2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

වතුකරයේ රැස්වීම්වලට ගිය විස රා

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

මේ දවස්වල මැතිවරණවලට විවිධ සන්තෝසම්ය. මැතිවරණ වේදිකාවට නැග සිටින දේශපාලන ප්‍රභු පැලැන්තිය අත්පුඩියකින්, විසිල් එකකින් පිනවීම සඳහා අහිංසක දුප්පත් මිනිසුන් බස්වල නංවාගෙන ගොස්‍ රැස්වීම් මැද අත හරියි. ඒ නිකම් නොව, අරක්කු කාලක් පොවා බත් පාර්සලයකුත් කවාය. බඩ කට පුරවා ගත්තෝ හුරේ දාති. රටට හෙණ ගසා ගියත් තමන් හොඳ පදමට සූර් වී ඇති නිසා පාලකයා දෙවියා වී සිටී. මේ බහුතර ඡන්ද ව්‍යාපාරවල හැඩරුවය. අමුවෙන් ගෙන යනවාට වඩා දෙකක් දම්මාගෙන යාමෙන් රැස්වීමේ උණුසුම තීව්ර කරගත හැක. ඒ නිසා මේ දවස්වල රැස්වීමක් නම් බහුතර තැන්වල අරක්කුය.

කොළඹ ඇතුළු වටපිටාවේ උන්දැලාට අඩුම තරමින් ගල් කොටයක් හෝ දුන්නාට වතුරකරයේ ජනතාවට ගල් පොල් නැත. තවමත් ඒ ජනතාව වහලුන් යැයි සිතා සිටින වතුකරයේ දේශපාලන නායකයෝ මේ ජනතාවට හොර අරක්කු පොවන්නට පුරුදු වී සිටිති. සාමාන්‍යයෙන් ඔවුහු කසිප්පු බීමට රුසියෝ නිසා එම කසිප්පු පැකට් එකට යට වී රැස්වීමට එති. කෙසේ වෙතත් පසුගියදා එක්තරා රැස්වීමක් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක ඇස ගැටුණි. එම රැස්වීමට පැමිණි අයට කසිප්පු නොව රාබොන්නට දී තිබුණි. මෙම රා නිරීක්ෂණය කළ එම මැතිවරණ කණ්ඩායමේ දෙවැනි පැමිණිල්ල වූයේ මේ ප්‍රමිතියෙන් තොර රා මෙලෙස වතුකරයේ විකුණන්නේ කෙසේද යනුවෙනි. ඒ අනුව පැමිණිල්ල මහජන පරීක්ෂකවරුන් වෙත යොමු විය.

මහජන පරීක්ෂකවරුන් මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මෙම රා කෘත්‍රිමව නිෂ්පාදනය කළ රා බව අවබෝධ විය. කිසිදු ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කරන මෙම රා වයඹ පළාතේ ආයතනයක් විසින් නිෂ්පාදනය කරන බව අනාවරණය විය. ලංකාවේ රා නිෂ්පාදනය සම්බන්ධයෙන් අදටත් නිසි ප්‍රමිතියක් නොමැතිවීම නිසා මෙම පිරිස කිසිදු ප්‍රමිතියකින් තොරව මෙම කෘත්‍රිම රා නිෂ්පාදනය කරන බවට සැක කළ හැකි මට්ටමින් තොරතුරු අනාවරණය වී තිබේ. එහෙත් නිශ්චිත වාර්තාවක් සොයා ගැනීමට අවශ්‍ය බැවින් මෙම රා සාම්පල් රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර විද්‍යාත්මක දත්ත වාර්තාවක් සැකසීමට මහජන පරීක්ෂකවරු තීරණය කළහ. කෙසේ වෙතත් මෙම රා පැහැදිලිව කිසිදු ප්‍රමිතියකින් තොරව වතුර, ඊස්ට්, සීනි සහ ඇමෝනියා යොදා සකසන්නට ඇතැයි මහජන පරීක්ෂකවරු සැක කරති. ඒ නිසාම මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට තීරණය කර තිබේ.

රුපියල් 600 ක් වැනි මුදලකට මෙම රා බෝතල් විකුණනු ලබන අතර මේ වනවිට අරක්කු මිල වැඩි නිසා මත්පැන්වලට ඇබ්බැහි වූ දමිළ ජනතාව දැඩි ලෙස රා බොන්නට හුරු වී සිටින බව දැනගන්නට ඇත. මේ නිසා දිනපතාම සවස් යාමය වන විට මෙම රා බෝතලයක් පානය කිරීම වතුකරයේ ජනතාවගේ පුරුද්ද වී ඇත. ඒ හේතුවෙන් වතුකරයේ ජනතාව අතර රා පානය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බව දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් ‍රෝහණ මහතා දේශයට මෙලෙස අදහස් දැක්වීය.

“අපිට මේ පැමිණිල්ල ආවේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමකින්. ඒ අයගෙන් තමයි විස්තර අරගෙන මේ පැමිණිල්ල විභාග කරන්න ගත්තේ. අපිට හිතුණා මේ රා හොඳටම කෘත්‍රිමයි කියලා. පොල් රා කියලා දුන්නට තනිකරම කෙමිකල්වලින් හදන්නේ කියලා තේරුණා. ඒ නිසා අපි විද්‍යාත්මක පරීක්ෂණයක් වගේම නිරීක්ෂණයක් කරනවා. මේවා හදන්නේ වයඹ පළාතේ. සුළු පැමිණිල්ලක් නෙමේ. මේ සම්බන්ධයෙන් අපි පූර්ණ පරීක්ෂණයක් කරනවා. හැබැයි එක දෙයක් තියෙනවා. ලංකාවේ රා වලට කිසිම ප්‍රමිතියක් නෑ. අන්න ඒ ප්‍රමිතිය නැති නිසා තමා මේක වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මේක පරීක්ෂණ මට්ටමින් තියෙන්නේ. ඉදිරියේ දී දැනුම් දෙන්නම්.”

• ගයාන් ගාල්ලගේ

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03