2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

අඩුවෙන බඩු මිලේ වාසියත් වෙළෙන්දන්ට

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

ඉන්ධන මිල පසුගිය සතියේ යළිත් වරක් පහළ ගියේය. මෙම පහළ යාම සිදුවූයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබූ පසුබිමක වීම සුවිශේෂ වෙයි. මෙවර මිල පහළ දැමුවේ ජනාධිපති මැතිවරණයේ ප්‍රතිඵලයක් නිසා යැයි කියන්නෝ ද සිටිති. කෙසේ වුවද මෙම  මිල සංශෝධනයේ දී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 12 කින්ද සුපර් ඩීසල් ලීටරය රුපියල් 10 කින්ද සුපිරි ඩීසල් රුපියල් 3 කින්ද අඩු විය.

ඉන්ධන මිල පහළ ගිය ඇසිල්ලේම ප්‍රකාශයක් කළ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මිල අඩු කිරීම ඔවුන්ගේ මිල සමීකරණයේ මට්ටමට නැති නිසා බස් ගාස්තු සංශෝධනයක් කළ නොහැකි බවය. එසේම මිල අඩු කරන්නේ නම් එය සියයට දශම ගණනක අඩු කිරීමක් විය හැකි අතර එයින් මහජනතාවට ලැබෙන ලාභයක් නොමැති බවද කීවේය. ගැමුණු විජේරත්න යනු මෙවර ජනාධිපතිවරණයේ දී ආණ්ඩුවේ අපේක්ෂකයාට සහයෝගය දෙන පුද්ගලයකු බවද මෙහිදී අමතක කළ යුතු නොවේ. එසේම සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ හා රියැදුරන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් සහ සමස්ත ලංකා පාසල් සිසුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ සභාපති මල්ශ්‍රි ද සිල්වා ද ප්‍රකාශ කළේ වාහන ටයර් සහ අමතර කොටස්වල මිල ගණන්, බලපත්‍ර ගාස්තු සහ රක්ෂණ ගාස්තු ආදිය ද සලකා බැලීමේදී පෙට්‍රල් සහ ඩීසල් සුළු වශයෙන් මිල අඩු වුවද එය පදනම් කරගෙන ගාස්තු අඩු කළ නොහැකි බවය.

පාසල් බස් රථ සඳහා පළාතේ ආසන්නතම පාසල්වලට යාමට “සිසු සැරිය” බස් ඇතැම් ඩිපෝවල ක්‍රියාත්මක වුවද ඒවා පාසල් දරු දැරියන් සඳහා ප්‍රමාණවත් නොවන නිසා දුර පාසල් සඳහා අනිවාර්යයෙන්ම පෞද්ගලික පාසල් බස්රථවල සහාය තම දරුවන්ට ලබාදීමට දෙමාපියන්ට සිදු වේ. ප්‍රවාහන ගාස්තු වැඩි කෙරුණි. පසුව ඉන්ධන ගාස්තු කිහිප වරක් අඩු වූ විට ඇතැම් පාසල් බස් රථ සුළු වශයෙන් ගාස්තු පහළ හෙලුව ද වැඩි බස් රථ ප්‍රමාණයක් විවිධ හේතු කියමින් වැඩි කළ ගාස්තු එසේම පවත්වාගෙන යාමට උත්සුක විය. ත්‍රිරෝද රථ ගාස්තු ද වැඩි කළ මට්ටමේම තවමත් පවතී. කිලෝමීටරයකට අය කරන ගාස්තුව අඩු කරන බව බලධාරින් විටින් විට ප්‍රකාශ කළ ද ප්‍රායෝගික වශයෙන් බොහෝ රියවල ගාස්තු අඩු කර නොමැත. එසේම සෑම රථයකටම මීටර් සවි කළ යුතු බවට විටින් විට නියෝග පැනවුවද අදටත් කිසිදු මීටරයක් නැති රියවලින් මගීන් අදින බව දැකගත හැකිය. පළාත් සභා මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සඳහා ත්‍රිරෝද රථ අධිකාරියක් පිහිටුවන බවට වගකිවයුත්තන් පැවසුවද තවමත් එය ක්‍රියාත්මක වී නොමැති බවක් පෙනේ.

