2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අවුලෙන් බැටකන දරුවෝ

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 22

මෙරට පාසල් අධ්‍යාපනයේ තීරණාත්මක මෙන්ම ආන්දෝලනාත්මක කඩයිම් විභාග තුනකි. එනම් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයයි. මෙම විභාග කාලසීමාවේදී මුළු රටේම අවධානය යොමු වන්නේ විභාගය ලියන සිසුන්ටත් වඩා විභාගයට පෙර සහ පසු වාර්තා වන අක්‍රමිකතාවලටය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ ඉකුත් 15 වැනිදාය. මෙය වාර්තා වන්නේ අනුරාධපුර විභාග මධ්‍යස්ථානයකය. සිදුවීමට පාදක වන්නේ සිසුන් පිළිතුරු ලිවීමට පෙර ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධියකි. ප්‍රශ්න පත්‍රය ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කර උපකාරක පන්ති ගුරුවරුන් කිහිප දෙනකුට ලබා දී ඇතැයි ද, එය අනුරාධපුර, නොච්චියාගම, කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකට යවා ඇතැයි ද තොරතුරු අනාවරණය වෙමින් පවතී. එසේම විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හයක් විභාගයට පෙර දින අනුමාන ප්‍රශ්න ලෙස සාකච්ඡා කර තිබෙන බවත් ඒ අතරින් ප්‍රශ්න දෙකක් දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍රයේ ආසන්නම සමානකමකින් සඳහන් වී ඇතැයි අනාවරණය වී තිබේ. දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍රයේ මුහුද සම්බන්ධ කවියක් ආශ්‍රයෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නය අනුමාන ප්‍රශ්න පත්‍රයේ මුහුද සම්බන්ධ ගීතයක කොටසක් සඳහන් කරමින් මුද්‍රණය කර ඇතැයිද ගම්මානයක රූපයක් සහිත ප්‍රශ්නයක් සහ ගේට්ටු පියන් රූපයක ප්‍රශ්නයක ද දෙපාර්තමේන්තු සහ අනුමාන ප්‍රශ්න පත්‍ර දෙකේ සමානතාවක් සම්බන්ධයෙන් සොයා බලන බව දෙපාර්තමේන්තුව පවසයි.

පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු විසින් මෙම අනුමාන ප්‍රශ්න පත්‍රය සිය පාසලේ සිසුන්ට ලබා දී උපකාරක පන්ති සිසුන්ට වට්ස්ඇප් මාර්ගයෙන් ලබා දී ඇතැයිද විභාගය පැවැත්වූ දින, එනම් 15 වැනිදා අලුයම ප්‍රශ්න පත්‍රය සිය වට්ස්ඇප් සමූහයෙන් ඉවත් කර ඇතැයිද යන්න සම්බන්ධයෙන් සොයා පරීක්ෂණ කරන බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් සහකාර ශාලාධිපති ඇතුළු ගුරුවරුන් 6 දෙනකුට එරෙහිව විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් අරඹා ඇත. මේ සම්බන්ධයෙන් සහකාර ශාලාධිපති සහ ගුරුවරුන් හයදෙනා විභාග දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන ඇත. අනුමාන ප්‍රශ්න සාකච්ඡා කළ බව කියන අලව්ව ප්‍රදේශයේ ගුරුවරයකු සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම ගැටලුව හේතුවෙන් තම දරුවන්ට අසාධාරණයක් වී ඇතැයි පවසමින් මවුපියන් රට පුරා විරෝධතා පැවැත්වූ අතරේ තවත් විශාල පිරිසක් බත්තරමුල්ල ඉසුරුපාය විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ. මෙවැනි සිදුවීම් පසුගිය කාලය පුරාම අසන්නට ලැබුණු බවත් ඒ අවස්ථාවල වරදකරුවන්ට නිසි දඬුවම් දුන්නේ නම් මෙවැනි දේ වර්තමානයේ සිදු නොවන බවත් මවුපියෝ පවසති. රජය මගින් පවත්වනු ලබන විභාගයක ප්‍රශ්න පත්‍රය මුදලට ලබා ගැනීමට හැකියාවක් පවතින්නේ නම් වසර තුනක් පුරා රජය මෙන්ම මවුපියන් විශාල මුදලක් වියදම් කර දරුවන්ට ඉගැන්වීම අවශ්‍ය නොවන බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

මේ සම්බන්ධයෙන් පිරිසක් පවසනුයේ විභාගය අවලංගු කර යළි විභාගය මුල සිට පවත්වන ලෙසයි. ජාතික මට්ටමක විභාගයකට දරුවන් මුල් වරට මුහුණ දෙන්නේ ශිෂ්‍යත්ව විභාගයටය. මවුපියන්ගේ උනන්දුව මත තම දරුවා හෝ දැරිය මෙහෙයවමින් මවුපියන් වෙහෙසෙනුයේ තම දරුවා උසස් ලකුණු මට්ටමකට හිමිකම් කියනවාටය. මවුපියන් ඒ වෙනුවෙන් නොකරන දෙයක් නැත. මධ්‍යම රාත්‍රියේ පවා ශිෂ්‍යත්ව පන්තිවලට දරුවන් ගෙන යාමේ සිට දේවාලවල දේව ඇදහිලි, බලිතොවිල්, ශාන්තිකර්ම දක්වා නානාවිධ දෑ මවුපියෝ කරති. ඒ නිසාම මේ විභාගය බොහෝ දෙනා හඳුන්වන්නේ ද අම්මලාගේ විභාගය ලෙසිනි. දරුවන් මෙන්ම ගෙවල්වල සාමාජිකයන් ද බලා සිටින්නේ විභාගය අවසන් කර පැමිණෙන දරුවා සිනහමුසු මුහුණින් දැකීමටය.අම්මලාට ඇඟට ලේ පොදක් උනන්නේ දරුවා සිනහමුසු මුහුණින් පැමිණෙනු දුටු පසුවය. ශිෂ්‍යත්ව විභාගය අවසන් වන‌ තෙක් ගෙවල්වල ගණන් හදන්නේ ඊටපසු යන්න තියෙන චාරිකා, නෑදෑ ගමන්, සවාරි යාමටය. එහෙත් අමාරුවෙන් ගොඩදැමූ විභාගය අවලංගු කර නැවත පැවැත්වීම එය ළමා මනසට මහත් කරදරකාරී අත්දැකීමක් වනු නිසැකය. එය දරුවන්ටත් වඩා මවුපියන්ට වේදනාකාරී වනු නොඅනුමානය.

කෙසේ වෙතත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනුයේ අනුමාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් සම්බන්ධයෙන් තමන්ටද ගැටලුවක් ඇති බවත්, විභාග අයැදුම්කරුවන්ට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොදෙන බවත්ය.
මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවේ බලධාරීන් තීරණයකට එළැඹ සිටින බව මාධ්‍යයේ දුටුවෙමු. ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ ප්‍රශ්න පත්‍රයේ පාලක පරීක්ෂක විශේෂඥ මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකින් පසුවය. ඒ තීරණය නම් අනුමාන ප්‍රශ්න පත්‍රයේ සමාන වූ දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුන අතහැර ඉතිරියට ලකුණු ලබා දීමටය. ඒ අනුව ප්‍රශ්න හතළිහකින් යුත් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා ප්‍රශ්න තුනක් අතහැර ඉතිරි ප්‍රශ්න තිස්හතට අදාළව ලබාදීමට ද තීරණය කර ඇත. එයට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා විමර්ශන කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු වාර්තාව ලැබීමට නියමිතව තිබිණි.

මෙම සිද්ධියට සම්බන්ධ පිරිස විනය කමිටුව හමුවට යොමු කර විභාග පනතේ ප්‍රතිපාදන සහ ආයතන සංග්‍රහයේ විධි විධාන අනුව නිසි දඬුවම් නියම කිරීමට අපේක්ෂා කරන බවත් විභාගවල රහස්‍යබව ආරක්ෂා කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගෙන ඇතිමුත් නව තාක්ෂණික ක්‍රම පිළිබඳ පවතින ගැටලු කඩිනමින් විසඳීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් විභාග කොමසාරිස්වරයා පැවසීය. විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කර ලකුණු ලබාදීමේ තීරණය සම්බන්ධයෙන් රට පුරා විවිධ විවේචන එල්ලවන අතර එකී තීරණය ප්‍රායෝගික ද යන්න සම්බන්ධයෙන් දෙවරක් කල්පනා කළ යුතුව ඇත. එය එසේ වන්නේ නම් ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර දෙකටම සාර්ථකව මුහුණ දුන් සිසු පිරිසට මෙම තීරණයෙන් යම් අසාධාරණයක් වීම වැළැක්විය නොහැකි යැයි අපි සිතමු. ප්‍රශ්න පත්‍ර පිටවීමේ ගැටලුව සිදු වූ මුල් අවස්ථාව මෙය නොවේ. මෙය ප්‍රධාන විභාග ඉලක්ක කරගෙන වාර්ෂිකව සිදු වූ වරදකි.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ජෝෂප් ස්ටාලින් මහතා පැවසුවේ මෙයට වසර ගණනාවකට පෙර විභාග ප්‍රශ්න පත්‍රයක් පිටට යැවූ වරද සම්බන්ධයෙන් චෝදනා ලැබූ නිලධාරීන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස්වීම් ලබා විශ්‍රාම ලැබූ අවස්ථා ඇති බවයි. මුල් වරට ජාතික විභාගයකට මුහුණ දෙන පහ වසර සිසුන් ලැබූ මෙවර අත්දැකීම අතිශය සංවේදී කාරණයකි. විභාග අක්‍රමිකතා සිදුකිරීමට නොහැකි වන සේ තාක්ෂණය උපරිම ආකාරයෙන් උපයෝගී කරගැනීමත්, නීතියේ දැලෙන් රිංගා මෙවැනි අක්‍රමිකතා කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා තාවකාලික පැලැස්තරවලින් තොරව නිසි දඬුවම් දීමෙන් වාර්ෂිකව සිදුවූ මෙවැනි වැරැදි වළක්වා ගතහැකි බව අපි සිතමු.

• සසංක චලන ගිම්හාන