2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

කටුනායක ගුවන් තොටේ යමරෙට යන විස්කි ජාවාරම

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02 267

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ජාවාරම් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා ජාවාරමක් බවට ගුවන් තොටුපොළෙන් පිට කරගන්නා විස්කි ජාවාරම පත් වී තිබේ.

මෙම ජාවාරම්කරුවෝ විශේෂයෙන් රට පුරා පිහිටි සංචාරක හෝටල් මෙන්ම ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පිහිටි මත්පැන් අලෙවිසල් වෙත ද, ඔවුන්ගේ අවශ්‍යතා මත මෙසේ ගුවන් තොටුපොළෙන් පිට කර ගන්නා විදේශීය නිෂ්පාදිත විස්කි සපයමින් සිටිති. ඒ සඳහා මෙම ජාවාරමේ නිරත වී සිටින පිරිස් ක්‍රම කිහිපයක් ඔස්සේ ගුවන් තොටුපොළ තුළින් විස්කි පිට කිරීමේ ක්‍රමවේද සම්පාදනය කරගෙන තිබේ.

මෙයින් ඔවුන් ක්‍රියාත්මක කරන පළමු ක්‍රමය වී ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ තුළ විවිධ දෙපාර්තමේන්තු සහ විවිධ ආයතනවල සේවය කරන පිරිස් සහ ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයන් මෙයට සම්බන්ධ කර ගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කිරීමයි. එහිදී මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන, ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ආයතනවල නිලධාරීන් මෙල්ල කර ගැනීම සඳහා ද විශේෂිත වූ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ද ඔවුහු වගබලා ගනිති. මෙම ක්‍රමවේදය මගින් ද විශාල විස්කි තොගයක් ගුවන් තොටුපොළේ සිට පිටතට රැගෙන යාම සිදු කෙරේ.

අනෙක් ප්‍රධානතම ක්‍රමවේදය වන්නේ ගුවන් මගීන් නීත්‍යානුකූලව තමන්ට මිල දී ගැනීමට හිමිවන මත්පැන් ලීටර් 2.5 ක ප්‍රමාණය රැගෙන ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණෙන විට, සංවිධානාත්මක පිරිසක් විසින් එම විස්කි බෝතල් වැඩි මිලකට ගුවන් තොටුපොළේදීම මිල දී ගැනීමයි.

ජාවාරම්කරුවන් කිහිප දෙනකු මේ සඳහා ගුවන් තොටුපොළ තුළ සංවිධානය වී සිටින අතර, ඔවුහු කුඩා බඩී ලොරිවලින් ගුවන් තොටුපොළ වෙත පැමිණ, එම රථ ගුවන් තොටුපොළ වාහන නැවැත්වීමේ රථ ගාල් තුළ නතර කර මෙම විස්කි එකතු කිරීමේ මෙහෙයුම ආරම්භ කරති. ඔවුන් රැගෙන ආ කුඩා ලොරි රථය විස්කිවලින් පිරී ගිය පසු, ඔවුහු තමන් වෙත ඇණවුම් ලබා දී ඇති සංචාරක හෝටල් සහ මත්පැන් අලෙවිසල් වෙත විශාල මිල ගණන් යටතේ අලෙවි කිරීම සිදු කරති. මෙම ජාවාරම්කරුවන් විස්කිවල විවිධ ප්‍රභේද ඉතා හොඳින් හඳුනන අතර ඒවායේ වෙළෙඳපොළ මිල ගණන් ද පැහැදිලිව දැන හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙම ජාවාරම්කරුවෝ ඉතා සාර්ථකව මෙම ජාවාරම ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කරමින් සිටිති.

මීට අමතරව තවත් ව්‍යාපාරිකයන් පිරිසක් ඩුබායි හෝ වෙනත් රටවල ගුවන් තොටුපොළ වෙත ගොස් විශාල තොග වශයෙන් ද විස්කි මෙරටට රැගෙන ඒම ද සිදු කරති. එහිදී ඔවුහු විවිධ ක්‍රමෝපාය භාවිත කරමින් මෙසේ රැගෙන එන විස්කි තොග ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යාමට ද ප්‍රයත්න දරති.

කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම විස්කි ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකකි.

ඉන් පළමුවැන්න කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා, එසේ එම ගුවන් යානය තුළ ගමන් ගන්නා මගීන් වෙත විස්කි ප්‍රමුඛ මත්පැන් අලෙවි කිරීම සිදු කිරීමය. මෙවැනි ගුවන් යානාවල කාර්ය මණ්ඩලය, යානය ගුවන්ගත වී, ගුවන් මගීන්ට ආහාර ලබා දීමෙන් පසුව මෙම මත්පැන් අලෙවිය ආරම්භ කිරීම සිදු කරති.

මෙම ව්‍යාපාරික කටයුත්ත, ගුවන් යානය තුළ කොතරම් ජනප්‍රිය වී ඇත් ද යත්, ගුවන් යානය තුළ එම කාර්ය මණ්ඩලය මෙම වෙළෙඳාම පටන්ගත් පසු එකම ගාලගෝට්ටියක් බවට පත්වෙමින්, මෙම මත්පැන් උණු කැවුම් මෙන් අලෙවි වී යාමයි. එහිදී ගුවන් යානය තුළ අසුන්ගෙන ඇති මගීහු සිය අසුන්වලින් නැගිට, මෙම මත්පැන් මිල දී ගැනීම සඳහා යුහුසුළු වෙති.

ඊට අමතරව කටුනායක ගුවන් තොටුපොළ තුළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය තුළ ද මත්පැන් අලෙවි කිරීම සඳහා විශේෂිත වූ අලෙවිසල් දෙකක් ද පවතී.

කෙසේ හෝ ඉකුත් 09/05 දින කොළඹ – 13, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු, කටුනායක ගුවන් තොටුපොළ රථ ගාලක් තුළ නවතා තිබූ බඩී ලොරියක විදේශීය නිෂ්පාදිත විස්කි බෝතල් 118 ක් සමඟ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එහි වටිනාකම රුපියල් කෝටියකි.

මීට අමතරව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් රුපියල් එක් කෝටි පනස් අට ලක්ෂයක් වටිනා විස්කි බෝතල් තොගයක් ඉකුත් 08/28 දින අත්අඩංගුවට ගෙන තිබූ අතර, යළිත් ඉකුත් 08/26 දින කොළඹ - 13 ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක සහ 55 හැවිරිදි පිරිමි පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් දෙදෙනා ඥාතීන් වශයෙන් අක්කා සහ මල්ලි වූ අතර, රුපියල් කෝටි හතරක් පමණ වටිනා විස්කි ඇතුළු තවත් භාණ්ඩ තොගයක් නීති විරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත්, එයින් පිට කරගෙන යාමේදී ඔවුහු අත්අඩංගුවට පත් වූහ.

මේ ආකාරයට මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන විස්කි ජාවාරම, ඍජුවම මැඩපැවැත්වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ තුළ සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලයක් නොතිබීම ද ප්‍රයෝජනයට ගනිමින් මෙම කූඨ ව්‍යාපාරිකයෝ ශ්‍රී ලංකාව පුරා පැතිරුණු විශාලතම විස්කි ජාවාරමක් ක්‍රියාත්මක කරමින් සිටිති.

• කටුනායක ටී.කේ.ජී. කපිල