පසුගිය කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉතා වැදගත් නඩු තීන්දු කිහිපයක් ප්‍රකාශ කෙරිණි. ඒ අතුරින් එක් තීන්දුවක් වූයේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වූ නඩු තීන්දුවයි. 2023 වසරේ මාර්තු මස 09 වැනිදා නියමිත පරිදි පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් එවක සිටි මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අගෝස්තු 22දා තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝග කළේය. සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ ආචාර්ය හරිනි අමරසූරිය සහ සුනිල් හඳුන්නෙත්ති, පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබූ අතර තීන්දුව ලබා දුන්නේ එම පෙත්සම් හතර සම්බන්ධයෙනි.
තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු ගාමිණී අමරසේකර මහතා පැවසුවේ, නිසි කලට ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතා පරමාධිපත්‍යය මෙන්ම සර්වජන ඡන්ද අයිතිය ද උල්ලංඝනය වන බවත්, නිසි කලට නියමිත පරිදි ඡන්ද පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක් බැවින් එම බලතල ක්‍රියාවේ යොදවා අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14:1(අ) යන ව්‍යවස්ථාවල සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති අතර ඒ අනුව මැතිවරණ කොමිසම තමන්ට පැවරී ඇති බලතලවලට අනුව අවශ්‍ය රජයේ ආයතනවල සහාය ලබා ගනිමින් අදාළ ඡන්ද විමසීම පැවැත්විය යුතු බවටය.
2023 මාර්තු 9 දින දී පැවැත්වීමට නියමිත වූයේ මෙරට 17 වැනි පළාත් පාලන මැතිවරණයයි. එය 2022 වසරේ පැවැත්වීමට නියමිත වුවද ආර්ථික අර්බුදය හේතුවෙන් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කල් දමන ලදී. පසුව මාර්තු 9 දින මැතිවරණය පවත්වන දිනය ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළ ද එය අප්‍රේල් මස 25 වැනිදා දක්වා කල් ගියේය. පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ද ලබාගෙන තිබුණ ද මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති යැයි පවසමින් ආණ්ඩුව දින නියමයක් නොමැතිව එය යළි කල් දැම්මේය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වැය වෙතැයි ඇස්තමේන්තුගත කර තිබූ සමස්ත වියදම රුපියල් මිලියන 9326 කි. එනම් බිලියන 9.3 කි. බීබීසී සිංහල සේවය වාර්තා කළ පරිදි 2023 පෙබරවාරි මස 8 වැනිදා වන විටත් මැතිවරණයට අදාළ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 131 කට අධික මුදලක් වියදම් කරඳ තිබූ බවටය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් ඡන්දදායකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය වී ඇතැයි ද එහෙයින් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
සැප්තැම්බර් 21 දින 9 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන මැතිවරණය පැවැත්විණි. අලුතින් පත්වන ජනාධිපතිවරයා බොහෝ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගනු ඇත. එසේ වුවහොත් පළාත් පාලන මැතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ දෙකම එකම කාලයක් තුළ පැවැත්වීමට සිදුවනු ඇත.
අධිකරණය මගින් නියෝග කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි ආකාරය පිළිබඳව දේශය මෙරට ප්‍රමුඛ පෙළේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතාගෙන් විමසා සිටියෙමු. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මගින් රටේ මැතිවරණ පැවැත්වීම රාජ්‍යයේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් බව සනාථ කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
“එම නඩු තීන්දුව අනුව පළාත් පාලන මැතිවරණය වහා පැවැත්විය යුතුයි. ජනාධිපතිවරණය අවසන් වූ විගස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතිනවා. එහෙත් යම් හෙයකින් නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළහොත් මුලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවේවි. මන්ද ශ්‍රී ලංකාවේ දිශානතිය තීරණය කිරීමේදී වඩාත් වැදගත් වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයයි. එබැවින් ඊට ප්‍රමුඛත්වය දිය හැකියි.
