සමාජ සුබසාධනය සඳහා රාජ්‍ය මැදිහත් වීම සිදුවන ආකාරය පිළිබඳ පුරවැසියන් ලෙස අප සතු දැනුම ඉතා අවමය. ඒ නිසාම මේ වන විටත් රජය මගින් ක්‍රියාත්මක කරමින් සිටින බොහෝ සුබසාධන වැඩසටහන්වල නිසි ප්රතිලාභ පොදු සමාජය වෙත ගලා නොයන තත්ත්වයක් උදා වී තිබේ. අද දවස අප වෙන් කරනුයේ, රෝගීන් වෙත රාජ්‍ය මැදිහත්වීමෙන් ලබාගත හැකි උපකාර, තොරතුරු අනාවරණයක් සිදු කිරීමටය. මෙහිදී පළමු අප සිහියට නැගෙන්නේ ජනාධිපති අරමුදලයි.
ඒ අනුව ජනාධිපති අරමුදල හරහා රෝගීන් හට ලබාගත හැකි පහත උපකාර පිළිබඳ තොරතුරු ඔබට හෝ ඔබ දන්නා හිතවතකුට හෝ බොහෝ සෙයින් අසරණව පීඩා විඳිමින් සිටින තැනැත්තකුට ප්‍රයෝජනවත් වනු ඇත.
අරමුදල් සඳහා ඉල්ලුම් කිරීමට අයැදුම්පතක් ලබාගත හැක්කේ කෙසේද?
ජනාධිපති අරමුදල ඍජුව මෙම අයැදුම්පත් බාරගන්නා අතර ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන රෝගීන් හෝ ඔවුන්ගේ භාරකරුවන් විසින් සම්පාදනය කරගත යුතුය. අයැදුම්පත් ලබාගත හැක්කේ පහත ක්‍රමවේදයන් හරහාය.
1. ජනාධිපති අරමුදලේ වෙබ් අඩවිය මගින් (www.presidentsfund.gov.lk)
2. ජනාධිපති අරමුදල් කාර්යාලයට පැමිණ.
3. තැපැල් මගින් ලබාගත හැක. (ජනාධිපති අරමුදල් කාර්යාලයට ඉල්ලීම් ලිපියක් යොමු කිරීමෙන්)
ජනාධිපති අරමුදලෙන් ආධාර ලැබිය හැකි සැත්කම් මොනවාද?
1. හදවත් සැත්කම් (Heart Surgeries)
2. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් හෝ රුධිර කාන්දුකරණය (Kidney Transplantation or Dialysis)
3. මොළයේ සැත්කම් (Brain Surgeries)
4. පිළිකා ප්‍රතිකාර (Cancer Treatment/drugs/Injections)
5. ඇටමිදුළු බද්ධ කිරීම (Bone Marrow Transplantation)
6. උකුල්/ දණහිස්/ උරහිස් සහ වැලමිට සන්ධි බද්ධ කිරීම් (Hip/Knee/Shoulder/Elbow Replacements)
7. කර්ණසංඛ බද්ධ කිරීමේ සැත්කම (Cochlear Implant surgery)
8. කොඳුඇට පෙළ විකෘති වීම (පැති කුදය) නිවැරදි කිරීම (Scoliosis)
9. කොඳුඇට පෙළ තෙරපුම සඳහා (Spinal Cord Compression)
10. කෘතිම පාද/ අත් මිලදී ගැනීම සඳහා (Artificial Limb prosthesis)
11. තැලසීමියා රෝගීන්ට (ආසේවන පොම්පය මිලදී ගැනීමට) (Infusion Pump)
12. අක්මා බද්ධ කිරීම (Liver Transplant)
13. අක්ෂි සැත්කම් (විදේශීය රෝහල්) Eye Surgery (Foreign Hospitals)
14. අක්මාව තුළ හටගන්නා පිළිකා තත්ත්වය මර්දනය කිරීම සඳහා ප්‍රතිකාර (Trans Arterial Chemoembolization-(TACE))
15. පෙනහලු අකර්මණ්‍යතා සඳහා ශ්වසන උපකරණ ලබා දීම (Respiratory Equipment)
ආධාර ලබාගැනීමේ ක්‍රියාවලිය සකස් කොට ඇත්තේ කෙසේද?
සැත්කම්වලට පෙර සහ සැත්කම්වලට පසු ආධාර ලබා ගැනීම සඳහා ක්‍රමවේද ජනාධිපති අරමුදල විසින් සකස් කොට තිබේ. එහිදී පහත පරිදි කටයුතු කළ යුතුය.
• සැත්කමට හෝ ප්‍රතිකාරයට පෙර ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලිපි ලේඛන
1. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍රය
2. ග්‍රාම නිලධාරී නිර්දේශය හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සහිත ආදායම් වාර්තාව (අත්සන සහ නිල මුද්‍රාව සහිත)
3. නිසි පරිදි සම්පූර්ණ කරන ලද වවුචරය (අවශ්‍යතාවයක් ඇතිවුවහොත් උපයෝගී කර ගැනීම සඳහා)
4. වෛද්‍ය නිර්දේශයේ මුල් පිටපත
5. අදාළ රෝහලින් ලබාගත් ඇස්තමේන්තුව
6. අදාළ රෝගියා/ අයැදුම්කරු විසින් වෛද්‍යාධාර ඉල්ලුම් කර ජනාධිපති අරමුදල වෙත කරනු ලබන ඉල්ලීම සහිත ලිපියක්
7. ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද මුදල් බැරවිය යුතු බැංකු පොතේ (අවශ්‍යතාවයක් ඇතිවුවහොත් උපයෝගී කර ගැනීම සඳහා) සහ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත් එක බැගින්.
