2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

දෙවැනි මනාපය ගණන් බලන ජනාධිපතිවරණයක්ද?

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04 246

2024 ජනාධිපතිවරණ ඡන්දයට නියමිත දිනය ක්‍රමයෙන් ළඟා වෙමින් තිබේ. දේශපාලන වේදිකාව අතිශය උණුසුම්ය. මැති ඇමැතිවරුන් පමණක් නොව ජනාධිපතිවරණ අපේක්ෂකයෝ පවා පිල් මාරු කරන තැනට පත්ව සිටිති. වාර්තා දක්වන පරිදි ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දී ඇති අපේක්ෂකයන් අතරින් ඇතැම් දෙනකු මාධ්‍යවලට පවා සොයාගත නොහැකිය. පසුගිය ජනාධිපතිවරණ වාර කිහිපයේ දී දක්නට ලැබුණු මෙම ප්‍රවණතාව අවසානයේ දී එම අපේක්ෂකයන් ඉදිරියෙන් සිටින ප්‍රධාන අපේක්ෂකයකුට පක්ෂපාතී බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. තමන්ගේ ඡන්දය පවා අනෙක් පුද්ගලයකුට පවරන සිද්ධි වාර්තා වීම පිටුපස මැතිවරණ ක්‍රමය තුළ ඇති අහිංසක වරප්‍රසාද භාවිත කිරීම බව රහසක් නොවේ.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල පෙළගැස්ම අනුව ඉතිහාසයේ අනාවරණය නොවූ පැතිකඩක් සහිත ප්‍රතිඵලයක් නිකුත් විය හැකි බව නිරීක්ෂණය කළ හැකිය. බොහෝ දුරට දෙවැනි හා තුන්වැනි මනාපය ගණන් කරන්නට සිදුවන බවට ඉඟි පළවෙමින් තිබේ. මැතිවරණ කොමිසම ඡන්දය ප්‍රකාශ කිරීමේ දී අනුපිළිවෙළින් මනාපය පළ කරන ආකාරය ඉතාම පැහැදිලිව පසුගිය සතියේ දී අනාවරණය කළේය.

• කතිරය හෝ ඉලක්කම් 

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ඇති නම් හා සලකුණුවලට ඉදිරියෙන් කොටුවට ඉඩ තබා ඇති අතර ඡන්ද මධ්‍යස්ථානයෙන් සපයන පෑනක් හෝ පැන්සලක් උපයෝගී කරගෙන ඡන්දය පාවිච්චි කරන්නට සිදු වේ. කොටුවක් ඉදිරියෙන් එක කතිරයක් සලකුණු කළහොත් එය එම අපේක්ෂකයාට ප්‍රකාශ වූ ඡන්දයක් සේ සැලකේ. අංක වශයෙන් එකේ සිට තුන දක්වා මනාප තුනක් ද ඉලක්කම්වලින් පමණක් සටහන් කිරීමට ද හැකි ය. එහිදී එය මනාප තුනක් වශයෙන් පරිවර්තනය වන අතර පළමු වටයේ දී අංක එක සඳහා පමණක් වලංගු වේ. අපේක්ෂකයන් අතරින් කිසිම පුද්ගලයකු සියයට 50 ක් සහ එකක් ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නා අවස්ථාවක පළමු හා දෙවැනි වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයන් හැර අනෙක් සියලු දෙනාගේ ඡන්ද පැත්තකට කර ඒවායේ මනාපවල අංක අනුව දෙවැනි හා දෙවැනි මනාප සලකා ඡන්ද පදනම සකස් කෙරේ. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. මහ මැතිවරණය, පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණයක දී පමණක් මෙතෙක් භාවිත කර ඇති මෙම ප්‍රයෝගය මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ දී භාවිත කරන්නට ඉඩ තිබේ.

කරුණු එසේ හෙයින් වගකීමක් ඇති ඡන්දදායකයන් වශයෙන් එක ඡන්දයක් හෝ ඉලක්කම්වලින් මනාප තුනක් පළ කිරීමෙන් පමණක් තමන්ගේ අනාගත නායකයා පත්කර ගැනීමට වග බලාගත යුතුය. මෙම විධි උල්ලංඝනය වන ආකාරයකට ඡන්දය සලකුණු කර තිබුණහොත් එය අවලංගු වන බැවින් මෙම දැනුම්වත්භාවය ඉතාම වැදගත්ය.

