2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

මානව හිමිකම් කඩවුණොත්?

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 88

පුද්ගලයන් තමන්ගේ හිමිකම් පිළිබඳ නොදැන සිටීම බොහෝ තැන්වලදී අසාධාරණයට ලක්වීමට හේතුවක් වන බව නූතන ශ්‍රී ලාංකීය සමාජය දෙස බැලූ කල මනාව අවබෝධ වන්නකි. එම සිය හිමිකම් පිළිබඳ අවබෝධය සහ යම් හෙයකින් ඊට බලපෑමක් එල්ලවන විට කළ යුත්තේ කුමක්ද යන්න දැන අවබෝධ කර ගැනීම ඉතා අගනේය. ඒ අනුව මෙවර අප මානව හිමිකම් කොමිෂන් සභාව පිළිබඳව සහ ඒ හරහා ඔබට ලබාගත හැකි සේවාව පිළිබඳ ඔබව දැනුවත් කිරීම වෙනුවෙන් ‘ජන මෙහෙවර’ වෙන් කළෙමු.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) යනු 1996 අංක 21 දරන මානව හිමිකම් කොමිෂන් සභා පනත (පනත) බලගැන්වීමට අනුව 1997 දී පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභාවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර මානව හිමිකම් ශ්‍රී ලංකාවට අනුකූල ලෙස පවත්වාගෙන යාම මෙම ආයතනයේ අරමුණ වේ.

දැක්ම

සැමට මානව හිමිකම් සහතික කිරීම, නීතියේ අධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම.  

මෙහෙවර

ශ්‍රී ලංකාව යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විශ්වීය වශයෙන් පිළිගත් මානව හිමිකම් ප්‍රමිතීන් සහ මූලධර්මවලට අනුගත වෙමින් නීතිය, ප්‍රතිපත්ති සහ ප්‍රායෝගිකව සැමට මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සංස්කෘතියක් වර්ධනය කිරීම.

සාමාන්‍ය පුරවැසියන් ලෙස අපට මෙම කොමිෂන් සභාව වැදගත් වන්නේ ඇයි?

ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති නමුත් රාජ්‍ය ව්‍යුහය තුළින්ම විටින් විට පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන අවස්ථා වාර්තා වේ. ඇතැම් විට තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව පවා නොදන්නා අසරණ පුරවැසියන් නොයෙක් පීඩාවලට ගොදුරු වන අවස්ථා දැකගත හැකිය. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන තුළදී මෙම මෙම ගැටලුවට මිනිසුන් මැදි වේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පාසල් පද්ධතිය ආදිය ඇසුරේ සිදුවන අසාධාරණකම් රැසක් දෛනිකව අප වෙත වාර්තා වේ. මෙහිදී තමන් වෙනුවෙන් පෙනී සිටීමට ආයතනයක් පවතින බව බොහෝ දෙනෙක් නොදනිති. යම් අධිකරණමය වපසරියක් තුළ ද කටයුතු කරන මෙය ඔබ අපගේ හිමිකම් වෙනුවෙන් නිරන්තර පෙනී සිටී. එබැවින් මෙම ආයතනය සතු කාර්යභාරයන් සහ ඔවුන්ගේ විෂය පරාසයන් පිළිබඳව සමස්ත පුරවැසියන් තුළ අවබෝධයක් තිබිය යුතුය. එසේම මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ආධාර උපකාර ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව ද සැමට අවබෝධයක් තිබීම වැදගත්ය. එය නිරන්තර සමාජය යහපත් තැනක් බවට පත් කිරීමට හේතු වනු ඇත.

පැමිණිලි හා විමර්ශන අංශයේ කාර්යයන්

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III  වැනි පරිච්ඡේදයෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩකිරීම් හෝ ආසන්න උල්ලංඝණයන් සම්බන්ධයෙන් පීඩාවට විපතට පත් වූ තැනැත්තකු හෝ කණ්ඩායමක් හෝ බලපෑමට ලක් වූ තැනැත්තකු හෝ කණ්ඩායමක් කරන ලද පැමිණිලි විමර්ශනය කිරීම.

ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1978) තමන්ගේම යෝජනාවක් මත මූලික අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ සෙවීම හා විමර්ශනය කිරීම. එනම් පැමිණිලි ඉදිරිපත් කර නොමැති අවස්ථාවලදී පවා කඩකිරීම් පිළිබඳව ක්‍රියාකාරීව විමසා බැලීම සහ විමර්ශනය කිරීම.

මූලික අයිතිවාසිකමක් උල්ලංඝණය කිරීමේ චෝදනාවකට පිළියම් සෙවීමට කැමති අයට උපදෙස් ලබා දීම සහ ඒවා අදාළ බලධාරීන් වෙත යොමු කිරීම.

