2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ඉන්දියාවයි රුසියාවයි එකට හමුවෙන මුහුදු කොරිඩෝව

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:03 128
රුසියාවේ ඈත පෙරදිග සහ අග්නිදිග ඉන්දියාව සම්බන්ධ කරන චෙන්නායි - ව්ලැඩිවොස්ටොක් සමුද්‍ර කොරිඩෝව නිර්මාණය කිරීමේ අපේක්ෂාවන් යළි පණ ගැන්වී තිබේ. ඉන්දියාව සහ රුසියාව අතර චෙන්නායි - ව්ලැඩිවොස්ටොක් නැගෙනහිර සමුද්‍රීය කොරිඩෝවක් හෙවත් නාවුක ගමන් මාර්ගයක් නිර්මාණය කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය ජූලි මාසයේ රුසියාවේ වෙසෙන ඉන්දියානුවන් පිරිසක් අමතමින් ප්‍රකාශ කළ බව ANI පුවත් සේවය වාර්තා කර තිබිණි. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ඉන්දියානු චෙන්නායි වරාය රුසියාවේ ව්ලැඩිවොස්ටොක් වරාය හා සම්බන්ධ කරමින් නාවික සැතපුම් 5,647 (ආසන්න වශයෙන් කිලෝමීටර් 10,500) විහිදෙන මුහුදු මාර්ගයක් පිහිටුවීමයි. මෙම කොරිඩෝව නව වෙළෙඳ අවස්ථා නිර්මාණය කිරීමට සහ අන්‍යෝන්‍ය ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීමට විශාල පිටිවහලක් වන බව ඉන්දියානු රජයේ අදහසයි.
 
2019 සැප්තැම්බර් මාසයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි නැගෙනහිර ආර්ථික සමුළුව සඳහා ව්ලැඩිවොස්ටොක් කරා පැමිණි අවස්ථාවේ මෙම කොරිඩෝව යෝජනා කරන ලද අතර ගල් අඟුරු, තෙල්, ද්‍රව, ස්වභාවික වායු ප්‍රවාහනය සඳහා ඉන්දීයාවේ චෙන්නායි වරාය සහ ව්ලැඩිවොස්ටොක් අතර මුහුදු මාර්ගයක් සංවර්ධනය කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එහෙත් කොරෝනා වසංගතය සහ යුක්‍රේන යුද්ධය හේතුවෙන් එම වැඩපිළිවෙළ කලක් අඩපණව පැවතිණි. යළි පණ ගැන්වෙන්නේ එම ව්‍යාපෘතියයි.
 
• චෙන්නායි-ව්ලැඩිවොස්ටොක් නැගෙනහිර සමුද්‍රීය කොරිඩෝව යනු කුමක්ද?
 
නැගෙනහිර සමුද්‍රීය කොරිඩෝව ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ වරාය සහ රුසියාවේ නැගෙනහිර කලාපයේ වරායන් යා කෙරෙන මාවතකි. වර්තමානයේ, ඉන්දියාව සහ රුසියාව අතර වෙළෙඳාම සිදුවන්නේ සූවස් ඇළ හරහා වන මුම්බායි - ශාන්ත පීටර්ස්බර්ග් මුහුදු මාර්ගය ඔස්සේය. එය නාවික සැතපුම් 8,675 (කිලෝමීටර් 16,066 ක් පමණ) දුරක් ආවරණය කරන අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා දළ වශයෙන් දින 40ක් පමණ ගත වේ. චෙන්නායි වරායේ සිට නැගෙනහිර සමුද්‍ර කොරිඩෝව හරහා රුසියාවේ ව්ලැඩිවොස්ටොක් වරායට ඇති දුර නාවික සැතපුම් 5,647ක් හෙවත් කිලෝමීටර් 10,458 කි. එහෙයින් චෙන්නායි-ව්ලැඩිවොස්ටොක් කොරිඩෝව මගින් දළ වශයෙන් දින 24ක් තුළ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හැකිවන අතර නැව් මාර්ගයේ දුර කිලෝමීටර 5,600 කින් පමණ අඩු කරගත හැකිය. ඒ අනුව නව කොරිඩෝව නිර්මාණය කිරීමත් සමඟ ඉන්දියාව සහ ඈත පෙරදිග රුසියාව අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගතවන කාලය දින 16කින් අවම වනු ඇත. ඉන්දීය රජයේ ශක්‍යතා අධ්‍යයනයකට අනුව අනාවරණ වී ඇත්තේ කොරිඩෝව ඔස්සේ කොකින් ගල් අඟුරු, තෙල්, පොහොර, බහාලුම් සහ ද්‍රව ස්වභාවික වායු වැනි භාණ්ඩ වෙළෙඳාම විශාල ලෙස ප්‍රවර්ධනය වන බව පැවසේ.
 
