2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා කප්පාදුව

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට ලබා දෙන අවස්ථාව කොරෝනා වසංගත සමයට පෙර පැවති සීමාව දක්වා යළි අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය අවධානය යොමු කර තිබේ.

ජාත්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩිම පිරිසක් අධ්‍යාපනය ලබන රටක් වන්නේ ඔස්ට්‍රේලියාවය. 2024 වසරේ දත්තවලට අනුව, එරට අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව 717,500ක් පමණ වෙති. 2025 වසරේදී එම සංඛ්‍යාව 270,000 දක්වා සීමා කිරීමට නියමිතය. නව ක්‍රියාමාර්ගය අනුව එය ලක්ෂ හතරක් පමණ ඉක්මවා යන කප්පාදුවකි.

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබා දෙන ආයතනවලට පැනවෙන විශාලතම කප්පාදුව මෙය විය හැකි අතර, සෑම උසස් අධ්‍යාපන ආයතනයකටම වෙන වෙනම සීමාවක් පනවනු ඇති බව එරට රජය පසුගිය සතියේ නිවේදනය කර ඇතැයි සිඩ්නි නගරයේ බීබීසී වාර්තාකාරිණී ටිෆනි ටර්න්බුල් වාර්තා කර තිබේ.

මෙම කප්පාදුව සම්බන්ධයෙන් එරට තෘතියික අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කැළඹීමක් නිර්මාණය වී ඇති අතර, ඇතැම් විශ්වවිද්‍යාල එය “ආර්ථික ම්ලේච්ඡත්වයක්” ලෙස හඳුන්වා ඇති නමුදු එම තීරණය මගින් තෘතියික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ දිගුකාලීන පැවැත්ම වැඩිදියුණු කරන්නේ යැයි කැන්බරා විශ්වවිද්‍යාලය සඳහන් කර තිබේ.

කොවිඩ් වසංගත සමයේ විදේශීය සිසුන් ඔවුන්ගේ මව් රටවලට යවා දැඩි දේශසීමා පාලනයක් ක්‍රියාත්මත කළ සමයේ, උසස් අධ්‍යාපනයට දැඩි පහරක් එල්ල වූ බව ඔස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් සඳහන් කර තිබේ.
මේ වන විට විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පෙර සිටි සංඛ්‍යාවට වඩා 10% කින් ඉහළ ගොස් ඇති අතර, පෞද්ගලික වෘත්තීය අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතන සංඛ්‍යාව 50% කින් පමණ වර්ධනය වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

“ශිෂ්‍යයන් යළි පැමිණ ඇති නමුදු ඇතැමුන් පහසුවෙන් මුදල් ඉපයීම සඳහා මෙම ක්ෂේත්‍රය අයුතු විදිහට භාවිත කරන බවද දැකිය හැකියි” යනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

භාෂා කුසලතා නොමැති සිසුන් බඳවා ගැනීම, දුර්වල අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබා දීම සහ අධ්‍යාපනය ලැබීම වෙනුවට රැකියා අවස්ථා ලබා දීම සඳහා පුද්ගලයන් බඳවා ගැනීම ඇතුළු “ආචාරධර්ම විරෝධී” ක්‍රියා සම්බන්ධයෙන් ඇතැම් අධ්‍යාපන ආයතනවලට ඔස්ට්‍රේලියානු රජය මින් ඉහත චෝදනා කර තිබිණි. ජාත්‍යන්තර සිසුන් සඳහා අවම ඉංග්‍රීසි භාෂා දැනුම සහ දෙවැනි වරට අධ්‍යයන වීසා බලපත්‍ර සඳහා අයැදුම් කරන පිරිස සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට ද මේ වන විට පියවර ගෙන ඇති අතර එමගින් නීති විරෝධී කටයුතුවල නිරත පිරිසට එරෙහිව පියවර ගැනීමට ද නියමිතය.

අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර ඇති පරිදි 2025 දී රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් 145,000 දක්වා සීමා කෙරෙන අතර එම සංඛ්‍යාව 2023 වසරේ පැවැති ශිෂ්‍ය සංඛ්‍යා මට්ටමට සමාන යැයි ප්‍රකාශ කරයි.

