පසුගිය කාලයේ ඡන්ද වේදිකාවල ප්‍රධාන විවාද අතර රට බෙදන, රට විකුණන සටන් පාඨවලට සැලකිය යුතු ඉඩක් වෙන් කර තිබුණි. ජාත්‍යන්තර කුමන්ත්‍රණ අනුව උතුරු නැගෙනහිර වෙන් කර රට කෑලිවලට කඩන අතර පෞද්ගලීකරණය හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ සම්පත් විජාතික කරන සැලැස්ම ගැන මහා ආන්දෝලන ඇති කළේය. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට බලය බෙදාහැරීම ඇතුළත්ව නැත. ප්‍රධාන අපේක්ෂකයන් අතරින් වැඩි දෙනකු අලාභ ලබන, අකාර්යක්ෂම රජයේ ව්‍යවසාය කිසියම් ආකාරයකට විකුණන බව වක්‍රව සඳහන් කරමින් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඉදිරියට පැමිණ ඇත. අරමුදල සමඟ සාකච්ඡා කර ගිවිසුම් වෙනස් කිරීම ගැන සැලකිය යුතු උන්දුවක් තිබේ.
ශ්‍රී ලංකාවේ හටගත් දරුණු ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකමක් අනුමත කළ අතර අර්බුදයෙන් ගැලවීම අරමුණු කරගෙන සැලැස්මක් යෝජනා කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මැදිහත් වන ලෙස එවකට පැවැති ආණ්ඩුව වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරන ලද අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු මෙහි කරුණු සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණියේය. මාස හතළිස් අටකින් ආවරණය වන ණය පහසුකම සම්බන්ධයෙන් වරින් වර මෙරටට පැමිණෙන නියොජිත පිරිස් අධ්‍යයනය කර අරමුදලේ විශේෂඥයන්ට වාර්තා කරනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම අනුව අයවැය පාලනය කර ගැනීම, උද්ධමනය අඩු කිරීම, ණය ලබාගත හැකි සීමාවක් නියම කිරීම, විදේශ ණය නැවත ගෙවන ක්‍රමයකට ඇතුළු වීම ඇතුළු ප්‍රධාන අංශ ගණනාවක් ඇතුළත්ය. රාජ්‍ය ආයතනවල ඵලදායීතාව ඇති කරන හා අයවැයට බරක් රහිත තැනකට පත් කිරීම සඳහා වියදම ආවරණය කරන ගාස්තු ක්‍රමවේද ද හඳුන්වා දෙනු ලැබීය. ආර්ථිකය බිඳ වැටීමෙන් පසු දුෂ්කරතාවයකට පත් ජනතාව සඳහා වසර තුනක කාලයක් සඳහා සහනාධාර ගෙවන අලුත් ක්‍රමයක් ඇතුළු කළේය. මෙකී අංශවලින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම ඉලක්ක කර ඇත.
ජනතාවට හිසරදයක් වූ ක්‍රමය
ආර්ථිකය වර්ධනය කරන සැලසුමක් වශයෙන් පෞද්ගලීකරණය යෝජනා කර ඇත. රජයට අයත් ව්‍යවසාය ගණනාවක වපරිසය පුළුල් කරන අතර අලුත් ධනය පිටතින් ලබාගැනීම අරමුණු කරගෙන ආණ්ඩුවේ පාලනයෙන් ඉවත් කළ යුතු බව යෝජනා කර ඇත. භාණ්ඩාගාරයට ආදායමක් අය කරගත හැකි පරිදි බදු ප්‍රතිශත සංශෝධනය කළ අතර වයස අවුරුදු දහ අටට වැඩි සියලු පුරවැසියන්ට බදු ලිපිගොනුවක් ආරම්භ කිරීමට නියම කර ඇත. අනෙක් අතට ලබන වසරේ සිට වත්කම් පදනම් කරගෙන අලුත් බදු යෝජනාවක් ද ක්‍රියාවට නංවන බව ප්‍රකාශ වී තිබේ.
ආර්ථික අර්බුදය ඇති කරන තෙක් ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබුණු රාමුව බිඳ වැටීමෙන් පසු පද්ධතිය නිවැරදි කර ගැනීම සඳහා ගෙන එන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා එතෙක් පැවැති සහනශීලී වටපිටාව තුරන් කළේය. ආදායම අඩු වූ අතර භාණ්ඩ මිල ඉහළ ගියේය. මිල දී ගැනීමේ හැකියාව පහත වැටිණ. මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම් අනුව ආණ්ඩුව කරන ක්‍රමවේදයෙහි වෙනස්කම් ජනතාවට හිසරදයක් බව දැකගත හැකි විය.
