මේ වනවිට රටට අලුත් ජනාධිපතිවරයකු පත් වී සිටියි. ජනතාව ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ ක්ෂණිකව මේ රට සුරපුරයක් කිරීම නොවේ. නව ජනාධිපතිවරයා ද ස්වකීය මංගල කතාවේදී පැවසූ පරිදි ඔහුට ඉන්ද්‍රජාලිකයකු විය නොහැකිය. ජනතාව ද එවැන්නක් ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන්නේ නම් එය අසාධාරණය. ජනතාව අපේක්ෂා කරනුයේ තමා මෙතෙක් කල් පීඩාවට පත් කළ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් ලැබේය යනුවෙනි. තමන්ට ඍජුවම බලපා ඇති ජීවත්වීමේ ගැටලුවලට කෙටිකාලීන විසඳුමක් ලැබේ යැයි ඔවුහු බලාපොරොත්තු වෙති. මෙහිදී දැනට ඇති දැවෙන ප්‍රශ්නවලට යම් ක්ෂණික විසඳුම් ලබා දී ඉන්පසුව දීර්ඝකාලීනව ඒවාට විසඳුම් ලබා දේවි යැයි ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව වෙයි. “දැන්ම අපට ඕවට මැදිහත් වෙන්න බැහැ. පහුවෙලා බලමු” යැයි ඇඟ ගලවා ගැනීමට නව ජනාධිපතිවරයාට කිසිම ඉඩක් නැත. දියේ කරවටක් ගිලෙමින් සිටින ජනතාව ගොඩට ගැනීම මුල් පිළියම විය යුතුය.
ජනාධිපතිවරණ දිනවල රට පුරා බෙදා හැරි ජාතික සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඔවුන් ජනතා ප්‍රශ්න හඳුනාගෙන ඇති බව පෙනේ. දැන් අවශ්‍ය වන්නේ විසඳුම් දීමය. “ආර්ථික වශයෙන් බංකොලොත් කරන ලද, ණය බර, බදු බර, ජීවන බර වැඩිවුණු, දිළිඳුකම කුසගින්න වැඩිවුණු, ආදායම් මාර්ග බිඳවැටුණු රටක් නොවේද?” යනුවෙන් ප්‍රකාශනයේ මුලින්ම දක්වා ඇති මේ කොටස අනුව ඔවුන් මුලදීම ප්‍රශ්නය හඳුනාගෙන ඇති බව පෙනේ. 1948 නිදහස ලබන විට ආසියාවේ දෙවැනි ශක්තිමත්ම ආර්ථිකයකට උරුමකම් කී රට අද බංකොලොත්භාවයට පත්වූයේ වසර 76 ක් තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළ පාලක කල්ලිය නිසා බවට චෝදනා කර ඇත. දුර්වලතා සහ එයට හේතු ද, එය කළ අය පිළිබඳව ද මනා වැටහීමක් අභිනව පාලකයන්ට ඇති නිසා පවතින රෝගවලට ප්‍රතිකාර ලබා දී රට සහ රටවැසියා සුවපත් කළ යුතු බව අවධාරණය කෙරේ. ජනාධිපතිවරයා දිවුරුම් දුන් දින සිටම මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීම වැදගත්ය.
