2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

සජිත් තාත්තගෙන් ඉගෙනගෙන නැහැ

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

රනිල් වික්‍රමසිංහ 
ජනාධිපති
ජනාධිපති අපේක්ෂක ස්වාධීන කණ්ඩායම

  • අනුර මට දැන් මිත්‍රය කියන්නත් එපා කියනා
  • එයාලට කරන්න පුළුවන් නම් රට භාරගන්න තිබුණනේ
  • මමත් මේ පාරෙන් පිට පැන්නොත් අමාරුවේ වැටෙනා
  • මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන්න රාත්‍රියක් ගත කළා
  • වැට් අඩු කළොත් තවත් බදු පැටව් ගහනා
  • සජිත් අනුර දෙන්නම කරන්නෙ පැරණි දේශපාලනය
  • පඩි වැඩි කිරීම අපරාධයක්ද?

මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව ඇයි ඔබට ඡන්දය දිය යුත්තේ?

රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරන්න සහ හොඳ අනාගතයක් හදාගන්න. අපි ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කළා. ඒක තහවුරු කරනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනෑ. තහවුරු නොකළොත් අපි පරණ තත්ත්වයටම යන්න පුළුවන්. මම කිව්වා මාලිමාවේ යෝජනාවලිය අනුව ලබන අවුරුද්දට අයවැයක් සකස් කරලා දෙන්න කියලා. සියල්ල හැදුවම වියදම් ආදායම් පරතරය රුපියල් බිලියන 4000 යි. දළ දේශීය නිෂ්පාදනයෙන් 11.9% යි. සාමාන්‍යයෙන් අපිට එකඟතාවය අනුව කරන්න පුළුවන් දළ දේශීය නිෂ්පාදිතය 5%. ඒ කියන්නේ වැඩියෙන්ම අපිට ණය ගන්න පුළුවන් වෙන්නේ දළ දේශීය නිෂ්පාදිතය 5% තියෙද්දි. ඒත් මේක 11.9% ක්. එතකොට ඩොලර් එකට රුපියල් ගෙවන්න වෙනවා 400 ත් 425 ත් අතර ගාණක්. ආණ්ඩුවට ගන්න ඕනෑ නම් වෙළෙඳපොළෙන් 5% දළ දේශීය නිෂ්පාදිතයට වඩා ගත්තොත් තමන්ට පෞද්ගලික අංශයට මුදල් නැති වෙනවා. එහෙම වුණාම පොලිය 25% කට වඩා යනවා. ඔන්න ඕකයි වෙනස.

ඔබ කියන ආර්ථිකය තහවුරු කරන්න මොකක්ද කරන්න ඕනෑ?

අපි අපනයන ආර්ථිකයකට යන්න ඕනෑ. මේ රටේ විශාල දියුණුවක් දකින්න තරුණයන්ට රැකියා දෙන්න ඕනෑ. ජීවන බර තවත් සැහැල්ලු කරන්න ඕනෑ. අන්න එතැනටයි යන්න ඕනෑ.

අනුර කුමාර දිසානායක මහත්තයව මා මිත්‍ර කියලා නිතර ආමන්ත්‍රණය කරන්නේ, ඇත්තටම අනුර යාළුවෙක්ද?

යාළුවෙක් තමා. පාර්ලිමේන්තුවේ කතා කරනකොට නිතර කියන්නේ “මයි ගුඩ් ෆ්‍රෙන්ඩ්” කියලා. කොහොම හරි එතුමා දැන් මට මිත්‍රයා කියන්න එපා කිව්වනේ. ඒ නිසා දැන් මම කියන්නේ හිටපු කෘෂිකර්ම ඇමැති කියලා. ඒකත් කියන්න එපාලු. එතකොට ආණ්ඩුවේ කොටසක් කියලා හිතයිලු. මම දැන් මොකක්ද කියන්නේ?

ඔබ සමගි ජනබලවේගයෙත් ජාතික ජනබලවේගයෙත් ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක කියෙව්වද?

ඔව් ඔව් කියෙව්වා. ඔබ කියෙව්වද?

ඔව් මම කියෙව්වා. දැන් ඔබතුමාගේ ආර්ථික වැඩපිළිවෙළ අනුව මේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකේ වෙනස කොහොමද?

සජබයේ දෙකක් තියෙනවා. සැමට ජයයි, එකොනොමි බ්ලූ ප්‍රින්ට් ත්‍රී කියලා. ඒ සියල්ල දැම්මට පස්සේ සජිත් ගිහින් මොකක් හරි පොරොන්දු වෙනවා. නැත්නම් බඩු මිල අඩු කරනවා කියනවා. එහෙම නැත්නම් වියදම් වැඩි කරනවා කියනවා. ඒ අය දන්නෙවත් නෑ මොනවද කියලා. මට හිතෙන්නේ නෑ, කාටවත් සජබයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තේරෙනවා කියලා. එක තැනක තියෙනවා, ගොවීන්ට ණය ආධාර දෙනවා කියලා. අනික් එකේ ඒක නෑ. සංචාරක ව්‍යාපාරය ගැනත් පරස්පර විරෝධයක් තියෙන්නේ. මේ කියලා එතුමා ආයේ ගිහින් වෙන තැනක තව එකක් පොරොන්දු වෙනවා. එතුමා කියලා තියෙනවා රණවිරු දෙපාර්තමේන්තුවක් ඇති කරනවා කියලා. මේ අමතර වියදමක් නේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියෙව්වද?

මම කියෙව්වා. රාත්‍රියක්ම ගියා පිටු 232 ක් කියවන්න. ඒක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒකේ ආර්ථිකය පැහැදිලි නෑ, අපනයන ආර්ථිකයකට යනවද නැද්ද කියන එක. හිටපු කෘෂිකර්ම ඇමැති කිව්වා අපනයන ආර්ථිකයක් කියලා එදා කැලණියෙ දී. ඊට පස්සේ කියනවා නිදහස් වෙළෙඳ ගිවිසුම අහෝසි කරනවා කියලා. එහෙම අහෝසි කරපුවම කොහොමද අපනයන ආර්ථිකයක් ගොඩනගන්නේ. ඊට පස්සේ තුන්වැනියට කිව්වා අපනයන ආර්ථිකයක් ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා. සුනිල් හඳුන්නෙත්ති සහ ඩොක්ටර් සුරියප්පෙරුම අදහස් පළ කළා, මේ ආර්ථික කෙටුම්පතට විරුද්ධව. අනික මේ සංඛ්‍යා දිහා බලපුවම අයි.එම්.එෆ්. එකේ ඉලක්ක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. කොහොමද කරන්නේ කියන එක නෑ.

ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා?

ඔව්.. එහෙම ගියොත් මුදල් අච්චු ගහන්න වෙනවා. මුදල් අච්චු ගැහුවොත් මේක කඩා වැටෙනවා. මට තේරෙන්නේ නෑ, සෙතක් වෙනවද කියලා. ඒ නිසා හිටපු කෘෂිකර්ම ඇමැතිතුමාට කිව්වේ ඒකයි, මම ඒ ගැන සංවාද කරන්න ලෑස්තියි කියලා. ඒත් මට තවම දැනුම් දුන්නේ නෑ.

ඔබේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨයක් තමයි, ආර්ථිකය ජය ගැනීම කියන එක. ඒත් විපක්ෂය කියන්නේ විදේශ ණය නොගෙවීම නිසා තමයි මේ නිදහස කියලා?

ඇත්තටම විදේශ ණය පොලිය අපි ගෙවලා තියෙනවා. මම මේවා ගෙවලා තියෙන්නේ රුපියල් වලින්. මම හැම අවුරුද්දෙම පොලිය ගෙව්වා. දැන් තියෙන්නේ මූලික ධනය ගෙවන එක. ඒක පොඩි දෙයක්. අපි මේ හැමදේම කළේ රුපියල් වලින්. අපේ ණය තිරසරභාවය කියන්නේ කාරණා දෙකක්. එකක් තමන්ගේ වියදම්වලට මුදල් තියෙන්න ඕනෑ. අනික තමන්ගේ ණය ගෙවන්න මුදල් තියෙන්න ඕනෑ. දැනට අයි.එම්.එෆ් එක පවා පිළිගෙන තියෙනවා, අපි තිරසරභාවයට යනවා කියලා. ඒකයි අත්සන් කළේ. ඒ හරහා අපිට තව විදේශ මුදල් ලැබෙනවා. අපිට පුළුවන් ඉස්සරහට වාහනත් ගෙන්වන්න. අපිට ඕනෑ ගාණ අපි හොයාගෙන තියෙන්නේ. අපිට ණය ගෙවන්න පුළුවන්. එයාලට කරන්න පුළුවන් නම් භාරගන්න එපැයි. මේක කරන්න බෑ කිව්වනේ. ග්‍රීසිය වගේ වෙයි කිව්වනේ.

රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ජාතික සමගිය වැදගත්. උතුරු නැගෙනහිර දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ඔබතුමා මොකක්ද ගන්න පියවර?

මේ ජනාධිපතිවරණයේ දී පළවෙනි වතාවට ජන වාර්ගික ප්‍රශ්නත් නෑ. ආගම් ප්‍රශ්නත් නෑ. අපි උතුරේ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරලා තියෙනවා. ඒවා ඉදිරියට ගෙන යනවා. 13 ව්‍යවස්ථා සංශෝධනය වුණත් උතුරට විතරක් නෙමේ. විශාල සංවර්ධනයන් කරද්දි පළාත් සභා තමයි විශාල හයියක් වෙන්න ඕනෑ. සවිබල ගන්වන්න ඕනෑ, සංවර්ධන වැඩ කරන්න. ඉඩම් ප්‍රශ්නවලට අපි විසඳුම් දීගෙන යනවා. ඒ නිසා අපි ඒ ප්‍රශ්න විසඳගෙන යනවා. ඒ වගේම මුස්ලිම් ජනතාවට තිබුණු ආදාහනය ද භුමිදානය ද කියන එකටත් අපි පනත් කෙටුම්පත ඉදිරිපත් කරලා ඉවරයි.

ඔබත් ඔබේ කණ්ඩායමත් දිගින් දිගටම කියන දෙයක් තමයි, ඊළඟට කවුරු ගත්තත් මාස හයක් ඇතුළත රට කඩා වැටෙනවා කියලා. ඒ කියන්නේ ඔබ මේ ආර්ථිකය හදලා තියෙන්නේ ඔබ නැත්නම් කඩා වැටෙන්නද?

නෑ. මගේ වැඩපිළිවෙළ ඕනෑ කෙනකුට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ අය කැමති නෑනේ මගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ජාතික ජන බලවේගය ආර්ථික වැඩපිළිවෙළ පිටින් පන්නලා යන්නේ. ඒකයි මේ ප්‍රශ්නය. අපේ පාරේ ඕනෑ කෙනකුට යන්න පුළුවන්. මෝටර් සයිකලේ ගියත්, කාර් එකේ ගියත් ප්‍රශ්නයක් නෑ, හැබැයි හරි පාරේ යන්න. මමත් පාරෙන් පිට ගියොත් මාවත් අමාරුවේ වැටෙනවා.

ඔබට චෝදනාවක් එල්ල වෙනවා, මේ මැතිවරණයට ඔබ රජයේ මුදල් සහ රාජ්‍ය නිලධාරීන් පාවිච්චි කරනවා කියලා?

කෝ මට කියන්න මම පාවිච්චි කරපු රජයේ මුදල් කොහෙද තියෙන්නේ කියලා.

අනුර කුමාරත් සජිත් ප්‍රේමදාසත් චෝදනා කරනවා?

හරි මට කියන්න, කොහෙද පාවිච්චි කරලා තියෙන්නේ මම. ඒක කියන්නකෝ. එතකොට මම පිළිතුරු දෙන්නම්. ඒගොල්ලෝ කියන දේවල් වැඩක් නෑ. මම පඩි වැඩි කරනවා කිව්වා. දැන් ඒක අපරාධයක්ද?

ඒත් ඔබ රජයේ සේවකයන්ගේ ඡන්ද බලාපොරොත්තු වෙන්නෙ?

ඒ පඩි වැඩි කළේ මගේ සාක්කුවේ දාන්න නෙවෙයි. පඩි වැඩි කරන අයගෙන් කොටසක් මට ඡන්දය දෙන්නෙත් නෑ. තමන්ට කරන්න බැරිවුණු නිසා අනික් අයට කරන්න දෙන්නෙත් නෑ එයාලා. ඒකයි වෙලා තියෙන්නේ.

වැඩි අභියෝගය තියෙන්නේ සජිත්ගෙන් ද අනුරගෙන් ද?

අපි දෙන්නටම මුහුණ දෙන්න ලෑස්තියි. නාමලුත් ඉන්නවා. ඒ නිසා ඕනෑ කෙනකුට මුහුණ දෙන්න ලෑස්තියි. අභියෝගය තියෙන්නේ ඒ අයගේ ප්‍රතිපත්ති මේ රටේ ක්‍රියාත්මක කරන්න බෑ. අපි යන්නේ ස්ථාවරභාවය ඇති කරන්නනේ. දැන් පේනවනේ මාලදිවයින විශාල ආර්ථික කඩා වැටීමකට යනවා, බංගලිදේශය කඩා වැටීමකට ලක් වුණා. අපි එතැනට යන්න ඕනද? නැත්නම් මේ මාර්ගයේ යනවද? සජිත්වත් අනුරවත් ඒවට පිළිතුරු දෙන්නේ නෑ. ඒ දෙන්නා යන්නේ පරණ දේශපාලනයේ. මම යන්නේ අලුත් දේශපාලනයේ. ඒකයි මගේ විප්ලවය. ඔවුන් මේ අර්බුදය ඇති කළ දේශපාලනයේ සිරකරුවන් වෙලා ඉන්නේ.

ඔබ කිව්වා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා කියලා. හැබැයි මාස කිහිපයකට කලින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රසිද්ධියේ කිව්වා, රජයේ සේවකයන්ගේ පඩි වැඩි කළොත් වැට් බදු වැඩි කරන්න වෙනවා කියලා. එහෙනම් දැන් කොහොමද වැඩි කරන්නේ?

උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක වෙන්නේ 2025/ 2026 දී. ඇත්ත, මේ අවුරුද්දේ මුදල් තිබුණේ නෑ. හරියට ආර්ථිකය හදපු නිසා ඉස්සරහට මුදල් තියෙනවා. අපේ පාලනය නියම විදිහට ගෙනියනවා. ඒක කැඩුවොත් මොකද වෙන්නේ?

නාමල් රාජපක්ෂ කියන්නේ ඔබ අරගලයේ කොටස්කාරයෙක් කියලා. ඔහු කියනවා, ඒ අරගලය මර්දනය කරන්න තමයි ඔබව පත් කළේ කියලා?

රටේ දේශපාලන ක්‍රමය, සමාජ ක්‍රමය වෙනස් කරන අරගලයකට මම විරුද්ධ නෑ. මම විරුද්ධ ප්‍රචණ්ඩ ක්‍රියාවලීන් සිදු කිරීමට. ඒකයි මම ඒක ඇවිල්ලා නැවැත්තුවේ. මම කියන්නේ සාමකාමීව ඡන්දවලින් බලය අරගෙන මේවා කරන්න ඕනෑ. ප්‍රචණ්ඩ ක්‍රියාවලට මම විරුද්ධයි.

ඔබ මෑතක කිව්වා සජිත්ගේ දුර්වලතාවය නිසා තමයි අනුර මතු වුණේ කියලා. ඉස්සර එහෙම තිබුණේ නෑ කියලා. ඔබ කියන්නේ මේ රටේ තියෙන්න ඕනෑ දේශපාලන කඳවුරු දෙකක් විතරයි කියලද?

සාමාන්‍යයෙන් ඕනෑම රටක ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් තියෙනවා. සමහර රටවල තුනක් තියෙනවා. හැබැයි 3 ක් තියෙන්නේ නෑ. සාමාන්‍යයෙන් කඳවුරු දෙකයි. බලයේ ඉන්න පක්ෂය සහ විරුද්ධ පක්ෂය. විපක්ෂ නායක දැනගන්න ඕනෑ, තමන් ප්‍රධාන අපේක්ෂකයා වෙන්න. විපක්ෂ නායක දැනගන්න ඕනෑ, අනික් අයගේ බලය ඇදලා ගන්න. ඒක දන්නේ නැත්නම් මොනවා කරන්නද? අනුර දිසානායක අඩුපාඩුව දැක්කා, ඉස්සරහට ගියා. මේක මේ විපක්ෂ නායකගේ දුර්වලකම. කවදාවත් එහෙම වුණේ නෑ.

ඔබේ ආර්ථික වැඩපිළිවෙළේ තියෙනවා, ථෙරවාදී ආර්ථික වැඩපිළිවෙළක් කියලා. මොකක්ද මේ වැඩපිළිවෙළ?

මම කිව්වේ ථෙරවාදී වෙළෙඳ ආර්ථික ක්‍රමයක්. ඒක ථෙරවාදී රටවල් ගොඩක් යොදා ගන්නවා. ලංකාවේ ආරම්භ කළේ අනුරාධපුර යුගයේ. පොළොන්නරුව අතර විශාල වෙළෙඳ ආර්ථිකයක් තිබුණා. උතුරින් නැගෙනහිරින් ඇවිල්ලා වෙළෙඳාම් කළේ එතැන. අපි ආහාර වර්ග අපනයනය කළා. පස්සේ කඩා වැටුණා. ඒ අනුව තමයි මම කිව්වේ. මම තායිලන්තය එක්කත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් ගැහුවේ ඒකයි. මම කියන්නේ ථෙරවාදී රටවල් දියුණු වෙන්න ඕනෑ. බුදු රජාණන් වහන්සේට විශාල සහයක් දැක්වුවා වෙළඳ කණ්ඩායම්. බුද්ධාගමයි වෙළෙඳාමයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. අරගොල්ලන්ගේ ආර්ථික ක්‍රමවේදය ගැන එකක් නිශ්ශබ්දයි, අනික ඡේද දෙකක් තියෙනවා.

රටේ ජනාධිපති වෙන කෙනකුට උතුරු නැගෙනහිර සහ වතුකරයේ ඡන්ද කියන්නේ තීරක ඡන්ද ප්‍රමාණයක්. විවිධ ආරංචි ගියා ඉන්දියාව බලපෑම් කරනවා කියලා, ඒ ඡන්ද එයාලා කියන අපේක්ෂයෙක්ට දෙන්න කියලා. ඔබට කොහොමද ඒ ඡන්ද ගැන තියෙන විශ්වාසය?

ඒ ඡන්ද මට හම්බවෙන්න යන්නේ. ඒක ඡන්දදායකයොම තීරණය කරලා ඉවරයි. ඒ ගැන කිසිම සැකයක් නෑ. තැපැල් ඡන්ද දිහා බලපුවම ඒක පේනවා.

මිනිස්සු අලුත් දේශපාලන අත්හදා බැලීමක් කරන එක වැරදිද?

අපි හැමදාම අත්හදා බැලුවනේ, තියෙන එකට වඩා අනික් එක හොඳයි කියලා. ආපහු අපි ආපස්සට යන්න ඕනද? ජනතාවගේ ආදායම් අඩුවෙලා තියෙන්නේ. ජනතාවගේ ධනය අඩුවෙලා තියෙනවා. මෙතැනදි තියෙන්නේ ජනතාවගේ ආදායම වැඩි කරන්න. මම ‘උරුමය’ ගෙනාවේ ඒ නිසා. ලක්ෂ 20කට මෙතෙක් කල් නැති අයිතියක් ලැබෙනවා. ඒකෙන් වෙන්නේ තමන්ගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා.

වතුකරයේ ජනතාව විශාල ප්‍රශ්නවලට මුහුණ දෙනවා. 1700 පඩි වැඩිවීම 1350 ට නැවතිලා තියෙනවා?

1350 ට නැවතුණාට දීමනා තියෙනවනේ. ඒකත් එක්ක තමයි 1700 වෙන්නේ. අපි දැන් ක්‍රියාත්මක කරමු. ඒ අයට අපි අස්වැසුමත් දෙනවනේ. ඒ අයට දෙන්න ඕනෑමයි. අනික ලයිම් ක්‍රමය අහෝසි කරලා ඉඩම් දෙන්න ඕනෑ. ගම්මාන විදිහට හදාගන්න ඕනෑ. වැවිලි ආර්ථිකය වෙනුවට කෘෂි ව්‍යාපාර ආර්ථිකයක් හදන්න ඕනෑ.

2028 ණය ගෙවන්න පටන් ගත්තම අපි හිටිය තැනටම වැටෙන්න පුළුවන්ද?

නෑ. බලන්නකෝ අපි දියුණු වුණේ කොහොමද කියලා. 2020-2022 අපේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 76යි. 2022-2023 ඩොලර් බිලියන 84 යි. දැන් ඊටත් වඩා වැඩියි. අවුරුද්දෙන් අවුරුද්ද දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙනකොට විසඳගන්න පුළුවන්. අපිට හිඟමනේ යන්න බෑනේ. වියට්නාමය කළා. අපිට කරන්න බැරිද? පුළුවන්. අපේ මිනිස්සු හරිම දක්ෂයි. වැඩට බැස්සොත් වැඩේ කරනවා. වෙන කොහෙද මහවැලිය අවුරුදු 10කින් කළේ. වෙන රටවල්වල අවුරුදු 20-30 යනවා.

