2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

හැමෝටම මාව දැන් අභියෝගයක්

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

අනුර කුමාර දිසානායක
ජනාධිපති අපේක්ෂක ජාතික ජනබලවේගය

  • ජනතාව වෙනසක් වෙනුවෙන් පෙළ ගැහිල ඉන්නවා
  • දේශපාලනය කියන්නෙ අංක ගණිතය නෙවෙයි
  • අපිට තිබෙන්නෙ ඇවිල්ල යන රැල්ලක් නෙවෙයි
  • රනිල් අපි ගැන රටේ වැරදි මතයක් හදනවා
  • අපේ අය එන්නෙ මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්න
  • පක්ෂයේ හොඳම කෙනා අගමැති කරනවා
  • අපි පලිගන්නේ නෑ

ඉස්සෙල්ලම අහන්න තියෙන්නේ කොහොමද ඔබලාගේ ඡන්ද ව්‍යාපාරයේ තත්ත්වය මේ වෙද්දී?

අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජනතාව නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය අපියි. කාලාන්තරයක් තිස්සේ මේ වෙනුවෙන් අපි පොර බැදුවා. ජනතාව අප වටා වේගයෙන් රැස් වෙමින් සිටිනවා.

ජයග්‍රහණය ගැන ඔබේ විශ්වාසය මොන වගේද?

ඇත්තටම ජයග්‍රහණය කළ හැකියි. අපේ රටේ ජනතාව වෙනසක් වෙනුවෙන් පෙළ ගැසිලා ඉන්නවා. එය තමයි, යථාර්ථය.

සියයට 3ක් තිබුණු පක්ෂයකට එකපාර ලොකු ඡන්දයක් ගන්න පුළුවන්ද කියලා සමහර අය අහනවා?

ගණිතමය ලෙස බැලුවොත්, ඔබ කියන කතාව ඇත්ත. නමුත්, දේශපාලනය කියන්නේ අංක ගණිතය නෙමෙයි. දේශපාලනය කියන්නේ සමාජ විද්‍යාවක්. රටේ ජනතාව විශාල පරිවර්තනයක්, විශාල වේගවත් වෙනස් වීමක් ඉල්ලා සිටිනවා. අන්න ඒ වෙනස් වීම තමයි, අපේ ප්‍රධාන බලය බවට පත් වී තිබෙන්නේ.

ඇයි මිනිස්සු අනුර කුමාර දිසානායකට ඡන්දය දිය යුත්තේ?

අපේ රටේ පාලකයෝ බංකොළොත් කරපු රට යළි ගොඩගත යුතුයි. අපේ රට ආර්ථික වශයෙන් ගොඩගන්න ඕනෑ. මිනිස්සුන්ට ලස්සන ජීවිතයක් අවශ්‍යයි. දුක් විඳින මිනිසුන්ට උදාර ජීවිතයක් හිමිකර ගැනීමේ සාමූහික මනුෂ්‍යත්වයේ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන්.

මේක රැල්ලක් නිසා ගෝඨාභය රාජපක්ෂ වගේ රැල්ලේ ඇවිල්ලා ඒ රැල්ලෙම යන්න වෙයිද?

ඔබ දන්නවා, මේ වන විට අපි ඉතාමත් සැලසුම් සහගතව ඡන්ද ව්‍යාපාරය දියත් කර තිබෙනවා. මේ රටේ විවිධ සමාජ බලවේග, සමාජ කණ්ඩායම්, සමාජ තීරු අප ආමන්ත්‍රණය කර තිබෙනවා. අපි ඒ අය එකතු කරලා තිබෙනවා. ගෝඨාභය අහම්බයක්. අපි නිර්මාණය කරන්නේ දිගුකාලීන අරමුණු සහිත දේශපාලන ව්‍යාපාරයක්, මහජන ව්‍යාපාරයක්. මේක ඇවිල්ලා යන රැල්ලක් නෙමෙයි. ඉදිරියට යන ජන ප්‍රවාහයක්.

අනුරට මෙහෙම කැම්පේන් කරන්න සල්ලි කොහෙන්ද අහනවා විපක්ෂයේ අය?

කවුරුත් අනෙක් අයගෙන් අහනවද ඒ අයට සල්ලි කොහෙන්ද කියලා. අපි ළඟ මහ බැංකුවට වංචා කරලා ගත්ත සල්ලි නෑ. සංස්කෘතික අරමුදලෙන් ගසාකාපු සල්ලි නෑ. අපේ හිතවතුන්, පාක්ෂිකයෝ අපිට උදව් කරනවා. අනික අපේ හැමදෙනාම ස්වේච්ඡාවෙන් වැඩ කරන නිසා අපට විශාල වශයෙන් මුදල් වියදම් වෙන්නෙත් නෑ.

ඔබට මේ වෙලාවේ ලොකුම අභියෝගය තියෙන්නේ මොන අපේක්ෂකයාගෙන්ද?

කිසිවකුත් නැහැ. හැමෝම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු අය. අපට අභියෝගය තිබෙන්නේ මේ වට්ටපු රට ගොඩ ගැනීමයි.

බැලූ බැල්මට පේන්නේ සජිත් ඔබට අභියෝගයක් කියලා?

ඒ අයට අපිව අභියෝගයක් වෙලා බව නම් පේනවා. අපට එරෙහිව පතුරුවන බොරු බේගල්, අවලාද දිහා බලනකොට. අපිට නම්, ඒ අය අභියෝගයක් නෙමෙයි. තලතා යනකොට ගීතා ගත්ත කෙනා අභියෝගයක් වෙන්නේ කොහොමද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා, අනුර සජිත්ට වඩා ඡන්දය ගන්නවා කියලා. රනිල් වික්‍රමසිංහට කියන්න කිව්වේ ඔබද?

රනිල් වික්‍රමසිංහ කියන දේවල්වල වගකීම අපට භාරගන්න බෑ. රටේ වැරදි මතයක් හදනවා, රනිල් හා අපි අතර එකඟතාවක් තියෙනවා කියලා. ඉතින්, රනිල් කපටිකමට ඒකට ගැලපෙන කතා කියනවා. අපි නම් ඔය විකාර කතා ගණන් ගන්නේ නෑ.

ඒත් මා මිත්‍ර අනුර කුමාර කියලා අමතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා?

රනිල්ට අවශ්‍ය වෙලා තියෙනවා, වැරදි මතයක් සමාජගත කරන්න. ඒක තක්කඩිකමක්. අපට නම්, රනිල් මිත්‍රයෙක් නෙමෙයි. පරාජය කළ යුතු කෙනෙක්.  

රනිල් වික්‍රමසිංහ මහත්තයා ඍජුවම කියනවා ඔබට ඡන්දය දෙන්න එපා කියලා. ඔබට රට කරන්න බෑ කියලා?

හරි. ඒකෙන්ම ඔප්පු වෙනවානේ රනිල් ‘මා මිත්‍ර’ කියන්නේ බොරුවට කියලා. අනෙක එයා මොනවද නොකියන්නේ? ඡන්දය දෙන්නේ ජනතාව. පුනරුද යුගය නිර්මාණය කරන්නෙත්, ඉතිහාසගත ජයග්‍රහණ අත්කර ගන්නෙත් ජනතාව.

ආණ්ඩුවෙන් කියන දෙයක් තමයි, රනිල් වික්‍රමසිංහ නැත්නම් මාස හයක්වත් ගන්න කෙනෙක්ට රට කරන්න බෑ කියලා. අනුරටත් ඒක කරගන්න බැරි වෙයිද?

භාගයක් ඇත්ත. ඒ මොකක්ද? රනිල් වික්‍රමසිංහ ගොඩ දැම්මා කියන රට ගෙන යන්න හැකියාව තියෙන්නේ මාස හයක් බවයි ඔය කියන්නේ. ඒ බව හොඳින්ම තේරුම් අරගෙන අපි මේ රටේ ජනතාව එක්ක ඉතිහාසගත වෙන වැඩ කොටසක් කරනවා. අපි එන්නේ මේ වට්ටපු රට ගොඩ ගන්න. ඒක මතක තියා ගන්න.

අනුර කුමාර දිසානායකගේ කණ්ඩායමට මේ රට පාලනය කරන්න හැකියාවක් තියෙනවද? මොකද ඔබලාට ආණ්ඩු බලයක අත්දැකීම් නෑ?

ඔය අත්දැකීම් තියෙනවා කියන අය නේද, අපේ රටේ ආර්ථිකය බංකොළොත් කළේ. ණය අරගෙන ණයවලට ලෝකයට පොලු තිබ්බේ. ජනතාව හිඟමනට පත් කළේ. අපට මහ බැංකුව කඩලා, අත්දැකීම් නම් නෑ තමයි.

ඔබේ ආණ්ඩුවේ අය දූෂණ වංචා කළොත් ආණ්ඩුවේ අයට මොකද කරන්නේ?

නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කරනවා. ඒත්, අපේ අය එන්නේ මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්න.

ඔබ උතුරට බලය බෙදීම සම්බන්ධයෙන් එකඟ වුණා කියලා චෝදනාවක් තියෙනවා. ඒක ඇත්තද?

එම පළාත්වල ජීවත් වන ජනතාවගේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහනය, නිවාස සහ ආදායම් මාර්ගවල ගැටලුවලට අපි විසඳුම් සෙවිය යුතුයි. ඒ නිසා අපේ අපේක්ෂාව බවට පත්ව තිබෙන්නේ ආර්ථික සංවර්ධනයත් ජාතික සංහිඳියාවේ කොටසක් හැටියට භාරගෙන ක්‍රියා කිරීමයි. ආර්ථික ක්‍රියාවලියට අපි හැමෝම එක සේ බද්ධ වෙනවා නම්, ජාතික සමගිය ගොඩනැගීම සඳහා එය ප්‍රධාන හේතුවක් වෙනවා. අපි උතුරේදීත්, දකුණේදීත් කියන එකම කතාව ඒක. අපි උතුරට යන්නේ ගනුදෙනුවකට නෙමෙයි. ඒ බව ප්‍රසිද්ධියේම කියා තිබෙනවා.

ඔබට උතුරු නැගෙනහිර ජනතාවගේ කැමැත්ත ලැබෙයිද?

වෙනදාටත් වඩා අප උතුරු, නැගෙනහිරට විවෘත වී අපේ මතය ගෙන ගොස් තිබෙනවා. උතුරු, නැගෙනහිරට වෙනම අපේක්ෂකයකුත් ඉදිරිපත් වී සිටිනවා. අපේ ජයග්‍රහණයට හොඳ ප්‍රතිඵලයක් උතුරු, නැගෙනහිර ප්‍රදේශවලින් ලබා දෙන බව විශ්වාසයි.


අයි.එම්.එෆ්. එක සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ ඔහු හදපු පාරේ නොගියොත් රට කඩා වැටෙනවා කියලා. මොකක්ද ස්ථාවරය අයි.එම්.එෆ්. ගැන?

රනිල් - රාජපක්ෂ පාලනය අයි.එම්.එෆ්. සමඟ දැන් ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ, ඒක පාර්ශ්වීය ලෙස. ඒකෙන් ඉවත් වෙන්න අපට බෑ. අපි එහෙම ඉවත් වෙන්නෙත් නෑ. ඒත්, අපි බලයට එන්නේ අලුත් ජනවරමක් සහිතව නිසා ඊට අනුව අපි යළි අයි.එම්.එෆ්. සමඟ සාකච්ඡා කරලා, රටට වාසිදායක ලෙස ගිවිසුම් සංශෝධනය කර ගන්න බලාපොරොත්තු වෙනවා.

ඔබගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයා විවේචනය කරනවා. ඔබට විවාදයකට ආරාධනා කරනවා?

ඔහුට විරුද්ධව 2018 අප්‍රේල් 04 වැනිදා විශ්වාසභංග යෝජනාවක් දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබුවා. ඒ විවාදයේ දී බන්දුල ගුණවර්ධන කීවා, රුපියල් බිලියන 2,000ක් රටට අලාභ කළා කියලා. අන්න ඒ සල්ලි ටික අර්ජුන මහේන්ද්‍රන් එක්ක එකතු වී ගෙනැවිත් දෙන්න. වෙන විවාද අවශ්‍ය නෑ.

මේ රටට ඉන්දියාවත් චීනයත් විශාල වශයෙන් මැදිහත් වෙනවා. කලාපීය වශයෙන් ඔබේ විදේශ ප්‍රතිපත්තිය මේ දෙක අතර කොතැනද?

වර්තමානයේ දී ලෝකයේ බල කඳවුරු ගණනාවක් නිර්මාණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ අපි කිසිසේත්ම ලෝකයේ භූ දේශපාලන ගැටුමේ පාර්ශ්වකරුවකු හෝ කොටස්කරුවකු නෙමෙයි. නමුත්, අපේ අසල්වැසි ඉන්දියාව චීනය එක්ක කලාපීය භූ දේශපාලන තරගකාරීත්වයේ යෙදෙනවා. ඒ නිසා අපට අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී පැහැදිලි ලෙසම ඉන්දියාවේ ජාතික ආරක්ෂාව සහ ජාතික උවමනාව සැලකිල්ලට භාජනය කළ යුතුයි. ඒ වගේම කලාපයේ ආරක්ෂාව පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම චීනය සමඟ තිබෙන මිත්‍රත්වයත් රැකගත යුතුයි.

ඔබලා බලය ගත්තම මහා විනාශයක් කරනවා කියලා විපක්ෂය චෝදනා කරනවා?

සංස්කෘතික අරමුදලේ සල්ලිවලින් දෙවියන්ගේ හාල් කාපුවාම ඔය වගේ කතා කියන්න වෙනවා. මේවා ඔක්කොම බොරු අවලාද හා ජනතාව බිය වැද්දීමට කියන දේවල්.

කියන්නේ නම් පළිගන්නවා කියලා විරුද්ධ කණ්ඩායම්වලින්?

අපි එන්නේ පළිගන්න නෙමෙයි. මෙතෙක් පැවති පළිගැනීමේ දේශපාලනය අවසන් කරන්න. ඒ ගැන කිසිවකු බිය විය යුතු නෑ. අපි පොලිසියට නිවාඩු දෙන්නේ නෑ. අපේ කිසි කෙනෙක් නියපිටින් පහරක් තමන්ගේ අසල්වැසියන්ට ගහන්නේ නෑ. ඒ බවට සහතික වෙනවා. යම්කිසි හෝ අයෙක් අපේ නම පාවිච්චි කරමින්, ඔය වැනි වැඩක් කළොත්, පොලිසිය හරියටම නීතිය ක්‍රියාත්මක කරනවා.

ඔබේ ආණ්ඩුවේ අගමැති කවුද?

තව ටිකක් ඉවසීමෙන් ඉන්න. හොඳම කෙනා පත් කරනවා, වගකීම් දරන්න.

ඔබ ජනාධිපති වුණොත් ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගත හැකි පියවර ගනිමින්, පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. අලුතින් ජනවරමකින් අලුත් ආණ්ඩුවක් ගොඩනගනවා.

පාර්ලිමේන්තුවේ ඉන්නේ තුන් දෙනයි. ඔබ ජනාධිපති වුණොත් භාරකාර ආණ්ඩුවක් හදාගන්න ඕනෑ. තියෙන ආණ්ඩුව එක්කද යන්නේ, වෙනම තුන්දෙනා දාලා එකක් හදනවද?

පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වා එය නැවත රැස් කරන තෙක් අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් අවශ්‍යයි. ඒ සඳහා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ගණනාවක් තිබෙනවා. අවශ්‍ය නම්, අපේ ඉන්න මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් කැබිනට් මණ්ඩලයක් පිහිටුවන්න පුළුවන්. තවත් පැත්තකින් පක්ෂවල එකතුවකින් කැබිනට් මණ්ඩලයක් පත් කරන්න පුළුවන්. භාරකාර කැබිනට් මණ්ඩලයක් පත් කරන්නත් පුළුවන්. මේ අතර වඩාම හොඳ වඩාම ප්‍රායෝගික ක්‍රමයට අපි කටයුතු කරනවා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද?

විධායක ජනාධිපති ක්‍රමය සහ සමානුපාතික මැතිවරණ ක්‍රමය එකට ගැටගැසී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ශක්තිමත් පාලනයක් ගොඩනැගීමේ අවශ්‍යතාව මත පදනම් වූ ඡන්ද ක්‍රමයක් ස්ථාපනය කිරීමේ සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

අලුත් ව්‍යවස්ථාවක් ගේනවද?

මේකට තවත් සංශෝධන ගේන්න බැරි තරම් වැරහැලි පාන්කඩයක් වෙලා. අපි අලුත් ව්‍යවස්ථාවක් ගෙනැවිත් ජනතාවගේත් අනුමැතියෙන් සම්මත කර ගන්නවා.

මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවුණු දූෂණ වංචා ගොඩක් තියෙනවා. ඒවට නීතිය ක්‍රියාත්මක කරනවද?

අපට ජනතාව බලය දීමේ මූලිකම අරමුණත් ඒක. අපි සියලු වංචා, දූෂණ පිළිබඳ නීතියට අනුව ක්‍රියාමාර්ග ගන්නවා.

විපක්ෂයේ හෝ ආණ්ඩුවේ අයට ඔබට එකතු වෙන්න බැරිද?

අපේ රට විනාශ කළ දූෂිත කිසිවෙක් අපි බලය වෙනුවෙන් එකතු කර ගන්නේ නෑ. අපි දැනටත් ඒ ආදර්ශය දීලා තියෙනවා.

ජනතා විමුක්ති පෙරමුණට මොකද වෙන්නේ මෙතැනින් පස්සේ?

ජනතා විමුක්ති පෙරමුණ වෙනදා වගේම තියෙනවා. ජවිපෙ කියන්නේ ජාතික ජන බලවේගයේ පාර්ශ්වකරුවෙක්. මේ වට්ටපු රට අපි හැමෝම එකතු වෙලා හදනවා. අපේ රට තුළ ජාතික පුනරුදයක් වෙනුවෙන් අපි හැමෝම අපට පැවරෙන කාර්යය ඉහළින්ම ඉටු කරනවා.

• ගයාන් ගාල්ලගේ