කොමිෂන් සභාව වෙත යොමු කරන ලද කරුණු පිළිබඳව විමර්ශනය කර ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කිරීම, රඳවාගෙන සිටින පුද්ගලයන්ගේ තත්ත්වයන් පරීක්ෂා කිරීමට සහ විමසීමට මිනිසුන්ට නිදහස අහිමි වූ ස්ථාන වෙත සංචාරය කිරීම.
වධහිංසා පැමිණවීම සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම වැනි මූලික අයිතිවාසිකම් කඩකිරීම් හෝ කඩිනමින් උල්ලංඝණය කිරීම් සඳහා ප්‍රතිකර්ම සෙවීම සඳහා මහජනතාවට ඕනෑම වේලාවක කොමිෂන් සභාව සම්බන්ධ කර ගැනීමට හැකිවන පරිදි ක්ෂණික දුරකථන සේවාවක් ක්‍රියාත්මක කිරීම.

දෛනික ජීවිතය තුළ මානව හිමිකම් කඩවීම්වලට උදාහරණ කිහිපයක්.

• විභාග කටයුතුවලදී සිදුවන අසාධාරණකම්.
• පොලිස් පහරදීම් හා වද හිංසා පැමිණවීම්.
• වාර්ගිකත්වය, ලිංගිකත්වය හෝ වෙනත් පදනමක් මත වෙනස් කොට සැලකීම්.
• පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීම්වලදී සිදුවන අසාධාරණකම්.
• රාජ්‍ය ආයතන තුළ දී නිලධාරීන් විසින් සිදු කරන පක්ෂග්‍රහයේ නොතකා හැරීම්.

විශේෂයෙන් දැනගන්න

මානව හිමිකම් මූලික අයිතිවාසිකම් කඩවීම් හමුවේ අසාධාරණයට ලක්වන පාර්ශ්ව තමන් වෙනුවෙන් සටන් කිරීමට ශක්තිමත් විය යුතුය. එසේම සමාජයක් ලෙස එවන් කටයුතුවලදී අදාළ පුද්ගලයන්ව ශක්තිමත් කරමින් ඔවුනට සාධාරණය ඉටුකර ගැනීම සඳහා මැදිහත් වීමට පොදු යුතුකමක් අප සැම සතුව තිබේ. ඒ අනුව මෙය හුදෙක් මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරයක් පමණක් නොවන බවත් සමාජ වගකීමක් බවත් අවසානයේ සිහිපත් කළ යුතුය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලිපිනය හා දුරකථන අංක.

 

මූලික අයිතිවාසිකම්

 

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ඡා වෙයි.
10 වැනි ව්‍යවස්ථාව
සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස (සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.
11වැනි ව්‍යවස්ථාව
වධහිංසා වලින් නිදහස (කිසිම තැනැත්තකු වධහිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය.)
12 වැනි ව්‍යවස්ථාව
(1) සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම (නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය.)
(2) කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.
(3) වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භේදය යන හේතු මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත හෝ වෙළෙඳසල්වලට, පොදු භෝජනාගාරවලට, ආපන ශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමන්ගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළු වීම සම්බන්ධයෙන් යම් ආශාක්නුතාවයකට, බැඳීමකට, සීමා කිරීමකට නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේය.
13 වැනි ව්‍යවස්ථාව
අත්තනෝමතිකව සිර භාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම.
(1) නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිර භාරයට ගැනීම නොකළ යුත්තේය. යම් තැනැත්තකු සිර භාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය.
(2) අත්අඩංගුවෙහි තබාගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තකුම නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර, නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥාව/ ලැබූ ආඥාව/ මත සහ ආඥාව ප්‍රකාර මිස, ඒ තැනැත්තා තවදුරටත් අත්අඩංගුවෙහි තබා ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකළ යුත්තේය.)
14 වැනි ව්‍යවස්ථාව
භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහසට.
අ) භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට.
ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට.
ඇ) සමාගමයේ නිදහසට.
ඈ) වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහසට.
ඉ) එකලාව හෝ අන් අය හා සමඟ, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව, තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට.
ඊ) එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩිදියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට.
උ) එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළෙඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට.
ඌ) ශ්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට සහ,
එ) ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේය.
(මීට අමතරව විවිධ ප්‍රඥප්ති සහ ගිවිසුම් හරහා ද ශ්‍රී ලංකාව මූලික මිනිස් අයිතිවාසිකම් සහ මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර එකඟතා සම්මුති ගොඩනගාගෙන තිබේ.)

අධ්‍යක්ෂක,

විමර්ශන සහ විමර්ශන අංශය,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
අංක 14,
ආර්.ඒ. ද මැල් මාවත,
කොළඹ 04,
ශ්‍රී ලංකාව.
විද්‍යුත් තැපෑල: iihrcsrilanka@gmail.com
දු.ක. : (+94) 112505566
ෆැක්ස් : (+94) 112505574
ඔබට වැඩිදුර තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ලබා ගත හැක - https://www.hrcsl.lk/home/?lang=si#

 

සටහන : චමිඳු නිසල් ද සිල්වා
මූලාශ්‍ර : මානව හිමිකම් කොමිෂන් සභා වෙබ් අඩවිය සහ ක්‍රියාකාරී ආයතන