ඉන්ධන මිල කිහිප වරක් පහළ වැටුණු නමුත් එම මිල අඩුවීම්වලින් ජනතාවට ලැබුණු සහනයක් නැත. බස් රථවලට, භාණ්ඩ ප්‍රවාහන වාහනවලට, කන්ටේනර්වලට, වෑන් රථ සහ මෝටර් රියවල මෙන්ම ත්‍රිරෝද රථවල ද ගාස්තු අඩුවීමක් සිදුවූයේ නැත. මේ තත්ත්වය නිසා ඉන්ධන මිල අඩුවීමෙන් පාරිභෝගිකයාට ලැබුණු සහනයක් නොමැත. එසේම ගෑස් මිල ද කිහිප වරක් අඩු කළ ද, විදුලිය බිල අඩු වුවද එම මිල පහළ හෙලීම් නිසා සාමාන්‍ය ජනතාවගේ ආහාර හා පාරිභෝජන භාණ්ඩවල කිසිදු මිල අඩුවීමක් සිදුවූයේ නැත. ඇතැමුන් අඩු කළ ද ඒ ඉතාම සුළු වශයෙනි. විවිධ හේතු ඉදිරිපත් කරමින් වෙළෙන්දෝ දිගටම ජනතාව සූරාගෙන කති.

අප මෙහිදී විමසා බැලිය යුත්තේ අවුරුද්ද පුරා රුපියල් 10 – 15 ආදී වශයෙන් කිහිප වරක් මිල පහළ දමනු වෙනුවට අඩු කළ හැකි මිල පිළිබඳ ඇස්තමේන්තු කර සෑහෙන ගණනකින් එක වරක් ලෙස මිල පහළ හෙලිය නොහැකි ද යන්නය. එසේ සිදු කළා නම් වෙළෙන්දන්ට හා නිෂ්පාදකයන්ට සමාවට කරුණු නොකියා අඩු කළ මිලට සාපේක්ෂව තම භාණ්ඩවල මිල අඩු කිරීමට හැකිවනු ඇත. එවිට පාරිභෝගිකයාට යම් සහනයක් සැලසේ. මේ පිළිබඳ වෙළෙඳ අමාත්‍යංශය සහ සෙසු අමාත්‍යංශ සහ ආයතන උනන්දුවක් දක්වතොත් වෙළෙඳුන් හොරා කන ලාභයෙන් කොටසක් හෝ දුප්පත් පාරිභෝගිකයාට ලබාගැනීමට හැකිවනවා ඇත.

පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සංවිධායක සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසන්නේ මෙවර ඉන්ධන මිල අඩු කළේ පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමට නොව මැතිවරණ කටයුතුවල යෙදෙන ඡන්ද අපේක්ෂකයන්ගේ සහ ඔවුන්ට සහාය දෙන දේශපාලනඥයන්ට සහනයක් සැලසීමට බවය. සුළු වශයෙන් හෝ ඉන්ධන මිල අඩුවීම දුර ගමන් යන සුඛෝපභෝගී වාහනවලට වාසි සහගත වන අතර කිලෝමීටරයක් දෙකක් ගමන් කරන සාමාන්‍ය ජනතාවට මෙයින් රුපියලකවත් සහනයක් සිදු නොවන බවට ඔහු චෝදනා කරයි.

“පසුගිය සමයේ අපේ රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල එකවරම විශාල ප්‍රමාණයකින් ඉහළ දැමුවා. එයට හේතු ලෙස පැවසුවේ රුපියලේ අගය අවප්‍රමාණ වීම, පිටරටවල නිෂ්පාදනවලට මිල වැඩිවීම සහ නැව් ගාස්තු ඉහළ යාම ආදී හේතුයි. එතැනදී මිල වැඩිවීමට සමානුපාතිකව පමණක් මෙරට අලෙවි වන ද්‍රව්‍යවල මිල වැඩිවිය යුතු නමුත් ආණ්ඩුව එයට අතිරේක වශයෙන් තවත් මිල වැඩිකර අධික ලාභයක් ලැබුවා. මෙයින් ආණ්ඩුවට සමීපව සිටින කූඨ ව්‍යාපාරිකයන්ගේ සහ අතරමැදියන්ගේ කරල පැහීමයි සිදු වුණේ. ජනතාවට අන් විකල්පයක් නැති නිසා මේ අසාධාරණ මිල ගෙවන්න සිදු වුණා. ආණ්ඩුව මෙතැනදී අනුගමනය කළේ කල දුටු කල වළ ඉහගැනීමේ ප්‍රතිපත්තියක්.

