතර, ඒ සඳහා විධිමත් දත්ත පද්ධතියක් ගොඩනැගිය යුතුය.
2. බදු නිලධාරින් දිවයින පුරා බදු පිළිබඳ ගවේෂණය කිරීම අවශ්‍ය වේ.
3. බදු ක්‍රමය සරල කළ යුතුය. පහසුවෙන් ක්‍රියාවලිය ඉටු කළ යුතු ක්‍රමයක් සකස් කළ යුතුය. බදු ගෙවීමේ ක්‍රියාවලිය ද සරල විය යුතුය.
4. බදු ප්‍රතිශත විටින් විට වෙනස් නොකළ යුතු අතර, එය ස්ථාවර මට්ටමකට ගෙන ආ යුතුය.
මේ අතර පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් සමල් ශාන්ත පැවසුවේ 2024 වසරට අපේක්ෂිත බදු ආදායම වන රුපියල් බිලියන 2024 ලබා ගැනීමට ස්වකීය දෙපාර්තමේන්තුව සමත් වී තිබෙන බවයි.
“2024 අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2024 ක්. එයින් පළමු මාස 6 තුළ සියයට 40 ක් සහ ඉතිරි සියයට 60 ඊළඟ මාස හය තුළ ලබා ගැනීමට සැලසුම් කර තියෙනවා. මුල් මාස හයේ සියයට 40 මේ වෙනකොට ලබාගෙන අවසන්. ඉතිරි කාලයේ දී තවත් සියයට 60 ක් ලැබීමට නියමිතයි. අවදානම් කළමනාකරණ ඒකකයක් පිහිටුවා බදු ආදායම් ක්‍රියාවලිය සක්‍රියව සහ විධිමත්ව ක්‍රියාවට නැගීමට කටයුතු කර තිබෙනවා. මේ වනවිට අත්හිටවූ බදු ආදායම රුපියල් බිලියන 1066 ක්. ඒවාට අදාළ කරුණු සියල්ල අධිකරණය හමුවේ විභාග වෙමින් පවතිනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු රුපියල් බිලියන 188 ක් තිබුණු අතර, දෙපාර්තමේන්තු සේවකයන්ගේ කැපවීම මත එයින් බිලියන 104 ක් එකතු කර ගැනීමට හැකි වුණා. තවත් බිලියන 84 ක බදු හිඟයක් තියෙනවා. එය ලබාගැනීමට අවශ්‍ය නෛතික ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ වෙලයි තියෙන්නේ. 2023 වසරේ ලක්ෂ 4 ½ ක්ව තිබූ බදු ලිපිගොනු ප්‍රමාණය මේ වනවිට ලක්ෂ 11 ½ දක්වා වැඩි වෙලා. මේ වසරේ ටින් අංකය ලබාගත් ප්‍රමාණය ලක්ෂ 47 ක් වෙනවා.”
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි පැවසුවේ රුපියල් ට්‍රිලියන තුනක ආදායමක් පසුගිය වසරේ දී සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුවෙන් රජයට ලබා දී ඇති බවය. කොමසාරිස් ජනරාල් තවදුරටත් පැවසුවේ වසර 25 කට පසු ප්‍රථම වතාවට ආදායම් බදු ප්‍රාථමික ගිණුමේ අතිරික්ත ශේෂයක් ඇති කිරීමට මෙම දෙපාර්තමේන්තු තුන සමත් වී ඇති බවය. මෙවැනි විශාල මුදලක් උපයා ගැනීමට මෙම ආයතන තුන කාර්යක්ෂම වී ඇත්තේ වසර 25 කට පසුව බව හේ කීවේය.
මේ වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 232 ක්. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 1533 හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 2024 ක්ද අපේක්ෂා කරනවා.
මේ ආයතන තුනේම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90 යි. ලොව ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් සියයට 3 – 5 අතර ප්‍රමාණයක බදු හිඟයක් තියෙනවා. සියයට 100 ක් එකතු කරන්න කාටවත් බැහැ. එය සාමාන්‍ය තත්ත්වයක්. රජයේ ආදායම උපරිම වශයෙන් මේ ආයතන තුන ලබා දී තිබෙනවා. බදු හිඟ හිට ඇත්තේ අධිකරණ ක්‍රියාමාර්ග පවතින කාණ්ඩ සම්බන්ධයෙන් පමණයි.
රේගුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරි අනුර මුතුකුඩේ:
“2024 අවුරුද්දේ රේගු දෙපාර්තමේන්තුව අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1533 ක්. මේ වනවිට ශ්‍රී ලංකා රේගුවේ විශේෂයෙන් නව ඒකකයක් විවෘත කර තිබෙනවා. ඕනෑම කෙනකුගේ පැමිණිලි එතැන ඉදිරිපත් කළ හැකියි. 2018 සිට 2023 දක්වා රේගුවේ ආදායම මෙලෙසයි.
2018 රැ. බිලියන 923
2019 රැ. බිලියන 800
2020 රැ. බිලියන 654
2021 රැ. බිලියන 648
2022 රැ. බිලියන 708
2023 රැ.බිලියන 974.4
මෙයට වඩා ඉලක්කගත ආදායමක් 2024 දී අයකර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එය රුපියල් බිලියන 1533 ක්. ඒ නිසා ආදායම් අඩුවීමක් පෙනෙන්නට නැහැ.
• යසවර්ධන රුද්රිගු