ඡන්දයක් තමන් වෙනුවෙන් ලබාගැනීම සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයෝ සැලකිය යුතු වෑයමකය. මෙවර ජනාධිපතිවරණයේ දී පළමුවරට අනුගමනය කරන අලුත් නීතිය අනුව එක අපේක්ෂකයකුට එක ඡන්දයක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සඳහා වැය කළ හැකි මුදල සම්බන්ධ සීමාවක් තිබේ. එක අපේක්ෂකයකුගේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා වූ වියදම රුපියල් එකසිය නමයකට සීමා විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත. තිස් නම දෙනකුගෙන් යුතු පිරිස වැය කරන ධනය ගැන අවබෝධයක් ලබාගැනීම අපහසු නැත. ආණ්ඩුවට ද ජනාධිපති මැතිවරණ ක්‍රියාවලිය සඳහා වියදමක් ඇත. මෙම ධනය ගැන බැලීමේ දී නිවැරදිව ඡන්දය ප්‍රකාශ කිරීම මහත් යුතුකමකි.

• පුරුදු ඡන්ද සලකුණු 

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ සම්ප්‍රදායික මැතිවරණ ලකුණු නැත. මෑත දශකය තුළ නිර්මාණය වූ අලුත්ම පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයෝ පිරිසකි. ඡන්ද පත්‍රිකාවේ මෙම සලකුණු අනුව තමන් මනාපය පළ කරන අපේක්ෂකයා හඳුනා ගැනීමට ද සුළු වේලාවක් ගත කරන්නට සිදුවිය හැකිය. කෙසේ වෙතත් 2024 ජනාධිපතිවරණ ඡන්දය දෙස විචාරශීලීව සැලකීමේ දී ප්‍රධාන අපේක්ෂකයන් සිවු දෙනකු තම ඇප ආරක්ෂා කර ගැනීමට ඉඩ ඇතැයි විශ්වාස කළ හැකිය. එවැනි පසුබිමක් තුළ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව බෙදී යන ආකාරය ගැඹුරින් සලකා බැලුවහොත් මනාපය ලකුණු කිරීම ඉතාම වැදගත් වේ. ඇප ආරක්ෂා කර ගන්නා නමුත් ඔහු ප්‍රධාන දෙදෙනා අතර නොසිටියහොත් එම ඡන්දයට ප්‍රයෝජනයක් නොලැබේ. දෙවැනි හෝ තෙවැනි මනාපයක් පළ කර තිබුණහොත් එය අනුව විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා භාවිත කළ ඡන්දය උපයෝගී වූ බවට තෘප්තියක් ලැබේ. මැතිවරණ වේදිකාවේ දී චෝදනා ප්‍රතිචෝදනා එල්ල කරන අතර ජන සමාජය ද පක්ෂ හෝ ස්වාධීන අපේක්ෂකයන් අනුව පෙළගැසෙන නමුත් විධායක ජනාධිපතිවරයා තෝරාගත් පසු ඔහුගේ බලය සමස්ත පුරවැසියන්ටය. ඔහු මුළු රටේම, සමස්ත ජන කොටසටම පත් වූ ජනාධිපතිවරයා වෙයි. එම සාධාරණීකරණය ඉදිරියේ දෙවැනි හෝ තෙවැනි මනාපය සලකුණු කර එයට වටිනාකමක් දිනා ගැනීමේ අයිතියක් අප සියලු දෙනාටම ඇත. පුද්ගලයකුට   ස්වකීය ප්‍රතිපත්ති අනුව තෝරාගත් අපේක්ෂකයකුට ඡන්දය ප්‍රකාශ කළ ද, ඔහු වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා අතරට නොපැමිණෙන බවට සැක ඇතිවුවහොත් සිය පරමාධිපත්‍යය අපතේ නොයැවීම අරමුණු කරගෙන ක්‍රියා කිරීමට ඡන්දදායක සියලු පුරවැසියන් කල්පනා කළ යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනස්ම ලක්ෂණ ඇති ඇතැම් රටවල් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් කර මහජන නියෝජිතයන් තෝරාපත් කරගත් පසු එකම ආණ්ඩුවක් නිර්මාණය කර ගනියි. පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එකතු වන අතර ඔවුන්ගේ අරමුණ රට වෙනුවෙන් සාධාරණව ක්‍රියා කර තීන්දු ගැනීම බව මතක තබාගෙන සිටියි. ඡන්දයේ දී බෙදෙන ශ්‍රී ලාංකික ජන කොටස් ඡන්දයෙන් පසු නැවතත් බෙදී විරසක වන අතර එය අගය කළ හැකි තත්ත්වයක් ද යන්න ප්‍රශ්න කරන්නට කාලය එළැඹ තිබේ. ඡන්ද පිටියේ දී සටන් කරන නමුත් ප්‍රතිඵල සමඟ පොදුවේ සතුටු විය හැකි තත්ත්වයක් කරා ගමන් කරන්නට මෙවර ජනාධිපතිවරණයෙන් ලැබෙන අවස්ථාව අත්හැර දැමිය යුතු නැත.

