2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

රනිලුයි අනුරයි අතරෙයි ඩීල් එක තියෙන්නෙ

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 10
නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
  • වැඩිහිටියෙක් අපේක්ෂකයා වුණාම කියනවා නාකි වැඩියි කියලා. තරුණයෙක් ආවම කියනවා තරුණ වැඩියි කියලා
  • මම ආවොත් ජනතාව අසීමිත බදු බරෙන් නිදහස් කරනවා
  • රනිල් මහත්තයලා තමයි අරගලය මෙහෙයවුවේ
  • මේ රට ණය කළේ යහපාලන ආණ්ඩුව
  • පක්ෂයෙන් ගිය සමහරුන්ට පක්ෂය විනාශ කළ බවට චෝදනා තියෙනව
  • මගේ වත්කම්වලින් සීයට අනූවක් නෝනගෙ වත්කම්
  • ඔය මොන රැල්ල ආවත් ජනතාව ඡන්දය දෙන්නෙ රට ජාතිය ආගම ගැන හිතල
 
ඔබ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා. කොහොමද ඔබේ ඡන්ද ව්‍යාපාරයේ තත්ත්වය මේ වෙද්දි?
 
අපි සති පහක මැතිවරණ ව්‍යාපාරයක් තමයි ක්‍රියාත්මක කළේ. පක්ෂයක් හැටියට අපි දේශපාලනය කළා. ඒකට හේතුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ තිබුණු ලොකුම අඩුපාඩුව තමයි අපි දේශපාලනය නොකිරීම. ඒ අඩුපාඩුව අපි හඳුනා ගත්තා. ඒ නිසා පහුගිය අවුරුදු දෙකේම පාක්ෂිකයෝ, ශාඛා සමිති එක්ක ගනුදෙනු කළා. අපි මේ මැතිවරණ ව්‍යාපාරය ඉතාම පරිස්සමෙන් මැතිවරණ නීතිවලට ගරු කරමින් කරගෙන යනවා. ඒ වගේම හැම ආසනයකම අපේ පාක්ෂිකයෝ හම්බවෙන්න කටයුතු කරනවා.
 
ඔබ රාජපක්ෂවරයෙක්. රාජපක්ෂවරු සම්බන්ධයෙන් එල්ල වෙන්න පුළුවන් දරුණුම විරෝධය 2022 දී එල්ල වුණා. ජනාධිපතිකම්, ආණ්ඩු දාලා යන්න වුණා. ඒක විශාල කඩා වැටීමක්. එහෙම තත්වයක් තුළ නාමල් රාජපක්ෂට තියෙන ජනතා පිළිගැනීම කොහොමද?
 
ඉතාම අභියෝගාත්මක අවස්ථාවක්. ඡන්දදායකයන්ට, පක්ෂයට අපිව ඕනෑ අවස්ථාවක තමයි ඉදිරිපත් වුණේ. මේ වෙලාවේ අපේ වගකීම ගන්න ඕනෑ. මම තරුණයෙක් විදිහට, දේශපාලන පරිසරයක හැදුණු කෙනෙක් හැටියට ඒ අභියෝගය ගන්න එක තමයි මගේ වගකීම. මොන ප්‍රශ්නය වුණත් අපි පාක්ෂිකයව දාලා ගියේ නෑ. ආරක්ෂා කළා. ඒ වගේම රටත් ආරක්ෂා කළා. පැනලා ගියේ නෑ. විශේෂයෙන් අරගල කරලා, පාක්ෂිකයන්ට ගහලා, මන්ත්‍රීවරයෙක් ඝාතනය කරලත් අපි පැනලා ගියේ නෑ.
 
ඒත් ආණ්ඩුව අතහරින්න වුණානේ?
 
නෑනේ. අපේ ජනාධිපති කෙනෙක් අපේ කැමැත්තෙන් පත් කරලා, අපේ ආණ්ඩුවක්ම තමා ක්‍රියාත්මක වුණේ. අපේ වගකීම අපි ඉෂ්ට කළා. පැනලා ගියේ නෑ. මේ රටේ දේශීය සම්පත්, මේ රටේ ආර්ථිකය, රට ආරක්ෂා කිරීමේ වගකීම අපිට තියෙනවා.
 
ඇත්තටම ඉදිරිපත් වුණේ පක්ෂයේ නායකත්වයක් ගන්න නායකයෙක් නැති මොහොතක පාක්ෂිකයා රැකගන්නද?
 
පැහැදිලිවම. අපිට වගකීමක් තියෙනවා, අපේ කඳවුර ආරක්ෂා කරන්න. බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ එක්සත් ජාතික පක්ෂය තුළ අපේ ප්‍රතිපත්ති තිබුණේ නැති නිසා. මහින්ද රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වුණු නිසා. අන්න ඒ පාරම්පරික වගකීම ඉෂ්ට කරන එක අපේ යුතුකමක්. දේශීය චින්තනය, ඒකීය රටක් අපේක්ෂා කරන කඳවුර තනි වෙන්න පුළුවන්. අන්න ඒ නිසයි අපි ඒ වගකීම ගන්නේ.
 
එහෙම ඒ වගකීම ඔබ ගන්නවා කියනවා. ඒත් ඔබේ කඳවුරේ, ඔබේ පක්ෂයේ පිරිස් ඔබ ගැන විශ්වාසයක් නොතියා ඔබව හැරදාලා යනවා. දැන් මොකක්ද ඒ වෙන්නේ?
 
ඒක මේ රටේ දේශපාලනයේ හැටිනේ. ඒක අලුත් කාරණයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක එකට යුද්ධය කරපු සරත් ෆොන්සේකා මහත්තයා අතහැරලා ගියා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුවේ හිටිය මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අතහැරලා ගියා. ඒ නිසා දේශපාලනයේ දී අත්හැර යාම කියන්නේ සාමාන්‍ය දෙයක්.
 
ඒත් ඒ ගිය අය කියන්නේ, නාමල් මල්ලි හදිසි වුණා වැඩියි, නාමල් මල්ලිට තව කල් තියෙනවා, වගේ කතා?
 
ඒක එක එක අය බලන විදිහ. ඔය මට කල් තියෙනවා කියන අයට තිබුණනේ ඉල්ලන්න. වැඩිහිටියෙක් ආපුවම කියනවා වයස වැඩියි කියලා. තරුණයෙක් ආපුවම කියනවා තරුණ වැඩියි කියලා. ඒ අය කියන විදිහට පක්ෂයේ වගකීම අරන් අපේක්ෂකයෙක් තෝරාගත්තා නම් මෙහෙම වෙන්නේ නෑනේ. ඒ අය පැනලා ගිය නිසානේ ප්‍රශ්න ආවේ.
 
ඔබ ඔහොම කිව්වට ඒ ගිය අයගේ යෝජිත අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඔබටත් ඔහුට සහය දෙන්නා තිබුණා කියලා ඔවුන් කියනවා. එහෙනම් පක්ෂයත් රැකෙනවලු. කවුද එහෙනම් ඔබට ඉල්ලන්න කිව්වේ?
ඔය කියන අයම ඒ කාලේ කිව්වා, රනිල් එක්ක ඩීල් එකක් දාලා රාජපක්ෂවරු ආරක්ෂා කරගන්න ගෙනාවා කියලා. දැන් කියනවා රාජපක්ෂලට තව රැකෙන්න තිබුණලු, රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වුණා නම්. ඒ නිසා පුද්ගලයෝ රකින්නත් බෑ. පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන දේශපාලනය කරන්නත් බෑ. අපේ ප්‍රතිපත්ති තීන්දු මත තමයි දේශපාලනය කරන්නේ. ඒ නිසා අපේ ප්‍රතිපත්තිවලට එකඟ නොවෙන කණ්ඩායම් එක්ක එකතු වෙන්න බෑ.
 
ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයව ඔබලා තෝරගත්තේ?
 
ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්තයට දුන්නා නම් ගොඩක් අය එකතු වෙන්නේ නෑ. අනුර කුමාර මහත්තයට දුන්නා නම් සජිත් රනිල් මහත්වරු එකතු වෙන්නෙත් නෑ. ඒ නිසා අපි ඒ වෙලාවේ තීන්දුවක් ගත්තා අරගලය මෙහෙයවපු කෙනෙක් බලයට ගේන්න. ඒක වැඩ කළා. ඒ නිසා අපි හිතනවා හරි තීන්දුව ගත්තා කියලා.
 
ඔබ කොහොමද කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අරගලය මෙහෙයවුවා කියලා?
 
බලන්නකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයගේ කාර්ය මණ්ඩලයේ ඉන්න සියලු දෙනාම අරගලයේ හිටිය අය. ඒ අය කියනවා, ඒ අයගේ කූඩාරම් 17 ක් තිබුණා කියලා. ඉතින් ඒ කූඩාරම් ටික ගැලවිලා, මුදල් වියදම් කරපු අය ජනාධිපති කාර්යාලයේ වැඩට ගියාම ඉබේම අරගලය විසිරුණා.
 
ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපන න්‍යාය රාජපක්ෂලා ගාණට අරගලයේ දී කළානේ. ඔබ කිව්වේ එහෙමයි?
 
ඒ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීන්දුව ගත්තා.
 
මහින්ද මහත්තයගේ රූපය ගහගෙන ඡන්ද අරගෙන ආපු අයත් බහුතර දෙනෙක් මහින්ද මහත්තයා දාලා ගියා. මට කියන්නකෝ ඔබට දැනෙන විදිහට ඒ අයගේ අනාගතයට මොකද වෙන්නේ?
 
නෑ. මම හිතන්නේ ඒක ඡන්දදායකයෝ හොඳට හිතලා ගන්න ඕනෑ තීන්දුවක්. ඒ අය උඩට ආවෙත් ඒ අයට උඩින් හිටිය අය ගිය නිසානේ.
 
ඒ කියන්නේ ඒ අයගේ දේශපාලන තීන්දුව තීරණාත්මකද අනාගතයේ දී?
 
ඔව්. අපේ දේශපාලන තීන්දු එක්ක අපේ දේශපාලනය අවිනිශ්චිතයි. ඒක තීන්දු කරන්නේ පාක්ෂිකයෝ, ජනතාව. ඒක අපිට තීන්දු කරන්න බෑ.
 
අපි දැක්කා ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ අය කියනවා මහින්ද මහත්තයට, සර් මේ සැලුන් දොර ඇති, මේක වහලා දාන්න කියලා. නාමල්ගේ අදහස සැලුන් දොර වහලා දාන්නද?
 
සමහර පාක්ෂිකයෝ නොදැනුවත්කම නිසා පක්ෂය හැරදාලා ගිහින් ආයේ එනවා. ඒත් ඡන්දයෙන් පත් වුණු අය දාලා ගිහින් ආයේ ඇවිල්ලා දේශපාලනය කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා.
 
ඒ කියන්නේ පොහොට්ටුවේ ගිය අයට ආයේ එන්න පුළුවන්?
 
පාක්ෂිකයන්ට පක්ෂය විවෘතයි. මම ආරාධනා කරනවා පාක්ෂිකයන්ට, අපිව විශ්වාස කරන අයට, අපිත් එක්ක එකතු වෙන්න එන්න කියලා. නායකයන්ට ඉතින් තීන්දු ගන්න වෙනවා. මෙයාලා අපෙන් අහලවත් පාක්ෂිකයන්ගෙන් අහලවත් නෙමෙයිනේ ගියේ. ඒ නිසා එනවද නැද්ද කියන එක ඒ අයගේ තීන්දුවක්.
 