විශාල ලෙස මිල වැඩි කරලා සුළු වශයෙන් කිහිප වාරයක් අඩු කිරීමේ වාසිය ලැබුණේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටයි. මේ වාසියෙන් ඒ අය ප්‍රායෝජන ගත්තා මිසක එය පාරිභෝගික ජනතාවට බෙදී ගියේ නැහැ. ඔවුන් නිදහසට කරුණු කියමින් සියලු වාසි තමන් සන්තක කර ගත්තා. කිහිප වරක් ස්වල්ප වශයෙන් හෝ අඩු වුණොත් ඒ සියල්ල විශාල මුදලක් වෙනවා. ඒත් ව්‍යාපාරිකයන් කියන්නේ රුපියල් 5 – 10 අඩුවෙලා මොනවා කරන්නද කියලා. මම නම් කියන්නේ මේක කුමන්ත්‍රණයක් කියලා.”
සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ හා රියැදුරන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් ද පවසන්නේ මේ අවස්ථාවේ දී ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බවකි. අඩු කරන්නේ නම් අවම වශයෙන් කිලෝමීටරයකට රුපියල් දහයක්වත් අඩු කළ යුතු අතර රුපියලකින් දෙකකින් අඩු කිරීම විහිළුවක් බවද හෙතෙම පවසයි.

“පෙට්‍රල් ලීටරය රුපියල් 167 ට තිබුණු කාලෙත් අපි දිව්වේ කිලෝමීටරයට රුපියල් 60 – 70 පමණ ගාස්තුවකට. අද ලීටරය රුපියල් 344 යි. ඉතින් තවත් අඩු කරන්න බැහැ. ලීටරය රුපියල් 250 ටවත් දුන්නොත් රුපියල් 80 කට හෝ දුවන්න පුළුවන්. අද අඩු වුණේ රුපියල් 12 යි. එහෙම අඩු කරලා ගාස්තු පහළ හෙලයි කියලා බලාපොරොත්තු වීම අසාධාරණයි. රටේ උද්ධමනය වැඩි වෙලා. හැමදේම ගණන් ගිහිල්ලා. ත්‍රිරෝද රථවලින් ජීවත් වන අයගේත් ජීවන ගැටලු උග්‍ර වෙලා. ඉතින් කොහොමද ගාස්තු අඩු කරන්නේ. මේ වෘත්තිය කරන අය සමාජයේ දුප්පත් පැළැන්තියයි.”

රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආර්.අයි.ආර්. ප්‍රසන්න;

“2020/21 දී පමණ විනිමය අනුපාතිකය දුර්වල වීම නිසා අපේ රටේ ඉන්ධන සහ ගෑස් මිල ඉහළ ගියා. ඒත් එක්කම එයට සමාන්තරව සෑම පාරිභෝගික ද්‍රව්‍යයකම මිල ඉහළ ගියා. අප පාවිච්චි කරන බොහෝ ආහාර වර්ගවලට ඉන්ධන සහ ගෑස්වල සමීප සම්බන්ධතාවක් තිබෙනවා. ශීත කළ කෑම බීම, හෝටල් කෑම, රසකැවිලි, පාන්, බනිස්, කෙටි කෑම ආදියේ මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, මස්, මාළු, බිත්තර, කරවල ආනයනය කරන අල, පරිප්පු, සීනි ආදියේ මිල ද ඉහළ ගියා. ඉන්ධන හා ගෑස්, විදුලිය ආදියේ මිල වැඩිවීමට සාපේක්ෂව එයට තුන් හතර ගුණයකින් මිල වැඩි වුණා. එහෙත් විදුලිය, ඉන්ධන සහ ගෑස් ආදියේ මිල අඩුවෙලා තියෙන විට මුලින් මිල වැඩි කළ දේවල් මිල ද පහළ ගිය යුතුයි. එහෙත් අවාසනාවකට වගේ එහෙම වෙන්නේ නැහැ. එසේම අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූ පසුත් එහි වාසිය පාරිභෝගිකයාට යා යුතුයි. ඒත් අවාසනාවකට වගේ අපේ රටේ එහෙම වෙන්නෙ නැහැ. ඒ මිල ගණන් බස්සා ගැනීමට ආණ්ඩුවට වෙනම නීති ගේන්න සිද්ධවෙන අවස්ථා තියෙනවා.

