ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිකව සම්මත කර තිබේ.
මෙම යෝජනාව සම්මත වී ඇත්තේ අල්ලස් හා දූෂණ මැඩලීම සඳහා අවශ්‍ය උපදේශන සේවා ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනය මගින් 2023 වසරේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පරිත්‍යාග කළ රුපියල් මිලියන 24ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩකර ඇති බවට විශේෂ පංච පුද්ගල කමිටුව මගින් ඒකමතිකව නිර්දේශ කර ඇති බැවිනි. ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා වහාම එම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවට නීතිඥ සංගමයේ විශේෂ සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලැබුණු මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු එහි සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න, උප සභාපති නලින් ද ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, නීතිඥ නුවන් ද අල්විස් සහ නීතිඥ රශ්මිණි ඉන්දතිස්ස සමන්විත කණ්ඩායමට පැවරී තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් විවිධ අක්‍රමිකතා සිදු වී ඇති බවට විවිධ පාර්ශ්වයන් චෝදනා කර තිබිණි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මාස දෙකක් තුළ විමර්ශනයක් පවත්වා නීතිඥ සංගමයට වාර්තා කරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතාගේ සභාපතිත්වයෙන් සහ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් වන ආචාර්ය කේ. කනගඊෂ්වරන්, රියෙන්සි අර්සකුලරත්න, ඉක්රම් මොහොමඩ් හා ජෙෆ්රි අලගරත්නම් යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුත් කමිටුවක් පත් කළේය. ඒ අනුව පසුගිය 30 වැනිදා එම කමිටු වාර්තාව එළි දක්වා තිබිණි. නීතිඥ සංගමයේ සභාපතිවරයා විශ්වාසය කඩකර ඇති බවට අනාවරණ වූයේ එම වාර්තාවෙනි.
එම ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත් ලබාදීමේදී සහ පර්යේෂකයන් තෝරා ගැනීමේ කාර්යය පැවරී තිබුණේ ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාටය. ඔහු එම කාර්යයේ දී වගකීම් විරහිතව ක්‍රියා කර ඇතැයි විශේෂ කමිටු වාර්තාව පෙන්වා දී ඇතැයි වාර්තා වේ. 2024 මැයි 11 වැනි දින පවත්වන ලද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටු රැස්වීමකදී අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන තෙක් ඒ සඳහා ජයිකා ආයතනයෙන් ලැබුණු අරමුදල් පිළිබඳව හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඒ සමඟ ඇති සම්බන්ධතාව පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැනුවත් කර නොමැති බවද වාර්තා වේ. එමෙන්ම අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ වූ කනිෂ්ඨ නීතිඥවරයා හා නීතිඥවරිය සම්බන්ධව නීතිඥ සංගමයේ විධායක සභාවට නොදන්වා ඇති බවද තමන් විසින්ම පත් කරගන්නා ලද කණ්ඩායමක් හරහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවට ද නීතිඥ ප්‍රජාව සභාපතිවරයාට චෝදනා කර තිබේ. ව්‍යාපෘතිය සඳහා ලැබුණු මුදලින් රුපියල් මිලියන 19ක් එම පිරිස අතර බෙදී ගොස් ඇති බවත් ඉන් මිලියන 6ක් කෞශල්‍ය නවරත්න මහතා ලබාගෙන තිබූ අතර පසුව එය නැවත භාර දී ඇති බවද වාර්තා වේ.