දැන් විශාල ආර්ථික අර්බුදයකට රට තල්ලු වුණේ ඔබලගේ ආණ්ඩුවක් තුළ. එහෙම වට්ටපු ආණ්ඩුවේ හිටිය ඔබ සැලැස්මක් ගේනවා ආර්ථිකය ගොඩනගන්න. මිනිස්සු අහනවා නාමල්ට පුළුවන්ද කියලා?
 
ඉස්සෙල්ලම ආර්ථිකය වැටුණේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න ඕනෑ. මේ රටේ බලශක්ති අර්බුදයක් ඇති කළේ යහපාලන ආණ්ඩුව. මොකද උමා ඔය, සාම්පූර් වගේ නවත්තලා. අනික් පැත්තෙන් ආයෝජකයෝ ගේන එක නැවැත්තුවා, පෝට් සිටි එක නවත්තලා. හම්බන්තොට වරාය විකිණුවා. ගුවන් තොටුපොළ අතහැරියා. ඒ නිසා යහපාලන ආණ්ඩුව ගමේ පාරේ ඉඳලා හයිවේ දක්වා සංවර්ධනය නැවැත්තුවා. ඊට පස්සේ පාස්කු ප්‍රහාරය. මම විතරක් නෙමේ, අනුර කුමාර මහත්තයම කියනවා වැඩිම ණය අරගෙන තියෙන්නේ ‍යහපාලන ආණ්ඩුවෙන් කියලා. ඒ ණය තමා ගෙවාගන්න බැරිව අපි මේ ඉන්නේ කියලා ඔහු කිව්වා. ඇත්තටම ඒ ආර්ථික අර්බුදයට හේතුව අපි ද නැත්නම් යහපාලනයේ මැති ඇමැතිවරුන් ද කියන එක බැලුවම පේනවා.
 
තෙල්, ගෑස් පෝලිම් ඇති කළේ ඔබලගේ ආණ්ඩුවෙන්නේ?
 
සංඛ්‍යා දත්ත අරන් බැලුවම හොයා ගන්න පුළුවන්, ඒ ප්‍රශ්න විසඳුවේ රනිල් වික්‍රමසිංහ මහත්තය ද, ගෝඨාභය රාජපක්ෂ ද කියලා. මේකේ වෙලා තියෙන්නෙම අර්බුදය ඇති කළ අය කියනවා අර්බුදය විසඳුවේ එයාලා කියලා. ඒක මැතිවරණ ව්‍යාපාරයක් සඳහා තමන්ගේ වාසියට හදපු න්‍යායක්. අපිට වැඩපිළිවෙළක් තියෙනවා. අරමුණක් තියෙනවා.
 
ඔබට අපේ රටේ ආර්ථිකය ඩොලර් බිලියන කොපමණ වටිනාකමකට ගේන්න පුළුවන්ද?
 
පැහැදිලිවම කියනවා ඊළඟ අවුරුදු දහය තුළ මම මේ රටේ ආර්ථිකය ඩොලර් බිලියන 180 ඉක්මවූ අර්ථිකයක් බවට පත් කරනවා.
 
ඔබේ වේදිකාවේ කථිකයො කියනවා ගෝඨාභය රාජපක්ෂ විනාශ කළ අය, අපේ කඳවුර විනාශ කළ අය, පක්ෂය අතහැරලා ගිය නිසා දැන් පක්ෂය පිරිසුදුයි කියලා. ඒකෙ ඇත්තක් තියෙනවද?
 
බැලූ බැල්මට ඒකේ ඇත්තක් තියෙනවා නේද? මටත් ඒක හිතෙනවා.
 
ජනතාවත් එහෙම කියනවද?
 
ජනතාවගේ මතයත් ඒක. ඒක ලොකුවට තියෙනවා.
 
මෙතැනින් පස්සේ පොහොට්ටුව වෙනස්ද?
 