පෞද්ගලික විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාල නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා ජාත්‍යන්තර සිසුන් 30,000ක් අලුතින් බඳවා ගැනීමට හැකිවන අතර වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ආයතන සඳහා බඳවා ගත හැකි සංඛ්‍යාව 95,000 දක්වා සීමා කෙරේ.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ජනගහනය ඉතා ඉහළ මට්ටමක පවතින අතර ඉන් නිවාස සහ යටිතල පහසුකම් ගැටලු නිර්මාණය කර ඇතැයි ද ඒ සඳහා විසඳුමක් ලබාදීමට මෙම සීමාවන් උපකාරී වනු ඇතැයි ද අධ්‍යාපන අමාත්‍ය ක්ලෙයාර් සඳහන් කර ඇත.
එහෙත් උසස් අධ්‍යාපන ආයතන පෙන්වා දෙන්නේ සංක්‍රමික ගැටලු සඳහා මෙවැනි සීමා පැවතීම අදූරදර්ශී ක්‍රියාවක් බව හා මෙම සීමා මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය කඩා වැටෙන බවත්ය. 2022-23 දී ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 36.4 (පවුම් බිලියන 18.7, ඩොලර් 24.7) මෙම ක්ෂේත්‍රය මගින් උපයා දී තිබූ අතර එය එම වසරේ රටේ සිව්වැනි විශාලතම ආදායම එය විය.

සිඩ්නි විශ්වවිද්‍යාලය මගින් 2024 වසර මුලදී කරන ලද ආර්ථික වැඩසටහනකට අනුව විදේශීය සිසුන් අඩකින් පමණ අවම කිරීම තුළින් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 4.1 ක් පමණ අලාබයක් සිදුවිය හැකි අතර 2025 දී රැකියා 22,000 ක් පමණ අහිමි විය හැකි යැයි හඳුනාගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාල නියෝජනය කරන ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියකු වන විකී තොම්සන් සඳහන් කරන්නේ යෝජිත නීති “කෲර” සහ “මැදිහත්වීම්” (draconian and interventionist) ලෙසිනි. එය ආර්ථිකයට හානිදායක ක්‍රියාවක් ලෙස ඔහු හඳුන්වයි. නව නීති මගින් ඇතැම් අධ්‍යාපන ආයතනවලට ආර්ථික අපහසුතා ඇතිවිය හැකි බව ක්ලෙයාර් පිළිගනියි. එහෙත් මෙම සීමා මගින් අධ්‍යාපන කර්මාන්තය අඩපණ කරන්නේය යන මතය ඔහු ප්‍රතික්ෂේප කරයි.

බීබීසී සංදේශය වෙබ් අඩවිය අනුව ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදෙස් සිසු සිසුවියන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරන හෙයින් මෙම තීරණය ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ඍජුවම බලපානු ඇතැයි සඳහන් කර තිබේ.
2022-23 මූල්‍ය වර්ෂයේ දී ශ්‍රී ලාංකිකයන් 13,334 දෙනකු තාවකාලික ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවට ගොස් ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. එම වසරේ ශ්‍රී ලාංකිකයන් සඳහා ඔස්ට්‍රේලියාව නිකුත් කළ සමස්ත තාවකාලික වීසා සංඛ්‍යාවට සාපේක්ෂව එහි ප්‍රතිශතය 19% ඉක්මවයි.

මේ අතර, 2021-22 වසරේදී ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තාවකාලික ශිෂ්‍ය වීසා 5,528ක් නිකුත් කර ඇති අතර, ඒ අනුව, පසුගිය වසරේ දී ශිෂ්‍ය වීසා නිකුත් කිරීම දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව 2022 ජූනි මාසයේ දී කරන ලද සංගණනය අනුව එරට වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් සංඛ්‍යාව 145,430කි. ඉන්, 52% ක් පුරුෂයන් වන අතර 48% ක් කාන්තාවන්ය. ඒ අනුව, ඔස්ට්‍රේලියාවේ වෙසෙන වැඩිම සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් පැමිණි රටවල් අතර ශ්‍රී ලංකාව 11 වැනි ස්ථානයේ පසු වෙයි.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා