2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ඇමෙරිකාවේ ජනාධිපතිවරණය ලංකාවට බලපාන හැටි

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මැතිවරණය නොවැම්බර් පස්වැනිදා පැවැත්වේ. හැට වැනි වතාවට පවත්වන ඡන්ද විමසීමෙන් පසු ජනාධිපති හා උප ජනාධිපති පත් කරගන්නා අතර ධුර කාලය වසර හතරකට සීමා වේ. හිටපු ජනාධිපතිවරයකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් අපේක්ෂකයා වන අතර වත්මන් උප ජනාධිපතිනි කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා වන්නීය. ජනාධිපති ජෝ බයිඩන් පක්ෂ තේරීම අනුව ජනාධිපතිවරණ තරග බිමට ප්‍රවේශ වූ නමුත් පසුව වයස්ගතභාවය හා සෞඛ්‍ය තත්ත්වය සලකා සිය උප ජනාධිපතිනියට අවස්ථාව දෙන්නට තීරණය කිරීම මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වයකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් 2017-21 කාලය තුළ ඇමෙරිකානු ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අතර දෙවැනි වරට තේරී පත්වන ඡන්ද විමසීමේ දී පරාජයට පත් කිරීමට කොංග්‍රස් අපේක්ෂක ජෝ බයිඩන් සමත් විය. මෙම පරාජය තියුණු මුහුණුවරක් ගත් අතර ආධාරකරුවන් ප්‍රතිඵලය මත කරන ද ගැටුම් හේතු කොටගෙන ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයට කැළලක් ඉතිරි කොට තිබේ.

ලෝකය පුරා මැතිවරණ වසරක්

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ලෝකයේ රටවල්වල පවත්වන ලද මැතිවරණ හේතු කොටගෙන බිලියනයකට ආසන්න ජන කොටසක් ස්වකීය නායකයා තෝරාගැනීමේ මැතිවරණ සඳහා ඡන්දය පාවිච්චි කොට ඇති බව වාර්තා වේ. යුරෝපා සංගමය ඇතුළු රටවල් හැටකට වැඩි ප්‍රමාණයක ජනමතය මෙයට ඇතුළත්ය. යුරෝපා රටවල තද දක්ෂිණාංශික පක්ෂවලට මැතිවරණවලින් පසු ඉඩ ලැබුණු අතර දකුණු කොරියාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය පැහැදිලි ජයක් අත් කරගෙන තිබේ. බ්‍රිතාන්‍ය ලිබරල් පක්ෂය වසර දහ හතරකට පසු නැවත බලයට පත්ව සිටී. වෙනිසියුලාවේ මැතිවරණය විශාල විරෝධතාවයකට හේතු වූ අතර එය තවමත් විසඳී නැත. ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත ඉන්දියාවේ අගමැතිවරයා තෝරා ගැනීමේ ඡන්දය අවසානයේ දී උණුසුම් තරගයකට පසු තුන්වැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි මහතා ජයගෙන තිබේ. රුසියානු ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණයෙන් පසු 1999 සිට බලයේ සිටින ව්ලැඩිමීර් පුටින් නැවතත් ජයග්‍රහණය කළ අතර හෙතෙම එරට වැඩිම ධුර කාලයක් ජනාධිපති පදවිය හොබවන නායකයා බවට ද පත්ව සිටී.

ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණය අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ කමලා හැරිස් යන දෙදෙනාගෙන් අයකු පත්කර ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසියන්ට අවස්ථාව විවෘතය. ඇමෙරිකානු ඉතිහාසය තුළ කාන්තාවක පැමිණි ඉහළම තනතුරට පත්ව සිටින කමලා හැරිස් 2021 වසරේ සිට උප ජනාධිපතිනියව කටයුතු කරන්නීය. ඇය ප්‍රථම ඇමෙරිකා ආසියා සම්භවයක් සහිත නියෝජනයක් වීම ද විශේෂත්වයකි. කමලා හැරිස් ජනාධිපති අපේක්ෂිකාව සඳහන් කරන පරිදි ඇගේ සීයා පී.වී. ගෝපාලන් හිටපු රජයේ නිලධාරියකු වන අතර ඉන්දීය නිදහස් සටනේ කොටස්කරුවෙකි. ගෝපාලන්ගේ දියණිය ශයාමලා තමිල්නාඩුවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ අතර කමලා හැරිස් උපත ලබන්නේ ඇමෙරිකානු පුරවැසියකු වශයෙනි. ස්වකීය ඉන්දීය සම්භවය ගැන අදහස් දක්වන කමලා හැරිස් එයින් ඇමෙරිකාවට සංක්‍රමණය වී සිටින ආසියානුවන්ගේ කැමැත්ත දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින්නීය.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සහ ජාත්‍යන්තරය

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දෙස ජාත්‍යන්තරය අවධානයෙන් සිටී. ලෝකයේ විශාලතම ආර්ථිකයෙහි ඉදිරි ගමන ජාත්‍යන්තරය අපේක්ෂා කරන පණිවුඩයකි. පසුගිය කාර්තුව තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය ඉහළ ගිය අතර උද්ධමනය පාලනය කරගන්නට හැකි මට්ටමක පවතින බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබුණි. ඉකුත් ජූනි මාසය දක්වා වූ කාර්තුව ඇතුළත ආර්ථිකය සියයට 2.8 ක වේගයකින් ප්‍රසාරණය වූ අතර එය පාරිභෝගික වියදම් මගින් ඉහළ නැංවුණු පසුබිමක් බව නිවේදනය වේ.