පැහැදිලිවම. තාරුණ්‍යය සහ නූතනත්වය එක් කොටගත්, ඒත් සංස්කෘතිය, ආගම ආරක්ෂා කරමින් සියලුම ජාතීන් එක සේ ආරක්ෂා කරන පක්ෂයක්.
 
දැන් මේ ණය ගෙවන්න ඕනෑ, ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෑ, නිෂ්පාදන ආයෝජන මිශ්‍ර වුණු ක්‍රමවේදයක් හදන්න ඕනෑ. මේවා නාමල් රාජපක්ෂට කරන්න හැකියාවක් තියෙනවද?
 
පැහැදිලිවම. අපි මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෑ. දේශීය ව්‍යවසායකයා ආරක්ෂා කරන්න ඕනෑ. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය, බලශක්ති සුරක්ෂිතතාවය ඇති කරන්න ඕනෑ. විශේෂයෙන් ව්‍යවසායකයා අසීමිත බදු ක්‍රමයකින් මුදවා ගන්න ඕනෑ. රේගුවයි දේශීය ආදායම් බදු එකයි ප්‍රතිව්‍යුහගත කරලා රජයේ ආදායම් උත්පාදනය ගැන අවධානය යොමු කරන්න ඕනෑ. විශේෂයෙන් විදේශීය ආයෝජකයෝ මෙරටට ගෙන්වා ගැනීම සඳහා දේශපාලන තීන්දු ගන්න ඕනෑ. පළවෙනි මාස හය ඇතුළත මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්.
 
ආණ්ඩුවෙන් ගේන තර්කයක් තමයි මොන අපේක්ෂකයා ගත්තත් මේ රට දුවන්න පුළුවන් මාස හයයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයට විතරයි මේ රට කරන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. ඇත්තටම ඒකද ඇත්ත?
 
ඒක එතුමගේ මැතිවරණ ව්‍යාපාරයේ සටන් පාඨයක්. මම හිතනවා ජනතාව ඊට වඩා බුද්ධිමත් කියලා. ඔය වගේ කතා අපි පොඩි කාලේ ඉඳලා අහලා තියෙනවා.
 
ඔබ පිළිගන්නවද එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වගේම රැල්ලක් මෙවර මාලිමාවට තියෙනවා කියලා?
 
රැලි කියනවා නම් ඉතින් මෙහෙමයි. රැල්ලේ එන්නත් පුළුවන්, රැල්ලේ යන්නත් පුළුවන්.
 
ඔබට රැලිවල හොඳට අත්දැකීම් තියෙනවනේ?
 
ඔව් ඔව්, මට හොඳටම රැලිවල අත්දැකීම් තියෙනවා. ඒත් ඔය මොනවා කිව්වත් අවසානයේ ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ රට ජාතිය ආගම ගැන හිතලා.
 
විශේෂයෙන් මේ රටේ දැන් ආර්ථික ක්‍රමවේදය පාදක වෙලා තියෙන්නේ අයි.එම්.එෆ්. එකත් එක්ක. කොහොමද ඔබට ඒ සම්බන්ධ ගනුදෙනුව?
 
අයි.එම්.එෆ්. ගිවිසුම ඒක පාර්ශ්වික ගිවිසුමක් නෙමෙයි. ඒක බහු පාර්ශ්වික ගිවිසුමක්. ඒකේ හොඳ දේවල් තියෙනවා. අපි ඒවා ක්‍රියාත්මක කරනවා. හැබැයි අයි.එම්.එෆ්. එක මත යැපෙන්නේ නෑ. මොකද, ඒ හරහා රට ගොඩනගන්න බෑ. එහෙම ගොඩනගන්න දේශීය ආර්ථිකය මත පදනම් වුණු වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ.
 
ඔබේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් පහුගිය ටිකේ කතා වුණා. ඇත්තටම නාමල් මෙහෙම සල්ලි, මැණික් එහෙම කොහෙන්ද?
 
