2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ප්‍රතිපත්ති ප්‍රකාශ

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 68

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කිහිප දෙනකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල අඩංගු ප්‍රමුඛ ආර්ථික කරුණු ඔස්සේ බදු සහ රැකියා වැටුප් පිළිබඳ ඉලක්ක සහ පොරොන්දු පිළිබඳ තොරතුරු සොයා බැලීමට අපි තීරණය කළෙමු. ඔබගේ දැනගැනීම පිණිස සංක්ෂිප්ත ලෙස පහත තොරතුරු දක්වමු. මේ හා සම්බන්ධව සංසන්දනාත්මක විග්‍රහයක් කොට ඒවා ඉටුකිරීමට ඇති හැකියාව ද මැන බලා අනාගතය තීන්දු කිරීමේ වගකීම ඔබ සතුය.

නොසැලෙන නිෂ්පාදන ආර්ථිකයක්

අනුර කුමාර දිසානායක

ජාතික ජන බලවේගය

ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මූලික කර ගනිමින්, මානව සම්පත් සංවර්ධන සැලැස්මක් හා තාක්ෂණික සංවර්ධන මාර්ග සිතියමක්, නිර්මාණය කොට එකිනෙක බද්ධ වූ නොසැලෙන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන බව අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා සඳහන් කොට තිබේ.

ඒ අනුව 2030 දී ඇ.ඩො. බිලියන 120ක තථ්‍ය දළ දේශීය නිෂ්පාදිතය (Real GDP) ඉලක්කයක් සහිතව තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ඉලක්කයයි.
බදු පිළිබඳ ඉලක්ක සහ පොරොන්දු

  • යන්ත්‍ර සූත්‍ර සඳහා ප්‍රාග්ධන වියදම්වලින් සමාගම් ආදායම් බදු සඳහා අඩු කළ හැකි ක්ෂය දීමනාව 120% දක්වා වැඩි කිරීම මගින් නිෂ්පාදනය දිරිගැන්වීම.
  • දේශීයව නිෂ්පාදනය කරන කිරි, බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර, ළදරු කිරි ඖෂධ, පාසල් පොත් හා උපකරණ, සඟරා, පුස්තකාල සේවා, කෘෂි උපකරණ, පොහොර, සූර්ය පැනල සහ උපාංග, පුනර්ජනනීය බලශක්ති ජනන යන්ත්‍ර, ආබාධ සහිත පුද්ගලයන් භාවිත කරන වාහන උපකරණ පරිපථ, දේශීය නිෂ්පාදන මෘදුකාංග, තොරතුරු තාක්ෂණ සේවා, පර්‌යේෂණ හා සංවර්ධන සේවා සඳහා වැට් බද්ද 07 අනුපාතයට ගෙන ඒම.
  • ආදාන වැට් බද්ද (Input VAT) මත වන අපනයන සංවර්ධන බදු අපනයනකරුවන්ට කඩිනමින් ආපසු ලබා දීම.
  • බදු තක්සේරු කිරීම, බදු වාර්තා ගොනු කිරීම, බදු ගෙවීම හා අතිරික්ත බදු ආපසු ගෙවීම සඳහා ජංගම දුරකථන මගින් ගෙවීමේ පහසුකම් ද සහිත මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දීම.
  • ක්ෂුදු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයනය ක්‍රමය යටතේ (TIEP) අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ආනයනය සඳහා පහසුකම් සැලසීම.
  • ජාත්‍යන්තර ගනුදෙනු සහ හුවමාරු (Transfer Pricing) මත සිදුවන කාන්දුවීම්, බදු පැහැර හැරීම්, ඌන ඉන්වොයිසින් හා අධි ඉන්වොයිසින් වැළැක්වීමට රටවල් අතර ස්වයංක්‍රීය තොරතුරු හුවමාරුව (Aeol) වැනි ක්‍රියාමාර්ග හඳුන්වා දීම.
  • රැකියා සහ වැටුප් පිළිබඳ පොරොන්දු
  • නවීන තාක්ෂණය භාවිතයෙන් වැඩ කරන කාලය ක්‍රමිකව අඩු කිරීම හා නිවසේ සිට වැඩ කිරීමට ඇති අවස්ථා.
  • විශේෂ හේතූන් මත ශ්‍රම බලකායට ඇතුළත් වීමට නොහැකි වූ අයට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අන්තර්‌කාලීන දීමනාවක්.
  • වයස අවුරුදු 5ට අඩු දරුවන් හෝ වයස අවුරුදු 80 ට වැඩි රෝගී දෙමාපියන් රැකබලා ගැනීම සඳහා මූලික වැටුපෙන් 25% ක් සමඟ උපරිම වසරක කාලයක් සඳහා නිවාඩු.
  • කාලත්‍රයා මියගිය අවස්ථාවේ දී සති දෙකක විශේෂ නිවාඩුවක්.
  • උපයන විට බද්ද වෘත්තිකයන්ට අසාධාරණයක් නොවන පරිදි සංශෝධනය.
  • 20,000ක් දෙනා ගුරු වෘත්තියට යොමු කිරීම.
  • විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, ගණිත (STEM) උපාධිධාරීන් 3000ක් සහ STEM  නොවන උපාධිධාරීන් 9000 ක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට.
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, රේගු දෙපාර්තමේන්තුවට, විදේශ සේවාවට, සංචාරක කර්මාන්තයට තවත් 3000ක්.