• සැත්කමට පසු අයැදුම් කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන
සැත්කම හෝ ප්‍රතිකාරය සිදුකොට රෝහලින් බැහැරවුණු දා සිට දින 60 ක් ඇතුළත මෙම අයැදුම් කිරීම සිදුවිය යුතුය.
ඉහත දක්වා ඇති ලිපි ලේඛනවලට අමතරව රෝහලෙන් නිකුත් කරනු ලැබූ බිල්පත් රිසිට් පත් සහ අවසාන බිල්පතෙහි ඡායා පිටපතක් යොමු කළ යුතු වේ. සැත්කම සිදු කරනු ලැබූ වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද රෝග විනිශ්චය පිළිබඳ වාර්තාවේ පිටපතක් ජනාධිපති අරමුදල වෙත යොමු කළ යුතු වේ. තවද ග්‍රාම නිලධාරී විසින් සහතික කරනු ලැබූ රෝගියා හෝ අයැදුම්කරුට අදාළ බැංකු ගිණුමේ තොරතුරු ද ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කළ යුතු අතර සැත්කමට පසුව අයැදුම් කර ඇති අය සඳහා එම ගිණුම වෙත මුදල් බැර කරනු ලබයි.
රෝහලට ලබාදෙන වගකීමේ ලිපිය ඉදිරිපත් කරනු ලබන්නේ කවදාද?
පූර්ව ඉල්ලීම්වලට අදාළව ප්‍රතිකාර ආරම්භ කිරීම සඳහා රෝහල් මෙම ලිපිය බලාපොරොත්තු වේ. ඒ අනුව ශල්‍යකර්ම හෝ ප්‍රතිකාර සඳහා යොමු කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණු පසු සහ රෝහලට ඇතුළත් වීමේ ස්ථිර දින ජනාධිපති අරමුදලට ඉදිරිපත් කිරීමෙන් පසු වගකීම් ලිපිය, රෝහලට හෝ උපකරණ ලබා ගන්නා ආයතනය වෙත ලබා දෙනු ලැබේ. පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වගකීමේ ලිපිය රෝහලට ඇතුළත් කිරීමට දින 30 කට පෙර, අනෙකුත් රෝගීන්ගේ සැත්කමට දින14 කට වගකීමේ ලිපියක් වගකීම් ලිපිය ලබාදීමට ජනාධිපති අරමුදල කටයුතු කරනු ලබයි.
ගෙවීම් සිදුවීමට ගතවන කාලය කොපමණද?
රෝගියා නිසි පරිදි අයැදුම් පත්‍රය සම්පූර්ණ කොට අදාළ ලිපි ලේඛන ද අමුණා එවා ඇත්නම්, එම ලේඛන පිළිබඳ ගැටලුවක් නොමැති අවස්ථාවලදී දින 3-5 අතර කාලයක් තුළ අදාළ ගෙවීම් සිදු කරනු ලබයි. යම් හෙයකින් රෝගියා මිය ගියහොත් අදාළ ගෙවීම් පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරයාගේ විස්තරාත්මක වාර්තාවකින් පසු සලකා බලයි.
විශේෂයෙන් දැනගන්න
රෝගීන්ට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපති අරමුදල විසින් මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව;
පහත සඳහන්
■ කරාපිටිය ශික්ෂණ රෝහල
■ මහනුවර ශික්ෂණ රෝහල
■ කොළඹ ජාතික රෝහල
■ රිච්වේ ආර්යා ළමා රෝහල
යන රජයේ රෝහල්වලදී රාජකාරි වේලාවෙන් පසුව නොමිලේ සිදු කරනු ලබන සැත්කම් වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල් ඒකකයන්හි රෝගීන් සඳහා ඉල්ලුම් කළ හැකිය.
1. විවෘත හදවත් සැත්කම් (Open heart surgery)
2. මොළයේ සැත්කම් (ජනාධිපති අරමුදලේ අනුමත සැත්කම් සඳහා පමණි) (Brain surgery)
3. කොඳුඇට පෙළ තෙරපුම (Spinal Cord Compression)
4. උකුල් අස්ථි/ දණහිස්/ උරහිස්/ වැලමිට බද්ධය
මෙම සැත්කම් සඳහා වැයවන මුදල දිරි දීමනාවක් ලෙස ජනාධිපති අරමුදල මගින් රෝහල් කාර්ය මණ්ඩල වෙත ගෙවනු ලබයි.
රජයේ රෝහල්වලින් සැත්කම් සිදුකර ගැනීමට බලාපොරොත්තු වන රෝගීන් හට දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුවන හෙයින් එය අවම කර ගැනීම සඳහා මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
සටහන - චමිඳු නිසල් ද සිල්වා
මූලාශ්‍ර - ජනාධිපති අරමුදලේ වෙබ් අඩවිය