2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

නිබන්ධනයක් නිසා ගෙදර ගිය මහාචාර්යවරයා

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 36

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ශාස්ත්‍රාලිකයකු වන මහාචාර්ය සසංක පෙරේරා දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ සමාරම්භක පීඨාධිපති හා සමාරම්භක අංශ ප්‍රධාන මහාචාර්යවරයා මෙන්ම ඉන්දියානු නොවන එකම නියෝජ්‍ය උපකුලපතිවරයා ද විය. සාර්ක් රටවලට අයත් ආයතනයක් ලෙස එම විශ්වවිද්‍යාලය ස්ථාපනය ​ෙකරුණු අතර එම විශ්වවිද්‍යාලයේ සිටි එකම ශ්‍රී ලාංකික මහචාර්යවරයා ඔහු විය. ක්‍රමයෙන් ඉන්දියානුකරණය වෙමින් පවතින එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ කිසියම් බලපෑමක් හේතුවෙන් 2024 ජූලි 31 වැනි දින ඔහු එම විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව විශ්‍රාම ගැනීමට තීරණය කළේය.  

ඊට මුල් වූයේ පසුගිය නොවැම්බරයේ ආචාර්ය උපාධි අපේක්ෂකයකු කාශ්මීරයේ නාගරික අවකාශය තුළ එහි සිදුවූ ගැටුම් පිළිබඳ මතකය යටපත් වන්නේ කෙලෙසකද? යන්න පිළිබඳව පර් යේෂණයක් කිරීම සඳහා ඉදිරිපත් කළ ආචාර්ය උපාධි යෝජනාවලියට ඇමෙරිකානු වාග් විද්‍යාඥ නෝම් චොම්ස්කි සමඟ කරන ලද සාකච්ඡාවකින් උපුටා ගත් නරේන්ද්‍ර මෝදි රජය විවේචනය කරන අදහස් ඇතුළත් කිරීම සම්බන්ධයෙනි. නරේන්ද්‍ර මෝදි රැඩිකල් හින්දු සම්ප්‍රදායකින් පැවත එන්නකු බවත්, ඔහු ඉන්දියානු ලෞකික ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීමට උත්සාහ කරන අතර, හින්දු තාක්ෂණාධිපත්‍ය පැනවීමට උත්සාහ කරන බවටත් නෝම් චොම්ස්කි ප්‍රකාශ කර තිබූ බවට වාර්තා විය. ඒ පිළිබඳව උපාධි අපේක්ෂකයාට හේතු දක්වන ලෙසටත් ඊට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ඔහුගේ අධීක්ෂකවරයා වූ මහාචාර්ය සසංක පෙරේරා හට විනය පරීක්ෂණයක් පැවැත්වීමටත් එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පියවර ගෙන තිබිණි. සත්‍ය වශයෙන්ම සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව ‘දේශය’ මහාචාර්ය සසංක පෙරේරාගෙන් විමසීමක් කළෙමු. පහත පළවන්නේ මහාචාර්යවරයා දක්වන ලද අදහස්ය.

දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා අස්වී විශ්‍රාම ගැනීමට ඔබ තීරණය කළේ ඇයි?

