2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ඡන්ද කටේ ඇරඹෙන ගාලු සටන

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම් යුද්ධ, බෝම්බ පිපිරීම් ඇතුළු ත්‍රස්තවාදී ප්‍රහාර සහ තර්ජන, වසංගත ඇතුළු විවිධ ආපදා හේතුවෙන් තරග සංචාර අතහැර දැමූ අවස්ථාවන්ට ඕනෑ තරම් උදාහරණ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ ලාහෝර් නුවර දී 2009 වසරේ මාර්තු මස ලක්වූ ත්‍රස්ත ප්‍රහාරය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර ජාතික ක්‍රිකට් කණ්ඩායමක් මුහුණ දුන් දරුණුතම ප්‍රහාරය ලෙස හැඳින්විය හැකිය.
ත්‍රස්ත ප්‍රහාර ඇතුළු විවිධ හේතු මත තරග සංචාර අතරතුර තරග අතහැර ගිය ජාතික ක්‍රිකට් කණ්ඩායම් අතර නවසීලන්ත කණ්ඩායම ඉදිරියෙන් සිටියි.

නවසීලන්ත පිලේ තරග සංචාර කිහිපයකට මෙරට දී වර්ෂාවෙන් බාධා ඇතිවී තරග කිහිපයක් අතහැර දැමීමට සිදුවීමෙන් නවසීලන්තයට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාර අපල යැයි පිළිගැනීමක් ද තිබේ.

නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමක දෙවැනි ශ්‍රී ලංකා තරග සංචාරය වූ 1987 වසරේ අප්‍රේල් මස පැවැති තරගාවලිය අතරතුරදී කොළඹ පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පුපුරා හැරි දැවැන්ත බෝම්බය හේතුවෙන් තරගාවලිය අතරමගදී නතර කිරීමට සිදුවිය.

නවසීලන්ත කණ්ඩායම තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සහ තරග හතරකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණිය ද, එම සංචාරය ටෙස්ට් තරගදෙකකට පමණක් සීමා විය.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම 1992 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට පැමිණිය ද නොවැම්බර් මස 16 වැනිදා කොළඹ නගරයේ පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ හේතුවෙන් නවසීලන්ත පිල භීතියට පත්විය. ඒ හේතුවෙන් නවසීලන්ත පිලේ ප්‍රධාන පුහුණුකරු ඇතුළු ක්‍රීඩකයන් පස්දෙනෙක් තරගාවලිය අතරහැර දමා මව්රට වෙත පිටත්ව ගියහ.

මෙරට ඉතිරි වූ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස සහ එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීය.

වසර පහකට පසුව වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පසුගිය බදාදා (18) ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග දෙකකින් යුත් සංචාරය ආරම්භ කළේය.

මෙම නවසීලන්ත සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂයක් බවට පත්වෙමින් පුහුණුකරු සනත් ජයසූරිය මහතා දැවැන්ත වෙනස්කමක් කරමින් තරගයට පිවිසියේය.

ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් කඩුලු රැකීමෙන් ඉවත් කර අංක තුන ස්ථානයට ගෙන ආ ජයසූරිය, මෙතෙක් අංක තුන ස්ථානයේ පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස් අංක හතට ගෙන එමින් කඩුලු රැකීමේ වගකීම ඔහුට පැවරීය.
එංගලන්ත සංචාරයේ දී අංක හත ස්ථානයේ පන්දුවට පහර දෙමින් සාර්ථක වූ කමිඳු මෙන්ඩිස් අංක පහ දක්වා උසස් කර තිබුණි. මෙම වෙනස්කම් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රීඩා කළ සාර්ථක කාලය නිර්මාණය කිරීමේ පළමු පියවර ලෙස ක්‍රිකට් විස්තර විචාරකයන් හඳුන්වා තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ලබා පළමුව ලකුණු රැස්කිරීම තෝරාගත් අතර සනත් ජයසූරියගේ සැලසුමට පිතිකරුවන් වටිනාකමක් දුනහොත් මෙය ශ්‍රී ලංකාවට සාර්ථක ටෙස්ට් තරගාවලියක් වනු ඇත.  

කෙසේ වෙතත් මෙවර තරගාවලිය ආරම්භ වීමට පෙරම තරගාවලියට බාධාකයක් එල්ල විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය බදාදා ආරම්භ වූ ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන ඊයේ (21) විවේක දිනයක් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට සිදුවිය. ඒ අනුව එම ටෙස්ට් තරගය දින හයක තරගයක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරගයකට විවේක දිනයක් වසර 23 කට පසුව ලැබීම ද මෙහිදී කැපී පෙනෙයි.

ජනාධිපතිවරණය එදිනට යෙදී තිබීම විවේකයක් ලබා දීමට හේතුව විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එදින නිවෙස්වලට ගොස් ඡන්දය ප්‍රකාශ කර පස්වරුවේ නැවත ගාල්ලට පැමිණි යුතු යැයි ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබුණි.  එය දෙරටේ ක්‍රිකට් ආයතනය සාකච්ඡා කර ගත් තීරණයක් වීම හේතුවෙන් මැතිවරණ දිනයේ විවේකයක් දීම ගැටලුවක් නොවන අතර මැතිවරණ දිනයේ හෝ ඉන් පසුව රට තුළ කලහකාරී තත්ත්වයන් ඇතිවුවහොත් නවසීලන්ත කණ්ඩායම භීතියට පත්වනවාට සැක නැත. එසේ වුවහොත් මෙවර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ද අවදානම් තත්ත්වයකට පත්වනු ඇත.

දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ගාල්ලේදීම ආරම්භ වීමට නියමිතය. මෙම තරග දෙක ලෝක ටෙස්ට් තරගාවලියට ඇතුළත් වන අතර ශ්‍රී ලංකාව එම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ ද, නවසීලන්තය දෙවැනි ස්ථානයේ ද, පසුවෙයි. ඒ හේතුවෙන් දෙපිලටම මෙම තරග දෙක වඩාත් වැදගත් වී තිබේ.

නවසීලන්තය සමස්තයක් වශයෙන් සාමකාමී රටක් වීම නිසා එරට ජනතාව බෝම්බ පිපිරීම් සහ කෝලහාල වැනි සිද්ධීන්වලට දැඩි භීතියක් දක්වති.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරක්ෂා කරගැනීමේ වගකීම මෙරට ජනතාව මත පැවරී තිබේ. ඡන්ද ප්‍රතිඵලය කුමක් වුවත් මෙරට ජනතාව තුළ එය දරා ගැනීමේ හික්මීම ලොවටම ආදර්ශයක් වනු ඇත.
බංග්ලාදේශ කණ්ඩායම 2019 වසරේ මාර්තු මස නවසීලන්තයේ සංචාරය කරමින් සිටියදී ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන ඉලක්ක කරමින් ඉල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන් අනූ නවයෙන් දිවි ගලවා ගත් බවද අමතක නොකළ යුතුය.

සටහන: යොහාන් භාසුර
ඡයාරූප - අන්තර්ජාලයෙනි