මෙරට පැවති පාලනයට විරෝධය පළ කරමින් මහා ජනතා නැගිටීමක් දැවැන්ත අරගලයක් බවට පත්වූයේ 2022 වසරේදීය. රට පුරා ජනතාව ගාලුමුවදොරට පැමිණ රටේ පාලනයට විරෝධය පළ කළ අතර එකී අරගලය අස්සේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ යට ඇඳුමය. ඒ මුල්ම කතාව ඇරඹුණේ කොළඹ බේරේ වැවේ සිටි එක්තරා මන්ත්‍රීවරයකුට අත්වූ ඉරණමකිනි. අනෙක් අවස්ථාව සිහියට නැගෙනුයේ අරගල සමයේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවැත්වූ විරෝධතාවකි. එම ස්ථානයට රැස් වී සිටි විරෝධතාකරුවන් පිරිසක් විරෝධය දැක්වූයේ පොලිස් බැරියර්වල යට ඇඳුම් ගලවා එල්ලමිනි. ඉන්පසු යට ඇඳුම ආයෙත් යට ගිය අතර යළි උඩට ආවේ කින්නියා පැත්තෙනි.
ඒ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අම්පාර කින්නියා ප්‍රදේශයේ පැවති ඡන්ද රැස්වීමකදීය. ජාතික ජන බලවේගයේ මැතිවරණ වේදිකාවකදී පක්ෂයේ ප්‍රධාන කථිකයකු වූ සුනිල් හඳුන්නෙත්ති පැවසූයේ මේ රට යට ඇඳුම් පෙන්නන්න බැරි රටක් බවයි. උඩට හොඳ ඇඳුම් ඇන්දාට යට ඇඳුම් දිරා ඇති බවත් මේස් බැනියමේ හිල් ඇති බවත් ඔහු කියන්නේය. උඩ ඇඳුම් හෝදා වේලෙන්න වැලේ දැම්මාට යට ඇඳුම් වැලේ දැමීමට නොහැකි බවත් ඒවා වේලෙන්න දාන්නේ කාමරයේ බවත් හඳුන්නෙත්ති කීවේය. හඳුන්නෙත්ති මෙසේ සිංහලෙන් කරන කතාව කින්නියා දෙමළ, මුස්ලිම් ජනතාවට අණ්ඩර දෙමළයකි. සිංහල කතාව ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය කරන්න පරිවර්තකයකු ළඟ තියාගෙන සුනිල් හඳුන්නෙත්ති යට ඇඳුම් ගැන කතා කරද්දී පරිවර්තකයාට දෙමළත් අමතක වූ අවස්ථා තිබූ බව රැස්වීමේ සජීවී දර්ශනවලින් අපි දුටුවෙමු.
මෙවර ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 14 කට නොඅඩු කාලයකි. එදා පටන් අද දක්වා ඡන්ද වේදිකාවේ වැඩිහරියක්ම තිබුණේ රෑ ඩැනියල් දවල් මිගෙල් කතාය. එහෙම නැතිනම් මඩ වරුසාය. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රධාන අපේක්ෂකයන් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ රට පුරා ඡන්ද රැස්වීම් පවත්වති. ඒවා ගල් මුල් වගේම සුනිල්ගේ කතාව වගේ අමුතු අමුතු රස කතාවලින් ද අඩුවක් නැත. එහෙත් මේ මඩ කතා අතරින් රස කතා වෙන් කර ගැනීමම වෙනම අභ්‍යාසයකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මෑතක පැවසූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිනකට ඡන්ද රැස්වීම් දහයකට දොළහකට නගින බවත් ඒ ඡන්ද රැස්වීම්වලට නගින තරමට ඔහු ඡන්ද කඩාගන්නා බවත්ය. ඒ වගේම සජිත් ප්‍රේමදාස මතු දිනෙක ගිනස් වාර්තා පොතට යන්නේ අඩු වයසකදී ජීවිතයේ වැඩිම කාලයක් කතා කළ නායකයා ලෙස බවත් රෝහිත අබේගුණවර්ධන කීවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට මෙවර තරග කරනුයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය. දූෂණය නැවැත්වීම සඳහා දූෂණය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයක් ස්ථාපනය කර ජාතික ජන බලවේගයෙන් කළ පත්කිරීම් සහ කාර්යය පිළිබඳ අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැවසූයේ මීයන් අල්ලන්න නම් දත් තියෙන බළලකු දැමිය යුතු බවය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ඡන්ද වේදිකාවක සභාව අමතමින් සිටිය දී සභාවේ ජය ඝෝෂා මැද මන්ත්‍රීවරයා කෑ ගසා ජනතාවගෙන් විමසුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ මිනී මරලා තියෙනවාද? කියාය. සභාවෙන් ලැබුණු ජයඝෝෂා මැද නෑ කියා ලැබෙන පිළිතුරු සමඟ ඔව් කියාත් අතරින් පතර ඇසිණි. කවුද යකෝ ඔව් කිව්වෙ? සුජීව සේනසිංහට කියැවුණේ සභාවම සිනහා ගන්වමිනි.