ඕක දාපු නිසානේ එහෙම කියන්නේ. හංගගෙන හිටියා නම් ඔහොම කියන්නේ නෑනේ. කාලයක් ගැහුවා දේපල හංගගෙන ඉන්නවා කියලා. දැන් ගහනවා එළියට දැම්මට පස්සේ. ඇත්ත කිව්වමත් ප්‍රශ්න. ඇත්තටම ඒ වත්කම්වලින් 90% ක්ම මගේ නෝනගේ වත්කම්. මම බැන්දේ ව්‍යාපාර පවුලකින්. මගේ බිරිඳගේ තාත්තා මගේ වයසටත් වැඩි කාලයක ඉඳන් ව්‍යාපාර කරනවා. ඒකට මම පලි නෑනේ.
 
ඇයි මේ අලුත් තරුණ නායකයෙක් වෙච්ච නාමල් රාජපක්ෂ තවම වේදිකාවල කියන්නේ මහින්ද රාජපක්ෂ තාත්තා නවත්වපු තැනින් පටන් ගන්නවා කියලා. ගොඩක් දරුවෝ තාත්තා නවත්වපු තැනින් පටන් අරන් සියල්ල විනාශ කර ගත්තා, ඉතිහාසයේ විවිධ ක්ෂේත්‍රවලදි. ඇයි නාමල්ට අලුත් Qවැඩපිළිවෙළක් නැද්ද?
 
නාමල්ගේ විෂන් එක තමයි ‘නාමල් දැක්ම’ හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි පදනම් වෙලා තියෙන්නේ දේශීය චින්තනයත් එක්ක. ඒ චින්තනය නවීකරණය වුණු එක තමයි මගේ විෂන් එක. මහින්ද රාජපක්ෂ මහත්තයා නවත්තපු හයිවේ එක ළඟින් මම ඉතුරු ටික පටන් ගන්නවා. මේ පාර නවත්වපු තැනින් මම ඉතුරු ටික පටන් ගන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒවා පටන් අරන් තිබුණේ නැත්නම් නාමල්ට ඔය සටන් පාඨ ලැබෙන්නේ නෑ.
 
නාමල් රාජපක්ෂ නාම යෝජනා දෙන්න ගියාම වැඩියෙන් ඇයි හොඳයිකම් පෑවේ අනුර කුමාර දිසානායක එක්ක. මොකක්ද දාපු ඩීල් එක?  
 
කිසිම ඩීල් එකක් නෑ. අනික් අය එක්කත් කතා කළා. අනුර කුමාර මන්ත්‍රීතුමා එක්ක කතා කළ එක අනික් අය එක්ක කතා කළ එකට වඩා වැඩියෙන් පෙන්නුවා. හැබැයි ඔයා ඔහොම ඇහුවට රනිල් වික්‍රමසිංහ මහත්තයයි, අනුර කුමාර මහත්තයයි අතරයි ඩීල් එක තියෙන්නේ කියලයි කියන්නේ.
 
නාමල්ට ඩීල් එකක් නෑ?
 
නෑ. මට ඩීල් එකක් නෑ. ඔය ඔක්කොම තාත්තගේ වයසේ අයනේ. ඒ අය එක්ක ඩීල් දාලා වැඩක් නෑ.
 
ඇත්තටම පොහොට්ටුවේ වෙන අපේක්ෂකයෙක් හොයා ගන්න නැද්ද? රාජපක්ෂවරු විතරමද ඉන්නේ?
 
නායකත්වය ගන්න තිබුණා, එහෙම ගන්න අය පක්ෂයේ රැඳිලා හිටියා නම්. හිටියේ නෑ. ඒ අය ගියා.
 
සමහර අය කියන්නේ නාමල් රාජපක්ෂ ඉල්ලනවා කියලවත් දැනගෙන හිටියේ නෑ කියලා?
 
ඇත්තම කතාව මම ඉල්ලන්න හිටියේ නෑ. ඒ අය හිටියා නම් මම ඒ අයට අවස්ථාව දෙනවා.
 
