2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ඡන්දය දවසේ ආරක්ෂාව

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණය මේ වනවිට පැවැත්වෙයි. එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක ඡන්දදායකයන් පිරිසක්, ඡන්ද මධ්‍යස්ථාන දහතුන් දහසකට අධික ප්‍රමාණයක දී සිය ඡන්දය ප්‍රකාශ කරන මෙම ඡන්ද විමසීම ඉතාම තීරණාත්මක මැතිවරණයක් බව බොහෝ දෙනාගේ මතය වී ඇත. කෙසේ වෙතත් අපේක්ෂකයන් 39 දෙනකුගෙන් ජනාධිපතිවරයා ලෙස තේරීපත් වනුයේ එක් අයෙකි. ඒ සටන සුළු පටු නැත.

මේ සියලු කටයුතු සඳහා ආරක්ෂාව අත්‍යවශ්‍යම දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ සඳහා පොලිසිය මැදිහත්ව මෙවර විශේෂ ආරක්ෂාවක් ලබා දීම සිදු කරයි. මෙවර විශේෂත්වය වන්නේ පොලිස්පතිවරයකු නොමැතිව පොලිසිය සිය රාජකාරි කටයුතුවල නිරත වීමයි. විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමත් සමඟ ඒ සඳහා වැඩබලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස දැනුම් දී තිබිණි. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පත් කිරීම සිදු කළේ නැත. මේ නිසාම පොලිස්පතිවරයකු නොමැතිව ජනාධිපතිවරණය පැවැත්විය නොහැකි බවට ජන මතයක් ගොඩනැගුණි. එහෙත් එය එසේ නොමැති බවත්, පොලිසියේ මැතිවරණ රාජකාරි ප්‍රධානියා සහ පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියා යටතේ වුවද මැතිවරණය පැවැත්විය හැකි බවත් මැතිවරණ කොමිසමේ මතය විය. ඒ අනුව එම අභියෝගයට මුහුණ දෙමින් ශ්‍රී ලංකා පොලිසිය මැතිවරණ රාජකාරි ආරම්භ කළේය. එහි ප්‍රධානියා වූයේ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතායි.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය, මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සමඟින් එක්ව සිය මැතිවරණ රාජකාරි සිදු කළේය. මැතිවරණ නීතියට එකඟව වැඩ කට‍යුතු කිරීමට බොහෝ නිලධාරිහු යුහුසුළු වූහ. ඒ නිසා මැතිවරණ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක විය. මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටිටිආරච්චි මහතා සඳහන් කළේ පොලිසිය පොලිස්පතිවරයකු නොමැති වුවද ඉතා ඉහළ මට්ටමින් මැතිවරණ නීතිය ආරක්ෂා කළ බවයි. කිසිදු පක්ෂයක් හෝ අපේක්ෂකයකු ගැන නොතකමින් බහුතරයක් පොලිස් නිලධාරීන් නීතිය, සාමය සහ මැතිවරණ නීතිය ආරක්ෂා කිරීමට කැප වී ක්‍රියා කළ බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් පොලිසියේ රාජකාරිය උපරිමයෙන් අවශ්‍ය වනුයේ 21 සහ 22 යන දින දෙකේදීය. ඒ ඡන්ද ප්‍රකාශ කිරීමේදී ආරක්ෂාව සැපයීම හේතුවෙනි. කෙසේ වෙතත් පොලිසිය, මැතිවරණ ඉතිහාසයේ වැඩිම පොලිස් නිලධාරීන් පිරිස මෙවර ආරක්ෂාව සඳහා යොදවන්නට තීන්දු කළේය. ඒ අනුව පොලිස් නිලධාරීන් 65000 කට ආසන්න පිරිසක් මෙවර මැතිවරණය සඳහා සූදානම් වී සිටියහ. ඊට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් 10000ක් ද යෙදවීමට තීරණය කෙරිණි. ඒ පොලිස් නිලධාරීන්ට සහාය වීමටය.

මෙම 75000 කට ආසන්න ආරක්ෂක අංශ නිලධාරීන් අතරට විශේෂ කාර්ය බලකායේ සෙබළු ද අයත්ව සිටිති. මෙම කණ්ඩායම මැතිවරණ දිනයේ පමණක් නොව, පශ්චාත් මැතිවරණ සමය තුළ ද ආරක්ෂාව සැපයීමට නියමිතය. මැතිවරණ දිනයේ ඡන්දය ප්‍රකාශ කරන ස්ථානවල ආරක්ෂාව, ඡන්දය ගණන් කරන තැන ආරක්ෂාව, මාර්ග බාධක සඳහා මෙන්ම මුර සංචාර සඳහා ද මෙම පොලිස් නිලධාරීන් යොදවන බව පොලිසිය සඳහන් කරයි. කෙසේ වෙතත් මෙහි වැදගත්ම කරුණ නම්, යම් කලබලයක් හෝ ගැටුමක් ඡන්ද මධ්‍යස්ථාන හෝ ඡන්දය ගණන් කරන තැන සිදුවුවහොත් එම අවස්ථාවේ උපරිම බලය යෙදවීමට පොලිසියට උපදෙස් ලබා දී තිබීමය. ඒ සඳහා නීතිය හා සාමය භාර අමාත්‍යවරයා විසින් පොලිසියට බලය ලබා දී තිබේ. මේ අනුව මැතිවරණ කාලසීමාවේදී දැඩි ආරක්ෂාවක් ලබාදීමට මෙවර ආරක්ෂක අංශ තීරණය කර ඇත.

මෙහිදී බොහෝ දෙනා විමසුවේ මෙවර ත්‍රිවිධ හමුදාව ආරක්ෂාව සඳහා යොදවන්නේ ද යනුවෙනි. එහෙත් එවැනි අවශ්‍යතාවයක් නොමැති බවට දැනුම් දී තිබේ. යම් අවශ්‍යතාවයක් සිදුවුවහොත් පොලිසියේ ප්‍රධානියකුගේ ඉල්ලීම මත අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බවද ආරක්ෂක ප්‍රධානියෙක් සඳහන් කළේය. කෙසේ වෙතත් මෙවර මැතිවරණය ඉතාම සාමකාමී මැතිවරණයක් වෙතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති. එහෙත් පශ්චාත් මැතිවරණ සමයේ සති දෙකක කාලයක් දක්වා මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද සඳහන්ය.

• ගයාන් ගාල්ලගේ