ජනසෙත පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි යනු මැතිවරණ වේදිකාවට පරිබාහිරව මේ දිනවල සමාජ මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වන චරිතයකි. උන්වහන්සේ මෙවරත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටිති. උන්වහන්සේ වෙනුවෙන් සමාජ මාධ්‍යයේ තේමා පාඨය වනුයේ “සීලෙ අපිට - අපි සීලෙට” යනුවෙනි. ඒ වෙනුවෙන් සමාජ මාධ්‍යයේ උන්වහන්සේ නමින් විවිධ ප්‍රකාශ සහ ප්‍රතිපත්ති ප්‍රකාශ දැනටමත් කරළියේ දැකිය හැකිය. සීලරතන හිමියන් පවසනුයේ රටේම කුණු අදින්න ගෙනා ට්‍රැක්ටරයට කතිරය ගසා ජනසෙත පෙරමුණ මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවන ලෙසයි. එසේම තමන් ජනාධිපති කළහොත් කාන්තාවන්ට වෙනම මං තීරුවක් ඉදි කරන බවත්, සෑම තරුණයකුටම ගංජා මිටක් භාවිතයට අවසර දෙන බවත් එයින් දරුවන් වැඩි වැඩියෙන් හදන්න ශක්තිය ලැබෙන බවත්, දරුවන් වැඩි වැඩියෙන් බිහි කරන්න කාන්තාවන් දිරිගන්වන බවට පෝස්ටු ව්‍යාපාර දැකිය හැකිය. ඒ වගේම මගේ ආණ්ඩුවෙන් සොරකමට ඉඩක් නැති බවත් තදාසන්න ප්‍රදේශවල අධෝරක්ත කැමරා සවි කර හොරු අල්ලන බවටත් එම ඡන්ද ව්‍යාපාරවල කියැවෙයි. මේ සම්බන්ධයෙන් එක්තරා අවස්ථාවක බත්තරමුල්ල සීලරතන හිමියන්ගෙන් කළ විමසුමකදී උන්වහන්සේ පැවසුවේ සමාජ මාධ්‍ය තමන්ට ලබාදෙන සහයෝගය අගය කරන බවත් යහපත් දේවල් එසේ පළ කිරීමට තමන්ගේ විරෝධයක් නැති බවත්, යහපත් දේට තමන් එකඟ බවත්ය. එක්තරා සම්මුඛ සාකච්ඡාවක දී බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගෙන් මාධ්‍යවේදියෙක් පැනයක් ඉදිරිපත් කළේය. ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් රට හදන්න කතා කරන භික්ෂුවක ලෙස බුදු දහමේ කියැවෙන සම්මා සතිය යනු කුමක්දැයි පහදන ලෙසය. එම අවස්ථාවේ උන්වහන්සේ පැවසූයේ සම්මා සතියක් මෙතැනට අවශ්‍ය නැති බවත්, එය අනවශ්‍ය ප්‍රශ්නයක් බවත්ය.
එක්තරා අපේක්ෂකයෙක් පාසල් සිසු පිරිසක් ඉදිරියේ සභාව ආමන්ත්‍රණය කරන අවස්ථාවේදී මාගේ ආදරණීය සදාදරණීය මිත්‍රවරුනි යනුවෙන් පැවසුවේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ වේදිකාවක තම අපේක්ෂකයා වන නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ බිරිය වන නීතිඥ චමරි පෙරේරා පැවසූයේ මස් මාළු කන්නෙ නැති, අරක්කු සිගරැට් බොන්නේ නැති කොල්ලකු මේ රටේ නායකත්වයට සිටිනවා නම් ඒ නාමල් රාජපක්ෂ පමණක් බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූයේ අනෙක් අපේක්ෂකයන් කයිය ගගහා සිටිය දී තමන් වැඩ කරන බවයි. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසූයේ තම සංගමය වනාහි ගල් බෝතල් සංගමය බවත් එයට ජනාධිපති රනිල් සැලකුවේ නැති බවත්ය. රාජ්‍ය සේවයේ සිටින්නේ ලක්ෂ 16 ක් වුවත් තම සංගමයේ ලක්ෂ 50 ක් සිටින බවත් ඔහු පැවසීය.
මෙලෙස ඡන්ද වේදිකාවේ රස වගේම නීරස කතා ද බොහෝය. ඒ සමහර කතා ප්‍රසිද්ධ වේදිකාවේ පැවසුවද ජාතික මාධ්‍යයේ පැවසීමට අපට නොහැකිය.
• සසංක චලන ගිම්හාන