රජය ආර්ථිකය ස්ථායි කළාය කිව්වට, උද්ධමනය අඩු කළාට එහි වාසිය පාරිභෝගිකයාට එන්නේ නැහැ. මෙම ස්ථායිතාව හදලා තියෙන්නේ පාරිභෝගිකයාට විශාල බරක් දීලා. එය අසමතුලිත ස්ථාවරත්වයක්. ජනතාවට සහන නොලැබෙනවා නම් ඒ ස්ථායිත්වයෙන් ප්‍රයෝජනයක් නැහැ. මිල ගැලපුම් සූත්‍රය එක භාණ්ඩයකට දෙකකට විතරක් නොවෙයි, පාරිභෝගිකයා පාවිච්චි කරන සෑම ද්‍රව්‍යයකට අදාළ කර ගන්න ඕනෑ. මිල අඩුවීම සෑම ක්ෂේත්‍රයකටම යන්න ඕනෑ. එහෙම වෙන්නේ නැහැ. රාජ්‍ය ආයතන මෙම මිල නියාමනය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීම අඩුයි කියලයි මට හිතෙන්නේ. මුළු බරම පාරිභෝගික කටයුතු අධිකාරියට පවරලා අනිත් අය ඇඟ ගලවා ගන්නවා. අපේ රටේ උපරිම මිල තීරණය කරන්නේ වෙළෙඳ සංගම් විසින්. ඒ අයට බලය දීලා රාජ්‍ය අංශය මුනිවත රකිනවා. 

ජපන් රටේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඉන්ධන පිරවුම්හල් තියෙනවා. ලංකාවේ වගේ ඒවායේ එකම මිලක් නැහැ. පළාතෙන් පළාතට මිල වෙනස් වෙනවා. එසේ වූ විට පාරිභෝගිකයා අඩු මිල ස්ථාන සොයාගෙන යනවා. එකිනෙක අතර තරගකාරීත්වයක් ඇතිවෙනවා. මේ නිසා පාරිභෝගිකයාට ලැබෙන්නේ ලාභයක්. අපේ රටට වෙනත් රටවලට ඉන්ධන බෙදාහැරීමේ පිරවුම්හල් පිහිටුවන්න අවසර දුන්නා. බලධරයන් පැවසුවේ ඉන්ධන හල් වැඩිවීම නිසා මිල තරගයක් ඇතිවෙලා මිල අඩුවෙයි කියලා. එහෙත් සිදුවූයේ කුමක්ද? ඒවායෙත් ඉන්ධන අලෙවි කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලටයි. ඉතින් පාරිභෝගිකයාට සිදුවූ යහපතක් නැහැ. අකාර්යක්ෂමතාව නිසා මිල වැඩි වෙනවා. ඒ අකාර්යක්ෂමතාවටත් ගෙවන්න සිද්ධ වෙන්නේ පාරිභෝගිකයාටයි.

රුපියල් 5-10 අවුරුද්දට කිහිප වරක් බඩු මිල අඩු කරනවා වෙනුවට අනාගත මිල ද ඇස්තමේන්තු කරලා එකවරක් සෑහෙන ප්‍රමාණයකට මිල අඩු කළා නම් ඒ වාසිය පාරිභෝගිකයාට දෙන්න වෙනවා. එසේම වෙළෙඳ ආයතන අතර තරගයක් ඇතිවූ විට ‘ඔටෝ‘ ම මිල අඩු වෙනවා. අද පවතින තත්ත්වය අනුව මිල අඩුවීමේ වාසිය වෙළෙන්දා ඩැහැගන්නා අතර පාරිභෝගිකයාට සිදුවන්නේ හූල්ලමින් බලාගෙන සිටීමටයි. මම නම් හිතන්නේ මෙහෙම වෙලා තියෙන්නේ ආණ්ඩුව වෙළෙඳාමට අවතීර්ණ වීම නිසයි. අලෙවි කිරීම පෞද්ගලික අංශයට බාර දී ඒවා හැසිරවීමට ආණ්ඩුවට පුළුවන්. දියුණු රටවල පෞද්ගලික අංශයේ තරගයක් තියෙන නිසා නිතරම මිල අඩු වෙනවා. ලංකාවේ එහෙම නැහැ.”

• යසවර්ධන රුද්රිගු

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05