මගේ  ශිෂ්‍යයෙක්  ඔහුගේ පර් යේෂණ යෝජනාවලියට සුප්‍රකට ඇමෙරිකානු වාග් විද්‍යාඥ නෝම් චොම්ස්කි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සම්බන්ධයෙන් කරන ලද  විවේචනයක් ඇතුළත් කර තිබුණා. එහි සඳහන් වූයේ අගමැති මෝදි යනු හින්දුත්ව ජාතිකවාදියෙක් යනුවෙනුයි. ඇත්තටම එය ගැටලු සහගත ප්‍රකාශයක් නොවෙයි. මෝදි මහත්මයත් ඇතැම් අවස්ථාවල ඒ බැව් ප්‍රකාශ කර තිබෙනවා. මෙම සඳහන තමයි මේ ගැටලුවේ තාක්ෂණික තරුණ. ශිෂ්‍යයකුගේ විෂය අධීක්ෂණය කරනවා කියන්නේ ඔහුගේ චින්තනය සීමා කිරීම නොවෙයි. ඒ නිසා මම එය සංස්කරණය කළේ නැහැ. දෙවැනි කාරණය අපේ අධ්‍යයන අංශයේ සියලු දෙනාම ඒක අනුමත කළා. ඔවුන්ගේ අත්සන් එහි සඳහන්. එම ශිෂ්‍යයාගේ පර් යේෂණ කමිටුවේ තවත් සාමාජිකයන් දෙදෙනෙක් සිටියා. ඔවුනුත් එය අනුමත කළා. ඔවුන්ට ගැටලුවක් වේය කියා හිතලා අවසන් මොහොතේ මේ සියලු දෙනාම මගහැරියා. මෙම සිදුවීමට පරිබාහිරව තවත් කරුණක් තිබුණා. මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමට මූලික වූයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරින්. එය භූමියේ නිර්මාණය කිරීමට මුල් වූ එක් අයෙක් මම. දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සඳහා 2010 සිට ශ්‍රී ලංකා රජය විශාල මුදල් ප්‍රමාණයක් වැය කර තිබෙනවා. එහි නඩත්තුවට ශ්‍රී ලංකාවේ ජනතාවගේ බදු මුදල් වැය වෙනවා. එහෙත් මේ වන විට එය ඉන්දියානු ආයතනයක් බවට පරිවර්තනය වී තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින වැනි රටවල් ඒ සඳහා මුදල් වැය කිරීමෙන් වැළකිය යුතු යැයි මා සිතනවා.  

වර්තමානයේ එම විශ්වවිද්‍යාලයේ සංයුතිය සම්පූර්ණයෙන්ම ඉන්දියානුකරණයට ලක් වී තිබෙනවා. මට එරෙහිව ක්‍රියාත්මක වීමට එක් හේතුවක් වූයේ මම එතැන හිටියොත් ඔවුනට එය ඉන්දියානුකරණය කිරීමට නොහැකි වන බැවිනුයි. උදාහරණයක් ලෙස එම විශ්වවිද්‍යාලයේ සභාපති (උප කුලපති) ඉන්දියානුවෙක් නම් උප සභාපති ලෙස පත් කළ යුත්තේ ඉන්දියානු නොවන පුද්ගලයෙක්. ඒ සඳහා සුදුසුකම් තිබූ එකම පුද්ගලයා වූයේ මමයි. මාව ඉවත් කර ගතහොත් ඔවුනට එම ස්ථානයට ඉන්දියානුවකු පත් කර ගැනීමට බාධාවක් නැහැ. මට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ කේ.කේ. අග්‍රවාල් මා කළ විනය විරෝධී ක්‍රියාව කුමක්දැයි අද වන තෙක් ප්‍රකාශ කර නැහැ. එම පරීක්ෂණය තවම අවසන් කරලත් නැහැ.

ඔහුගේ විනය පරීක්ෂණය ඔබට සේවයෙන් ඉවත් වීමට කොතෙක් දුරට බලපෑවාද?

එම විනය පරීක්ෂණය තුන් වතාවක් පැවැත්වුවා. මා ඊට සහභාගී වූයේ එක් වතාවක් පමණයි. මෙම විනය පරීක්ෂණය සාධාරණව සිදු කරනවාද යන්න සොයා බලන්නට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියකු එම අවස්ථාවට සහභාගී කරගන්නා ලෙසට මා ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. විශ්වවිද්‍යාලය තානාපති නිලධාරියකුට ඒ සඳහා අවස්ථාව දුන්නේ නැහැ. තානාපති කාර්යාලයත් ඒ සම්බන්ධයෙන් විමසා බැලුවේ නැහැ. ඒ නිසා එම විනය පරීක්ෂණය සාධාරණ ලෙස නොපැවැත්වෙන බව මට පැහැදිලි වුණා. ඒ නිසා මම තීරණය කළා විශ්වවිද්‍යාලයෙන් ඉවත් වීමට. ඒ නිසා මම කලින් විශ්‍රාම ගත්තා.