ආපසු හැරවීම ගැන අදහස්
අලුත් ජනාධිපතිවරයකු පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැනට කරගෙන යන සැලසුම් නැවත සාකච්ඡා කරන බවට අභියෝගයක් ඉදිරිපත් වෙමින් තිබේ. බලයට පත්වන අපේක්ෂකයා මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කරන ආකාරය ගැන වේදිකාවලදී කියැවේ. ඇතැම් අපේක්ෂකයකු සාකච්ඡා කර සංශෝධන ගෙන එන බව දක්වන අතර එවැනි පියවරකට ඉඩ නැති බව තවත් අපේක්ෂකයෝ සඳහන් කරමින් සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වන ආකාරය ගැන කරන සාකච්ඡාව ජනාධිපතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණයේ සැලකිය යුතු කොටසක් බවට හරවාගෙන තිබේ.
දැනට පවතින ආර්ථික රාමුව අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොතිබුණි නම් අත්වන ඉරණම ගැන අදහසක් සමාජයට තිබේ. අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකමක් අනුමත කළේය. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 කි. එය පදනම් කරගෙන වන වසර හතරක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හසුරුවන ප්‍රවණතාවයක පසු වේ. දැනට අවස්ථා දෙකක දී මෙරටට පැමිණි නිරීක්ෂකයන් ඔවුන්ගේ වාර්තා ඉදිරිපත් කර එහි ප්‍රතිඵල අනුව අවස්ථා තුනක දී රටට ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ විනිමය නිදහස් කර ඇත. හතරවැනි වාරිකය සහ තුන්වැනි නිරීක්ෂණය සඳහා මෙම වසර තුළ නැවතත් අවස්ථාවක් ලබා ගැනීමට නියමිතය. මැතිවරණ හා එහි උණුසුම ඉදිරියේ එහි දින වකවානු තවමත් පැහැදිලි නැත.
කෙසේ වෙතත් දෙවැනි නිරීක්ෂණයට පසු පවත්වන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහභාගී වූ පුවත්පත් සාකච්ඡාවේ දී දේශපාලන වෙනස්කම් ඉදිරියේ දී ඇතිවුවහොත් අලුත් ගිවිසුමකට ඇතුළු වීමට ඉඩ තිබේ ද යන්න එක්තරා මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. එහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කියා සිටියේ අපහසුවෙන් මෙතෙක් ගමනක් පැමිණ ඇති අතර ඉතිරි කොටස ගැන ආණ්ඩුව තීරණය කළ හැකි බවය. අදහස් ගණනාවක් පක්ෂ ඉදිරිපත් කරන බව පෙනෙන අතර ඒවා යහපත් නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තියුණු මුවහතක් මත ගමන් කරමින් සිටින බව අමතක කළ යුතු නැති අතර පහසුවෙන් අවදානමකට ලක්විය හැකි බව එහිදී පෙන්වා දී ඇත. ඵලදායී අදහස් අනුව වැඩසටහන සංශෝධනය කළ හැකි අතර ඒවා වැඩසටහනේ කාල රාමුව අනුව සාක්ෂාත් කරගත හැකි ප්‍රායෝගික අදහස් බව අවධාරණය කර තිබුණි. මෙම පුවත්පත් සාකච්ඡාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙබ් අඩවියෙහි ඇත.
දේශපාලන වේදිකාවේ අදහස්
ආර්ථික පර් යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් දක්වන පරිදි ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් සියයට තිහක කොටසක් සාක්ෂාත් කරගත නොහැකි වී තිබේ. මෙම කොටස දෙවැනි නිරීක්ෂණ නියෝජිත කණ්ඩායම පැමිණෙන අවස්ථාව වන විට තිබුණු තත්ත්වය බව දැක්වේ. අරමුණුවලින් කොටසක් සාක්ෂාත් කරගත නොහැකි පසුබිමක් තුළ වසර හතරක ගමන් මාර්ගයේ අවසානය ගැන තක්සේරු කිරීම දුෂ්කරය. ශ්‍රී ලංකාව මෙම සහාය ලබා ගැනීමට කලින් දහසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සංචිත ලබාගෙන තිබේ. එම සහාය ලබාගන්නා අවස්ථාවල ආර්ථිකය නිවැරදි මගට ගැනීම ගැන සැලැස්මකට කටයුතු කළ නමුත් එම සැලසුම් එකක් හෝ සම්පූර්ණයෙන් අවසන් කර නැති බව ඉතිහාසය දක්වයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ වාර්තා වූ දරුණුම අර්බුදයට පසු ඇති කරගත් එකඟතාවය පවා දේශපාලන මතවාද ඉදිරියේ පැත්තකට විසි කරනු ලැබුවහොත් ඇතිවිය හැකි අවදානම බැහැර කළ යුතු නැත.
