2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

අධික වෙහෙස නිසා දේශපාලනඥයන් රෝගී විය හැකිද?

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:04 128

මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේදී ඇතැම් අපේක්ෂකයන් අධික ලෙස විඩාපත් බවට පත්වීම, එසේම ඇතැම් අපේක්ෂකයන් විඩාපත් වුවත් ඔවුන්ට වැඩ කිරීමට ඇති හැකියාව මෙන්ම ඇතැම් අපේක්ෂකයන්ට එසේ වැඩ කිරීමට ඇති නොහැකියාව පිළිබඳව සමාජ මාධ්‍ය අවකාශ තුළ සැලකිය යුතු මට්ටමේ අවධානයට ලක්විය.

මනෝ වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඒකාකාරී කාර්යයක දීර්ඝ කාලයක් අධික ලෙස යෙදී සිටීමෙන් 'Burnout' නමැති රෝගී තත්ත්වයට පත්විය හැකි බවයි. මෙම තත්ත්වය ඕනෑම වෘත්තියකට අදාළ වේ.
දේශපාලනඥයන්ට ද මෙම තත්ත්වය ඇතිවිය හැකි අතර, ලෝක දේශපාලනය තුළ ඊට උදාහරණ ද පවතී.

'Burnout' වීම සැඟවිය යුතු තත්ත්වයක්ද?

අධික ලෙස ඒකාකාරීව වැඩ කිරීමෙන් Burnout තත්ත්වයට පත්විය හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, දේශපාලනඥයන්ට පමණක් නොව ඕනෑම රැකියාවක නිරත වන පුද්ගලයකුට මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ හැකියාවක් පවතින බවය.

“මේක රෝගී තත්ත්වයක්. ඕනෑම කෙනකුට හැදෙන්න පුළුවන්. ඒ නිසා මේක හංගන්න අවශ්‍ය නෑ. අධික ලෙස වැඩ කිරීම නිසා ඇතිවන අධික වෙහෙස නිසා තමයි මේ තත්ත්වයට පත් වෙන්නේ,” වෛද්‍ය රූමි රූබන් පැවසීය.
'Burnout' යනු කුමක්ද?

‘Burn-out යනු සාර්ථකව කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ සේවා ස්ථානය තුළ දීර්ඝ කාලීනව පවතින ආතතිය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි ප්‍රධාන ලක්ෂණ තුනකි:

ශක්තිය ක්ෂය වීම හෝ වෙහෙස පිළිබඳ හැඟීම්;

යමකුගේ රැකියාවෙන් මානසික දුරස්ථභාවය වැඩි වීම, හෝ කෙනකුගේ රැකියාව හා සම්බන්ධ නිෂේධාත්මක හැඟීම් වැඩි වීම සහ වෘත්තීය කාර්යක්ෂමතාව අඩු වීම.

“Burn-out යනු වෘත්තීය සන්දර්භය තුළ ඇති සංසිද්ධිවලට පමණක් අදාළ තත්ත්වයක් වන අතර ජීවිතයේ වෙනත් ක්ෂේත්‍රවල අත්දැකීම් සමඟ සම්බන්ධ නොකළ යුතු,” බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පැහැදිලි කර තිබේ.

“Burn-out කියලා කියන්නේ මානසික හා කායික වෙනස්කම්වල එකතුවක්. ඒකට හේතුව දීර්ඝ කාලීනව වෙහෙසකාරීව කාලය ගත කිරීම. මේ වෙහෙසකාරී බව එක දිගට වැඩ කිරීම නිසා වෙන්න පුළුවන්. දේශපාලකයකුටත් එක දිගට වැඩ කළාම මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්,” වෛද්‍ය රූමි රූබන් පවසයි.

'Burnout' තත්ත්වයෙන් මිදෙන්නේ කොහොමද?

මෙම තත්ත්වයෙන් මිදීම සඳහා දීර්ඝ කාලීනව ඒකාකාරීව වැඩ කිරීම වෙනුවට ඒකාකාරී බවින් මිදීමට පියවර ගත යුතු බව වෛද්‍ය රූමි රූබන් පවසයි.

“ඒකාකාරී වැඩවල නිරත වෙන අය ක්‍රීඩාවක නිරත වීම, චිත්‍රපටයක් බැලීම, පොත් කියවීම, ගෙවතු වැඩක නිරත වීම ආදී වෙනස් දෙයක් කරනවා නම් ඒකාකාරී ජීවන රටාව වෙනස් වෙනවා. ඒකෙන් මේ තත්ත්වය වෙනස් කර ගන්න පුළුවන්.”
ව්‍යායාම සහ මානසික සෞඛ්‍ය ගැන මේ කරුණු දැන සිටියාද?

ඔහු පෙන්වා දුන්නේ, රෝගී තත්ත්වය වැඩි වුවහොත් මනෝ වෛද්‍යවරයකුගේ සහය ලබාගත හැකි බවය.

එවැනි පුද්ගලයකුට විවේකය අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

සෞඛ්‍ය හේතු මත දේශපාලනයෙන් ඉවත්වූවන්

නවසීලන්තයේ හිටපු අගමැතිනි ජසින්ඩා ආර්ඩ්න් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ, “සෞඛ්‍යමය වශයෙන් පූර්ණ ක්‍රියාකාරීත්වයක් නොමැති නම් රටක් පාලනය කිරීමේ අභියෝගාත්මක කාර්යයෙහි නිරත විය නොහැකි බවය. එහෙයින්, තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට අදහස් නොකරන බව ඇය සඳහන් කළාය.”

ඇය දේශපාලනයෙන් ඉවත් වූයේ, වයස අවුරුදු 43දී ය.

මේ අතර, ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් තරග කිරීමට නියමිතව සිටි වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ජූලි මස අගදී ඉන් ඉවත් වී කමලා හැරිස්ට අවස්ථාව ලබා දුන්නේය.

ඇතැම් මාධ්‍ය වාර්තා කළේ, ඔහු ජනාධිපතිවරණයට තරග කිරීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක නොමැති හෙයින් එම තීරණය ගත් බවය.

කෙසේ වෙතත්, ජෝ බයිඩ්න් ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ, Burnout තත්ත්වයක් නිසා නොවන අතර ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට වාර්තා පළ වී තිබේ.
ඔහුගේ වසය අවුරුදු 81කි.

බරැක් ඔබාමාගේ අදහස්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා මානසික සෞඛ්‍ය පිළිබඳ සමුළුවක් අමතමින් 2013 වසරේදී පැවසුවේ, “මානසික රෝගී තත්ත්වයන් ගැන ලජ්ජා වීමට හේතුවක් නැති,” බවය.
මේ අතර, 2015 වසරේදී රූපවාහිනී නාළිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ, මානසික ආතතිය පාලනය කර ගැනීම සඳහා තමන් “ව්‍යායාම්වල නිරත වීමට සහ සිය පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීමට යොමු වූ” බවය.

(BBC) ලිපියකි

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05