චෙන්නායි-ව්ලැඩිවොස්ටොක් නැගෙනහිර සමුද්‍රීය කොරිඩෝව නවදිල්ලියේ සහ මොස්කව්හි නායකත්වය විසින් ප්‍රමුඛතා ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇති අතර එය ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට සහ විවිධාංගීකරණය කිරීමට දෙරට දරන උත්සාහයේ එක් පියවරක් ද වෙයි.
 
ව්ලැඩිවොස්ටොක් සිට චෙන්නායි වෙත ළඟා වීමට නැවක් දකුණු දෙසට යාත්‍රා කළ යුතුය. නෞකාව ජපාන මුහුද සහ මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ බෙංගාල බොක්ක වෙත පැමිණ අන්දමන් නිකොබාර් සහ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය ඔස්සේ චෙන්නායි වෙත ළඟා වෙයි. චෙන්නායි යනු ඈත අතීතයේ සිටම ඉන්දියාවේ ප්‍රසිද්ධ වරාය නගරයකි. ව්ලැඩිවොස්ටොක් යනු සුප්‍රසිද්ධ ට්‍රාන්ස්-සයිබීරියානු දුම්රිය මාර්ගයේ නැගෙනහිර කෙළවරයි. රුසියාවේ නැගෙනහිර කලාපය මොස්කව් අගනුවර වෙත සම්බන්ධ කරනුයේ ට්‍රාන්ස්-සයිබීරියානු දුම්රිය මාර්ගයයි. බොහෝ ආනයනයන් රට තුළට බෙදා හැරෙන්නේ ව්ලැඩිවොස්ටොක් වරායෙනි.
 
ව්ලැඩිවොස්ටොක් ගල් අඟුරු, දියමන්ති, ප්ලැටිනම්, ටින්, ටංස්ටන් සහ රන් වැනි වටිනා ලෝහවලින් පොහොසත් ප්‍රදේශයකි. වරාය අවට ප්‍රදේශය තෙල් හා ගෑස්වලින් ද පොහොසත්ය. ඉන්දියාව 1992 දී ව්ලැඩිවොස්ටොක්හි කොන්සල් කාර්යාලයක් පිහිටවූ පළමු රටවලින් එකකි. නරේන්ද්‍ර මෝදි රුසියාවේ ඈත නැගෙනහිර ප්‍රදේශයට ගිය පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වේ. ඉන්දියාවේ තමිල්නාඩුවේ වෙරළබඩ දිස්ත්‍රික්කයක් වන තිරුනෙල්වේලියේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකරමින් තිබේ. මෙම ව්‍යාපෘතිය රුසියාව සමඟ සහයෝගයෙන් සිදුකෙරෙන්නකි. නව මුහුදු මාර්ගය මගින් එම ව්‍යාපෘතිය වේගවත් හා කාර්යක්ෂම කිරීමට අපේක්ෂා කෙරේ. නව මුහුදු මාර්ගය ඔස්සේ පැසිෆික් කලාපයට සහ වර්තමානයේ චීන අධිපත්‍යයට නතුව ඇති දකුණු චීන මුහුදට අවතීර්ණ වීමට ඉන්දියාවට හැකි වනු ඇත.
 