අනෙක් අතට දැනට අනුගමනය කරන ක්‍රමවේද හා මූල්‍ය අරමුදලේ කොන්දේසි පැත්තකට කර වෙනම ගමනකට ඉඩ ඇති නමුත් එය ජාත්‍යන්තරයට ගැලපෙන සැලැස්මක් විය යුතුය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරමින් සිටින ආකාරය අනුව විදේශ වත්කම් අවශ්‍ය කෙරේ. සංචිත ශක්තිමත් කරගත යුතු අතර දැනට නතර කර ඇති ජාත්‍යන්තර ණය ගෙවන්නට ධනය උත්පාදනය කරගත හැකි ක්‍රමයක් පෙන්වා දිය යුතු වේ. විශේෂයෙන්ම ආයෝජකයන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනාගන්නා වැඩපිළිවෙළ අනිවාර්ය කරුණකි.
ආර්ථික අර්බුදයේ විපත මහජනතාවට එල්ල වී ඇත. ආණ්ඩුව කරගෙන ගිය ආර්ථිකය ස්ථාවර කරන ක්‍රියාමාර්ගවල වේදනාව අද වන විට ජනතාවට සෑහෙන පීඩනයකි. පාලකයෝ මෙම තත්ත්වය දැනගෙන සිටිති. ජනාධිපතිවරණය ඉදිරියේ දේශපාලන නායකයෝ අලුත් අදහස් සමාජගත කරමින් සිටිති.
අත දිගහැර ගෙවන සහන
රජයේ වියදම අඩු කරන අතර ආදායම වැඩි කරන ක්‍රියාමාර්ග යෝජනා කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එයින් ජාතික අයවැය පාලනය කරගත හැකි තැනකට කැඳවන්නට බල කරන ලද බව අමතක කළ යුතු නැත. මූල්‍ය අරමුදලේ වාර්තා අනුව 1980 දී ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට විස්සක තරම් ඉහළ මට්ටමක තිබුණි. නමුත් ආදායම නොසලකා ආණ්ඩුව කරගෙන ගිය අයවැයකරණය හේතු කොටගෙන 2022 වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් බදු ආදායම සියයට අටක් දක්වා පහත වැටී තිබුණි.W මෙම අඩුවීම පාලනය කරගෙන අයවැය පියවීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් විශාල ණය ප්‍රමාණයක් ගැනීමට ශ්‍රී ලංකාව නැඹුරු වී සිටි බව දැක්වීම අවශ්‍යය.
බදු සංශෝධන සමඟ රජයේ ආදායම 2023 වසරේ දී ඉහළ ගොස් ඇත. රේගු, ආදායම් හා මත්පැන් බදු වශයෙන් රුපියල් ට්‍රිලියන තුනක් මෙම වසරේ දී ලබාගත හැකි අතර එයින් අයවැය පාලනය කර ගැනීමට උත්සාහ කරන බව රජයේ වාර්තා දක්වයි. කෙසේ වෙතත් මෙම ආදායම අත්හරින අතර වියදම වැඩි කරන අදහස් මැතිවරණ වේදිකාවේ කියැවේ.
ආණ්ඩුව පවා ඇතැම් බදු අඩු කරන අතර ලබන වසරේ සිට රජයේ සේවක වැටුප් වැඩි කරන යෝජනා ඉදිරිපත් කර ඇත. ආණ්ඩුව පමණක් නොව ප්‍රධාන දේශපාලන පක්ෂ සහන, ආධාර, දීමනා ගැන අත දිගහැර අදහස් ඉදිරිපත් කරමින් සිටී. මූල්‍ය අරමුදලේ නිරීක්ෂකයන්ට අනුව සැලැස්මට ආර්ථිකය සකස් කර ගැනීම හැර ජනතාවගේ ප්‍රශ්න ඔවුන්ට පලක් නැත. විදේශ ණය ගෙවීම, දේශීය ණය පියවීම, නිෂ්පාදනය වැඩි කරන අතර අලුත් ආයෝජන ලබා ගැනීම සඳහා ඔවුන් ක්‍රියාමාර්ග යෝජනා කර ඇති අතර ඒවා ඉදිරියට ගෙන යාම අවශ්‍යය. නමුත් ඡන්ද දිනන්නට ආණ්ඩුවේ ධනය ජනතාවට බෙදා දෙන ක්‍රම ප්‍රසිද්ධ කළ යුතු වේ. උපයන්නට ක්‍රම හිඟ වකවානුවක ධනය බෙදන්නේ කෙසේද යන්න අපේක්ෂකයෝ පැහැදිලි නොකරති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනට අනුමත කර ඇති පහසුකම සංශෝධනය කරන්නට අකමැති නැත. නමුත් ප්‍රායෝගික නොවන අදහස්වලින් ඇතිවිය හැකි අවදානම ද බැහැර කළ යුතු නැත.
• සාරා කන්දෙගොඩ