2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

මහ සටන අබියස මැතිවරණ පුරාණය

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමට පෙරම සර්ව ජන ඡන්ද බලයේ හිමිකම ලැබූ ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. එම නිසාම මැතිවරණය පිළිබඳ සැලකිය යුතු තරම් සාක්ෂරතාවක් ශ්‍රී ලාංකිකයන් සතුය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවලදී ගත් තීන්දු සහ ඒවායෙන් රටට අත්වූ ප්‍රතිඵල දෙස කල්පනා කර බලන විට ශ්‍රී ලාංකික ඡන්දදායකයන්ගේ සිතට සිහින් වේදනාවකදු ඇතිවිය හැකිය. ඒත් වරද කොට ඇත්තේ ඡන්දාදායකයන් නොව පාලකයන් බවත්, සිය නියෝජිතයන් පිළිබඳ යහපත් බලාපොරොත්තු සෑම කල්හිම ඡන්දදායකයන් සතු වූ බවත් අප සිහිපත් කළ යුතුමය.

කෙසේ වෙතත් මේ තාක් ඉතිහාසය තුළ අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත් ආසියාතික රාජ්‍යයක් වීමේ ගෞරවය තවමත් අප සතුය. මැතිවරණයක් අබියස ශ්‍රී ලංකාවේ සර්වජන ඡන්ද බලය සහ මැතිවරණ පුරාණය පිළිබඳ යම් සංවාදයකට අපි ඉඩකඩ වෙන් කළෙමු. මේ ඒ පිළිබඳ කතාවයි. මෙහිදී ඔබගේ ඡන්ද අයිතිය, වටිනාකම පිළිබඳ අක්මුල් සහිත අවබෝධයක් ඔබට ලබාගනු හැකි වෙතැයි අපි අපේක්ෂා කරමු.

මන්ත්‍රීවරුන් 50 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා 1931 ජූනි මාසයේ පැවති ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී සියලුම ජනතාවට සර්වජන ඡන්ද බලය ලබා දෙන ලදී. වෙනත් බොහෝ රටවලට පෙර ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම සර්වජන ඡන්ද බලය ලබා දීමට එවක බ්‍රිතාන්‍ය පාලකයන් ශ්‍රී ලංකාව තුළ දී කටයුතු කිරීම තරමක් සුවිශේෂී කරුණකි. මේ හේතුව නිසාම ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස ඇතැමකු සලකන බව සඳහන් කළ යුතුය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ සීමිත ඡන්ද බලය 1910 න් පසු ක්‍රියාත්මක වූ මැකලම් ප්‍රතිසංස්කරණ ඔස්සේ ක්‍රියාත්මක වී තිබේ. මෙහිදී ව්‍යවස්ථාදායක සභාවට නිල නොලත් නියෝජිතයන් 10 දෙනකු පත් වූ අතර, එලෙස පත්වන සාමාජිකයන් 4 දෙනකු සීමිත ඡන්දයකින් තෝරා ගැනීම සිදුවිය.

මෙම සීමිත ඡන්ද බලය යටතේ උගත්, රුපියල් 1,500 ට නොඅඩු වාර්ෂික ආදායමක් හෝ වැටුපක් හිමි අවුරුදු 21ට වඩා වැඩි පිරිමින්ට පමණක් ඡන්ද බලය හිමි විය. ඒ අනුව සීමිත ඡන්ද බලය පිළිබඳ වූ කොන්දේසි අනුව කාන්තාවන්ට හෝ අඩු ආදායම්ලාභීන්ට ඡන්ද බලය හිමි නොවුණි. මෙහිදී සීමිත ඡන්ද බලයෙන් තෝරා පත් කරගනු ලැබුවේ යුරෝපීයයන් දෙදෙනකු, බර්ගර් ජාතිකයකු හා එක් උගත් ලාංකිකයකු පමණි. එවක උගත් ලාංකිකයා ලෙස පළමුවරට සීමිත ඡන්ද බලයෙන් තේරී පත්වූයේ පොන්නම්බලම් රාමනාදන් මහතාය.

1931 දී පළමුවරට සර්වජන ඡන්ද බලය ශ්‍රී ලාංකිකයන් වෙත ලැබෙන විට එය අරුත් ගන්වා තිබුණේ මෙපරිද්දෙනි.