අගමැති මෝදිගේ රුසියානු සහ ඔස්ට්‍රියානු සංචාරය පිළිබඳ පැවැති විශේෂ සාකච්ඡාවක දී විදේශ ලේකම් විනේ ක්වාත්‍රා සඳහන් කර තිබුණේ ඉන්දු රුසියා ද්විපාර්ශ්වික වෙළෙඳාම 2023-24 යන වසරවල විශාල වශයෙන් වර්ධනය වී ඇති බවටය. එම කාලය තුළ ඩොලර් බිලියන 65 කට ආසන්න වෙළෙඳාමක් සිදුව ඇතැයි ඔහු සඳහන් කර තිබිණි.
 
2022-23 වසරවල ඉන්දියාව වානේ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන කොකින් ගල් අඟුරු ටොන් මිලියන 56ක් ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ කැනඩාවෙන් ආනයනය කරන ලදී. රුසියානු කොකින් ගල් අඟුරු බටහිරට සමාන ගුණාත්මකභාවයකින් යුක්ත වන අතර මිල වාසියක් ද ඇත. 2024 ජනවාරි මාසයේ දී රුසියාව ගල් අඟුරු අපනයන සඳහා අපනයන තීරුබදු ඉවත් කළේය. ඒ අනුව රුසියානු කොකින් ගල් අඟුරු ටොන් එකක මිල ඔස්ට්‍රේලියානු ගල් අඟුරු ටොන් එකක මිලට වඩා ඩොලර් 12කින් අඩු විය.
 
ඉන්දියාව රුසියාවෙන් ආනයනය කරන තවත් නිෂ්පාදනයක් වන්නේ පොහොරය. 2022-23 දී ඉන්දියාව රුසියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් මිලියන 4.35ක් මිලදී ගත් අතර 2023 අගෝස්තු මාසයේ දී වට්ටම් සහනය අවසන් වූ බැවින් ඉන්දියානු ආනයනකරුවන්ට එවක පැවැති වෙළෙඳපොළ මිල ගණන් ගෙවීමට සිදු විය. බටහිර ආසියාවේ පවතින අස්ථාවරත්වය මත ඉන්දියාවට සෞදි අරාබියෙන් හෝ මොරොක්කෝවෙන් ආනයනය කිරීමට නොහැකි පසුබිමක් නිර්මාණය වී තිබිණි. රුසියානු පොස්පේට් පොහොරවල ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පැවතිණි. චෙන්නායි සම්මන්ත්‍රණයට සහභාගීවූවෝ මෙම නිෂ්පාදන නැගෙනහිර කොරිඩෝව හරහා ගෙන ඒමේ වැදගත්කම පෙන්වා දුන්හ. රුසියා-ඉන්දියා ද්විපාර්ශ්වික වෙළෙඳාම දැනට ඩොලර් බිලියන 46.2 ක් වන අතර, 2024 වසරේ එය ඩොලර් බිලියන 50 ඉක්මවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් 2023 අවසාන සතියේ මොස්කව් වෙත පැමිණි අවස්ථාවේ සඳහන් කළේය.
 
කෙසේ නමුදු ඉන්දියානු අපනයන ඩොලර් බිලියන 4 ක් වන විට ආනයන ඩොලර් බිලියන 60 කට ආසන්න වීම මත වෙළෙඳාම අසමතුලිතව තත්ත්වයක පවතින බව ඉන්දීය ආර්ථික විද්‍යාඥයන්ගේ අදහසයි. භාණ්ඩ ප්‍රවාහනය ද්වි-පාර්ශ්වික නොවන්නේ නම්, හිඟය පුළුල් වනු ඇත. මෙය සමතුලිත කිරීමට විකල්ප කිහිපයක් තිබේ. උදාහරණයක් ලෙස, පසුගිය වසරේ රුසියාවේ බිත්තර මිල 40% කට වඩා වැඩි වී ඇත. තමිල්නාඩුවේ නාමක්කල් දිස්ත්‍රික්කය විශාල ලෙස බිත්තර නිෂ්පාදනය කරන ප්‍රදේශයකි. එහෙයින් රුසියාවට විශාල බිත්තර ප්‍රමාණයක් අපනයනය කිරීමේ හැකියාව ඉන්දියාවට ඇත. 2023 ඔක්තෝබර් මාසයේ දී මොස්කව්හි ඉන්දියානු තානාපති කාර්යාලය ඉන්දියානු අපනයන සඳහා ප්‍රමුඛතා භාණ්ඩ ලැයිස්තුවක් ලබා දුන්නේය. බටහිර සම්බාධකවලට යටත් නොවූ ආහාර සහ ආහාර නොවන ද්‍රව්‍ය යන දෙවර්ගයම මෙයට ඇතුළත් විය.
 
එමෙන්ම තමිල්නාඩුවේ සිට රුසියාවට යන්ත්‍රෝපකරණ, වාහන අමතර කොටස් සහ ඉංජිනේරු උපකරණ අපනයනය සඳහා නව ක්ෂේත්‍ර විවෘත කර ගැනීම ඉන්දියාවේ අපේක්ෂාවයි. මෙම කොරිඩෝව සාර්ථකව ක්‍රියාත්මක කිරීම තුළින් ඉන්දියාවට සහ රුසියාවට තම වෙළෙඳාම වර්ධනය කර ගැනීමට උපකාරී වනු ඇත.
 
මෙම නව මුහුදු මාර්ගය ආරම්භ කිරීම තුළින් ඉන්දියාව සහ රුසියාව අතර පමණක් නොව සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් සමඟ වෙළෙඳ අවස්ථා නිර්මාණය කිරීම ඉන්දියාවේ අරමුණයි. අග්නිදිග ආසියාවේ ජාතීන් සමඟ භාණ්ඩ ප්‍රවාහනය වැඩි කිරීම මෙන්ම බොරතෙල්, ගල් අඟුරු, එල්.පී ගෑස් සහ විවිධ භාණ්ඩ කලාපයේ රටවල් අතර අවම කාලකින් සහ අවම පිරිවැයකින් සිදු කිරීමෙන් වැඩි ප්‍රතිලාභ අත්කර ගැනීම ද තවත් අරමුණකි. එපමණක් නොව, ගොඩබිම් මාර්ග ඔස්සේ මොංගෝලියාව වැනි රටවල් සමඟ වෙළෙඳ කටයුතුවල නිරත වීම තුළින් චෙන්නායිහි ආර්ථිකය ඉහළ නැංවීම තවත් අරමුණකි. ව්ලැඩිවොස්ටොක් වරාය හරහා දැනට ඉන්දියාවට කෙරෙන අපනයන ටොන් මිලියන 150 ක් දක්වා දෙගුණයකින් වර්ධනය කිරීමට රුසියාව අපේක්ෂා කර තිබේ.
 
යෝජිත සමුද්‍ර මාර්ගය මගින් දේශසීමා මාර්ග මුලපිරීම [Border Road Initiative] යටතේ ඇති චීනයේ සමුද්‍ර සේද මාර්ගයේ බලපෑමට ප්‍රතිරෝධයක් දැක්වීමට ඉන්දියාවට හැකිවනු ඇත. කලාපය තුළ චීන බලපෑමට එරෙහිව විශේෂයෙන් මෙම කලාපයේ චීන ජනාවාස වැඩි වීමට එරෙහිව සටන් කිරීමට රුසියාව ද සැලසුම් කර තිබේ.
 
විදෙස් මාධ්‍ය ඇසුරිණි.
 
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
 
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:02