පංච පුද්ගල කමිටුව පෙන්වා දී ඇත්තේ නීතිඥ සංගමයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අර්ථවත් අධීක්ෂණයක් කිරීමට අපොහොසත් වී ඇති බවටය. එම ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා සම්පත්දායකයන් තෝරා ගැනීමේ දී විනිවිදභාවයකින් යුක්තව කටයුතු සිදුවී නොමැති බවට වාර්තාවේ සඳහන්ව ඇතැයි පැවසේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ තනතුරු දරන නිලධාරී මණ්ඩලය එවැනි විශේෂ මූල්‍ය කටයුතුවලදී විනිවිදභාවයකින් හා අවංකභාවයකින් යුතුවත් උපරිම වශයෙන් විශ්වාසය රැකෙන අයුරින් කටයුතු කිරීම සෙසු පිරිස අපේක්ෂා කරන බවත් එම කරුණු මත පිහිටා තම කමිටුව මෙවැනි නිර්දේශ ඉදිරිපත් කරන බවත් එමගින් පෙන්වා දී තිබේ. සංගමය තුළ ලේඛනගත කිරීම, මූල්‍ය කළමනාකරණය ඇතුළු කරුණු සඳහා පැහැදිලි ක්‍රියා පටිපාටියක් අනුගමනය කළ යුතු බවත් ඒ සඳහා අත්පොතක් භාවිත කළ යුතු බවත් එමගින් නිර්දේශ කර ඇත. එමෙන්ම එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සාමාජිකයන් මූල්‍යමය ප්රතිලාභ නොලැබිය යුතු බවට ද නිර්දේශ මගින් පෙන්වා දී තිබේ.
නීතිඥ සංගමයේ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා එහි උප සභාපති නීතිඥ අනුර මැද්දෙගොඩ පත් කිරීමට ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වැනි සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පත්වූයේ 2023 මාර්තු 25 දිනය. ඒ හිටපු සභාපති සාලිය පීරිස් මහතාගෙන් පසුවය. ඔහු නීති ක්ෂේත්රයේ වසර 26 කට අධික කාලයක වෘත්තිය අත්දැකීම් ඇති නීතිඥවරයෙකි.
පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බව එදින ප්‍රකාශ කළ ඔහු අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වන්නේ නම් ඒ පිළිබඳව නොබියව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවට ද අවධාරණය කළේය.
ඉල්ලා අස්වීමට එන බලපෑම් හමුවේ කෞෂල්‍ය නවරත්න මහතා තමා ගත යුතු මීළඟ පියවර සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මෙය පෞද්ගලික පළිගැනීමක් ලෙස සඳහන් කරන ඔහු තමාට සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් කෙරෙන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් පුවරු අල්ලාගෙන උද්ඝෝෂණ කිරීමට තමා දිරිමත් නොකරන බැවින් හා තමාගේ ඉල්ලා අස්වීම අපේක්ෂා කරන රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇති දේශපාලන පෙළඹවීම් සහිත අතළොස්සක් පමණක් බවත් නවරත්න මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. අදාළ කරුණ සම්බන්ධයෙන් කිසිදු මූල්‍ය අවභාවිතයක් හෝ සාපරාධී ක්‍රියාවක් සිදුවී ඇතැයි යන මතයක් නීතිඥ සංගමය විසින් පත් කරන ලද කමිටුව විසින් සඳහන් කර නොමැති බවද ඔවුන්ගේ මතය වී ඇත්තේ තමන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ කළ බවට යැයි ද එය වැරදි මතයක් යන ස්ථාවරයේ තමන් සිටින බවද ඔහු සඳහන් කර තිබේ.
නීතිඥ සංගමයේ සාමාජික, ජනාධිපති නීතිඥ තාරපති ජයනාග මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ ජයිකා ආයතනය වෙතින් ඔවුන්ට ලබාදුන් මුදල් හතර දෙනකු හෝ පස්දෙනකු අතර බෙදාගෙන ඇති බවටය. ඔහුට අනුව එලෙස එක් අයකුට ලැබී ඇති මුදල මිලියන 6කි. එමෙන්ම එම ගනුදෙනු සම්බන්ධයෙන් නවරත්න මහතා නීතිඥ සංගමය හෝ විධායක කමිටුව සමඟ සාකච්ඡා කළ යුතුව තිබූ නමුත් ඔහු එසේ කිරීමට අපොහොසත් වී ඇති බවද, ඒ අනුව ඉල්ලා අස්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින බවද, ඔහු ඉවත් නොවන්නේ නම් ඔහු නෙරපා හරිනු ඇති බවද නීතිඥ තාරපති ජයනාග ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා