2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ඉන්දියාවේ බදු ගෙවීමේ “රජු” ෂාරුක් ඛාන්

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:05 119
ෂාරුක් ඛාන් ඉන්දියාවේ ඉහළම බදු ගෙවන කීර්තිමත් පුද්ගලයා ලෙස පසුගියදා වාර්තාගතව තිබේ. 2024 වසරේ දී ඔහු ඉන්දියානු රුපියල් කෝටි 92 ක් ගෙවා ඇත. 2023-24 මූල්‍ය වර්ෂයේ දී අනාවරණය වී ඇත්තේ උතුරේ චිත්‍රපට කර්මාන්තය වූ බොලිවුඩය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ දිලෙන තරු මහජනතාවට විනෝදාස්වාදය ලබා දෙනවා පමණක් නොව, ජාතියේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බවයි. මේ තොරතුරු සඳහන්ව ඇත්තේ Fortune India හි පළ වූ නව වාර්තාවකය.
බොලිවුඩයේ අසහාය තරුව, ෂාරුක් ඛාන්, බොක්ස් ඔෆිස් වාර්තා මගින් පමණක් නොව, බදු ගෙවීමේ වාර්තාවන් හිදී ද තමා ‘රජ‘ බව නැවත වරක් ඔප්පු කර ඇත. ඉන්දියාවේ බදු සෙල්ලම තුළ තමන්ට සැඟව යා හැකි අවස්ථා අපමණ තිබුණත් රුපියල් කෝටි 92 ක බද්දක් ගෙවූ ෂාරුක් ඇතුළු මේ ජනකාන්ත තරු වෙත සිය යුතුකම සිය රටට සහ ජනතාව වෙත ඉටු කිරීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ඉහළම පැසැසුම් ලැබී තිබුණි. ඔහුට දෙවැනිව සිටින්නේ ඉන්දීය රුපියල් කෝටි 80ක් බදු වශයෙන් ගෙවූ තලපති විජායි ය. සල්මාන් ඛාන් තෙවැනි ඉහළම බද්ද ලෙස ඉන්දීය රුපියල් කෝටි 75ක් ගෙවා තිබේ.
 
දමිළ සුපිරි නළු ‘තලපති’ විජේ දෙවැනි ස්ථානය ලබා ගනිමින් 2024 වසර සඳහා රුපියල් කෝටි 80 ක බද්දක් ගෙවමින් කැපී පෙනෙන තැනක් අත් කරගෙන තිබේ. ඔහු ඉන්දියානු විනෝදාස්වාද ක්ෂේත්‍රයේ ඔහුගේ ආධිපත්‍යය සනිටුහන් කරමින් බොලිවුඩයේ සුපිරි තරු කිහිපයක් ද අභිබවා ගොස් ඇත.
 
ප්‍රවීණ නළු අමිතාබ් බච්චන් ඉන්දීය රුපියල් කෝටි 71 ක බදු දායකත්වයක් ලබා දුන්නේය. සිව්වැනි ස්ථානයේ සිටින, බොලිවුඩයේ බිග් බී, බච්චන්ගේ මූල්‍ය තත්ත්වය ඉන්දියානු සිනමාවේ නිරූපකයක් ලෙස ඔහුගේ තත්වය පිළිබිඹු කරයි. තිරය මත සහ මූල්‍ය කටයුතු යන දෙකෙහිම ඔහුගේ ආධිපත්‍යයට වයස බාධාවක් වී නැති බව ඔහු ඔප්පු කර හමාරය. පස්වැනි ස්ථානය හිමි කරගත් ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ඉන්දීය රුපියල් කෝටි 66ක් බදු වශයෙන් ගෙවා ඇත. ඔහුට පසුව අජේ දේව්ගන් හයවැනි ස්ථානයට පත් වූ අතර ඔහු ඉන්දීය රුපියල් කෝටි 42 ක බද්දක් ගෙවා ඇත. හත්වැනි ස්ථානයේ පසුවන එම්.එස්. දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගියත් තවමත් බදු ගෙවීම් අතරින් ප්‍රමුඛයකු බව පෙන්වමින්, ඉන්දීය රුපියල් කෝටි 38ක බද්දක් ගෙවා ඇත. 8 වැනි ස්ථානයේ පසුවන රන්බීර් කපූර්ගේ නැගීම කර්මාන්තය තුළ ඔහුගේ වර්ධන මට්ටම පිළිබිඹු කරයි. රන්බීර් කපූර් ඉන්දීය රුපියල් කෝටි 36ක බදු මුදලක් ගෙවා ඇත. රිතික් රෝෂන්, ඔහුගේ පෙනුම සහ නර්තන චලනයන් සඳහා බොහෝ විට ජන ආකර්ෂණය ලැබූවෙකි. බදු ගෙවීමේ දී ද ඔහු ආකර්ෂණීය බව ඔප්පු කර තිබේ. ඒ ඉන්දීය රුපියල් කෝටි 28ක් බදු ලෙස ගෙවීමෙනි. විශ්‍රාම ගැනීමෙන් පසුව පවා, ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් රුපියල් කෝටි 28 ක බදු මුදලක් ගෙවා රට වෙනුවෙන් දිගටම දායකත්වය ලබා දී තිබේ. ඒ අනුව මාස්ටර් බ්ලාස්ටර්ගේ ඉපැයීම් සහ බදු දායකත්වය ඔහුව ඉහළම ප්‍රසිද්ධ බදු ගෙවන්නන්ගේ ලැයිස්තුවේ තබා ඇත.
 
