2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

තාමත් නිමක් නැති බංගලි අරගල හටන

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 20

ආසියාවේ සමෘද්ධිමත් රට බවට නමක් දිනාගනිමින් සිටි බංග්ලාදේශයේ හටගත් හදිසි  තරුණ විප්ලවය සමඟ වසර 15ක් බලයේ රැඳී සිටි ෂීක් හසීනා බංග්ලාදේශ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී පලා ගියාය. විරෝධතාකරුවන් දහස් ගණනක් අගමැතිගේ නිවසට කඩා වැදී කොල්ල කෑහ. තාවකාලික රජයකට බලය පැවැරුණි. ශිෂ්‍ය විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ කෝටා මත නොව කුසලතා මත රැකියා ලබා දෙන ලෙසයි. නමුත් අගමැති හසීනා මෙලෙස බලහත්කාරයෙන් නෙරපා හැරීමෙන් මාසයකට පසුවත් බංග්ලාදේශය වෙතින් වාර්තා වන්නේ අඳුරුසහගත පුවත්ය. අන්තර්වාර රජයට එහි පොරොන්දු ඉටු කළ හැකි වූවාද? යන්න දැන් මතුව ඇති ගැටලුවයි.

බංග්ලාදේශය තුළ මුලදී රජයේ රැකියා සඳහා හඳුන්වා දුන් කෝටා ක්‍රමයට එරෙහිව තරුණ නායකත්වය ප්‍රධානත්වයෙන් හටගත් විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාව වැඩි කල් නොගොස් පූර්ණ විප්ලවයක් දක්වා වර්ධනය විය. ඉන් අවම වශයෙන් ළමුන් 32 ක් ඇතුළු 1,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර, 400 කට අධික සිසුන්ගේ ඇස් පෙනීම අහිමි වූයේ පොලිස් කෲරත්වය හේතුවෙනි.

ආරක්ෂක අංශ විසින් 2024 ජූලි 16 සිට අගෝස්තු 5 දක්වා සිදු කරන ලද බංග්ලාදේශයේ විරෝධතා අතරතුර සිදු වූ ප්‍රචණ්ඩකාරී මර්දනය, සමූහ ඝාතන සහ බරපතළ මානව හිමිකම් කඩකිරීම් ලොව පුරා මාධ්‍ය මගින් හැඳින්වෙන්නට වූයේ බෙංගාලි ජුලි සංහාරය (බෙංගාලි : ජුලායි ගෝනායි ගෝනායි), ලෙසිනි. 76 හැවිරිදි හසීනා පලාගිය දා සිට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. ඩකා ඇගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවලංගු කර තිබුණි. රට තුළ ශිෂ්‍ය අවශ්‍යතා ඉටුකළ හැකි සහ සාමය සංවර්ධනය පවත්වාගෙන යා හැකි බව සිතූ  අන්තර්වාර රජයක් ස්ථාපිත කෙරිණි. අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස පත් වූයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සහ සමාජ ව්‍යවසායකත්වය සම්බන්ධව බංග්ලාදේශයේ කීර්තියට පත්ව සිටි නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මොහොමඩ් යූනුස්ය.

‘ඉසෙඩ්’ පරපුර යැයි හඳුන්වා ගන්නා බංග්ලාදේශ සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජය පෙරළා දමා අන්තර්වාර රජය පිහිටුවා ගනු ලැබුවේ අර්ථවත් දේශපාලන ප්‍රතිසංස්කරණයක් සඳහා බවට ප්‍රකාශ කළ ද පාලන තන්ත්‍රය වෙනස් වූ දා සිට සිදුවී ඇත්තේ දේශපාලන බැහැර කිරීම්, විරුද්ධ පාක්ෂිකයන්ට ප්‍රහාර එල්ල කිරීම්, සුළුතර ප්‍රජාව හිංසනයට ලක් කිරීම් පමණක් බවට දැන් බංග්ලාදේශ මානව හිමිකම් ක්‍රියාකාරීන් තුළින්ම චෝදනා මතුව තිබේ. ඔහුගේ පත්වීමෙන් පසු එරට අන්තවාදය ව්‍යාප්ත වෙමින් තිබෙන බවටත්, හින්දු ජාතිකයන් ඇතුළු සුළුතර ප්‍රජාව පීඩනයට ලක් කිරීමේ පසුබිම නිර්මාණය වී ඇති බවටත් චෝදනා එල්ල වී ඇත. රට දැන් එකම අලකලංචියකි.

මැතිවරණ ප්‍රතිසංස්කරණ, පාලනය හා දූෂණය පිළිබඳ ගැටලු විසඳීම වැනි අර්බුද සම්බන්ධව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකවරයා සුබවාදී අදහස් පළ කළ ද, හසීනාගේ පාලන සමයේ තහනමට ලක්වූ බංග්ලාදේශයේ දැඩි අන්තවාදී ඉස්ලාම් සංවිධානයක් වන ජමාටි ඉස්ලාම් පක්ෂයේ තහනම ඉවත් කිරීම සම්බන්ධව මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ද විශාල අවධානයක් යොමු වී ඇත. අන්තවාදයට එරෙහිව සටන් කිරීමට අන්තර්වාර රජය පියවර ගත යුතු බවට මොහොමඩ් යූනුස් ප්‍රකාශ කළ ද මෙතෙක් එවැනි උත්සාහයක් ගෙන නැති බවත් වාර්තා වේ.

අන්තර්වාර රජය, අගෝස්තු 29 වැනි දින, ෂෙයික් හසීනාගේ වසර 15ක පාලන කාලය තුළ අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කොමිසමක් පිහිටුවා ඇත. හසීනාට බංග්ලාදේශයේ දී නඩු පැවරිය යුතු බවට රට තුළ නැගී ඇති හඬට ප්‍රතිචාර දක්වමින් ගත් මේ පියවර සමඟ ඇයට දැඩි ආරක්ෂාවක් ලබා දී ඇත. ඇගේ දේශපාලන විරුද්ධවාදීන් සමූහ වශයෙන් රඳවා තබා ගැනීම සහ නීති විරෝධී ලෙස ඝාතනය කිරීම ඇතුළු පුළුල්ව පැතිරුණු මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ චෝදනාවට හසීනාගේ ආණ්ඩුව ලක්ව තිබේ. එක්සත් ජාතීන්ගේ මූලික වාර්තාවකට අනුව හසීනා නෙරපා හැරීමට පෙර සති කිහිපය තුළ පමණක් පුද්ගලයන් 600 කට වැඩි පිරිසක් මිය ගිය බව කියයි. මේ වන විට ඇය ඉන්දියාවේ සිටීම සහ  ඇයව නැවත නඩු විභාගයට බංග්ලාදේශය වෙත ගෙන ඒමට රට තුළ නැගෙන හඬ ඩකා සහ නවදිල්ලිය අතර සබඳතාවලට බලපා ඇති අතර, රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් දක්වා පැතිර පවතී.

මේ සියල්ල අතර රට තුළ නැගී ආ හින්දු විරෝධය ද ඉන්දියාව සහ බංගලිය අතර සබඳතා දෙකඩ කර තිබේ. මේ අතර රට තුළ පවතින විදුලි සහ බලශක්ති අර්බුදය ද එහි අතුරු ප්‍රතිඵලයක්ව ඇති කර්මාන්ත ශාලා වැසී යාම ද ඒ හේතුවෙන් හටගත් විරැකියාව සහ ආර්ථික පීඩනය ද රට තුළ දැඩි අස්ථාවර තත්ත්වයකට මඟ පාදා තිබේ. විශේෂයෙන්ම එරට ආර්ථිකයේ ප්‍රබලම නිපැයුම්කරුවන් වූ ඇඟලුම් සේවකයන් දස දහස් ගණන් මේ වනවිට රැකියා අහිමිව පාරට බැස තිබේ. මේ නිසා රට පුරා තැන තැන වීදි ගැටුම් විරෝධතා සහ ගිනි ඇවිලීම් දක්නට ඇත. කර්මාන්ත ශාලා රැසක් වසා දමා ඇති අතර, ඒ වසා දමා ඇති ආයතන ගිනි තබා විනාශ කිරීමට ද ප්‍රචණ්ඩකාරීන් කටයුතු කර ඇත. බංග්ලාදේශ ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය (BGMEA) මුලින් පැවසූ පරිදි නොසන්සුන්තාව හේතුවෙන් සවාර්-අෂුලියා-ජිරානි ප්‍රදේශයන්හි 54ක් සහ ගාසිපූර්හි 12ක් ද ඇතුළුව ඇඟලුම් කම්හල් 183ක් පමණ වසා දමා ඇති අතර, මෙයින් බොහෝමයක් කම්කරු නීතියේ විධි විධාන අනුව “වැඩ නැත, වැටුප් නැත” යන පදනම මත වසා දමා ඇති බව වෙළෙඳ මණ්ඩලය පවසයි. මූලික වශයෙන් අපනයනය ඉලක්ක කරගත් ඇඟලුම් කම්හල්වල නිවහන වූ කාර්මික කලාපය, පසුගිය සති දෙක තුළ කම්කරු ආරවුල්වල උණුසුම් ස්ථානයක් බවට පත්ව තිබුණි.

කල් ඉකුත් වූ වැටුප් ගෙවීම, දීමනා සහ ප්‍රතිලාභ වැඩි කිරීම, සේවක සේවිකාවන්ට සමාන රැකියා අවස්ථා ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වටා මෙම නොසන්සුන්තාව කැරකෙයි. ජම්ගාරා, නර්සිංපූර් සහ පුකුර්පාර් ප්‍රදේශවල කර්මාන්ත ශාලා කිහිපයක් කෝපයට පත් කම්කරුවන් විසින් විනාශ කරන ලදී. ඊට ප්‍රතිචාර වශයෙන් කර්මාන්ත ශාලා වසා දැමීමට කර්මාන්ත ශාලා හිමියන් තීරණය කිරීමත් සමඟ තත්ත්වය තවත් බරපතළ අතට හැරෙමින් තිබුණි.

මේ අතර රටේ සමහර ප්‍රදේශ ආශ්‍රිතව හින්දු විරෝධී ප්‍රහාර සහ ඝාතන ද ඉහළ ගොස් ඇත. බංග්ලාදේශය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පීඩාවට පත්ව සිටින හින්දු සුළුතරයට මෙන්ම බොහෝ මුසල්මාන මූලධර්මවාදීන් විසින් අධර්මවාදී ලෙස සලකනු ලබන ඉස්ලාමීය නිකායක් වන සුෆිවරුන්ගේ සිද්ධස්ථානවලට ද පසුගිය සති කිහිපය තුළ මැර ප්‍රරහාර එල්ල වූ බව වාර්තා විය.

ඒ අනුව බංග්ලාදේශයේ අන්තර්වාර රජය ඉකුත් අඟහරුවාදා හමුදාවට නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා විශේෂ බලතල ලබා දී ඇති අතර, එය රටේ පවතින අඛණ්ඩ අස්ථාවරත්වය ස්ථීර කළ සලකුණකි. නව නියෝගය, මගින් හමුදා නිලධාරීන්ට පුළුල් ප්‍රාදේශීය පොලිස් බලතල ලබාදෙයි. ඔවුන්ට දැන් සෝදිසි සහ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළ හැකි අතර විශාල රැස්වීම් විසුරුවා හැරීමට පවා බලය ඇත. මේ අනුව රටේ සාමය නැවත ස්ථාපිත කිරීම සඳහා දින 60ක කාලසීමාවකට යටත්ව මිලියන 170 ක ජනගහනයක් සිටින රට පුරා හමුදා බලය යෙදවීමට එරට අන්තර්වාර රජයට මුල් වරට සිදුව තිබේ.

හසීනා පලායාමත් සමඟ ඇරැඹුණු ප්‍රචණ්ඩත්වය රට අරාජිකත්වයට ඇද දැමුවේය. නිලධාරීන් දුසිම් ගණනක් මරා දැමීමෙන් පසු, ඔවුන්ගේ ජීවිතවලට ඇති බියෙන් පොලිසිය වීදිවලින් අතුරුදහන් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ රික්තය මැර පාලනය සහ පළිගැනීමේ ඝාතනවලින් පිරී ගියේය. අගනුවර වන ඩකා හි කූප්‍රකට නිරන්තර තදබදය සහිත රථවාහන කළමනාකරණය කිරීමේ කාර්යය සිසුහු භාර ගත්හ. පසුව පැමිණි අන්තර්වාර නායකයා, සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉකුත් මාසයක කාලයක් තුළ දැඩි ලෙස අරගල කර ඇත. පොලිස් නිලධාරීන් ක්‍රම ක්‍රමයෙන් තම රැකියාවට පැමිණි නමුත්, බොහෝ දෙනෙක් තම සේවා ස්ථානවලින් බොහෝ ඈතට නොගියහ. ඔවුන්ගේ ආත්ම විශ්වාසය අඩු වී තිබුණි. ඒ බොහෝ නිලධාරීහු හමුදාවේ ආරක්ෂාව යටතේ සිවිල් ඇඳුමින් සැරසී සේවයට පැමිණ සිටියහ.

සැබැවින්ම, මෑත සතිවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේ බොහෝ කාර්යයන් භාරගෙන තිබුණේ හමුදාවය. මේ නිසා අන්තර්වාර රජයේ නව තාවකාලික බලතල මගින් නිලධාරීන්ට එම රාජකාරි වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීමට හැකිවනු ඇත. බංගලි හටන තවමත් නිමා වී නැත. ශිෂ්‍ය බලාපොරොත්තු ඉටු වනවා වෙනුවට රට වෙනම ආරාජික-පරාජිත අඩියකට ඇද වැටෙමින් පවතී.
   
• සුගත් පී. කුලතුංග ආරච්චි

 

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05