ජනාධිපතිවරණය දැන් උණුසුම් වෙමින් රටේම කතාබහට ලක්වෙමින් ළංවෙමින් තිබේ. මෙවර දැකගත හැක්කේ ඉතා තියුණු තරගයකි. මේ අතර ප්‍රධාන පක්ෂ අතර සමාජ මාධ්‍ය යොදාගනිමින් සිදුකරන අවලාද සහ මඩ ප්‍රචාර ද බහුලව දැකගන්නට ලැබේ. අතීතයේ පක්ෂවලට මඩ ගැසීමට තිබුණේ පෝස්ටර් සහ පත්‍රිකා වුවද අද ඒ තැන සමාජ මාධ්‍ය විසින් අත්පත් කරගෙන තිබේ. යූ ටියුබ්, ෆේස්බුක්, වට්ස්අැප්, ඉන්ස්ටග්‍රෑම් වැනි මාධ්‍ය එහිදී භාවිතයට ගැනේ. පිරිසක් යූටියුබයෙන් මැතිවරණ මත විමසුම්වල යෙදෙති. තවත් පිරිසක් අපේක්ෂකයන්ගේ කතා සංස්කරණය කරමින් ප්‍රවර්ධනය කරති. මේ අතර ඒ ඒ පක්ෂවලට වාසි අවාසි සිදුවන අන්දමේ මඩ වීඩියෝ නිර්මාණය ද වෙනම වෘත්තියක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ මැතිවරණ සඳහා සමාජ මාධ්‍ය භාවිතය දක්නට ලැබෙන්නේ 2004 මහ මැතිවරණයේ සිටය. 2010 දී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකාත්, 2015 දී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ව්‍යාපාර සඳහාත් ෆේස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය බහුලව යොදාගන්නා ලදී. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් සමාජ මාධ්‍ය ප්‍රචාරණය සඳහා වෙනම කණ්ඩායම් යොදවා කටයුතු කළ අතර ඔහුට විරුද්ධව එවකට පාලක පක්ෂයේ සංවිධානයෙන් මඩ ප්‍රචාර ද බහුලව සිදුවිය. පසුව පැවති 2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණයට ද සමාජ මාධ්‍ය විශාල වශයෙන් උපකාරී විය.
2024 ජනාධිපතිවරණ සටනේ දී ද ආකර්ශනීය අයුරින් නරඹන්නා කුල්මත වන මඩ ප්‍රචාරණය හිස ඔසවමින් වයිරල් වෙමින් පවතී. සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහට, සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට මෙන්ම ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ද විවිධ පාර්ශ්වවලින් මඩ එල්ල කිරීම වැඩිවෙමින් පවතින බවයි. ජනාධිපති රනිල් සහ සජබ මන්ත්‍රී මරික්කාර් අතර සිදුවූ බව කියන පෞද්ගලික කතාබහක් ඇතුළත් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය කළඹමින් වයිරල් බවට පත්වෙමින් තිබේ. එහි සිදුවන්නේ වාහන බලපත්‍රයක් ලබාගැනීමට ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමකි. ඒ අතර ජාතික ජන බලවේගයේ වාහන බලපත්‍ර ගැන සොයා බලා කරුණු එකතු කර ගන්න යැයි ජනාධිපතිවරයා මරික්කාර් මන්ත්‍රීවරයාට උපදෙස් දෙයි.
තුන් කොන් සටනක් බවට පත්ව ඇති ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් නිදෙනා වන ජනපති රනිල්, විපක්ෂ නායක සජිත් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර වැඩිම මඩ ප්‍රහාරවලට ඉලක්ක වන අපේක්ෂකයන් බවට පත්ව සිටිති.
මෙහි සමාජ විද්‍යාත්මක පැත්ත ගැන අප සමඟ අදහස් දැක්වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සාලිය කුලරන්නය:
“බොහෝ දෙනා මැතිවරණයක් ආසන්න වන විට තමන්ට අකමැති අපේක්ෂකයන්ගේ වැරදි දකිමින් මඩ ප්‍රචාරය කරනවා. ඔවුන් දෝෂ දර්ශනයට ලක් කරනවා. නමුත් ඒ දොස් පතුරුවන පුද්ගලයා තමන්ගේ වැරදි දකින්නේ නැහැ. දොස් නැති කෙනෙක් මේ ලෝකයේ බිහිවෙලා නෑ. සුභාෂිතයෙත් තියෙන්නේ නිදොස් කෙනෙක් මෙදියත උපදිනේ නැත කියලා. හැමවිටම මිනිස්සු අවට හැමෝගෙම දොස් දකිනවා. තමාගේ දොස් දකින්නෙ නෑ. රටට භයානක මහා නරක පුද්ගලයකු නම් අපි ඔවුන්ගේ දොස් පෙන්වා දෙන්න ඕනෑ, පොදු යහපතට. නමුත් මෙහිදී සිදුවන්නේ තම මතයට විරුද්ධ මත දරන්නන්ට අවලාද නිර්මාණය කිරීමයි. ඔවුන් මහා වැරැද්දක් කරන බවට හුවා දැක්වීමයි. මිනිස් සිත තුළ සත්වයකු ජීවත් වෙනවානේ. ඒක අනුන්ට තත්වාරෝපණය කර පෙන්වීමයි මෙහිදී සිදුවන්නේ.”
මඩ ව්‍යාපාරයේ කැපීපෙනෙන ඉලක්කයක් බවට පත්ව ඇත්තේ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගයයි. සමහර කතන්දර ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ බිරිය ද ඉලක්ක කරගෙන ද සංසරණය වනු දක්නට ලැබේ. මේ අතර සමාජ මාධ්‍යවල බහුලව පළවන තවත් පෝස්ට්වලින් උලුප්පා දක්වන්නට උත්සාහ කරන්නේ රට යන්තම් හිස ඔසවාගෙන එන කාලයක වඩාත් සුදුසු වන්නේ නවකයකු නොව පළපුරුදු නායකයකු බවයි. එයට පිළිතුරු දෙන පිරිස් පවසන්නේ එහෙනම් දුව බැඳලා දිය යුත්තේ ද විවාහ ජීවිතය ගැන පළපුරුදු දරුවන් සිටින පුද්ගලයකුට බවයි.
ජනතාව බියට පත්කළ තවත් පෝස්ටුවක් වන්නේ ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය සඳහන් කළ බව කියැවෙන පුවතකි. ඒ දළදා පෙරහරට අලිඇතුන් යොදා ගැනීම තහනම් කරන බවයි. එහි කිසිදු පදනමක් නැති බව පසුව ඔවුන් පිළිතුරු දී තිබුණි. ඒ අතර කේ.ඩී. ලාල්කාන්ත පළ කළ අදහසක් වූ ගමට අධිකරණ බලය විමධ්‍යගත කිරීම තවත් දරුණු කර ප්‍රචාරය කිරීම ද සිදු වේ. එහිදී ඔහු අදහස් කර ඇත්තේ දැනටත් පවතින සමථ මණ්ඩල ක්‍රමය තවත් දියුණුවට පත් කිරීම බව පසුව සඳහන් කර තිබුණි. නමුත් විරුද්ධ පාර්ශ්ව තවමත් එම කතාවලට බොරු එකතු කර ප්‍රචාරය කරනු පෙනේ.
ජාතික ජන බලවේගය අපහාසයට ලක් කිරීමට යොදා ගන්නා තවත් කතාවක් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති රැස්වීමක දී පැවසූ ”අපි උඩට හොඳ ඇඳුම් ඇන්දත් යටට අඳින ඇඳුම් දිරා ගොස් හිල්ව ඇතැයි” කියන කතාවයි. ඔහු එහිදී පැවසුවේ එම යට ඇඳුම් වේලෙන්නට වැලක දැමිය නොහැකි බවත් ලංකාව යට ඇඳුම් පෙන්විය නොහැකි රටක් බවත්ය. ඉන්පසු ඔහු සඳහන් කළේ ඔවුන්ගේ පාලනයක දී එම තත්ත්වය වෙනස් කර හැමටම සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමට කැපවන බවයි. මේ අතර අපේ මතකයට පිවිසියේ අරගල සමයේ දී නන්දෙට ජංගියක් නමින් විරෝධතාවක් පාර්ලිමේන්තු වටරවුම අසල පැවති අන්දමයි.
ජනපති රනිල්ට ද වදින මඩවලින් අඩුවක් නැත. ඔහු ඉලක්ක කර පැරණි වීඩියෝ සංස්කරණය කර තැනූ පෝස්ට් බහුලව ෆේස්බුක් සහ වට්ස්අප් මාධ්‍යවල සංසරණය වේ. ජනාධිපතිවරයා නම් ඒවාට පිළිතුරු දෙනු අප දුටුවේ නැත.
මෙවර ජනා¬ධි¬ප¬ති¬ව¬රණ සම¬යේ දී සමාජ මාධ්‍ය ¬ජාල භාවිතය ඉතා ඉහළය. සෑම ප්‍රධාන අපේක්ෂකයකුම තම ප්‍රචාරණ කටයුතු සඳහා සමාජ මාධ්‍ය උපයෝගී කර ගන්නා අතර මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරය ද දැකගත හැකිය. මැති¬ව¬රණ කොමි¬ෂන් සභාව මගින් ගැසට් පත්‍ර¬යක් මගින් ප්‍රකා¬ශ¬යට පත් කර තිබෙන, ජන¬මාධ්‍ය ආචා¬ර¬ධර්ම, උප¬මාන සමාජ මාධ්‍ය සඳහා ද අදාළය. ඒ ගැන අවධානය යොමුකරන බවක් නම් නොපෙනේ. ඒ පිළි¬බඳ එහි නියෝජ්‍ය කොම¬සා¬රිස් (ආර¬වුල් නිරා¬ක¬රණ) පියුමි ආටි¬ගල මෙනවිය ඉකුත්දා මාධ්‍ය දැනු¬ම්වත් කිරීමේ සම්මන්ත්‍රණයේදී මෙසේ සඳහන් කර සිටියාය: “අද වන විට බොහෝ ජනමාධ්‍ය ආයතන සමාජ මාධ්‍ය ගිණුම් අරඹා තිබෙනු හඳුනා ගත හැකියි. ඒ හැරෙන්නට තවත් සමාජ මාධ්‍ය ගිණුම් රාශියක් බිහි වී තිබෙනවා. මේ නිසා කලෙක සිටම මැතිවරණ කොමිෂන් සභාව මගින් ජනාධිපතිවරණ, මහ මැතිවරණ ආදී ඡන්ද කාලවලදී සමාජ මාධ්‍ය නිරීක්ෂණ කටයුතු කරනවා. ඒ සඳහා කොමිසම සතුව වෙනමම කණ්ඩායමක් සිටිනවා. වර්ෂ 2019 ජනාධිපතිවරණය, 2020 මහ මැතිවරණයේදීත් එය එසේම සිදුවුණා. විශේෂයෙන්ම පිටතින් එන පැමිණිලි බොහොමයක් සමාජ මාධ්‍ය මගින් මැතිවරණ නීති කඩ කිරීම හා බැඳෙනවා. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්, ස්වේච්ඡා කණ්ඩායම්, සිවිල් සමාජය ආදියෙන් ඒ පැමිණිලි අපට ලැබෙනවා. මේ කරුණු සැලකිල්ලට ගෙන සියලු ජනමාධ්‍ය ආවරණය වන පරිදි මැතිවරණ සමය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර තිබෙන, ජනමාධ්‍ය උපමාන ඇතුළත් ගැසට් පත්‍රයෙහි වැඩි ඉඩක් සමාජ මාධ්‍ය වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ පිළිබඳ සියලු ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්, ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමටත් කටයුතු කර තිබෙනවා. මේවායින් තවත් අපේක්ෂකයකුට අපහාස කිරීමක්, අවැඩක්, අගතියට පත්වීමක් නොවන්නටත් වගබලා ගත යුතුයි. නීති කඩ කිරීම් වන බවක් පෙනෙන්නට තිබේ නම් ඊට මැතිවරණ කොමිෂන් සභාවට මැදිහත් විය හැකියි. විකෘති කරන ලද පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම මෙහිදී බොහෝ විට දක්නට පුළුවන්.”
කෙසේ වුවත් වැරදි තොරතුරු සමාජගත කිරීම වළක්වාලීමට එම සමාජ මාධ්‍ය සමාගම්වලින් ඒවා ඉවත් කරගන්නා ලෙස ඉල්ලීම් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරන බව සඳහන් කර තිබුණි. Facebook, YouTube, Instagram සහ Twitter ආයතන එම ඉල්ලීමට අනුව පැයක් ඇතුළත වැරදිසහගත තොරතුරු සහිත අන්තර්ගතයන් ඉවත් කර ගැනීමට එකඟ වී තිබේ.
ඒ අනුව අපට කිව හැක්කේ කියන්නා කොහොම කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බවය. ඡන්දදායකයා බුද්ධිමත් වූ විට සයිබර් මඩවලට කළ හැකි දෙයක් නැත.
• කුසුම්සිරි විජයවර්ධන