2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ආසියාකරය පුරා විරෝධතා සහ අර්බුද!

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 55

2024 අගෝස්තු 4 වැනි දින බංග්ලාදේශයේ අගමැතිනි ෂීක් හසීනාගේ වසර 15ක දේශපාලනයේ අවසන් දිනය වනු ඇතැයි කිසිවකු දැන සිටියේ නැත. රට තුළ හටගත් ජනතා විරෝධයෙන් හසීනාට බලය අත්හරින්නට සිදුවූවා සේම ආසියාකරයේ බොහෝ රටවල දැන් විරෝධතා සහ අර්බුද මතුව තිබේ.

බංග්ලාදේශයේ රජයේ රැකියා සඳහා නැවත හඳුන්වා දුන් පැරැණි කෝටා ක්‍රමයට එරෙහිව මුලින්ම ජූලි මැද භාගයේ දී සාමකාමී ලෙස ඇරැඹුණු ශිෂ්‍ය විරෝධතා මාරාන්තික වීමෙන් පසුව, බලධාරීන් විසින් සමාජ මාධ්‍ය ඇතුළු සන්නිවේදනයන් අවහිර කිරීමක් පනවන ලදී. සතියකට වැඩි කාලයකින් එය ඉවත් වන විට ද ශිෂ්‍ය විරෝධතා නොනැසී පැවති අතර රට පුරා පෙරැළිකාර ව්‍යාපාරයක් මතු විය. 400 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි කළ මේ විරෝධතාව, හසීනාට රටින් පලා යාමට සහ බලයෙන් ඉවත් වීමට බල කෙරුණු අතර තාවකාලික රජයකට රටේ පාලනය පැවරීමට හේතු විය.

මාලදිවයිනේ වැසියන්ට භාවිතයට ඉඩ දී තිබූ විදේශ විනිමය වියදම් ප්‍රමාණය පසුගිය සතියේ, එරට වාණිජ බැංකුව හදිසියේම විශාල ලෙස අඩු කළ අතර රට පුරා පුළුල්ව පැතිර ගිය ජනතා කෝපයකට එය හේතු විය. මාලදිවයින් වැසියන්ගෙන් අතිමහත් බහුතරයක් අන්තර්ජාලය හරහා සාප්පු යෑමට, දායක මුදල් ගෙවීමට හෝ විදේශ සංචාරයකදී භාවිත කිරීමට මාලදිවයිනේ බැංකුව විසින් නිකුත් කරන කාඩ්පත් මත යැපෙති.

මේ හේතුවෙන් ඉන්දියන් සාගර දූපත් සමූහයේ නරක අතට හැරෙන්නට වූ මූල්‍ය දුක්ඛිත තත්ත්වය පිළිබඳව ජනතා කෝපය ඇවිල ගියේය. පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “සමාජ මාධ්‍ය බොට් ගිණුම් සිය ගණනක්” ඔස්සේ රජය නීති විරෝධී ලෙස පෙරළීම සඳහා ජනතාව වීදි විරෝධතා සඳහා කැඳවීමට කටයුතු කර තිබූ බවය.

මාලදිවයිනේ බැංකුව දේශීය කාඩ්පත්වලින් විදේශ මුදල් වියදම් කිරීම අත්හිටුවන ලද නමුත් මහජන කැළඹීම හමුවේ රජය මැදිහත්වීමෙන් පැය හයකට පසුව එම තීරණය නැවත වෙනස් කෙරිණි.

දේශීය මුදල් ගිණුම්වලින් විදේශ ගනුදෙනු අත්හිටුවා තම රජය පෙරළා දැමීමට මාලදිවයිනේ බැංකුව කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු චෝදනා කර තිබුණි. ජනාධිපති මොහොමඩ් මුයිසු බලයෙන් පහ කිරීමට ගත් මේ හදිසි කුමන්ත්‍රණ ප්‍රයත්නය සම්බන්ධයෙන් දැන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

බංගලිදේශයට පසුව පාකිස්ථානයද? බොහෝ දෙනාගේ ඇස දැන් පාකිස්ථානය වෙත යොමුව තිබේ. රට මුහුණ දෙන දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක බහු-අර්බුධයක පසුබිම තුළ Z- පරපුරේ “මෝසම් විප්ලවයකට” කාලය පැමිණ ඇති බවට අදහස් පැතිර තිබේ.

පාකිස්ථාන රජය විසින් කළු දිනය ලෙස හඳුන්වනු ලබන 2023 මැයි 9 වැනි දින පාකිස්ථානයේ සිදු වූ ප්‍රචණ්ඩ කැරලි මාලාව මැයි 9 කැරැල්ල, මැයි 9 විරෝධතා ලෙස ද හැඳින්වෙන අතර දැන් රට තුළ නිවි නිවී ඇවිලෙන ගින්නට මූලික වී තිබේ.
පාකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) නායක සහ පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් මහාධිකරණ භූමියේ සිට අත්අඩංගුවට ගැනීමෙන් පසුව, පීටීඅයි ආධාරකරුවන් විසින් රට පුරා පැවැත්වූ විරෝධතා, ප්‍රචණ්ඩ කෝලාහල, විනාශ කිරීම්, මංකොල්ලකෑම් සහ ගිනි තැබීම් හේතුවෙන් රු. බිලියන 1.98 ක හානියක් ද සිදුවිය.

පාකිස්ථානයේ පාලක පක්ෂයට අයත් නීති සම්පාදකයන් විසින් ඉස්ලාමාබාද් අගනුවර මහජන රැස්වීම් සහ රැස්වීම් නියාමනය කිරීමට සහ තහනම් කිරීමට පවා නිලධාරීන් බලගැන්වීම සඳහා වූ පනතක් ඉදිරිපත් කිරීමත් සමඟ නව විරෝධතා වටයක් පැන නැගී තිබේ.

සාමකාමී රැස්වීම සහ මහජන සාමය පිළිබඳ පනත් කෙටුම්පත 2024 ඉකුත් සඳුදා පාකිස්ථානයේ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවට ඉදිරිපත් කිරීම සිදු වූයේ සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම (PTI) පක්ෂය, නගරයේ සැලසුම් කර ඇති රැලියට සතියක් තිබියදීය. ඛාන්ගේ පක්ෂයට එහි පෙළපාළිය පැවැත්වීම සඳහා අවසරය ලබා දීම ප්‍රතික්ෂේප කළහොත්, ජාතික මැතිවරණයෙන් මාස කිහිපයකට පසු, පාකිස්ථානය තුළ දේශපාලන ප්‍රතිවාදීන් අතර තවත් කළු සංදර්ශනයක් ලෝකයට දැකගත හැකිවනු ඇත.

ප්‍රධාන විරුද්ධ පක්ෂය PTI ට වෙන්කර ඇති ආසන ප්‍රමාණය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු විපක්ෂය සහ රජය අතර ගැටුම උග්‍ර වූ අතර එය උසාවිය කරා යාමට පොළඹවන ලදී. පසුගිය මාසයේ, පීටීඅයි හි ප්‍රධාන ජයග්‍රහණය මැද, ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ ඛාන් ප්‍රමුඛ පක්ෂයට ජාතික සහ පළාත් සභාවල වෙන්කර ඇති ආසන කෝටාව සඳහා සුදුසුකම් ඇති බවයි. මෙම නඩුවේ සවිස්තරාත්මක තීන්දුවක් උසාවිය තවමත් ප්‍රකාශ කර නැති නමුත්, ඉදිරි ඉරිදා ඛාන් සිරෙන් නිදහස් කිරීම ද සිදුවෙතැයි ඇති බලාපොරොත්තුව මත, පීටීඅයි සංවිධානයේ ප්‍රධාන න්‍යාය පත්‍රය වනුයේ ඉස්ලාමාබාද්හි පැවැත්වීමට නියමිත මෙම රැලියයි.

නව පනතට අනුව කලින් රැලියක් සඳහා අනුමැතියක් ලබා දුන්නද, එය ඕනෑම අවස්ථාවක අවලංගු කළ හැකි අතර සංවිධායකවරයා වසර තුනක සිරදඬුවමකට යටත් කළ හැකි බවට ව්‍යවස්ථාදායකය තුළින්ම අදහස් මතුව තිබේ.

මෙලෙස මහජන රැස්වීම් නියාමනය කිරීම සිදුවන්නේ රජය දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පමණක් නොව සිවිල් සමාජ කණ්ඩායම්වලින් ද විරෝධතාවලට මුහුණ දී සිටින අවස්ථාවකය. රාජ්‍ය සේවකයන්, වෘත්තීය සමිති සහ ආගමික කණ්ඩායම් පවා විවිධ විරෝධතා එල්ල කර ඇත. මෙම පියවර එවැනි සියලු රැස්වීම් මැඩපැවැත්වීමේ උත්සාහයක් විය හැකිය. රට තුළ මෙන්ම දේශසීමාව තුළ ද ඉරානය දෙසින් ජාත්‍යන්තරව ද තර්ජනයට ලක්ව සිටින අලුත පත්වූ රජය තුළ ද මේ වනවිට අර්බුද මතුව පවතී. මෙවන් වාටපිටාවක මේ මැඩපැවැත්වීම් විශාල පුපුරා යාමකට හේතු විය හැකි බව විචාරක මතයයි.

2024 ඉන්දුනීසියානු ප්‍රාදේශීය මැතිවරණ නීති වෙනස් කිරීමට එරෙහි විරෝධතා, “දේශපාලන රාජවංශය ප්‍රතික්ෂේප කරනු” සහ “වෙනස් කරන ලද පළාත් පාලන මැතිවරණ ප්‍රතික්ෂේප කරන්න” යන හෑෂ් ටැග් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස ජනප්‍රිය වීමත් සමඟ ඇරැඹිණි. මෙම ඔන්ලයින් ව්‍යාපාරය අවසන් වූයේ 2024 අගෝස්තු 22 වැනි දින රට පුරා හටගත් පෙළපාලි වලිනි. ජනතාව තම අතෘප්තිය ප්‍රකාශ කිරීමට පාරට බැස්සෝය.

රටේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අන්තනෝමතික තීන්දුවට එරෙහිව මහජනතාව සහ ශිෂ්‍යයන් විසින් මෙහෙයවනු ලැබූ මේ උද්ඝෝෂණය ඉන්දුනීසියාව සඳහා හදිසි අනතුරු ඇඟවීම හෝ ඉන්දුනීසියානු ප්‍රජාතන්ත්‍රවාදයේ හදිසි අවස්ථාව ලෙසින් ද හඳුන්වනු ලැබිණි. 2024 ඉන්දුනීසියානු පළාත් පාලන මැතිවරණය නියාමනය කිරීමට අදහස් කරන ව්‍යවස්ථාමය අධිකරණයේ තීන්දුවට සහ බලයට පටහැනි පනත් කෙටුම්පතක් කෙටුම්පත් කිරීමට එරෙහිව මෙය හට ගත්තේය.

මියන්මාරය හමුදා කුමන්ත්‍රණයෙන් පසු ඇරැඹුණු අර්බුදයේ සිව්වැනි වසරට පිවිස ඇත. 2021 පෙබරවාරි 1 වැනි දින හිමිදිරි උදෑසන, NLD ප්‍රමුඛ සිවිල් රජය හමුදා කුමන්ත්‍රණයකින් පෙරළා දැමූ අතර, Tatmadaw හි ප්‍රධාන අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් හ්ලෙයිංග්, රාජ්‍ය නායකයා බවට පත් විය. කුමන්ත්‍රණය අතරතුර අවුන් සාන් සුකී සහ ඇගේ ආණ්ඩුවේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙක් හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඉන් අනතුරුව මහජන විරෝධතා පැවැත්විණි. මින් අවුන් හ්ලෙයිංග් සහ අලුතින් පිහිටුවන ලද රාජ්‍ය පරිපාලන කවුන්සිලය (SAC) ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා සිටි විරෝධතාකරුවෝ, අත්අඩංගුවට ගත් අය නිදහස් කරන ලෙස ද ඉල්ලා සිටියහ.

එසේ වුවද ජුන්ටාව විසින් රට තවදුරටත් මානව හිමිකම් රහිත දැඩි මානුෂීය ව්‍යසනයකට තල්ලු කර තිබේ. තවමත් අවම වශයෙන් නගර 55 ක් යුද නීතිය යටතේ පවතී. සාමාන්‍ය ජනතාවගේ සහ ප්‍රජාතන්ත්‍රවාදී ගැති සන්නද්ධ කණ්ඩායම්වල විරුද්ධත්වයට මුහුණ දී සිටින හමුදාව, රට පාලනය කර ගැනීමට දැඩි අරගලයක යෙදී සිටියි. ඒ හේතුවෙන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම්, නීති විරෝධී ඝාතන සහ සිවිල් වැසියන්ට එල්ල කළ ප්‍රහාර ඇතුළුව, පුළුල්ව පැතිරුණු සහ ක්‍රමානුකූල අපයෝජන වැනි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ රැසකට මග පෑදී තිබේ. ඒ හේතුවෙන් රටට එරෙහි සම්බාධක පවා පැනවී හමාරය. මේ වන විට චීනය මැදිහත්ව ඇතිකළ සටන් විරාමය අවසන් කරමින් ඊසානදිග මියන්මාරයේ නව සටන් ආරම්භ වී ඇත. මිලියන 18.6 ක ජනතාවකට දැනට මානුෂීය ආධාර අවශ්‍ය වී තිබේ.

• සුගත් පී. කුලතුංග ආරච්චි

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03