2024 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබේ. මේ පාඨකයන් මෙන්ම ලේඛකයන් ද එම ප්‍රදර්ශනයට යාමට ලකලෑස්ති වන කාලයකි. පාඨකයන් ඒ සඳහා මුදල් සූදානම් කරන අතර ප්‍රකාශකයෝ අලුත් පොත් කඩිනමින් පළ කරමින් සිටිති. ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක සම්මාන ලැබුණු පොත්වල නව මුද්‍රණ සමඟ කාර්යබහුලව සිටිති.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය වන්නේ 25 වැනි වරටයි. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ සිරිමා බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති. එහි අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම සහ වෙළෙඳ කුටි බෙදා දීම ද පසුගිය දා සිදු කෙරුණි.
මෙම වසරේ ඇති අධික ඉල්ලුමත්, 25 වැනි සංවත්සරය යෙදීම නිසාත් මෙවර පොත් ප්‍රදර්ශනය වෙන වසරවලට සාපේක්ෂව වඩාත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කර සිටී.
ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතරම, අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමේ උණුසුම පවතින මොහොතක පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ලක්ෂ දහයකට ආසන්න පිරිසක් පැමිණීමට නියමිතය. ඔවුහු ලංකාවේ දුරබැහැර සිට පවා පැමිණෙති. මේ ගැන දේශය සමඟ අදහස් දැක්වූයේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සුරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි ය:
“මෙවර 25 වැනි සංවත්සරය පැවැත්වෙන නිසා උත්සවාකාරයෙන් එය සැමරීමට අප අදහස් කර තිබෙනවා. එහි විශේෂත්වයක් වන්නේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට විශාල සේවයක් කළ හිටපු සභාපතිවරු 6 දෙනෙක් අතින් පොත් ප්‍රදර්ශනය විවෘත වීමයි. ආරියදාස වීරමන්, එච්.ඩී. ප්‍රේමසිරි, රංජිත් සමරනායක, සරච්චන්ද්‍ර වන්නිඅච්චි, විජිත යාපා, උපාලි වනිගසූරිය එම මහත්වරු වෙනවා.
මෙවර ප්‍රදර්ශන කුටි 450කට අධිකව තිබෙන අතර විදේශීය ප්‍රකාශකයන්ගේ කුටි 50ක් පමණ තිබෙනවා. ඉන්දියාව, බංග්ලාදේශය, චීනය, මැලේසියාව, එංගලන්තය වැනි රටවල ප්‍රකාශකයන් මෙවර සහභාගිවීමට නියමිතයි. දිරිදරු ශිෂ්‍යත්වය ප්රදානය ද මෙවරත් පැවැත්වෙනවා.
සෑම දිනකම උදේ වරුවේ පොත් දොරට වැඩීම් පැවැත්වෙනවා. සවස් වරුවේත් පොත් දොරට වැඩීම් තිබෙන අතර සංස්කෘතික සංදර්ශනත් පැවැත්වීමට නියමිතයි. ප්‍රදර්ශනයට පැමිණෙන පාඨකයන්ගේ පහසුවට නොමිලේ ප්‍රවාහනය කිරීමට බස් රථ තුනක් යෙදවීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.”
ලේඛකයන් සහ පාඨකයන් එකිනෙකා හමුවන තැනක් ලෙසත් පොත් දැක්ම වැදගත්ය. මුහුණුපොත ඔස්සේ හඳුනාගත් සාහිත්‍යකාමී මිතුරු මිතුරියන් එකතු වන, නිදහස හා සතුට සොයන නව සංස්කෘතියක් පොත් ප්‍රදර්ශනය හරහා ගොඩනැගෙමින් පවතින බව අපට නිරීක්ෂණය කිරීමට පුළුවන.
සිය ප්‍රියතම ලේඛක ලේඛිකාවන් හමුවීමටත් ඔවුන්ගේ අත්සන සහිත පොතක් ලබාගෙන ඡායාරූපයක් ගැනීමටත් පාඨකයන්ට මෙහිදී අවස්ථාව හිමිවේ. බොහෝ ප්‍රකාශකයන් අලුතින් නිකුත් වන සහ සම්මානයට ලක්වන පොත් මුල් කරගෙන ලේඛක - පාඨක හමු සංවිධානය කර තිබේ.
සමහර පාඨකයන් ඔන්ලයින් පොත් මිලදී ගැනීම කළත් තවමත් විශාල පිරිසක් පොත් ප්‍රදර්ශනයට පැමිණ එහි ඇවිදිමින් පොත් මිලට ගැනීමට කැමැත්තක් දක්වති. සෑම පොත් ප්‍රදර්ශනයකටම වාගේ සහභාගි වූ ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු සහ ලේඛකයකු වන තිලකරත්න කුරුවිට බණ්ඩාර මේ ගැන අදහස් දැක්වුයේ මෙසේය;
“අද කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා විද්‍යුත් මාධ්‍යවලට ඇබ්බැහි වෙලා. කියවීම කියන එක සමාජයෙන් බැහැරවෙමින් පවතින කාලයක් මේ. අපට පොත් සල්පිල දිහා බැලුවහම නම් ලක්ෂ ගණනින් සෙනඟ ඇවිත් පොත් අරන් යනවා පේනවා. එත් පොත් කියවන බව නම් පේන්නෙ නෑ. ඒ වගේ මුද්‍රිත පොතින් පාඨකයන් සමුගන්නා කාලයක මේ වගේ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමේ වැදගත්කම ඉහළයි. මුල්ම පොත් ප්‍රදර්ශනය කොළඹ කලාභවනේ තිබුණේ. ඒ කාලයේ මම පත්තරේට කොලමක් ලිව්වා, බලු ප්‍රදර්ශන, කේක් ප්‍රදර්ශන, මල් ප්‍රදර්ශන පිරී පවතින කාලයක පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීම කොච්චර වැදගත් ද කියලා.
දැන් මේකට වයස අවුරුදු 25ක්. ඒ කියන්නේ සියවස් කාලක්. මේ කාලය තුළ මිලියන ගාණක විශාල පාඨක පිරිසක් ප්‍රදර්ශනයට පැමිණ පොත් අරන් යන්න ඇති. මේ වගේ කාලයක ලොකු අපහසුතා මැද වුණත් ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම විශාල සේවයක්. දරුවන් සමඟ දෙමාපියන් විශාල වශයෙන් ප්‍රදර්ශනයට එනවා පේනවා. ඒ දෙමාපියන් දරුවන්ට එක පොතක් හෝ අරන් දෙනවනේ. ඒක කියවීමට පෙළඹවීමක්. අද කාලයේ මෙහි වටිනාකම වැඩි වැඩියෙන් අපට දැනෙනවා.”
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ එකදිගට වැඩිම කාලයක් පැවැත්වූ සම්මන්ත්‍රණය ලෙසත් පොත් දැක්ම වාර්තා තබන බව අපගේ හැඟීමයි. පොත් සල්පිලේ සංස්කෘතියට දැන් රටේම පාඨකයෝ ඇබ්බැහි වී පවතී. බොහෝ පාඨකයෝ ප්‍රදර්ශනය පවත්වන තුරු ඇඟිලි ගනිමින් සිටිති. අවුරුද්ද පුරා පොත් ගැනීමට මුදල් එකතු කරති. මේ දිනවල අපට එවැනි පාඨකයන් මුහුණුපොතේ සටහන් තබමින් පොත් ප්‍රදර්ශනයට සූදානම් වන බව පවසනු පෙනේ.
පොත් ප්‍රදර්ශනයේ දී අපට නිතර දැකගත හැකි මුහුණක් වන්නේ සම්මානිත ලේඛකයකු වන අනුරසිරි හෙට්ටිගේය මෙවර පොත් ප්‍රදර්ශනය ගැන ඔහු දේශයට පැවසුවේ මෙවන් අදහසකි.
“සාහිත්‍ය කෘති කියවීමේ වැඩි ඉඩකඩක් හිමි කරගෙන තිබූ පුස්තකාල සමඟ තමයි පාඨකයා වැඩි ඇසුරක් පවත්වා ගත්තේ. ඒ ඇසුර වෙනුවට තමාගේම කුඩා හෝ පොත් රාක්කයක් තබා ගැනීමට, පොඩි පුස්තකාලයක් කාමරයේ ඇතිකිරීමට පෙළඹීමක් ඇති කිරීමටත් මෙම පොත් ප්‍රදර්ශනය ලබාදුන් සහාය විශාලයි. සමහරු ඒ පුස්තකාල ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීම් කරනවා. ඒක වෙනත් අයටත් පෙළඹවීමක් ඇති කරවනවා. රටේ ප්රබලතම ප්‍රකාශකයන් පමණක් නොව ප්රාදේශීයව පොත් ප්රකාශනයේ නිරතව සිටි චූල ප්‍රකාශකයන් ද එකම භූමියක මුණ ගැසීමට ලැබීමත් මට අනුව වැදගත් සාහිත්‍ය මෙහෙවරක්. එපමණක් නොව, පාඨකයන් අතර ජනප්‍රියත්වයක් ලැබ සිටින බෙහෝමයක් ලේඛකයන් ප්‍රකාශක භූමිකාවට අවතීර්ණ වීමත් මේ වසර විසිපහ තුළ පොත් ප්‍රදර්ශනය විසින් තහවුරු කරන ලද තවත් විශේෂ මැදිහත් වීමක් ලෙස පවසන්න පුළුවන්.”
මේ වනවිට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන විසි හතරටම ගොස් පොත් මිලදී ගෙන ඇති පාඨකයකු ලෙස රුක්මල් ගමගේ විශේෂිතය. ඔහු ඊට අමතරවත් අලුත් පොත් මිලදී ගැනීමට උනන්දුවක් දක්වයි. මේ රුක්මල් පොත් දැක්ම දුටු ආකාරයයි:
“පොත් ප්‍රදර්ශනය නිසා පාඨකයන්ට කියවන්න පොත් ලැබුණා වගේම ප්‍රකාශන ක්ෂේත්රයේ පිබිදීමකුත් මම දකිනවා. සැප්තැම්බරයේ වැඩි පොත් ප්‍රමාණයක් නිකුත් කිරීමට ප්‍රකාශකයන් උනන්දු වන්නේ කොළඹ පොත් දැක්ම ඉලක්ක කරගෙනයි. මේක පාඨකයන්ටත් පහසුවක්. සැප්තැම්බරය ඉලක්ක කරගෙන තමන්ට අවශ්‍ය පොත් මිලදී ගැනීමට පාඨකයන් සූදානම් වෙනවා. ඒකට මුදල් ඉතිරි කරනවා. පොත් ප්‍රදර්ශනයට පැමිණෙන තරුණ පිරිස අතරින් වැඩි ප්‍රමාණයක් පොත් මිලදී ගන්න බවක් නම් පේන්නෙ නෑ. නමුත් ඔවුන්ට ඒ සඳහා මුදල් ගැටලු බලපානවා ඇති. ඒත් ඔවුන්ට අනාගතයේ දී පොත් මිලදී ගැනීමට පෙළඹවීමට මේ ප්‍රදර්ශනයෙන් සේවයක් වෙනවා. ඒ වගේම ලංකාවේ වැඩිම ජන සංඛ්‍යාවක් එකතු වන ඉවෙන්ට් එකත් කොළඹ පොත් දැක්ම බවට විවාදයක් නෑ.”
ලොව විශාලතම පොත් දැක්ම ලෙස සැලකෙන්නේ ජර්මනියේ ෆ්රෑන්ට්ෆර්ට් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. අවුරුදු 72ක ඉතිහාසයක් ඇති එයට රටවල් 100ක ප්‍රකාශකයන් සහභාගි වන අතර ප්‍රදර්ශන කුටි 7000ක් පමණ තිබේ. චීනයේ බේජිං පොත් දැක්ම, හොංකොං පොත් දැක්ම, කල්කටා පොත් දැක්ම, දකුණු කොරියාවේ සියොල් පොත් දැක්ම වැනි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන රාශියක් ආසියානු කලාපයේ පවත්වයි. ඒ අතරට ශ්‍රී ලංකාවේ කොළඹ පොත් ප්‍රදර්ශනය ද එක්ව තිබීම අපට සතුටකි.
• කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ - අන්තර්ජාලයෙනි