අනුර දිසානායක ජනාධිපතිවරණය වෙනුවෙන් නිකුත් කළ පතිපත්ති ප්‍රකාශනයේ රටේ ආර්ථික තත්ත්වය නැංවීම සඳහා යනුවෙන් පියවර කිහිපයක් දැක්වේ. මේ පියවර නිසා රටේ ආර්ථිකය පමණක් නොව, පසුගිය කාලයේ හදිසියේ ගත් තීරණ නිසා හිරිහැරයට පත්ව සිටින ජනතාවගේ ආර්ථිකය යහපත්වීමට ද හේතු වන බව පැවසිය හැකිය. මාසික පුද්ගල බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවීම මෙන්ම දැනට වැට් බද්ද අයකරන ආහාර ද්‍රව්‍ය, සෞඛ්‍යය, පාසල් පොත්පත් හා උපකරණ එම බද්දෙන් නිදහස් කිරීමද අඩංගු වේ. එසේම දීර්ඝ කාලීන ඉල්ලීමක් වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතිකය සියයට 5 කින් ඉහළ නැංවීම සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව දුෂ්කරතාවට පත්ව සිටින ජනතාව ඉන් මුදවා ගැනීමට මැදිහත්වීමක් සිදු කරන බවද දැක්වේ. වසර පහක් තුළ ඩොලර් බිලියන 45 ක ඉලක්කයක් සහිතව අපනයන විවිධාංගීකරණය කිරීම ද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ඇප රහිත ණය හා ආපසු නොගෙවා ඇති ණය සඳහා “ණය සහන බැංකුවක්” අලුතින් ස්ථාපිත කිරීමට ද යෝජනා කර තිබේ. විදේශ ප්‍රේෂණ සඳහා විගමණික බැඳුම්කර, සංවර්ධන බැඳුම්කර ඇතිකර නව ආයෝජන අවස්ථා ඇති කිරීමට ද යෝජනා කර තිබේ.
උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීම සඳහා ගුරු වෘත්තියට උපාධිධාරීන් 20,000 ක් බඳවා ගැනීම සහ විවිධ උපාධිධාරීන් 12,000 ක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඇතුළත් කිරීම ද සඳහන් කර තිබේ. එය හැරුණුවිට දේශීය ආදායම්, රේගු විදේශ සේවා සහ සංචාරක ක්ෂේත්‍රය සඳහා රැකියා අවස්ථා 3000 ක් ඇති කිරීමට ද යෝජිතය. එසේම විදුලි බිල අඩුකිරීම ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම මෙන්ම ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 50,000 ක් ප්‍රතිසංස්කරණය කිරීම ද ඇතුළත් වේ.
මෙම යෝජනා ඇත්තවශයෙන්ම රටේ ආර්ථිකය ගොඩනැගීමට උපකාරී වන බව පෙනෙන්නට තිබේ. එහෙත් මෙම යෝජනා එකවරම ක්‍රියාත්මක කිරීම සුළුපටු කටයුත්තක් ද නොවේ. එසේම බදු අඩු කර ජනතාවට සහන සැලසීමේදී එම අඩු වූ බදු ආවරණය කරගැනීම සඳහා විකල්ප ක්‍රම සහ විධි අනුගමනය කළ යුතුය. එසේම මෙම ගැටලුවලින් ජනතාවට විශේෂයෙන් වඩාත් දැනෙන ප්‍රශ්න පිළිබඳ සලකා බලා අද පවතින තත්ත්වය යහපත් කිරීම සඳහා ප්‍රමුඛත්වයක් දිය යුතු ඒවා කුමක්දැයි විශ්ලේෂණය කරමින් එම ගැටලු විසඳීමේ ක්‍රියාමාර්ගවලට දැන් සිටම අවතීර්ණ විය යුතුය. මේවා පිළිබඳ පසුගිය ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වූයේ ඇයිදැයි ගැඹුරින් අධ්‍යයනයක යෙදෙමින් එම අඩුපාඩු සකසාගෙන වැඩට බැසිය යුතු බව කිව යුතුය.
කෙසේ වුවද ජනතාව බලාපොරොත්තු වන සෑම සහනයක්ම කඩිනමින් අයත් කර දීම අපහසුය. එයට එක් හේතුවක් වන්නේ අලුත් ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමට සිදුවීමය. ඒ බව නව ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයට පෙරදීම පවසා තිබිණි. එසේම ජනාධිපතිවරයා දිවුරුම් දුන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ස්වකීය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවය. ඒ නිසා ආණ්ඩුව සිදුකරන වෙනස්වීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති ගිවිසුම ප්‍රකාරව සිදු කළ යුතුව ඇත. එසේ නැතිව තනි තීන්දු ගැනීමට ජනාධිපතිවරයාට නිදහසක් නොමැත.