ඇමෙරිකානු ආර්ථිකයේ වර්ධනය සියලු අංශවලින් ජාත්‍යන්තරයට වෙනස්කම් ඇති කෙරේ. බලශක්ති භාවිතය එහි ප්‍රධාන අංශයයි. ලෝකයේ වැඩිම ඛනිජ තෙල්, ගෑස් හා විදුලිය භාවිත කරන රට වන අතර ආර්ථිකය ප්‍රසාරණය සමඟ එහි ඉල්ලුම වැඩි වේ. ඇමෙරිකාව තමන්ට අවශ්‍ය බලශක්තියෙන් විශේෂයෙන් ඛනිජ තෙල්වලින් හරි අඩක් තමන්ගේ රට තුළ උත්පාදනය කර ගනී. සෙසු කොටස ආනයනය කරයි. තෙල් ඉල්ලුම වැඩිවන විට බැරලයක මිල ගණන්වලට බලපෑමක් ඇති කෙරේ. කෙසේ වෙතත් මෑත භාගය තුළ චීනය හැරුණුකොට සූර්ය තාප විදුලිය ඉහළම ප්‍රතිශතයකින් භාවිතයට ගන්නා රට බවට ඇමෙරිකාව පත්ව ඇත. හරිත විදුලිය උත්පාදන ක්‍රමවේද දියුණු කිරීම ට්‍රම්ජ් හා කමලා යන අපේක්ෂකයන් දෙදෙනාගේම අරමුණු අතර තිබේ. මෙය පැරණි රාමුවට වෙනස් අතර එවැනි ක්‍රමවේදයක දී ආර්ථිකය වර්ධනය වන නමුත් ඛනිජ තෙල් සඳහා වන ඉල්ලුම පාලනය වනු ඇතැයි සැලකේ. එක පැත්තකින් මැදපෙරදිග ඇතුළු තෙල් නිපදවන රටවලට අභියෝගයක් වන අතර ඛනිජ තෙල් පරිහරණය කරන අනෙක් රටවලට එය යහපත් වාතාවරණයක් ඇති කරයි.

ආර්ථික ප්‍රබෝධය සමඟ මිල දී ගැනීමේ හැකියාව මත ඇනවුම් ඉහළ යනු ඇත. ආහාරපාන, ඇඟලුම් හා අත්‍යවශ්‍ය දේ වැඩිපුර මිල දී ගැනීම ඉදිරියේ ලෝක ලෝක වෙළෙඳාම අනෙක් පැත්තකට හැරෙන්නට ඉඩ ඇත. චීනය ඇතුළු පෙරදිග පිබිදෙන ආර්ථිකය පරාජය කර බටහිර අභිමතාර්ථ වෙත මෙම ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනාම කේන්ද්‍ර වී ඇති හෙයින් වාසි ඇතිවන බව දකින ආයෝජකයන් කොටස් වෙළෙඳාම වැනි අංශවල යුහුසුළු වී ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

විගමනික පිරිස ගැන ඇමෙරිකාව දක්වන මත

ලෝකයේ වෙනත් රටවලින් එන පිරිස් කෙරෙහි ඇමෙරිකානු ජනතාව තුළ පවා විරෝධයක් ඇත. බැහැර පිරිස් පැමිණ තමන්ගේ අවස්ථා අත්පත් කරගන්නා අතර එය තර්ජනයක් බව තකන්නට හුරු වී සිටිති. 2016 ජනාධිපතිවරණයේ දී මෙම භීතිය ඉහළටම නංවන ලද අතර ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකයා එම වසරේ දී සිය ඡන්ද පොරොන්දුවක් වශයෙන් බැහැර පුද්ගලයන් ඇමෙරිකාවට ඇතුළුවීම වළක්වන අරමුණ ඇතිව මෙක්සිකෝව ආවරණය කරන දැවැන්ත තාප්පයක් බඳින බව නිවේදනය කළේය. මෙම තාප්පය දිගින් කිලෝමීටර් දෙදහසක් වන බව මුලින් ඇස්තමේන්තු කරන ලද නමුත් පසුව එය හරි අඩකින් පහත වැටිණ. අවසානයේ දී කිලෝමීටර් පන්සියයක් දක්වා සීමා වූ අතර පර්යේෂණ වාර්තා දක්වන පරිදි කිලෝමීටර් පහළොවකට වඩා දැනට ඉදි කරන නැත. කෙසේ වෙතත් ට්‍රම්ප් හා කමලා හැරිස් යන දෙදෙනාම දේශසීමා ආරක්ෂාව සහ අනවසර පිරිස් සංක්‍රමණය ගැන තද ස්ථාවරකට පසු වේ.
මෙමගින් රටට ඇතුළුවන කොටස් පාලනය කරන අරමුණ ජනතාවට පැහැදිලි කරමින් සිටින අතර එය ඡන්ද පදනමෙහි වාසියක් බවට හරවා ගන්නට උත්සුක වෙමින් සිටී. ආර්ථික අර්බුදයෙන් පසු වර්ධනය වන ඇමෙරිකාව තුළ අධික බදු ප්‍රතිශත සැලකිය යුතු විවේචනයක ඇත. පසුගිය සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ පරිදි ඔහු බලයට පත් වූ වහා අතිකාල දීමනා බද්දෙන් නිදහස් කරනු ඇත. මෙම ආදායම ඇමෙරිකානුවන්ගේ සැහැල්ලු ජීවිතය තවත් ශක්තිමත් කරනු ඇති අතර වෙළෙඳපොළ ප්‍රසාරණයකට හේතු වනු ඇතැයි සැලකේ.

ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වය

ඇමෙරිකානු ජනාධිපතිවරණය ප්‍රතිඵලය කෙබඳු නමුත් එහි බලපෑම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වෙනස් මුහුණුවරක් ගත හැකිය. එක අතකින් ධවල මන්දිරයට පැමිණෙන නායකත්වය මත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති කරන විදේශ ප්‍රතිඵලය විශාල වෙනසක් ඇතිවිය නොහැක. කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ කමලා හැරිස් යන ඕනෑම නායකයකු ඉදිරියේ කටයුතු කරන්නට ශ්‍රී ලංකාව සුදානම් විය යුතුය. ජාත්‍යන්තර බැඳීම්, ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනන්‍ය ආකාරයකට කටයුතු කරන්නේ නම් එය විශාල බලපෑමක් ඇති නොකරනු ඇත. කෙසේ වෙතත් ඉන්දීය සම්භවයක් සහිත සහ විශේෂයෙන් දෙමළ ඩයස්පෝරාවට නැඹුරුවක් ඇති බව පෙනෙන කමලා හැරිස් පත්වුවහොත් අවාසියක් ඇතිවිය හැකි බවට මතයක් තිබේ. මෙහිදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව විසිරී සිටින සිය පුරවැසියන්, ඩයස්පෝරාව දිනා ගැනීමට වෑයම් කළ යුතුය. විශ්වාසය මෙහිදී වැදගත්ය. කමලා හැරිස් ඇයගේ ඉන්දීය උරුමය ගැන ආඩම්බර වන ආකාරයට ඇමෙරිකාවේ හෝ ආසන්න බටහිර රටවල වෙසෙන ශ්‍රී ලංකාවේ ජන කොටස්වලට ද උරුමය ගැන සිතන්නට හැකි පරිසරයක් ගොඩනැගීමට ආණ්ඩුවට හැකියාව තිබිය යුතු වේ.

ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් ඇති අතර වෙළෙඳ ගිවිසුමක් තිබේ. ඉන්දියාව අත්සන් කරන්නටත් කලින් බුද්ධිමය දේපළ සම්බන්ධ සහයෝගීතාවයක් ඇමෙරිකාව සමඟ ඇති කරගන්නට ශ්‍රී ලංකාව සමත් විය. දෙරට අතර වෙළෙඳාම සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට වාසිදායක තැනක පවතී. මෙරට ඇඟලුම්වලින් වැඩිම ප්‍රතිශතයක් ඇමෙරිකාවට යැවේ. තේ අපනයනයෙන් සියයට විස්සකට ආසන්න ප්‍රමාණයක් ඇමෙරිකාව මිල දී ගන්නා බවද මෙහිලා සඳහන් කිරීම අවශ්‍යය. මෙම වෙළෙඳපොළ වෙනස් කිරීමට හේතුවන තද බලපෑමක් අපේක්ෂා කළ යුතු නැති අතර ජාත්‍යන්තරයේ වෙනස්කම් අනුව ක්‍රියා කරන්නට දක්ෂතාවය ශ්‍රී ලංකාව ඇති කරගැනීම මෙහිදී වැදගත්ය.

ඇමෙරිකාව පමණක් නොව ඉන්දියාව, චීනය හා යුරෝපා ප්‍රජාව සමඟ පවතින බැඳීම් ගැන ද මෙහිදී අවධානය යොමු කිරීම සුදුසුය. යහපත් මිත්‍රයන් ඇති කරගැනීම ඉදිරියේ යහපත් රාජ්‍ය තාන්ත්‍රික භාවයක් පෙන්වීම අවශ්‍යය. රට තුළ දේශපාලන පක්ෂයක් හැසිරෙන ආකාරයට ඉටු කළ නොහැකි පොරොන්දු, වගකීමක් රහිත ක්‍රියා කලාප කිසිසේත් අනන්‍ය රාජ්‍යයක් සමඟ කරන ද්වීපාර්ශ්වික සබඳතාවලදී පෑහෙන්නේ නැත. ලෝකයේ බලවත් රටවල් සමඟ හැසිරෙන පරිණත පුළුල් රාමුව කරා ශ්‍රී ලංකාව අවතීර්ණ විය යුතුව ඇත.
 
• සාරා කන්දෙගොඩ