2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ඡන්ද කාලෙට කුලියට යන බස්

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 23

දිනෙන් දින ජනාධිපති මැතිවරණයට දින ළං වෙමින් තිබේ. ඒ සඳහා තව ඇත්තේ සති තුනකටත් අඩු කාලසීමාවකි. ප්‍රධාන පක්ෂ කිහිපයට අමතරව සෑම ජනාධිපති අපේක්ෂකයකුගේම ඉලක්කය හා බලාපොරොත්තුව වී ඇත්තේ තම සලකුණ ඉදිරියේ ඇදෙන කතිරය හෝ මනාපය වැඩි කර ගැනීමය. ඒ සඳහා ඔවුහු විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරති. ඇතැම්හු තම ඡන්දදායකයන්ට බොරු පොරොන්දු ලබා දෙති. ඇතැම්හු තම ඡන්දදායකයන්ට විවිධ උදව් උපකාර කරති.

මේ අතර ජනාධිපති අපේක්ෂකයෝ විවිධ පළාත්වල ඡන්ද රැස්වීම් පවත්වති. ඒවාට උදවු කරන්නේ, අනුග්‍රහය දක්වන්නේ ද ඒ පළාත්වල ව්‍යාපාරිකයන්ය, ධනවතුන්ය, ජනාධිපති අපේක්ෂකයන්ගෙන් අනාගතයේ යම් වාසියක් හෝ උදව්වක් ලබාගන්නට මාන බලන ඡන්දදායකයන්ය. ඔවුන් තම අතේ ඇති මුදල් හිතේ හැටියට මේ ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් වියදම් කරන්නේ අනාගතයේ දී ඒ මුදල් දෙගුණ තෙගුණ කර ගැනීමේ අරමුණිනි.

සෑම මැතිවරණ කාලසීමාවක්ම පෞද්ගලික බස් හිමියන්ට වැඩ වැඩිවෙන කාලයකි. ජනාධිපති මැතිවරණවලදී දකුණේ සිට උතුර දක්වාම ඇතැම් ඡන්ද අපේක්ෂකයෝ ඡන්දදායකයන්ව රැගෙන යති. ඒ ඡන්දදායකයන්ට ඇති ආදරයකට නොව, තම ඡන්ද රැස්වීමේ ඇති ඔලු ගෙඩි ගණන වැඩිකර ගන්නටය. මාධ්‍ය ඔස්සේ ඒ ඔලු ගෙඩි රටට පෙන්වීමටය. මේ දකුණේ සිට උතුරට යන පාලම ගොඩනැගෙන්නේ පෞද්ගලික බස් රථවලිනි. ඒ නිසාවෙන් ඇතැම් පෞද්ගලික බස් හිමියන්ගේ කල්ල මරේය. ඇතැම් බස් හිමියෝ මේ කාලය තුළදී බස් රියැදුරා හා කොන්දොස්තර සමඟ තම බස් රථය සම්පූර්ණයෙන්ම කුලියට ලබා දෙති.

“හැම දේශපාලන පක්ෂයකින්ම පෞද්ගලික බස් ඔවුන්ගේ දේශපාලන වැඩ කටයුතුවලට ලබා ගන්නවා. මේ දවස්වල නම් සමහරුන් ලංගම බස් පවා ලබා ගත්තා. ඒක සාමාන්‍ය දෙයක්. බස් රථ දේශපාලන පක්ෂ ලබාගන්නේ සංගමය හරහා නෙවෙයි. ඒ අය තමන් දන්නා බස් හිමියන්ගෙන් ඒ බස් රථ කුලියට ලබා ගන්නවා. ඒක අපි එදා ඉඳන් කරන දෙයක්. බොහෝ බස් හිමියන් බස් කුලියට ලබා දෙන්නේ තමන් කැමති පක්ෂයකට විතරක් නෙවෙයි. තමන්ගේ බස් රථයට තමන්ගේ මිලට පක්ෂය බස් කුලියට ලබාගන්න කැමති නම් බස් හිමියන් එය කුලියට ලබා දෙන්න සූදානම්.” යැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මැතිවරණ කාලසීමාවේදී රැස්වීම් සඳහා පෞද්ගලික බස් රථ යෙදවීමෙන් සාමාන්‍ය මගියාට සිදුවන්නේ තරමක අපහසුතාවයකි. යම් මාර්ගයක ධාවනය වන බස් රථ කිහිපයක් එකම දිනක දී වෙනත් කටයුත්තකට යෙදවීමෙන් මාර්ගයේ ගමන් ගන්නා බස් රථ ප්‍රමාණය අඩුවෙයි. මෙයින් මගී ජනතාවට යම් අසාධාරණයක් සිදු වේ. ඇතැම්විට බස් රථයක් එනතුරු වැඩි කාලයක් බස් නැවතුමට වී සිටීමට සිදු වේ. ඇතැම්විට ධාවනය වන සීමිත බස්වල අසීමිත මගීන් පිරිසක් ගමන් කිරීම හේතුවෙන් ඔවුන්ට යම් අපහසුතාවයකට මුහුණ දීමට සිදු වේ.

“බස් රථ මැතිවරණ ප්‍රවාහන සඳහා යෙදවීම මගින් එතරම් ලොකු අපහසුතාවකට මුහුණ දෙන්නේ නැහැ. මැතිවරණ ප්‍රවාහනයක් සඳහා විශාල බස් රථ ප්‍රමාණයක් වෙන් වෙන්නේ නැහැ. මේ වන විට පෞද්ගලික බස් රථ දහතුන් දහසක්, දාහතර දහසක් පමණ ධාවනය වෙනවා. මේ වගේ මැතිවරණ ප්‍රවාහනයක දී සාමාන්‍යයෙන් ලංකාවෙන්ම බස් හත්සිය පනහක් අටසීයක් බස් වෙන් වෙන්න පුළුවන්. ඒක විශාල පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට ඒ මාර්ගවල ගමන් ගන්නා අනෙකුත් බස් රථ මගීන්ට අපහසුතාවයකට පත් නොවන ලෙස ධාවනය කරනවා.” යැයි ගැමුණු විජේරත්න මහතා පැවසීය.

පසුගිය කාලයේ පැවති අරගල තත්ත්වය හමුවේ දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ධාවනය කළ බස් රථ කිහිපයකට දැඩි අලාභ හානි සිදුවිය. ඒ බස් හිමියන්ට දැඩි පාඩුවක් සිදු වී තිබිණි. මේ හේතුවෙන් බොහෝ බස් හිමියෝ දේශපාලන පක්ෂ වෙනුවෙන් තම බස් රථ ලබාදීමට මැලි වූහ. නමුත් මේ දින කිහිපය තුළදී නැවතත් පෙනී ගොස් ඇත්තේ මෙවැනි දේශපාලන මැතිවරණ සඳහා බස් රථ කුලියට ලබා දීමට පෞද්ගලික බස් හිමියන්ගේ ඇති කැමැත්තය.

“අරගලය වෙලාවේදී ගිනි තැබූ, හානි සිදු වූ බස් රථ කිහිපයක් තිබුණා. නමුත් මේක මිනිසුන්ගේ හැටි. හැමදේම මතක තියෙන්නේ ටික දවසයි. ඊට පස්සේ හැමදේම අමතක වෙනවා. ඒක තමයි හැටි. ඒ වෙලාවේ ගිනි තියද්දි බොහෝ දෙනා, “අනේ සභාපතිතුමා අපි නම් ආයෙමත් බස් දෙන්නේ නැහැ” කියලා කිව්වා.  හැබැයි ආයෙමත් ඒ දෙන්න බැහැයි කියපු අයම දෙන්න පටන් ගත්තා. මේ වෙලාවේ හැම දේශපාලන පක්ෂයටම බස් රථ කුලියට ලබා දෙමින් පවතිනවා. අපේ බස් රථ නැත්නම් කාටවත් දේශපාලනය කරන්නත් බැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය.” යැයි ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

• දිශානි ජයමාලි කරුණාරත්න