ප්‍රධාන පක්ෂ සහ කණ්ඩායම්වලින් තර කරන සෑම අපේක්ෂකයකුගේම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඒ අය ජයගත් විට ආර්ථිකය සංවර්ධනය කර භාණ්ඩ හා සේවා මිල අඩු කරන බව සඳහන්ය. එහෙත් ඒ අය ළඟ බඩු මිල පහළ දැමීමේ සැලසුමක් තිබේද යන්න පිළිබඳ සැක සංකා මතු වෙයි. ඇතැමුන් මෙසේ කටට ආවට කියනවා ද වෙන්නට පුළුවන. එසේ නොවේ නම් එක් අපේක්ෂකයකුගේ ප්‍රතිපත්තිවල ඒ පිළිබඳ සඳහන් වූ නිසා තම ප්‍රකාශනවල එය අඩංගු කළා විය හැකිය. එසේ නැතිව කිසිවකුත් ඒ පිළිබඳ ගවේෂණයක යෙදී ප්‍රයෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බවක් දක්නට ඇත.
ඇත්තටම රටේ ජනතාව චිරාත් කාලයක සිට අධික ජීවන වියදමෙන් පීඩා විඳිමින් දුෂ්කර ජීවිතයක් ගත කරන නිසා ඔවුන්ගේ ඡන්ද ලබාගැනීමට නම් ජීවන වියදම අඩු කරන බවට පොරොන්දුවක් දිය යුතු බව අපේක්ෂකයන් පිළිගෙන තිබේ. එහෙත් ඒ පොරොන්දුව ඉටු කිරීමේ උපාය මාර්ග පිළිබඳ නිශ්චිතයක් ඔවුන් අතර නොමැති බව පැහැදිලිය. වෙනත් බොහෝ රටවල ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් පිළිගෙන ඇති අතර කවුරුන් බලයට පත් වුවද එයට අනුකූලව තීරණය ගත යුතුව ඇත. එහෙත් අවාසනාවකට මෙන් අපේ රටේ එවැනි ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැති අතර පාලකයන් කරනුයේ තැනේ හැටියට ඇනේ ගැසීම පමණකි. මේ නිසා ඔවුන් පැන නගින ප්‍රශ්නවලට පැලැස්තර අලවනවා විනා නිත්‍ය විසඳුමකට යාමට අපොහොසත් වේ.
භාණ්ඩ මිල වැඩිවන විට මිල පාලනය කිරීම, ආනයනය කිරීම, වැඩි මිලට අලෙවි කරන්නන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා දඩ මුදල් ලබා ගැනීම ආදිය ඔවුන්ගේ ක්‍රියා පිළිවෙළ වෙයි. එහෙත් අද වනවිට මේ සියලු උත්සාහයන්ම අසාර්ථක වී තිබේ.ඒ නිසා ජනතාවට සදාකාලිකවම දුක් විඳින්නට සිදුව ඇත. මෙයට ප්‍රතිකර්ම වශයෙන් විටින් විට විවිධ නීති සම්පාදනය කළ ද විවිධ ආයතන ආරම්භ කළ ද සාර්ථක ප්‍රගතියක් පෙනෙන්නට නැත. ඒ සියල්ල නමට පමණි. පාරිභෝගික වැරදිවලට නඩු පවරා දඩ අය කිරීමෙන් විසඳුමක් ලැබේද? නැත. එයින් සිදුවන්නේ රජයට යම් ආදායමක් ලැබීම පමණි. එහෙත් දඩය ගෙවා එන වෙළෙන්දා එම දඩය ද ආවරණය කරගනු සඳහා බඩු මිල තවත් වැඩි කර විකුණයි. අනිත් අතට භාණ්ඩ සැපයුම වැඩි කිරීමෙන් භාණ්ඩ මිල අඩුවෙන බව කියයි. එසේ භාණ්ඩ සුලබ කිරීමෙන් මිල අඩු වෙයිද? මෙය ආර්ථික න්‍යායක් පමණි. එහෙත් අප පවතින වෙළෙඳපොළේ එවැනි සැපයුම වැඩි කිරීමක් සිදු කිරීමට උගහට වේ. එයට එක් හේතුවක් වන්නේ සැපයුම්කරුවන්, නිෂ්පාදකයන් භාණ්ඩ හිඟ කෘත්‍රිම වෙළෙඳපොළක් නිර්මාණය කිරීමය. ඔවුහු වෙළෙඳපොළ සියතට ගෙන සැපයුම සීමා කිරීමෙන් මිල ඉහළ නංවති. අපේ රටේ බිත්තර වෙළෙඳපොළ මෙයට හොඳ උදාහරණයකි. බිත්තර නිෂ්පාදනයේ අතිරික්තයක් ඇති නිසා ආනයනය කිරීම අනවශ්‍ය බව ඔවුහු කියති. එහෙත් එලෙස නිෂ්පාදනය කරන බිත්තර සියල්ල වෙළෙඳපොළට නිදහස් කිරීමක් කරන්නේ නැත. නිෂ්පාදන සීමා කරගෙන රඳවාගෙන තම මිල මට්ටම වෙනස් නොවන සේ අලෙවියට එවයි. වගකිවයුත්තන් කොතරම් පම්පෝරි ගැසුවත් බිත්තර මිල රුපියල් 40ට අඩු කරන්න තවමත් හැකි වී නැත.
ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිදු කළ යුත්තේ කිහිප දෙනකු වෙළෙඳපොළ හසුරුවන ක්‍රමවේදය වහා බිඳ දැමීමය. එසේ නැතුව හිඟයක් ඇතිවූ විට පිටරටින් ගෙන්වීම නොවේ. එය තාවකාලික පියවරකි. භාණ්ඩ නිෂ්පාදනය මුළුමනින්ම පාරිභෝගිකයාට ලැබෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. අවශ්‍ය මාර්ගය නිර්මාණය කළ යුතුය. තිබෙන නීති රීති ප්‍රමාණවත් නොවේ නම් අභිනව නීති සකස් කරනු වටී. භාණ්ඩ වෙළෙඳපොළ හැසිරවිය හැකි ශක්තිමත් ආයතන අලුතින් ඇති කළ යුතුය. තිබෙන ආයතන ප්‍රතිසංවිධානය කිරීම ද අවශ්‍යය. මේ සඳහා කෙටි කාලීන වැඩපිළිවෙළක් සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ජනාධිපතිවරණ අපේක්ෂකයන් සතු විය යුතුය. ජයග්‍රහණය කළ විගස කෙටි කාලීන විසඳුම් ක්‍රියාත්මක කර අනතුරුව දීර්ඝ කාලීන වැඩපිළිවෙළකට යා යුතු වේ. ආර්ථික උපදේශකයන්ගේ මග පෙන්වීම අනුව සකස් කරන වැඩපිළිවෙළ ජාතික මට්ටම දක්වා ගෙන ගොස් නීතිගත කර ස්ථාවර කළ යුතුය. එවිට කවුරු බලයට පත් වුවද පුද්ගලයන් වෙනස් වීම නිසා මෙම ජාතික ප්‍රතිපත්තිය වෙනස් නොකළ යුතු වේ.
මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා මූල්‍ය අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ ජනාධිපති අපේක්ෂකයන් වේදිකා මත කුමන පොරොන්දු දුන්න ද ඒවා යථාර්ථයක් කර ගැනීමට නම් ඒවා ඉටු කරන සැලසුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කළ යුතු බවය. එසේ නොමැතිව අත්පොළසන් බලාපොරොත්තුවෙන් කරන ප්‍රකාශ කෙරෙහි ජනතාවට විශ්වාසය තැබිය නොහැකි බවද ඔහු කියයි.
“ශ්‍රී ලංකාවේ බංකොලොත් ආර්ථිකයක් ඇතිවීමට හේතු වූයේ අපේ ආර්ථිකය 2023 අවුරුද්දෙ දී 2014 තරමට පසුපසට යාමයි. මේ කාලයේ දිළිඳුකම ලක්ෂ 40 සිට 70 දක්වා වැඩි වුණා. අලුතින් පත්වන ජනාධිපති හා ආණ්ඩුව මෙම තත්වය නිවැරදි කිරීම පිණිස ගන්නා පියවර කුමක්ද යන්න ජනතාව දැඩි අපේක්ෂාවෙන් යුතුව බලාගෙන ඉන්නවා. කුමන අපේක්ෂකයා බලයට පත් වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකඟව වැඩ කළ යුතුයි. බංකොලොත් රාජ්‍යවල ජනතාවට සහන දීම දුෂ්කරයි. වැටුප් වැඩි කරනවා නම් ඒ සඳහා මුදල් සෙවිය යුතුයි. බදු අඩු කරනවා නම් අඩුවන ආදායමට විකල්පයක් දිය යුතුයි. මෙය විශාල අභියෝගයක්.
සමගි ජනබලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ ඉදිරිපත් කළ ‘බ්ලූ ප්‍රින්ට්’ එකේ අවශ්‍ය අරමුදල් සොයා ගන්නා හැටි කියනවා. වැට් බද්ද සියයට 15 සිට 10 දක්වා අඩු කළ විට බදු එකතු කරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම කළ යුතුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙවීම පැහැර හැර ඇති ආදායම දළ වශයෙන් රුපියල් බිලියන 950යි. මෙය ට්‍රිලියනයකට ආසන්න ඉතාම විශාල මුදලක්. රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුව, හිඟ ට්‍රිලියනයක් පමණ වෙනවා. කොටින්ම කිවහොත් සමස්ත රාජ්‍ය ආදායමෙන් හතරෙන් එකක් එළියේ තබලයි. වැටුප් හා දීමනා වැඩි කිරීම පිළිබඳ සමගි ජනබලවේගය සහ ස්වාධීන අපේක්ෂක රනිල් කියන දේවල්වල යම් සමානත්වයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ මාස හයකට වරක් වැටුප් ගලපනවා කියලා. පවතින අධික ජීවන බරට මෙය යම් විසඳුමක් වෙනවා. ඒත් එය කරන අන්දම ඒ අය පවසන්නේ නැහැ. ස.ජ.බ පවසන අයුරු මේ සඳහා ආදායම සොයාගත හැකියි. පසුගිය වසරේ බලාපොරොත්තු වූ රුපියල් බිලියන 100 ආදායම අභිබවා බිලියන 144ක ආදායමක් සොයාගෙන තිබෙනවා. මූල්‍ය අරමුදල අපේක්ෂා කළේ බිලියන 65ක ආදායමක් වුවත් එයින් දෙගුණයකටත් වඩා උපයාගෙන තියෙනවා. ඒ අනුව වැටුප් වැඩි කළ හැකියි. එයට මූල්‍ය අරමුදල ද එකඟ වී තියෙනවා. මුලදී රුපියල් 10,000ක වැටුප් වැඩි කරන්න හැදූ විට මහ බැංකුව පැවසුවේ එසේ කරනවා නම් වැට් බදු ප්‍රතිශතය සියයට 2කින් වැඩි කළ යුතු බවයි. දැන් ඔවුන් එසේ කියන්නේ නැහැ.
අපේක්ෂකයන් 3-4 දෙනකුම ජීවන වියදම අඩු කරන බව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් පැවසුවද එය කරන්නේ කොහොමද කියලා කියා නැහැ. පෞද්ගලික අංශයට කුමක් කරනවා දැයි කියා නැහැ. ඔවුන් ද බලාගෙන ඉන්නවා. පාර්ලිමේන්තු ආන්තික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පසුගියදා පැවසුවා, ලංකාවට කිලෝව රුපියල් 250 බැගින් ආනයනය කළ බී ලූනු පසුගිය දිනවල නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කිලෝව රුපියල් 800 බැගින් අලෙවි කළ බවත්. එවැනි මිල ඉහළ නැංවීමක් පාලනය කිරීමට කිසිදු නීතියක් හෝ යාන්ත්‍රණය රටේ නැහැ. ඔහු කියන තවත් දෙයක් වන්නේ පසුගිය මාස 8 ට රටේ එක පවුලක් විදුලි ගාස්තු වශයෙන් රුපියල් 20,000ක් වැඩිපුර ගෙවා ඇති බවයි. එසේ පෙට්‍රල් අලෙවි කිරීමේ දී පෙට්‍රල් ලීටරයකින් රුපියල් 50-60ක ලාභයක් ලබනවා. රාජ්‍ය අංශය මෙලෙස ජනතාව කොල්ල කනවා නම් පෞද්ගලික අංශය ගැන කුමන කතාද? පෞද්ගලික වෙළෙඳුන් පාලනය කරන්න ඔවුන්ට පුළුවන්ද? අර කතාවක් තියෙනවා ගුරා හිටගෙන මුත්‍රා කළ විට ගෝලයා දුව දුව ඒක කරනවා කියලා. අද පවතින තත්වය එයට සමානයි.
අනිත් අතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කවදාවත් උපදෙස් දී නැහැ, මේ විදියට අධික ලාබ ලබන්නය කියලා. ඒ අය කියන්නේ වියදමට සමානව ආදායම ලබාගන්න කියලයි. ලොකු පරතරයක් අවශ්‍ය නැහැ. අපි කරන්නේ මූල්‍ය අරමුදල ඉස්සරහට දමාගෙන ජනතාවගෙන් පැහැර ගැනීමයි.”
ඉන්ධන මිල විශාල ලෙස වැඩි කිරීම නිසා සියලුම ආහාර ද්‍රව්‍යවල මිල වැඩි වී ඇත. ප්‍රවාහන වියදම් වැඩිවීම ද ආහාර බිලට බලපානවා. මේ පිළිබඳ ජනාධිපති අපේක්ෂකයන් ඇගයීමක් කර මිල තීරණය කළ යුතු බව පැවසිය යුතුයි. එහෙම නැතිව රිසි සේ මිල වැඩි කර පාරිභෝගිකයන් සූරා කෑම නැවැත්වීම අත්‍යවශ්‍යයි. බෙන්ස් රථයේ යන අයත් රුපියල් 340 මිලට පෙට්‍රල් ගහන අතර මෝටර් සයිකලයේ යන අයත් ඒ මිලට යටත් කර තිබෙනවා. මෙය කොතරම් විශාල වරදක්ද? කෙසේ වුවත් ආණ්ඩුව වේවා, පෞද්ගලික වෙළෙන්දා වේවා, අධි ලාබය ලැබීමෙන් වැළකිය යුතුයි. මේ පිළිබඳ අභිනව ජනාධිපතිවරයා විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වෙනවා. මෙය මැතිවරණ පොරොන්දුවක් නොව “උපාය මාර්ගයක්” විය යුතුයි. එය සිදු කරන අන්දම හා කාල වකවානුව සෑම අපේක්ෂකයකුම ජනතාවට පැවසිය යුතු වෙනවා.”
යසවර්ධන රුද්‍ර්රිගු