ඔබ ඍජු බදු ක්‍රමයක් හඳුන්වලා දුන්නා. හැබැයි වක්‍ර බදුවල සහනයක් නෑ. ඒවත් එන්න එන්න වැඩියි. අනෙක් අපේක්ෂකයෝ අහෝසි කරනවා කියනවා. අඩුකරනවා කියනවා. ඔබේ ප්‍රතිපත්තිය මොකක්ද මේ බදුවලට?

බදු අඩු කරන එක නෙමෙයි, බදු අඩු කළොත් ලැබෙන ආදායම අඩු වෙනවා. එක බද්දක් අඩු කළොත් තව තැනකින් බදු වැඩි කරන්න වෙනවා. වැට් අඩු කළොත් බදු ගණනාවක් වැඩි කරන්න වෙනවා. බදු පැටව් ගහනවා. වැට් එක එක පාරයි වැඩි කරන්නේ. ඒක ලේසියි. තමන්ට පුළුවන්ද බලන්න ඕනෑ බදු අඩු කරන්න, ආදායම් අඩු නොකර. ඒකට අයි.එම්.එෆ්. එක එකඟ වෙන්නේ නෑ. අපි එන අවුරුද්දේ රුපියල් බිලියන 5117 ක් බලාපොරොත්තු වෙනවා ආදායම අනුව. එතකොට පරතරය තියෙන්නේ රුපියල් 1700යි. ඒක 5% යි. ඒ නිසා අපිට ණය ගන්න පුළුවන්. මාලිමාවේ බදු අඩු කරන නිසා ආදායම රුපියල් බිලියන 4900 ක්. බිලියන 200 කින් විතර අඩු වෙනවා. බදු අඩු කළාම වියදම් ආදායම් අතර පරතරය වැඩි වෙනවා. ඒ නිසා මේක අමාරුයි. බදු අඩු කරලා බෑ.

ඔය බිලියන 2000 ක වගේ සිද්ධවෙන මාලිමාවේ අයවැය පරතරය කියන එක, හොරු අල්ලන එකයි, දූෂණ වංචා නතර කරන එකයි සහ විදේශ ප්‍රේෂණයි එක්ක වෙනස් කරන්න බැරිද?

ඒ අය කොයි ලෝකෙද ඉන්නේ? ඉස්සෙල්ලා අපි නීතියෙන් පිට මුදල් ගත්ත අය සහ ඒ අය හඳුනාගෙන නඩු දාන්න ඕනෑ. අවුරුදු දහයක් යනවා අවමව නඩු අහන්න. අඩුම අහලා තියෙන්නේ අටෙන්. ඒ නිසා මේ බොරු කතා කියන්නේ. අනික විදේශ ශ්‍රමිකයෝ එවනවද  සල්ලි. නෑනේ. රට ඉන්නේ කීයද? මිලියන 2 ක් වගේ. මාසිකව කෙනකුට ඩොලර් 100 ක් එවන්න බෑනේ. එවන්න පුළුවන් ඩොලර් 10 ක් වගේ ගොඩක් අයට. ඒ නිසා මම කියන්නේ මෙහෙම බොරු කියන්න එපා.

මේ බදු කතාවෙදී ලොකූ චෝදනාවක් තියෙනවා, ප්‍රබල ව්‍යාපාරිකයෝ බදු ගෙවීම් පැහැර හැරලා කියලා. එතැනදී ඔබටත් චෝදනා එල්ල වෙනවා ඒ අය ආරක්ෂා කරනවා කියලා?

අපි දැන් අයි.එම්.එෆ්. එකත් එක්ක ඒ කටයුතු කරගෙන යනවා. අවුරුදු තුනක් විතර යනවා මේ වැඩේට. හැබැයි ඒක උඩම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න බෑ. අපි හැමවෙලේම නැති දෙයක් ගැන කතා කරන්නේ. ප්‍රශ්නයට මුහුණ දෙන්න බැරි නම් වැඩක් නෑනේ. අපි හිටියේ වෙනත් ලෝක වලනේ. මේක කරන්න පුළුවන් එකම මාර්ගය දළ දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ඕනෑ. ඒකට අපේ අපනයනය වැඩි කරන්න ඕනෑ. ඒ වගේම අනෙකුත් සංවර්ධන කරන්න ඕනෑ.

ඔබතුමා විපක්ෂයෙන් තව කී දෙනෙක් ගන්න ඉන්නවද?

නෑ. දැන් උවමනා නෑ. අපි ඡන්දය දිනලා ආණ්ඩුවක් හදනවා.

විපක්ෂයෙන් ගන්න අයට බාර් ලයිසන් දෙනවා කියලා චෝදනාවක් තියෙනවා?

මම බාර් ලයිසන් දෙන්නේ නෑ. අපේ අමාත්‍යංශයෙන් බාර් ලයිසන් විකුණනවා. අපි නිකම් දෙන්නේ නෑ දැන්. අපි දැන් පෞද්ගලික අංශය වගේ වැඩ කරන්නේ. නිකම් දෙන්නේ නෑ.

අලුත් ව්‍යවස්ථාවක් ඔබ හදනවද?

මම කියලා තියෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් අවුරුද්දක් ඇතුළත හදන්න කියලා. ඇත්තටම මූලික වෙන්න ඕනෑ මේ ව්‍යවස්ථාව නෙමෙයි, ආර්ථික අවුලෙන් ගැලවෙන එක. මේ ව්‍යවස්ථාවේ අඩුපාඩු තිබුණට රට ගෙනියන්න පුළුවන්. මේවා නෙමෙයි වැදගත් කාරණා. මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියන එක.

13 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රි‍යාත්මක කරන්න ඔබ එකඟද?

අපි ඒ ගැන කතා කරලා තියෙන්නේ. මම මගේ යෝජනා ඉදිරිපත් කළා. ඒ අයටත් අලුත් යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. බලය බෙදලා තියෙන්නේ.

පොලිස් බලතල ලබා දෙනවද?

ඕවද මේ වෙලාවේ කාරණා? මම කියලා තියෙනවා කරන්න ඕනෑ දේ. දෙමළ මිනිස්සුන්ට ඇති ප්‍රශ්න නෙමෙයි ඕවා. ඔය ඔක්කොම අපි කතා කළානේ ඒ දවස්වල. අන්තිමේ වුණේ රට බංකොලොත් වුණා. ඒ නිසා අපි කතා කරන්න ඕනෑ ආර්ථිකය ගැන.

කතාවක් තිබුණා සජිත් සහ ඔබ එකතු වෙනවා කියලා මීට කලින්. ඒත් ඒක වුණේ නෑ. කවුද ඒකට හරස් වුණේ?  

මම ජනාධිපති වුණු කාලේ ඉඳලා කතා කළානේ. දැන් ඒ කඳවුර වැඩක් නෑ. ජී.එල්. ඉන්නවා, නාලක ගොඩහේවා ඉන්නවා. ඒ කඳවුර වෙනස් වෙලා.

ඔබ මීට කලින් ලොකු බලාපොරොත්තු දුන්නා මැතිවරණ වලදී. බ්‍රේස්ලට් දෙන ඒවා, කාර් දෙන ඒවා සහ සංවර්ධනය ගැන විශාල කතා කිව්වා. ඒත් අද වෙද්දී ගෑස් එකක් නැතිවෙයි කියන තැනට ඔබේ මැතිවරණ ව්‍යාපාරය ඇවිල්ලා තියෙනවා. මොකද හිතෙන්නේ?

ගෑස් ප්‍රශ්නය ආවේ මම කිව්ව එක නොකරපු නිසා. ඒක කළා නම් ප්‍රශ්නයක් නෑ. ඒ නිසයි ගෑස් එකට බහින්න වුණේ.

විපක්ෂ නායකතුමා කියනවා ඔබයි අනුර කුමාරයි අතර ඩීල් එකක් තියෙනවා කියලා?  

මම අහන්නේ ඔහොම පුද්ගලයෙක් ජනාධිපති කරන්න සුදුසුද? මේ ඡන්දයේ විහිළුවක් වෙන කෙනකුට පුළුවන්ද රට පාලනය කරන්න.

සජිත් එක්ක පෞද්ගලික ගැටලුවක් තියෙනවද?  

නෑ. මමනේ ප්‍රේමදාස ජනාධිපතිව දෝෂාභියෝගයෙන් බේරුවේ. මම ආරක්ෂා කළා. පුතා තාත්තගෙන් ඉගෙනගෙන නෑ.

• ගයාන් ගාල්ලගේ