රජය රාජකීය විද්‍යාල ගම්බද ප්‍රදේශවල ආරම්භ කරන බවට පුරසාරම් දෙඩුවද ග්‍රාමීය අධ්‍යාපනයට අත්ව ඇති ඉරණම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ පාසල් සංගණන වාර්තාව අනුව මොනවට පැහැදිලි වෙයි. නමට රාජකීය විද්‍යාල ලෙස බෝඩ් ලෑලි සවිකළ පාසල් ගම්බද ප්‍රදේශවල ස්ථාපිත වුවද ඒවායේ අභ්‍යන්තර ව්‍යුහය අනුව අධ්‍යාපනය වැටී ඇති තත්ත්වය පැහැදිලිය. වෙනත් දියුණු රටවල් හා සංසන්දනය කළ විට අපේ රටේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ජාතික ආදායමෙන් සියයට 2 ක මට්ටමේ පවතී. වගකිවයුත්තන් මෙය සියයට 4 ක් කරන බව අයවැය ලේඛන ඉදිරිපත් කරන වකවානුවල පැවසුවද එය සිහිනයක් බවට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව පෙනී යන්නේ තවමත් කොළඹට කිරි ගමට කැකිරි යන සංකල්පයෙන් බැහැරව යාමට අපට නොහැකි වී ඇති බවය. මෙම තත්ත්වය නිසා ජනප්‍රිය පාසල්වල දැඩි තදබදයක් ඇතිවී තිබේ. මෙයට හේතුව දිවයිනේ සෙසු ප්‍රදේශවල සිසුන් නාගරික පාසල්වලට එකතුවීමේ ප්‍රවණතාවය වැඩි වීමය. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ද ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ මිනුම් දණ්ඩක් බවට පත්කර තිබීම නිසා නගරයේ පාසල් උසස් බවට මුළු රටේම පිළිගැනීමක් ඇතිකර තිබේ. ඒ නිසා සිසුන්ගේ මාපියන් උත්සාහ කරනුයේ නියම් හෝ අනියම් ආකාරයකින් තම දරුවන් නගරයේ පාසල්වලට රිංගවීමටය.
මෙම වාර්තාව අනුව පැවසෙන්නේ ගම්බද පාසල්වල අධ්‍යාපන මට්ටම විශාල ලෙස පහළ වැටී ඇත්තේ සම්පත් හිඟය නිසා බවයි. ගොඩනැගිලි, ගුරුවරුන්, අධ්‍යාපන උපකරණ, සිසුන්ට ලැබෙන පහසුකම්, ප්‍රවාහන අපහසුකම් ආදිය නිසා නගරයේ පාසල් සහ ගම්බද පාසල් අතර අහසට පොළොව තරම් වූ විශාල වෙනසක් පවතී. අධ්‍යාපන මට්ටම ද සමාජයේ පන්ති භේදයක් නිර්මාණය කරන තැනට පත්ව තිබීම කනගාටුවට කරුණකි. තම දරුවන් යන්නේ රෝයල් එකට යැයි පැවසීම මව්පියන්ට තම මහේශාක්‍යභාවය තීව්ර කිරීමට හේතුවක් වී ඇත. සමාජයේ පිළිගැනීමට ලක්ව ඇත්තේ ජනප්‍රිය පාසල්වල අධ්‍යාපන මට්ටම ගම්බදව වඩා ඉහළ බවටය. ප්‍රසිද්ධ විභාගවල ප්‍රතිඵල අනුව ද එය සනාථ වෙයි.
අපේ රටේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට සිදුව ඇති විපත පිළිබඳව සංඛ්‍යාලේඛන සහ දත්ත ඉදිරිපත් කරමින් අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ ආසියාතික රටවල් අතරින් අධ්‍යාපනය පිළිබඳ ඉහළ අගැයීමට පත්ව තිබූ ශ්‍රී ලංකාව පසුගිය සමයේ සිදුවූ අනපේක්ෂිත ඛේදවාචක නිසා මේ වනවිට දරුණු පසුබැස්මකට ලක්ව ඇති බවයි. එහෙත් ඒ පිළිබඳ ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් කිසිවකුගේ අවධානයට ලක් නොවීම පිළිබඳ හේ කනගාටුව ප්‍රකාශ කරයි.
“පහුගිය හය වසර තුළ අපේ රටේ පාසල් සිසුන්ගේ ප්‍රමාණය තුන්ලක්ෂ තිස් දෙදහස් අසූ හතරකින් (3,32,084) පහළ වැටිලා තියෙනවා. එය විශාල ඛේදවාචකයක්. දරුවන් අධ්‍යාපනයට එක් නොවෙනවා කියන්නේ සාක්ෂරතාව ඉහළ බවට විරුදාවලි ලැබූ අපේ රටට විශාල කැළලක්. මෙලෙස දරුවන් පාසල් යාම පහළ බැසීමට පසුගිය සමයේ සිදුවූ සිද්ධි සහ ස්වභාවික විපත් විශාල ලෙස බලපෑවා. ඇතැම් ඒවා වළක්වා ගන්න තිබුණත් ඒ පිළිබඳ වගකිවයුත්තන් කිසිදු උත්සාහයක් ගෙන නැහැ. පාසල් සංඛ්‍යාව ද ක්‍රමයෙන් අඩුවෙලා. 2018 වසර වනවිට රටේ පාසල් 10,175 ක් තිබුණා. 2020 වනවිට එම සංඛ්‍යාව 10,155 දක්වා අඩුවෙලා. 2023 වනවිට 10,096 දක්වා අඩු වුණා. රටේ දරුවන් වැඩිවන විට පාසල් සංඛ්‍යාව වැඩි විය යුතු නමුත් මෙතැනදී සිදුව ඇත්තේ අඩුවීමක්.
රජයේ පාසල්වලට යන සිසුන් සහ ගුරුවරුන් පිළිබඳ සංඛ්‍යාලේඛන මෙසේයි.
අවුරැද්ද සිසුන් ගුරුවරුන්
2018 4,214,772 247,334
2020 4,063,685 249,494
2023 3,882,688 237,787
සිසුන් සංඛ්‍යාව මෙම වසර 5 තුළ දී 432,084 කින් අඩු වී ඇති බව පෙනෙනවා. එසේම ගුරුවරුන් ගණන ද 9,547 කින් අඩු වී තියෙනවා.
මෙලෙස සිසුන් සහ ගුරුවරුන් පසුගිය වසර 5 තුළ සැලකිය යුතු අන්දමට අඩු වී තිබීමෙන් අධ්‍යාපනයේ ව්‍යාප්තිය මෙන්ම ප්‍රමිතිය ද පහළ ගොස් ඇති බව පෙනෙනවා.
එසේම සිසුන් 50 ට අඩු පාසල් වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. 2018 වසරේ දී පාසල් සංඛ්‍යාව 2020 දී සුළු වශයෙන් 41 කින් අඩු වුවද 2023 වනවිට එම ගණන 26 කින් ඉහළ ගොස් 1506 දක්වා වී තිබෙනවා. සිසුන් 51 සහ 100 අතර සිටින පාසල් 2018 වසරේ 1530 තිබුණද, 2023 වසරේ දී 1638 දක්වා 108 කින් වර්ධනය වී තිබෙනවා. එසේම දරුවන් 100 සිට 200 දක්වා අධ්‍යාපනය ලබන පාසල් සංඛ්‍යාව 2018 සිට 2023 වනවිට 123 කින් වැඩි වී ඇති බව පෙනෙනවා. 2018 වසරේ දී දරුවන් 200 ට අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් 5139 ක් තිබුණු අතර 2023 වනවිට ඒ ප්‍රමාණය 5262 ක් වී තිබෙනවා.
මෙහිදී පෙනෙන විශේෂ කරුණක් නම් රටේ පෞද්ගලික පාසල් සංඛ්‍යාව මෙම වසර 5 තුළදී 15 කින් වැඩි වී ඇති බවයි. 2018 වසරේ දී එවැනි පාසල් 80 ක් තිබුණද, 2023 වනවිට එම සංඛ්‍යාව 95 ක් වී තිබෙනවා. මෙම පෞද්ගලික පාසල්වල 2023 වනවිට සිසුන් 1,39,863 ක් අධ්‍යාපනය ලබන අතර ගුරුවරුන් 8170 ක් ඉගැන්වීමේ කටයුතුවල නිරත වී ඇති බව පෙනී යනවා. රටේ රජයේ පාසල් වන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පහළ යන විට එයට විකල්පයක් ලෙස පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට සම්බන්ධ වන සංඛ්‍යාව ඉහළ යන බව පෙනී යනවා. එසේ වුවද මෙම තත්ත්වය තේරුම් ගෙන රජයේ පාසල්වල ප්‍රමිතිය ඉහළ නැංවීමට උනන්දුවක් දක්වා නොමැති බවද පැහැදිලියි. ඒ නිසා රජයේ අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය පෞද්ගලික අංශයට වඩා පහළ මට්ටමක ඇති බව පෙනෙන්නට තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පිරිවෙන් 822 ක් ස්ථාපිත අතර 2023 වසර වනවිට එම පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් 69,108 ක් අධ්‍යාපනය ලැබූ අතර ඒවායේ සේවය කළ ගුරුවරුන් සංඛ්‍යාව 7118 ක්. මෙම පිරිවෙන් රජයේ ආධාර ලබන ඒවා වන අතර ගුරුවරුන් සඳහා වැටුප් ගෙවනු ලබන්නේ රජයයි.”
මේ සංඛ්‍යාලේඛන සියල්ල එකට ගෙන සලකා බැලූ විට පහත සඳහන් කරුණු අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් අනාවරණය වන බව මහාචාර්යවරයා කියයි.
“රටේ පාසල් සංඛ්‍යාවෙන් සියයට 50 කට වඩා ඇත්තේ සිසුන් 200 කට වඩා අඩු ඒවායි. සමස්ත පාසල් 1096 කින් ජීව විද්‍යාව උගන්වන පාසල් ඇත්තේ 966 ක් පමණක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් විට මුළු පාසල් සංඛ්‍යාවෙන් සියයට 9 ක් වෙනවා. පාසල් සංඛ්‍යාවෙන් 931 ක භෞතික විද්‍යාව උගන්වන අතර ඒ ප්‍රමාණය ද සියයට 9 ක්. උසස් පෙළට කලාව උගන්වන පාසල් 2,944 ක් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙසට සියයට 29 ක්. වාණිජ විෂයන් උගන්වන පාසල් 1856 ක් වන අතර ප්‍රතිශතයක් වශයෙන් සියයට 18 ක්. තාක්ෂණ විෂය මාලා උගන්වන පාසල් සංඛ්‍යාව 528 ක්. එය ප්‍රතිශතයක් ලෙස සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 5 ක් වෙනවා. මෙයින් පෙනී යන්නේ සම්පත් බෙදී යාමේ දැඩි විෂමතාවක් ඇති බවයි.
රටේ 2023 දී උසස් පෙළට ජීව විද්‍යාව හදාරන සිසුන් සංඛ්‍යාව 52,492 ක් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 13 ක්. භෞතික විද්‍යාව හදාරන සංඛ්‍යාව 48,069 ක් වන අතර ප්‍රතිශතය සියයට 12 ක්. තාක්ෂණික විෂයන් උසස් පෙළට ඉගෙන ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 48,942 ක් වන අතර එය ද ප්‍රතිශතයක් ලෙස සියයට 12 ක් වෙනවා. වාණිජ විෂය ධාරාව හදාරන සිසුන් සංඛ්‍යාව 85,769 ක් වන අතර එය සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 21 ක්. එක් ලක්ෂ පනස්අට දහස් අනූ දෙකක (1,58,092) සිසු පිරිසක් කලා විෂයන් ඉගෙන ගන්නා අතර එය වැඩිම ප්‍රතිශතයක් වන සියයට 38 ක් වෙනවා. මේ අනුව අපට පෙනී යන්නේ උසස් පෙළ හදාරන සිසුන් සංඛ්‍යාව අතර දැඩි විෂමතාවක් දක්නට ඇති වන්නේ වැඩිම සංඛ්‍යාවක් කලා විෂය ධාරා හදාරන අතර අඩුම සංඛ්‍යාවක් භෞතික විද්‍යාව හදාරන බව පෙනී යාමයි.
මේ හැර පාසල් වර්ගීකරණය අනුව ද දැඩි විෂමතාවක් දක්නට ලැබෙනවා. 2023 වසර වනවිට රටේ ජාතික පාසල් 306 ක් සහ පළාත් සභා පාසල් 9700 ක්ද තිබුණු බව වාර්තා වෙනවා. සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය සිදු කරන පාසල් 6247 ක් සහ දෙමළ මාධ්‍ය පාසල් 3011 ක්ද රටේ තිබී තියෙනවා. එසේම සිංහල ඉංග්‍රීසි මාධ්‍ය පාසල් 581 ක්ද සිංහල දෙමළ පාසල් 39 ක්ද 2023 වසරේ දී පවත්වාගෙන ගොස් තිබෙනවා.
2023 වසරේ දී දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යවලින් අධ්‍යාපනය කරන පාසල් 183 ක් සහ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම උගන්වන පාසල් 35 ක් ඇති බව වාර්තාවේ දැක්වෙනවා. මේ අතර රටේ දරුවන් සංඛ්‍යාව වැඩි පාසල් ඉතා අඩුවන අතර 3000 – 4000 අතර පාසල් 67 ක්ද 4000 කට වඩා වැඩි පාසල් 33 ක්ද තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවේ දැක්වෙනවා.
කෙසේ වුවද මෙම සංඛ්‍යාලේඛන අනුව පෙනී යන ප්‍රධාන කාරණයක් නම් මේ විෂමතාවට එක් ප්‍රධාන හේතුවක් වනුයේ පාසල් අතර සම්පත් බෙදී යාමේ විෂමතාව බවයි. ඈත ගම්වල සිසුන් සංඛ්‍යාව ඉතාම අඩු පාසල් අධික වන අතර, නගරයේ දක්නට ලැබෙන්නේ එහි අනෙක් පැත්තයි. ගුරුවරුන් අඩුවීම, ගොඩනැගිලි සහ උපකරණ හිඟය උග්‍ර අතර සිසුන් උපකාරක පන්තිවලට යාම ඉතාම පහළ මට්ටමක පැවතීමද ගම්බද අධ්‍යාපන මට්ටම පහළ ගොස් ඇතිවීමට හේතු වෙනවා.
නාගරික පාසල්වල සම්පත් සහ පහසුකම් ඉහළ මට්ටමක තිබෙනවා. ගුරු හිඟයක් නැහැ. සෑම අංශයකටම දක්ෂ ගුරුවරුන් සිටිනවා. සිසුන්ට පාසල් උපකරණ පොත්පත් ආදියට මුදල් වැය කළ හැකියි. එසේම මේ සිසුන්ට අමතර පන්තිවලට ගොස් අධ්‍යාපනය ලැබීමට හැකියාව තිබෙනවා. ඒ අතින් මේ දරුවන් අඩුපාඩුවලින් පීඩිතව පාසල් යන ගම්බද සිසුන්ට වඩා වාසනාවන්තයි. මෙම අධ්‍යාපන විෂමතාව නැති කිරීමට මේ තාක් පත් කළ කිසිදු රජයක් උනන්දු වී නැහැ. ගම්බද පාසල්වල දරුවන්ට ආහාර පවා අඩුයි. පාසල් සිසුන්ගෙන් 1/3 ක් පමණ උදෑසන ආහාර නොගෙන පාසල් එන බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. එසේම පොත්පත් සහ උපකරණ මිලට ගැනීමට වත්කමක් නැහැ. දිළිඳු බව නිසා සතියේ දින තුනකට වඩා පාසල් නොයන දරුවන් සිටිනවා. තම දරුවන් ගොවිතැන් ආදී බාහිර කටයුතුවලට ගෙවල්වල රඳවා ගැනීමට ඇතැම් දෙමව්පියන්ට සිදුව තිබෙනවා. එසේම ප්‍රවාහන වියදම් සොයාගත නොහැකි වීමද දරුවන් ගෙවල්වල නැවතීමට හේතු වෙලා. ගුරුවරුන් ද දුෂ්කර ප්‍රදේශවල පාසල්වල රැඳී සිටීමට අකමැති අතර ඔවුන් කෙටි කලකින් නගරයට යාමට උනන්දු වෙනවා. දරුවන් වසරෙන් වසර දුෂ්කර පළාත්වල පාසල්වලට පැමිණීම අඩුවෙලා ඇති නමුත් වගකිවයුත්තන් මේ පිළිබඳ කිසිදු උනන්දුවක් නොදැක්වීම කනගාටුවට කරුණක්.”
• යසවර්ධන රුද්රිගූ