මේ අනුව ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් මුල් තැන ලබා වැඩිම බදු ගෙවා තිබුණේ විරාත් කෝලි ය. ඔහු බදු ගෙවූ සියලුම කීර්තිමත් පුද්ගලයන් අතර පස්වැනියාය. එම්.එස්. දෝනි, සචින් තෙන්ඩුල්කාර් සහ හර්දික් පාණ්ඩ්‍යා, අනිකුත් ක්‍රීඩකයන්ය.
ඉහළම බදු ගෙවන්නන් 20, ලැයිස්තුවට ඇතුළත් වූ තවත් ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක් නම්, කපිල් ෂර්මා (ඉන්දීය රුපියල් කෝටි 26), සෞරව් ගංගුලි (ඉන්දීය රුපියල් කෝටි 23), කරීනා කපූර් (ඉන්දීය රුපියල් කෝටි 20), ෂාහිඩ් කපූර් (ඉන්දීය රුපියල් කෝටි 14), හර්දික් පාණ්ඩ්‍යා (ඉන්දීය රුපියල් කෝටි 13) සහ කියාරා අද්වානි (ඉන්දීය රුපියල් කෝටි 12) ය. මෝහන්ලාල් සහ අල්ලු අර්ජුන් යන දෙදෙනාම බදු වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 14ක් ගෙවා ඇත. පන්කජ් තලපති සහ කට්රිනා කායිෆ් මේ වසරේ ඉන්දීය රුපියල් කෝටි 11 බැගින් බදු ගෙවා ඇත.
 
අමීර් ඛාන් සහ රිෂාබ් පාන්ට් ඉන්දීය රුපියල් කෝටි 10 බැගින් බදු ගෙවා ලැයිස්තුවේ පිළිවෙළින් 21 සහ 22 ස්ථාන ලබා ගත්හ. අමීර් අවසන් වරට පෙනී සිටියේ Advait Chandan විසින් අධ්‍යක්ෂණය කරන ලද හාස්‍ය නාට්‍යයක් වන Laal Singh Chaddha (2022) හි ය. 1994 වසරේ තිරගත වූ ෆොරස්ට් ගම්ප් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් වන මෙම චිත්‍රපටයේ කරීනා කපූර්, නාග චෛත්‍යයා සහ මෝනා සිං ද රංගනයෙන් දායක වූහ.
ෂාරුක් 2023 දී ඔහුගේ පුනරාගමනය කළේ පතාන්, ජවාන් සහ ඩන්කි යන චිත්‍රපට තුනක් සමඟිනි. ඔහු මීළඟට දකින්නට ලැබෙන්නේ සුජෝයි ගෝෂ්ගේ කිංග් චිත්‍රපටයේය. ඔහුගේ දියණිය වන සුහානා ඛාන් ද මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන බව වාර්තා වේ.
 
වෙන්කට් ප්‍රභූ විසින් අධ්‍යක්ෂණය කරන ලද විජායීගේ GOAT චිත්‍රපටය ඉකුත් බ්‍රහස්පතින්දා සිනමාහල් වෙත පැමිණියේය. එහි දෙවැනි දිනය වන විට එය ඉන්දියාවේ රුපියල් කෝටි 70කට ආසන්න මුදලක් උපයා තිබුණි. GOAT හි ප්‍රභූ දේවා, ප්‍රශාන්ත්, මෝහන්, අජ්මාල් අමීර්, මීනක්ෂි චෞද්‍රි, ස්නේහා, ලයිලා, වෛභව්, යෝගී බාබු, ප්‍රේම්ගි අමරෙන්, යුගේන්ද්‍රන්, වීටීවී ගනේෂ් සහ අරවින්ද් ආකාෂ් ද ඇතුළත් වෙති.
 
රසිකයන්ට සල්මාන් මීළඟට දකින්නට ලැබෙන්නේ ඒ.ආර් මුරුගදෝස්ගේ සිකන්දර් චිත්‍රපටියෙනි. මෙම චිත්‍රපටය ලබන ඊද් දිනයේ දී තිරගත වීමට නියමිතයි. රශ්මිකා මන්දන් ද මෙහි රඟනු ඇත.
 
• සුගත්
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:02