ථේරවාද ආර්ථිකය ගුරුකොට ගනිමු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ස්වාධීන අපේක්ෂක

ථේරවාද ආර්ථිකය නමින් නව ආර්ථික වැඩපිළිවෙළක් ජනපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කොට තිබේ. අනුරාධපුර රාජධානි සමයේ ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් ආර්ථික සමෘද්ධිය ළඟා කරගත් ආකාරය ගුරු කොටගෙන,

මෙම ආර්ථික වැඩපිළිවෙළ සකස් කොට ඇති බව වික්‍රමසිංහ මහතා සඳහන් කොට ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන සබඳතා තවදුරටත් ඉදිරියට රැගෙන යමින් ජනතාවට සහන ලබා දෙන බව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා තිබේ.

බදු පිළිබඳ ඉලක්ක සහ පොරොන්දු

රටේ පැවති ආර්ථික තත්ත්වය තුළ බදු පැනවීම අකමැත්තෙන් කරන්නට සිදුවූවක් බවත්, රට ස්ථාවර වීමත් සමඟ බදු සහන ලබා දෙන බවත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇත්තේ බදු පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරමිනි.

  • දැනට ක්‍රියාත්මක වන බදු ස්ථර අතර පරතරය පුළුල් කරවීමටත්, බදු ප්‍රතිශත සංශෝධනය කිරීමටත් යෝජනා ඉදිරිපත් කර ඇත. තව නොබෝ දිනෙකින් ඒ යෝජනා ක්‍රියාත්මක කරවීමට අපට අවස්ථාව උදා වේ.
  • මේ සහනයට අමතරව වෘත්තීය නිපුණයන්ට බද්දෙන් නිදහස් සේවා දිරි දීමනාවක් ගෙවීමටත් පියවර ගනිමු.
  • අතුරු බදු හේතුවෙන් බොහෝ දෙනකු පීඩාවට පත් වී සිටින නිසා, අප ක්‍රමානුකූලව අතුරු බදු අහෝසි කිරීමට පියවර ගනිමු.

රැකියා සහ වැටුප් පිළිබඳ පොරොන්දු

රාජ්‍ය සේවයට ඉර සේවය

  • 2025 පාදක වසර ලෙස සලකා සියලුම රජයේ සේවකයන්ට (සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව මාසිකව රු. 25,000/- ක් ගෙවීම.
  • රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 24% ක අවම ප්‍රතිශතයකින් වැඩි කර, ජීවන වියදම් දීමනාව සමඟ දළ වැටුප රු. 55,000/- ක් ලෙස සලකා අනිකුත් සියලුම තනතුරු සඳහා මුලික වැටුප ඒ අනුව ගැලපීම.
  • වයස අවුරුදු 40 ට අඩු රාජ්‍ය සේවක සේවිකාවන්ට සේවා කාර්යක්ෂමතාව වැඩිදියුණු කරලීමට ඉවහල් වන පාඨමාලා හැදෑරීම සඳහා වසරක පඩි සහිත නිවාඩු ලබා දීම.
  • මුළු මහත් රාජ්‍ය සේවය, ඩිජිටල්කරණයට පරිවර්තනය කර, වඩාත් කාර්යක්ෂම සහ විධිමත් තලයකට ඔසවා තැබීමට පියවර ගැනීමත්, ඊට සහායක් වනු පිණිස ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් දුරකථන රාජ්‍ය සේවකයන්ට සහන පදනම මත ලබා දීම.
  • නිවසේ සිට රාජකාරි ඉටුකළ හැකි සේවාවන් නිවසේ සිට ඉටු කිරීමට අවසර ලබා දීම.
  • විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගැනීම.
  • 2025 වසර තුළ රැකියා 100,000 ක් ලබා දීමට කටයුතු කිරීම.