“රටක සුදුසුකම් සැපිරූ සියලු පුරවැසියන්ට ජාතිය, ආගම, භාෂාව, වර්ගය, කුලය, අධ්‍යාපනය, දේපළ හිමිකම, උපත, උපන් ස්ථානය, ස්ත්‍රී පුරුෂ භාවය ආදී කිසිදු වෙනස්කමකින් තොරව පාලන බලයට හවුල්වීමේ අයිතිය හා/හෝ තමන්ගේ නියෝජිතයන් පත්කර ගැනීමට ඇති අයිතියයි.”

කෙසේ වෙතත් සර්වජන ඡන්ද බලය මෙහිදී හිමිවූයේ වයස අවුරුදු 21ට වඩා වැඩි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය වෙතය. මෙහි වූ සුවිශේෂී බව නම් ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබෙන විට ආසියාවේ එකදු රටකටවත් එම වරප්‍රසාදය නොලැබී තිබීමයි. එහෙත් අවාසනාවකට එම අවස්ථාවේ දී මෙම ඓතිහාසික සංශෝධනයට එවකට සිටි ලාංකික දේශපාලඥයන්ගෙන් සමහරක් අකමැති වූ බවද සඳහන් කළ යුතුය.

සර්වජන ඡන්ද බලය ලැබෙන වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා පහත හෙළීම සිදුවන්නේ 1959 දීය. ඒ අනුව 1959 අංක 11 දරන මැතිවරණ සංශෝධන පනත මගින් සර්වජන ඡන්ද බලය සඳහා හිමිකම් ලබන වයස අවුරුදු 21 සිට අවුරුදු 18 දක්වා අඩු කරන ලදී. එහෙත් අවාසනාවකට මෙම පනත සඳහා ද එවක දේශපාලනඥයන් කිහිප දෙනෙක් දැඩි ලෙස විරෝධය පෑහ. වඳුරන්ට ඡන්ද බලය ලබාදීමක් ලෙස මෙම අයිතිය තරුණයන් අතට පත්වීම අරුත් ගැන්වීමට එවක ප්‍රකට දේශපාලන චරිතයක් පවා කටයුතු කොට තිබේ. කෙසේ වෙතත් මේ වන විට ලෝකයම වයස අවුරුදු 18 සර්වජන ඡන්ද බලය සම්බන්ධ පිළිගත් සීමාව බවට පත් කොටගෙන ඇති අතර යුරෝපයේ රටවල් කිහිපයක් වයස අවුරුදු 16 දක්වා ද එය පහළ දමා තිබේ.

ඡන්දදායකයන් ලෙස අප මෙහිදී අවබෝධ කොටගත යුත්තේ සර්වජන ඡන්ද බලය අපේම දේශපාලනඥයන්ගේ විරෝධය මත අපට ලැබුණු සම්පතක් බවයි. ඉඳුරාම එය බුද්ධිමත්ව භාවිත කිරීමේ වගකීම ශ්‍රී ලාංකික ඡන්දදායකයන් සතු වේ.

ජනාධිපතිවරණය 2024 
ඡන්දය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙක් තරග වදිති. ශ්‍රී ලංකාවේ වෙසෙන මිලියන 22ක් වන ජනතාවගෙන් මිලියන 17කට ආසන්න සංඛ්‍යාවක් ජනපතිවරයකු තෝරා ගැනීමට ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇත. මැතිවරණ නීතිය අනුව 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරයි.

ඡන්දදායකයන්ට තමන් කැමති අපේක්ෂකයන් තිදෙනකු කැමැත්තෙන් අනුපිළිවෙළ අනුව නම් කිරීමට ඡන්ද පත්‍රිකාවේ ඉඩ සලසා තිබේ. එක් අපේක්ෂකයකුට පමණක් මනාප භාවිත කරන විට කතිරය හෝ 1 සලකුණ යෙදිය හැකිය. පළමු, දෙවැනි, තෙවැනි මනාප සලකුණු කරන්නේ නම් 1, 2, 3 අංක ලෙස මනාප සලකුණු කළ යුතු වේ.

කිසිදු අපේක්ෂකයකු 50% ක ප්‍රතිශතය ඉක්මවා ඡන්දය ලබා ගැනීමට අසමත් වුවහොත් දෙවැනි වර ඡන්දය ගණනය කිරීමෙන් ජයග්‍රාහී අපේක්ෂකයා තෝරා ගැනීම සිදු වේ.

 

• චමිඳු නිසල්