ඉන්දියාවේ අධ්‍යාපන නිදහසට බලපෑම් එල්ල වෙනවද?

ඔව් බරපතළ බලපෑමක් නිරන්තරයෙන්ම එල්ල වෙනවා. විශේෂයෙන්ම පවතින රජය යටතේ. මගේ ප්‍රශ්නය පැන නැගුණු අවස්ථාවේ ඉන්දියාවේ විවිධ භාෂාවලින් පළවන පුවත්පත් ඒ ගැන  සාකච්ඡා කළා. ඊට හේතු වුණේ ඉන්දියාවේ ශාස්ත්‍රාලීය නිදහස සම්බන්ධයෙන් විශාල අර්බුදයක් පැවතීමයි. මට සිදුවූ ක්‍රියාව ඔවුන් දැක්කේ ඒ ශාස්ත්‍රාලීය නිදහසට එල්ල වූ බලපෑමක් ලෙසයි. විශේෂයෙන්ම විදේශිකයකුට මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට සිදුවීම සහ ලංකා ආණ්ඩුවෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නොදැක්වීම ගැන ඔවුන් කතා කළා. ආරම්භයේදී මේ සම්බන්ධයෙන් උපකාර කිරීමට ශ්‍රී ලංකා තානාපතිනිය උත්සාහ කළත් යම් හේතුවක් මත ඇයත් ඉවත් වුණා.

ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් ජාතික විශ්විද්‍යාලවලට උපකුලපතිවරුන් පත් කරන්නේ ජනාධිපති. එවිට සුදුසුකම් ඇති අයට වඩා රජයට හිතවත් අය තමයි පත්වන්නේ.  දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සභාපති අග්‍රවාලුත් එවැනි කෙනෙක්. සාමාන්‍යයෙන් සභාපති පත් කළ යුතු වන්නේ සාක් සංවිධානයෙන් වුවත් දැනට පත්ව සිටින සභාපතිවරුන් තිදෙනාම ඉන්දියානුවෝ. නියමිත විදියට සිදු කරනවා නම් ඉංග්‍රීසි අකරාදිය අනුව ඇෆ්ගනිස්ථානයෙන් ආරම්භ වී ශ්‍රී ලංකාවෙන් අවසන් වන පරිදි පත් විය යුතුයි. එය කිසි දිනෙක සිදු වූයේ නැහැ. එම විශ්වවිද්‍යාලයේ සිටි එකම ශ්‍රී ලාංකිකයා මා පමණයි. දැන් කිසිම ශ්‍රී ලාංකිකයකු නැහැ.

විශ්වවිද්‍යාල නීති රෙගුලාසි ඇතුළේ කිසිදු දකුණු ආසියාතික නායකයකු (විශේෂයෙන් ඉන්දීය නායකයකු) විවේචනය කළ නොහැකි යැයි සඳහන් වනවාද?

එහෙම කිසිම නීතියක් නැහැ. දකුණු ආසියානු විශ්විද්‍යාලයේ සභාපතිවරයා යම් අවස්ථාවල ප්‍රකාශ කර තිබෙනවා එවැනි විවේචන කළ නොහැකි යැයි කියලා. එහෙත් නීතිවල එවැන්නක් නැහැ. මෙම ශිෂ්‍යයා ඉදිරිපත් කළේ පර්‌යේෂණ යෝජනාවලියක්. විශ්වවිද්‍යාලය කළ යුතුව තිබුණේ ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීම නොවෙයි, එයට තමන් අකමැති බව පෙන්වා දී එම ශිෂ්‍යයා ලවා එය නිවැරදි කර ගැනීමයි.

දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තුළ කිසියම් අන්තවාදී ස්වරූපයක් නිර්මාණය වී තිබේද?

මේ වන විට එවැනි තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව පෙනෙනවා. එය පර්‌යේෂණවලින් එන දෙයක් නොවෙයි. පාලකයන් විසින් එවැනි තත්ත්වයක් නිර්මාණය කරමින් තිබෙනවා.

මම එහෙම අහන්නේ මෙම ප්‍රශ්නයට මුහුණ දුන් ශිෂ්‍යයා කාශ්මීර මුස්ලිම් ජාතිකයෙක්. ඔබ ශ්‍රී ලාංකික බෞද්ධයෙක්. ඒ නිසා විශ්වවිද්‍යාලය තුළ කිසියම් ජාතික, ආගමික අන්තවාදයක්  තිබෙනවාද යන්නයි?

එවැනි තත්ත්වයක් පවතිනවා වගෙයි. මින් පෙර මෙවැනි බොහෝ පර්‌යේෂණ සිදුවුණා. ඒවාට කිසිදු ගැටලු නිර්මාණය වූයේ නැහැ. මන්ද ඒවා අධීක්ෂණය කළේ ඉන්දියානුවන් නිසා. මෙම ප්‍රශ්නය මතු වුණේ එම ශිෂ්‍යයා කාශ්මීර මුස්ලිම් ශිෂ්‍යයකු වීම සහ මම ශ්‍රී ලාංකික බෞද්ධයෙක් වීම. මට මෙවැනි ප්‍රශ්නයක් නිර්මාණය කර ඇත්තේ මම ශ්‍රී ලාංකික සහ ඔවුනට අවශ්‍ය පරිදි නැටවෙන පුද්ගලයකු නොවන නිසා බව මා සම්බන්ධයෙන් පවත්වපු විනය පරීක්ෂණයේ දී මම ඔවුන්ට දැන්වූවා.

මෙම විශ්වවිද්‍යාලයේ ඇතැම් පුද්ගලයන්ට සදාචාර විරෝධී ක්‍රියා පිළිබඳ චෝදනා එල්ල වෙනවද?

එක්තරා හිටපු පීඨාධිපතිවරයකුට ලිංගික අපයෝජන සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර නැහැ. තවත් අධ්‍යයන අංශයක අංශ ප්‍රධානියකු විභාග කටයුතු නිසි පරිදි සිදු කර නොමැති බවට චෝදනා කරමින් ශිෂ්‍යයන් පැමිණිලි කර තිබෙනවා. ඒ සම්බන්ධයෙනුත් විමර්ශනයක් නැහැ. ඉන්දියානුවන් නම් කුමන චෝදනා එල්ල වුවත් ඔවුන් සම්බන්ධයෙන් කිසිවක් වෙන්නේ නැහැ. එහෙත් එවැනි චෝදනා ලත් පුද්ගලයන් මගේ විනය පරීක්ෂණය පැවැත්වූ කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර තිබුණා.

අවසාන වශයෙන් මම දැන ගැනීමට කැමතියි, ඔබ යළි විශ්විද්‍යාලයකට සම්බන්ධ වෙලා ඔබේ දැනුම ශිෂ්‍යයන් සමඟ බෙදා ගන්නවාද කියලා?

මට දැන් ඒ ගැන එතරම් උනන්දුවක් නැහැ. කාට හරි මගෙන් උපකාරයක් අවශ්‍ය නම් එය ලබා දීමට කැමතියි. එහෙත් පාලකයකු ලෙස සම්බන්ධ වීමට කැමැත්තක් නැහැ. මම 2025 අගෝස්තු මාසේ විශ්‍රාම අරන් ලංකාවට එන්න සූදානම් වෙලා හිටියේ. මා අතින් අතපසු වූ පොත් දෙකක් සහ තවත් ලියකියැවිලි ටිකක් අවසන් කිරීමයි මගේ අරමුණ වුණේ. දැන් ඒ කාර්යය ටිකක් කලින් කරගන්න පුළුවන්. ජීවිතයේ අවසන් කාලය එළඹෙනකොට ජීවිතයේ අතපසු වූ දේවල් අවසන් කළ යුතුයි.

• සාකච්ඡා කළේ - ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05