“රනිල්ලා කියන හැටියට ආයෙ මේ රටේ පෝලිම් යුගයක් අපේ පාලනය තුළ ඇතිවෙන්න ඉඩ තබන්නේ නැහැ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ධනාත්මකව වඩා ඵලදායී මෙහෙවරක් වෙනුවෙන් කටයුතු කරනවා.” ජනාධිපතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මාධ්‍යවලට පවසා තිබුණි. එයින් අදහස් වන්නේ තමාට තනිව සිතැඟි පරිදි ගමන් කළ නොහැකි බව ඔහු එදා සිටම තේරුම්ගෙන සිටි බවය.
කෙසේ වුවද පසුගිය සමයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ අයි.එම්.එෆ්. උපදෙස් ක්‍රියාත්මක කිරීමේදී කිසිදු මානුෂීය හැඟීමකින් තොරව කටයුතු කළ නිසා ජනයාගේ කලකිරීම සහ කෝපය උත්සන්න වූ බව සිතා ගැනීමට පුළුවන. කෙසේ වුවද නව ජනාධිපතිවරයා ඒ බව වටහාගෙන දෙපැත්තම බේරා ගැනීමට කටයුතු කරනු ඇතැයි සිතාගත හැකිය.
මේ පිළිබඳ අදහස් දක්වන කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා මූල්‍ය පීඨයේ හිටපු මහාචාරිණී, ප්‍රේමා පොඩිමැණිකේ මහත්මිය ප්‍රකාශ කළේ ජනතාව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ඡන්දය ප්‍රකාශ කළේ හුදෙක් ඔහු පැවසූ දේවල් එලෙස සිදුවනු ඇතැයි යන අපේක්ෂාව මත බවය. ඒ නිසා එම ප්‍රකාශ යථාර්ථයක් කිරීම ඔවුන්ගේ වගකීම හා යුතුකම වනු ඇතැයි ඇය පවසයි. එසේ සිදු නොවුණහොත් ජනතාව ජාතික ජනබලවේගය කෙරෙහි තබා තිබූ විශ්වාසය කෙටි කලකින් බිඳ වැටෙනු ඇතැයි ඇය අවධාරණය කරයි.
“රට වැටී ඇති තත්ත්වය අනුව මෙම පොරොන්දු යථාර්ථයක් කිරීම විශාල අභියෝගයක්. එහෙත් අලුත් ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්න ඇති තම කණ්ඩායමට එම අභියෝග ජයගත හැකි බවට. ඔහු පැවසුවා වගේ මේ සියල්ල එකවර කරන්න ඔහු ඉන්ද්‍රජාලිකයෙක් නොවෙයි. ඒවා ක්‍රමයෙන් ඉටුකළ යුතු වෙනවා. එසේම ඔහුට ස්වකීය පක්ෂයේ සහ ජනතාවගේ සහයෝගය ඒ සඳහා ලැබිය යුතුයි. එහෙම නැතුව මෙය සතියකින් දෙකකින් එකවර කළ හැක්කක් නොවන බව තේරුම් ගත යුතුයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් කිසිම පැකිලීමකින් තොරව එකවරම ක්‍රියාත්මක කරන්න යාම තමයි මේ තත්ත්වයට එක හේතුවක් වුණේ. බොහෝ විට හිටපු ජනපති මානුෂිය හැඟීමකින් තොරව යන්ත්‍රයක් වගේ තමා කටයුතු කළේ. මූල්‍ය අරමුදල කියන දේ එයට වැඩියෙන් ක්‍රියාත්මක කරන්න ගියා. මේ තත්ත්වය නිසා ජනතා අප්‍රසාදයට පත් වුණා. දැන් බලන්න, ඔය බදු ගෙවිය යුතු ආදායම් සීමාව ලක්ෂය දක්වා පහළ යැවීම නිසා දිළින්දන්ට පවා බදු ගෙවන්න සිදු වුණා. උපයන විට බදු ගෙවීම නිසා මාසික වැටුප් ලබන අය විශාල හිරිහැරයකට පාත්‍ර වුණා. ඔවුන්ට මුලින් තිබූ ජීවන රටාව එලෙස ගත කළ නොහැකි වුණා. සමාජ සම්බන්ධතා බිඳ වැටුණා. තමන්ට අත්විඳින්න සිදුවූ ඛේදවාචකය නිසා බොහෝ දෙනාට රට හැර යන්න සිදුවුණා. කිසිදු පූර්ව විපරමකින් තොරව වැට් බද්ද වැඩි කිරීම නිසා ජනතාව විශාල විපතකට වැටුණා. ආහාර මිල ඉහළ යාමෙන් මන්දපෝෂණය වැඩි වුණා. ලෙඩරෝග වැඩිවුණා. අධ්‍යාපනයට කණකොකා හැඬුවා. එහෙත් මේ තත්ත්වය නොතේරුණු ලෙසටයි ඔහු හිටියේ. මෙම බද්ද සාමාන්‍යකරණය කර ජනතාවට සහන සැලසීම අප්‍රමාදව කළ යුතුයි. වැට් බදු පහළ දැම්මොත් බොහෝ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල පහළ යනවා. අහිමිවන ආදායම ලබා ගැනීමට විකල්ප සෙවිය යුතුයි.
එපමණක් නොවෙයි, බැංකු පොලිය වෙනස් කිරීම නිසා සාමාන්‍ය ජනතාවට සිදුව ඇති හිරිහැරය විශාලයි. විශේෂයෙන් ස්ථාවර තැන්පතුවල මුදල් යොදවලා ඒ ආදායමෙන් ජීවත් වන විශාල කොටසක් මේ රටේ ඉන්නවා. එකවර බැංකු පොලිය පහළ හෙලීම ඔවුන්ගේ ජීවිතවලට අහිතකරව බලපානවා. බැංකු පොලිය දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. ඒ නිසා යම් වෙනසක් කළ යුතුම වෙලාවයි මෙය.
පසුගිය සමයේ විවෘත ආර්ථිකය කිසිදු සීමාවකින් තොරව පාවිච්චි කිරීම නිසා රටේ විදේශ විනිමය අර්බුදයක් උද්ගත වුණා. අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දෙය ආනයනය කළා. යම් භාණ්ඩයක් හිඟ වූ පසු කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ආනයනය කළා. එයින් දේශීය නිෂ්පාදකයාට සිදුවූ හානිය අති මහත්. දැන් මේ පවතින ක්‍රමය යටතේම භාණ්ඩ ආනයනය සීමා කිරීමට සිදුවෙනවා. එහෙම නැතුව ආනයනය සහමුලින්ම තහනම් කළ නොහැකියි.
අපේ රටේ නිෂ්පාදන ආර්ථික රටාවක් නැහැ. ආනයන ආර්ථිකයක් දිගටම පවත්වාගෙන යන්න පහසුයි. හැමදාම පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වන්න බැහැ. එසේ නොමැතිව රටේ ආර්ථික තත්ත්වය යහපත් කරන්න බැහැ. අද පවතින තත්ත්වය වෙනස් කරලා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඒ බව නව ජනාධිපතිවරයා තේරුම්ගෙන ඇති බවයි ඔහුගේ ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ. එසේම මා හිතනවා, වංචා දූෂණ, හොරකම් නවත්වා ගතහොත් අපේ ආර්ථිකය ගොඩනැගිය හැකිවෙන බව. ඒවායින් නාස්ති වූ මුදල් අය කරගෙන ජනතාවට සහන දෙන්න පුළුවන්. ජනතාවගේ දරිද්‍රතාව තීව්‍ර කරන මේ බදු ක්‍රමය සමාලෝචනය කර අඩුවන ආදායම වෙනත් ක්‍රමවලින් පියවාගත යුතු වෙනවා. මෙතැනදී තියෙන්නේ අලුතින් බදු ගැසීම හෝ බදු ප්‍රතිශත ඉහළ නැංවීම නොවෙයි, පනවා ඇති බදු කාර්යක්ෂමව එකතු කර ගැනීමයි. බදු හොරුන් හඳුනාගෙන ඔවුන්ගෙන් නියමිත බදු නිසි ලෙස අයකර ගැනීමට කටයුතු කළ යුතුයි. එවිට රජයට අවශ්‍ය අතිරේක ආදායම සොයා ගැනීමට අපහසු වෙන එකක් නැහැ.”
• යසවර්ධන රුද්රිගු