• ප්‍රතික්ෂේප වන ඡන්ද 

සෑම මැතිවරණයකදීම විවිධ හේතු පදනම් කරගෙන අවලංගු වන ඡන්ද ප්‍රමාණයක් තිබේ. එය සියයට එකක සිට හත දක්වා බව පසුගිය මැතිවරණ හයක ප්‍රතිඵල පෙන්වයි. අනෙක් අතට තැපැල් ඡන්ද අතරින් ද කොටසක් ප්‍රතික්ෂේප වීම මගින් අඟවන අභ්‍යන්තරය ද වටහා ගත යුතු වේ. ස්වකීය ඡන්දය කිසිම පුද්ගලයකුට නොදී ඉවත් කිරීමේ යටි අරමුණක් සහිත බවක් ඇඟවෙන්නේය. තවත් කොටසක් එනම් ප්‍රතික්ෂේප වන ඡන්ද ප්‍රමාණයටත් ඉහළ ප්‍රතිශතයක් ඡන්ද මධස්ථානයට හෝ එන්නේ නැත. සාමාන්‍යයෙන් ඡන්දය ප්‍රකාශ කරන පුරවැසියන්ගේ ප්‍රතිශතය සියයට හැත්තෑව අසූව අතරය.

2019 වසරේ ලියාපදිංචි වී සිටි ඡන්ද ප්‍රමාණය 15,992,096 කි. 2024 වසරේ එය 17,140,354 ක් දක්වා ඉහළ ගොස් ඇත. තරුණ ඡන්ද 1,148,258 ක් අලුතින් එකතු වී තිබේ. ඉකුත්  ජනාධිපතිවරණයේ දී සියයට අසූ තුනක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇත. ශ්‍රී ලංකාවේ මැතිවරණ අයිතිය ගැන ඉහළින් කතා කරන පිරිස් ඡන්දය අහිමිවන කොටස ගැන ද ඉදිරියේ දී සාකච්ඡා කළ යුතු වේ. විදේශගතව රැකියා කරන ලක්ෂ විසි පහක පමණ පිරිසකට ඡන්දය භාවිත කරන්නට ඉඩ නොලැබේ. විදේශ සේවයේ සිටින එනම් වෙනත් රටක පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ තානාපති හා මහ කොමසාරිස් කාර්යාලයක සේවය කරන ලාංකීය පුරවැසියන්ට ද ඡන්දයක් පාවිච්චි කරන අවස්ථාව අහිමිය. මෙම පුද්ගලයන් සියලුම දෙනාට අවශ්‍ය නම් ඡන්දය දිනයේ ශ්‍රී ලංකාවට පැමිණ තමන්ට නියමිත ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රමවේදයට සහභාගී විය හැක. මෙය විශාල මුදලක් වැය වන තත්ත්වයක් බව නොකිවමනාය.

මෙවැනි පසුබිමක් ඉදිරියේ ඡන්දයක් පාවිච්චි කරන්නට අයිතියක් ඇති කොටස හා එය නිවැරදිව භාවිත කළහොත් ප්‍රතිඵලය මත ඇතිකළ හැකි බලපෑම ගැන අදහසක් ලබාගත හැකි වේ. 2024 ජනාධිපතිවරණ ඡන්දය පවතින තරගකාරී ස්වභාවය අනුව එක ඡන්දයකට පවා වෙනස් වටිනාකමක් ඇත. 2024 ඡනාධිපතිවරණ ඡන්ද පෙට්ටියට වැටෙන මනාපය පවා අලුත් සංකේතයක් විය හැකිය. ප්‍රධාන අපේක්ෂකයන් කිසිම ආකාරයකින් දෙවැනි හෝ තෙවැනි මනාපයක් ප්‍රතිවාදීන්ට පාවිච්චි කරන සේ ඉල්ලීමක් කරන්නේ නැත. මෙවැනි පසුබිමක් තුළ ඉලක්කම් භාවිත කර නිවැරදිව ඡන්දය සලකුණු කිරීම ඉතා වැදගත් විය හැකිය. ඡන්දය අවසානයේ තමන්ට නොගැලපෙන නායකයකු පත්වීමෙන් පසු පවා ඔහු නීත්‍යානුකූලව තෝරාගත් තමන්ගේ නායකයා වන බව පුරවැසියන් අමතක කළ යුතු නැති අතර එක සිට තුන දක්වා අංක අනුපිළිවෙළ අනුව මනාපය පළ කළහොත් සෑම පුරවැසියකුටම සාධාරණ ලෙස තමන්ගේ නායකයා තෝරා ගැනීමට කවර පදනමකින් හෝ දායක වූ බවට සතුටට පත් විය හැකිවනු ඇත.

• සාරා කන්දෙගොඩ