මට තියෙන ප්‍රශ්නය රාජපක්ෂ කෙනෙක් හැර වෙන කෙනෙක් මේ පක්ෂයට නෑ නේද?
 
නෑ නෑ, අපි පැහැදිලි තීරණයක හිටියා රාජපක්ෂ පවුලේ කෙනෙක් මේ මැතිවරණයට ඉල්ලන්නේ නෑ කියලා. ඒක අපි පවුලක් වශයෙන් ගත්ත තීන්දුවක්, දෙවැනි පෙළේ නායකයෙක් බිහි කරන්න ඕනෑ නිසා. සමහර අය පැනලා ගියා. අන්තිමට පාක්ෂිකයෝ සහ පක්ෂයේ උවමනාව මත මම ආවා.
 
ඉන්දීය ආරක්ෂක ලේකම් අජිත් දොවාල් ඇවිත් ඔබවත් හම්බවුණා. මේ දේශපාලනයේ කතාවක් තියෙනවා, ඉන්දියාව කැමති රාජපක්ෂවරු බලයට ගේන්න කියලා. ඒක ඇත්තද?
 
කිසිම රටකට අපේ රටේ ඡන්දදායකයා හසුරුවන්න බෑ. දේශපාලනඥයා හසුරුවන්න පුළුවන්.
 
නාමල් රාජපක්ෂව හසුරුවන්නේ ඉන්දියාවෙන්ද?
 
ඇත්තටම නාමල් රාජපක්ෂව එහෙම කාටවත් හසුරුවන්න බෑ. මහින්ද රාජපක්ෂ මහත්තයවත් බැරි වුණා, මාවත් බෑ. ඒවා විශ්වාස කරන්නේ, ඒවා කියන්නේ එහෙම හැසිරෙන දේශපාලනඥයෝ.
 
ජනාධිපති වුණොත් මොකද කරන්නේ?
 
ඉතා සාර්ථක ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ජනතාව හිරවෙලා ඉන්න අසීමිත බදු බරෙන් මුදවා ගන්නවා. ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා යටිතල පහසුකම් දියුණු කිරීම ආරම්භ කරනවා. ජාතික සම්පත් විකිණීම නවත්වනවා. විදේශ ආයෝජකයෝ ගෙන්වන්න කටයුතු කරනවා කඩිනමින්.
 
2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහත්තයත් පාඩමක් ඉගෙන ගත්තා කියලා ඔහුම කිව්වා. මම හිතනවා ඔබත් මේ ජනාධිපතිවරණයේ දී ලොකු පාඩමක් ඉගෙන ගන්න ඇති?
 
ඒක අවංක වීම සහ ප්‍රතිපත්තියක සිටීම. මහින්ද රාජපක්ෂ මහත්තයා මට කියා දුන්න පාඩමත් ඒක. ඔහු 2015 ඉගෙන ගත්ත පාඩමත් ඒක. මිනිස්සු වෙනස් වෙනවා, ඒක නවත්තන්න බෑ.
 
තාත්තට එදා බලය අහිමිවීම හමුවේ ගොඩක් අය ඔහුව රැක්කා. ඒත් ඔබව දාලා ගියා. ඒ අයට එන්න පුළුවන්ද?
 
ඉස්සෙල්ලම කියන්න ඕනෑ, මාත් එක්ක මේ මොහොතේ හිටිය හැමෝම මම රකිනවා. ඕන කෙනෙක්ට එන්න යන්න පුළුවන්. ඒත් මගේ ගාව හිටිය මිනිස්සුන්ව මම රකිනවා. අපි හදන පක්ෂයේ ආණ්ඩුවේ ඒ අයට නිසි තැන දෙනවා.
 
කවදාද නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ නායකයා වෙන්නේ?
 
පොහොට්ටුවේ නායකයා නෙමෙයි, මේ රටේ නායකයා වෙන්නනේ හදන්නේ. මොන තනතුරේ හිටියත් මම පක්ෂය රකිනවා.
 
• ගයාන් ගාල්ලගේ
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05