සමෘද්ධිමත් සංවර්ධනයක් කරා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සමගි ජන බලවේගය

සමගි ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සමාජ වෙළෙඳපොළ ආර්ථික ආකෘතියක් හරහා වර්ධනයේ ප්‍රතිලාභ සැමට ලැබෙන බවට තහවුරු කරමින් සාධාරණ වර්ධනයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ දී සමෘද්ධිමත් සංවර්ධනයක් කරා යන මාවතේ දී විනිදතාවයන්, තිරසාරභාවය මෙහිදී අවධාරණය කොට තිබේ.

බදු පිළිබඳ ඉලක්ක සහ පොරොන්දු

  • පුද්ගල ආදායම් බද්ද - මාසිකව රු. 100,000 බදු නිදහස් කාණ්ඩයෙන් අනතුරුව පුද්ගල ආදායම් බද්ද 1% ක අගයකින් ආරම්භ වී මාසිකව මිලියන භාගයක පමණ ආදායමක් දක්වා 24% කට සීමා වනු ඇත. ඉනික්බිති, වඩා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වත්මන් අනුපාතයන් අදාළ කෙරෙනු ඇත.
  • ආයතනික ආදායම් බද්ද - අපනයන මත ලාභ සඳහා දැනට පවතින 30% අනුපාතය 6% දක්වා අඩු කිරීමට සහ බහුජාතික සමාගම් සඳහා 15% පදනම් ඛාදන හා ලාභ විතැන්කරණ (Base Erosion and Profit Shiftin) අවම විකල්ප බද්දක් හඳුන්වා දීමට අදහස් කරමු.
  • එකතු කළ අගය මත බද්ද - බදු දැල පුළුල් කරනු පිණිස පොදු ඩිජිටල් යටිතල පහසුකම් හරහා බදු එකතු කිරීම වැඩිදියුණු වූ පසු එකතු කළ අගය මත බද්ද 15% දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන්නෙමු. අත්‍යවශ්‍ය ආහාරවලට අමතරව පාරිභෝගික ද්‍රව්‍ය ලෙස හඳුනාගත් ඇතැම් අයිතම එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කරනු ඇත.
  • සිගරැට් සහ මද්‍යසාර සඳහා නිෂ්පාදන බද්ද සහ කැසිනෝ සඳහා වන බද්ද, බදු අවම කිරීම සඳහා වන අරමුදල් සැපයීමට භාවිත කරනු ඇත.
  • ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම් සඳහා සහතික කළ 15% ක් දක්වා වූ පොලී අනුපාතයක් ලබා දෙනු ඇත.
  • රැකියා සහ වැටුප් පිළිබඳ පොරොන්දු
  • රාජ්‍ය අංශයේ මාසික ජීවන වියදම් දීමනාව දැනට ලබා දෙන රු. 17,800 සීමාවේ සිට රු. 25,000ක අවමයක් දක්වා ඉහළ නංවනු ඇත.
  • රජයේ සේවකයන්ගේ මූලික වැටුප ඉහළ නැංවීම.
  • රාජ්‍ය සේවය සඳහා අදාළ වන අවම මූලික මාසික වැටුප (දැනට ශ්‍රේණි සඳහා අදාළ අනුපාතයන් මත පදනම්ව 24% කින් ඉහළ නැංවෙනු ඇත.
  • රාජ්‍ය සේවයේ අවම දළ වැටුප රු. 57,500ක් වනු ඇත.
  • 2016 සිට බඳවා ගත් සියලුම රජයේ සේවකයන්ට විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග‍්‍රහය අනුව ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප් ලබා දීමට යෝජනා කරමු.
  • දැනට සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන නිලධාරීන්ට රැකියා වෙ‍‍ළෙඳපොළ තුළ තරගකාරීව රැකියා අවස්ථා සොයා ගැනීමට හැකියාව ලැබෙන පරිදි සුදුසු වෘත්තීය පුහුණුවීම් ලබා ගැනීමට රජයේ අනුග‍්‍රහය ලබා දෙනු ඇත.

ඉහත දක්වා ඇති පොරොන්දු සහ ඉලක්ක අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලින් සංක්ෂිප්ත ලෙස උපුටා ගන්නා ලද බව සැලකිය යුතුය. කෙසේ වෙතත් පොරොන්දු සහ ඉලක්ක කවදත් දේශපාලකයන් හට තිබුණු බවද, ගැටලුව වූයේ ඔවුන් ඒවා අත්පත් කර ගැනීමට දැක්වූ අසමත්භාවය මිස අනෙකක් නොවන බවද අවසානයේ සටහන් කළ යුතුය.

(අප වෙත ලැබෙන ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව සෙසු අපේක්ෂකයන්ගේ ද ආර්ථික පොරොන්දු සහ ඉලක්ක සංවාදයට ගැනීමට බලාපොරොත්තු වෙමු)

• චමිඳු නිසල් ද සිල්වා