කාට හෝ හිතෙන්නට පුළුවන් පාර්ලිමේන්තු සහ පළාත් පාලන මැතිවරණ දෙකම එකවර පැවැත්විය නොහැකිද කියලා. එසේ කළ නොහැකියි. මන්ද මේ දෙකේ මැතිවරණ ක්‍රමය මුළුමනින්ම වෙනස්. ඡන්ද පත්‍රිකාව වෙනස්. ඒ නිසා එකම දිනයක මැතිවරණ දෙකම පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගනු ඇතැයි මා සිතන්නේ නැහැ. එහෙත් ඒ සඳහා ආසන්න දින දෙකක් යොදාගත හැකියි. බොහෝ විට පළාත් පාලන මැතිවරණය ඔක්තෝබර් මාසයේ පැවැත්විය හැකි නමුදු පාර්ලිමේන්තු මැතිවරණයක් එන්නේ නම් පළාත් පාලන මැතිවරණය 2025 ජනවාරි මාසයේ පැවැත්විය හැකියි.”
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කර ඇත්තේ මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මේ වන විට කොමිසම සතුව නොමැති බවටය. මැතිවරණය සඳහා සිදු කරන ලද මූලික වියදම් හැර අනෙකුත් සියලු ඉතිරි මුදල් මහා භාණ්ඩාගාරය වෙත ප්‍රතිපූර්ණය කර ඇතැයි ඔහු සඳහන් කර ඇත. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දුන් ඇතැම් අපේක්ෂකයන් මේ වනවිට රට අත්හැර ගොස් ඇති අතර ඇතැම් අපේක්ෂකයන් මියගොස් ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
එහෙත් ගජනායක මහතා පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යංශය මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබා දිය යුතු බවටය.
“පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මූල්‍යමය ප්‍රතිපාදන සම්බන්ධයෙන් කිසිදු සැකයක් නැහැ. මන්ද ආණ්ඩුව කියනව රට යම් මට්ටමකින් ස්ථාවර වෙලා කියලා. ඒ නිසා තවත් මැතිවරණයක් පවත්වන්න ප්‍රතිපාදන සොයා ගැනීමට අපහසු නැහැ. මහා භාණ්ඩාගාරය පළාත් පාලන මැතිවරණය සඳහා බිලියන 9ක් 10ක් වෙන් කළ යුතුයි. මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට මුදල් නැහැ කියන්න බැහැ. එසේ කළහොත් අධිකරණයට අපහාස කිරීමක් වෙනවා. ඒ නිසා පළාත් පාලන මැතිවරණය 2025 ජනවාරියේ හෝ ඊට පෙර පැවැත්විය හැකියි. එහි කාලය තීරණය වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනවාද නැතිද යන තීරණය අනුවයි. ඒ හැර පළාත් පාලන මැතිවරණයට වෙනදා මෙන් බාධා කිරීම් කරන්න බැහැ. රජයේ මුද්‍රණාලයාධිපතිනියට හෝ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ පරණ පුරුදු සෙල්ලම මෙවර කළ නොහැකියි. එසේ කළහොත් ඔවුන් ද අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ලබනවා.”
මැතිවරණයක් යනු අපේ රටේ ආර්ථික දේශපාලන ව්‍යුහයේම කොටසකි. එහෙයින් මැතිවරණ සඳහා මුදල් නොමැති යැයි පැවසිය නොහැකිය. ජනතාවට ආහාරපාන, ඖෂධ ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය දේ හා මූලික අවශ්‍යතා ලබා දෙනවා හා සමානවම වැදගත්ය. මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණකි. පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නොමැති යැයි ආණ්ඩුව ප්‍රකාශ කළ බැවින් අධිකරණය දැඩි ස්වරයකින් අදාළ බලධාරින් අමතන්නට පියවර ගෙන තිබේ. එහෙයින් පළාත් පාලන මැතිවරණය සඳහා බිලියන 10ක් පමණ වෙන් කිරීමට කිසිදු අපහසුතාවක් ආණ්ඩුවට නොමැති බවද ගජනායක මහතා පෙන්වා දෙයි.
“රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතන මගින් මාසිකව උපයා ගන්නා ආදායම අනුව මැතිවරණයක් පැවැත්වීමට මුදල් උපයා ගැනීමේ අපහසුතාවක් නැහැ. ඇතැමුන් කියනවා මැතිවරණ තුනක් එකවර පැවැත්වීම ශ්‍රී ලංකාව වැනි රටකට ඔරොත්තු නොදෙන බවට. එහෙම වුණේ කඩින් කඩ පැවැත්වීමට නියමිත වූ මැතිවරණ නියමිත දිනයට නොපැවැත්වීම නිසයි. ඒ නිසා බලධාරින්ගේ වගකීම වන්නේ ඒ ඒ කාලයට අදාළ මැතිවරණ නිශ්චිත කාලයේ පැවැත්වීමයි.”
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යුහය සකස් වී ඇත්තේ පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන යන ආයතන තුනක් මතය. මේ වන විට පළාත් සභා අක්‍රිය වී වසර 6ක් පමණ ගත වී තිබේ. පළාත් පාලන ආයතන නොමැති වුවහොත් ප්‍රත්‍යන්ත ජනතාවට පරිපාලනමය ගැටලු මතු වේ. එමෙන්ම දේශපාලනයට පිවිසීමට ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය වෙයි. මෙරට පළාත් පාලන ආයතන 341 ක් තිබේ. ඒවායින් ප්‍රතිලාභ ලබන පිරිස විශාලය. පළාත් පාලන ආයතන අක්‍රිය වුවහොත් දුර බැහැර ප්‍රදේශවල ජනතාවට තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා වෙනත් ප්‍රධාන නගර කරා යාමට සිදුවනු ඇත. පළාත් පාලන ආයතන නිර්මාණය වී ඇත්තේ මහජන නියෝජිතයන් සමඟ ඉදිරියට යාමට විනා නිලධාරින් සමඟ ඉදිරියට යාමට නොවේ. නිලධාරින්ට පමණක් පළාත් පාලන ආයතන බාර දීම අහිතකර බව ගජනායක මහතාගේ අදහසයි.
“මේ වන විට අක්‍රියව ඇති පළාත් සභා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත්‍යවශ්‍ය අංගයක්. ඒ නිසා පළාත් සභාව ද වහා ක්‍රියාත්මක විය යුතුයි. ඒවා සුදු අලින් යැයි ඇතැමෙක් පවසනවා. පළාත් සභාවලට තමයි ජාතික පාසල් හැර දස දහසකට ආසන්න පාසල් බාරදීල තියෙන්නේ. ඒවායේ නඩත්තුවල පහසුකම් සැලසීම වැනි වගකීම් රැසක් පළාත් සභාවලට පැවරෙනවා. එමෙන්ම සෞඛ්‍ය අංශයේ වගකීම් ද ඔවුන්ට පැවරෙනවා. මේ දෙඅංශය සඳහා පමණක් පළාත් සභාවල ආදායමට වඩා වැඩි වියදමක් දරන්න වෙනවා. පළාත් සභා අවශ්‍ය නැහැ කියන්නේ ඔවුන්ගේ වරදක් නිසා නොවෙයි. ඔවුන්ට ලබා දී ඇති වගකීම්වල විශාලත්වය නිසා ඔවුන් යම් යම් අසීරුතාවලට මුහුණ දෙනවා. ඒ නිසා ඒවා අකර්මණ්‍ය නොවන පරිදි රාජ්‍ය තන්ත්‍රය සකස් කළ යුතුයි.
පළාත් සභා සහ පළාත් පාලන ආයතන අක්‍රිය වූ විට එහි බලපෑම එන්නේ එම ප්‍රදේශවල ජනතාවටයි. විශේෂයෙන් අගනුවරින් බැහැර ප්‍රදේශවල ජනතාව මේ නිසා පීඩාවට පත් වෙනවා. ඒ නිසා පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ නියමිත පරිදි පැවැත්වීම ආණ්ඩුවේ වගකීමක්.” යනුවෙන් මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා