2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

එදා සරසවියේ අරවින්ද අද ජනපති අනුර

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02 620

ශ්‍රී ලංකාවේ දසවැනි විධායක ජනාධිපතිවරයා ලෙස මහජන පරමාධිපත්‍යයෙන් තේරී පත්වූ දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක නම් චරිතය පිළිබඳව නොදන්නා කෙනකු නොමැත. එහෙත් ඔහුගේ අතීත ජීවිතය සහ දේශපාලන භාවිතය පිළිබඳව පැහැදිලි කියවා ගැනීමක් බහුතර ශ්‍රී ලාංකිකයන් සතු නොවේ. ඊට හේතුව වන්නේ වර්තමාන ජනාධිපතිවරයා මෙරට සාම්ප්‍රදායික දේශපාලන ධාරාව නියෝජන කළ චරිතයක් නොවීමයි.

තත්ත්වය එසේ නමුත් තම මව් රටේ වර්තමාන පාලකයා පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමේ ජන අයිතිය තෘප්ත කරනු පිණිස අපි මෙම සටහන ලියා තබමු.

මේ වන විට 55 වැනි වියේ පසුවන වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපත ලබා ඇත්තේ 1968 නොවැම්බර් 24 වැනිදාය. මාතලේ ගලේවෙල උපන් ඔහුගේ පියා රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්යාල සේවකයකු වූ අතර ඔහුගේ මව ගෘහණියක් විය. ඔහුට එක් සහෝදරියක් සිටියි. සැබැවින්ම අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක දරුවකු වූ අතර, ඔහුගේ බාල කාලය ඉතා අභියෝගාත්මක එකක් වූ බව කියැවේ.

අනුර කුමාර දිසානායක මහතාගේ මුල් යුගය පිළිබඳව බොහෝ තොරතුරු අප්‍රකට නමුත් ඔහුගේ පියා බුදු දහම කෙරෙහි විශේෂ ලැදියාවක් දැක්වූ චරිතයක් වූ බව කියැවේ. පාසල් කාලයේ අනුර කුමාර දිසානායකගේ සමීපතමයා බවට පත් වී ඇත්තේ ඔහුගේ මවගේ සහෝදරියකගේ පුත්‍රයෙකි. ඔවුන් එකම නිවසේ එකට කුඩා කල පටන් හැදී වැඩී ඇති අතර දෙදෙනාම සාමාන්‍ය පෙළ සමත් වීමෙන් අනතුරුව විද්‍යා සහ ගණිත අංශවලින් උසස් පෙළ හැදෑරීම සඳහා තීරණය කොට තිබේ.

අසූව දශකයේ පාසල් කාලය තුළදීම ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය තෝරාගත් මෙම ඥාති සොයුරන් දෙදෙනා පක්ෂයේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ සක්‍රීය වීම අරඹා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස 88 – 89 අනුර කුමාර දිසානායකගේ ඥාති සොහොයුරා සහ සමීපතම පාසල් සගයා ඝාතනයට ලක් විය. වසර ගණනාවක් පුරා මේ පිළිබඳව වූ රහස සිය පවුලෙන් සඟවා ගනිමින් තමා ජීවත් වූ බව දිසානායක මහතා වරක් පවසා තිබේ.

මේ අතර ඔහුගේ අප්‍රකට මුල් ජීවිතය පිළිබඳව හෙළිදරව් වී ඇති තොරතුරු අනුව වරක් දේශපාලනය විසින් ඔහුගේ නිවස ගිනිබත් කොට තිබේ. සිය පියාගේ බුදු කුටිය ඉදිරිපස වූ රතන සූත්‍රය රැගත් පාලකයන්, එය මිදුලේ මල් ගසක එල්ලා එවක දේශපාලන ආධාරකරුවන් විසින් ඔහුගේ නිවස ගිනිබත් කළ බවට වාර්තා පළව තිබේ. ඒ අනුව ආර්ථික, දේශපාලන, සමාජ පීඩාවන්ට ගොදුරුව ජීවිතයේ මුල් යුගය අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙවා දමා ඇති බව පැහැදිලිය.
භීෂණ සමය තුළදී ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුවද එය ඔහුට අභියෝගයක් වූ බව අනුර කුමාර දිසානායක පිළිබඳව පළ වී ඇති වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ඔහු පළමුව පේරාදෙණිය සරසවියට ඇතුළත්ව ඇතත් ඒ වන විටත් ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීනයකු ලෙස ක්‍රියාකාරී වීම හේතුවෙන් එල්ල වී තිබූ ජීවිත තර්ජන හමුවේ විශ්වවිද්‍යාලය මාරු කිරීමට ඔහු කටයුතු කර ඇත.

ඒ අනුව වසරක පමාවෙන් දිසානායක තරුණයා 1992 දී කැලණිය සරසවියට ඇතුළත් වී තිබේ. මෙහිදී අරවින්ද නමින් ප්‍රසිද්ධියට පත්වූ අනුර කුමාර දිසානායක, ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනැංවීමේදී ශිෂ්‍ය දේශපාලනය තුළ ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කොට තිබේ. ඔහු සමඟ සිටි විශ්වවිද්‍යාල සගයන් සඳහන් කර ඇති පරිදි අධ්‍යයන කටයුතුවලට නොව දේශපාලන කටයුතුවලට සරසවි සමයේදී දිසානායක ශිෂ්‍යයා ප්‍රමුඛත්වය ලබා දී තිබේ. එහෙත් සියලු විභාග සමත් වීම සඳහා ඔහු මිතුරන්ගේ සහාය සහිතව සටහන් පිටපත් කර ගනිමින් රාත්‍රීන්වලදී නිදි වර්ජිතව පාඩම් කළ බව කියැවේ.

කෙසේ වෙතත් 1992 වසරේදී භෞතික විද්‍යා උපාධිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළු වූ අනුර කුමාර දිසානායක, 1995 වසරේදී සිය උපාධිය සම්පූර්ණ කොට ඇත. මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණ ශිෂ්‍ය දේශපාලනයේ කීර්තිමත් චරිතයක් බවට පත්වීමට දිසානායක තරුණයා සමත්ව සිටි බව සමකාලීනයන්ගේ අදහස් දැක්වීම් අනුව පෙනී යයි.

ඒ අනුව 1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි අරගලයේදී ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීනයකු වූ අනුර කුමාර දිසානායක දස වසරක ඇවෑමෙන් 1997 දී පක්ෂය තුළ කැපී පෙනෙන දේශපාලන ක්‍රියාකාරිකයකු බවට පත් වූ බව පෙනී යයි. 1997 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායකවරයා බවට අනුර කුමාර දිසානායක පත්වීමත්, එම වසරේදීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වීමත් ඒ බව තහවුරු කරයි.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනැංවීමේ ක්‍රියාදාමය ආරම්භ වී තිබූ අතර ජ්‍යෙෂ්ඨ නායකයන් ඔවුන් අතර නොවීම හේතුවෙන් ව්‍යාපාරය විසින් තරුණ නායකයන් සඳහා වැඩි අවස්ථාවක් වෙන්කොට තිබේ. 1998 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩලයට තේරී පත්වීමට ද අනුර කුමාර දිසානායක හට බලපෑම් කොට ඇත්තේ මෙම තත්ත්වයයි. ඒ අනුව එම වසරේදීම මධ්‍යම පළාත් සභා මැතිවරණය සඳහා අනුර කුමාර දිසානායක මහතා තරග කොට කර ඇති බව ඔහු පිළිබඳව ඇති වාර්තා හෙළිදරව් කරයි.

අනුර කුමාර දිසානායක ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසියේ, 2000 වසරේදීය. ඒ ජාතික මන්ත්‍රීවරයකු ලෙසිනි. මෙහිදී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම 2001 වසරේදී ජනාධිපතිනි, චන්ද්‍රිකා කුමාරණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඇති කළ පරිවාස ආණ්ඩුව බිහි කිරීමට දායකත්වය දුන්නේය. අනතුරුව 2004 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ, පොදු පෙරමුණ සහ තවත් පාර්ශ්ව කිහිපයක් එක්ව ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය’ පිහිටුවා ගන්නා ලදී.

ඒ අනුව 2004 වසරේ පැවති මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගණන ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා නැවත පාර්ලිමේන්තුවට තේරී පත් විය. එම ආණ්ඩුවේ ඔහු කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. මෙම අමාත්‍ය භූමිකාව අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන භාවිතය පිළිබඳව සාක්ෂි සාධක රැසක් සපයයි. වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන එහිදී මෑත කාලීනව ඔහු පිළිබඳ කියවා ගන්නා බොහෝ දෙනකු ඉස්මතු කොට දක්වන්නේ එබැවිනි. ඊට අමතරව රජයේ වරප්‍රසාද සහ රථවාහන භාවිතය පිළිබඳව ඔහු ඇතුළු කණ්ඩායම ලබාදුන් ආදර්ශය ද ඉකුත් ජනාධිපතිවරණ සමයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මේ සමඟම ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩලය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වූ අනුර කුමාර දිසානායක ක්‍රමයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය සඳහා ගමන් ගන්නා ලකුණු පෙන්නුම් කළේය. ඒ අනුව 2008 වසරේදී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස තේරී පත්වීම ඊට උදාහරණයක් කොට දැක්විය හැකිය.

මෙම කාලය තුළදී එක්සත් ජනතා නිදහස් සන්ධානය බිඳ දමමින් නැවතත් ජනතා විමුක්ති පෙරමුණ තනිව දේශපාලනය කිරීම ආරම්භ කළේය. යුද ජයග්‍රහණය, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ කළ ගනුදෙනුව ආදී සියලු කටයුතුවලදී ඔහු කැපී පෙනෙන චරිතයක් බවට පත් විය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දේශපාලන බිඳී යාමද සිදුවූ අතර විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් පක්ෂයෙන් නික්ම යාමත් අනුර කුමාර දිසානායකට පක්ෂය තුළ ආධිපත්‍යය තහවුරු කර ගැනීමට බලපෑම් කළ බව කියැවේ.

2010 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවෙන් නැවතත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් විය. මෙහිදී රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම විසින් අනියමින් මෛත්‍රීපාල සිරිසේන කඳවුරට සිය සහයෝගය පළ කළේය. මෙම වකවානුව වන විට අනුර කුමාර දිසානායක දූෂණ විරෝධී බලවේගයක් බවට ජනතා විමුක්ති පෙරමුණ පරිවර්තනය කිරීමේ කාර්යභාරයට උරදුන් බව පෙනී යයි.

ඒ අනුව 2014 පෙබරවාරි 2 වැනි දින, ජවිපෙ 17 වැනි ජාතික සම්මේලනය අතරතුර, සෝමවංශ අමරසිංහගෙන් පසුව ජවිපෙ නව නායකයා ලෙස දිසානායක නම් කරන ලදී. මෙය ජනතා විමුක්ති පෙරමුණ එතෙක් මෙතෙක් කළ දේශපාලනයේ පරිවර්තනීය සිදුවීමක් බවට පත්වූ අතර, නව නායකත්වය යටතේ පක්ෂයේ දේශපාලන සැලසුම් ක්‍රමිකව වෙනස් කිරීමට අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කණ්ඩායම නිල වශයෙන්ම කටයුතු කිරීම ඇරඹුණි.

2015, අනුර කුමාර දිසානායකගේ දේශපාලන භූමිකාවේ තීරණාත්මක වසරක් වූ අතර, ඔහු ජනතා විමුක්ති පෙරමුණ නායකයා ලෙස නව දේශපාලන ගමනක් උදෙසා නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට ප්‍රමුඛත්වය ගනු ලැබීය. සාම්ප්‍රදායික වාමාංශික කඳවුරේ විරෝධය නොතකා හරිමින් ගනු ලැබූ මෙම තීන්දුව වර්තමාන ජයග්‍රහණය උදෙසා තීරණාත්මක සාධකයක් වූ බව ඉතා පැහැදිලිව පෙනී යයි.
නැවතත් 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් ද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර එම වසරේම සැප්තැම්බර් 3 වැනිදා සිට 2018 දෙසැම්බර් 17 වැනිදා දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙස ද ඔහු කටයුතු කළේය.

2019 වසරේ සන්ධානය, දේශපාලන පක්ෂ සහ අනෙකුත් සංවිධාන 21 ක සහයෝගය සහිතව ජාතික ජන බලවේගය නිර්මාණය වූ අතර “මාලිමාව” සිය දේශපාලන සලකුණ ලෙස තෝරා ගැනීමට අනුර කුමාර දිසානායක කටයුතු කළේය. වසර ගණනක් පුරාවට නිර්මාණය වෙමින් තිබූ විද්වත් දේශපාලන කථිකාවක ප්‍රතිඵලයක් ලෙසින් මෙම නව දේශපාලන සන්ධානය බිහි වූ අතර 2015 – 2019 කාලය තුළ අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන භාවිතය ඉහළ යෑම සඳහා විශාල බලපෑමක් සිදු කරන ලදී.

විවිධ ජනාධිපතිවරණවලදී විවිධ අපේක්ෂකයන්ට ඍජුව හෝ වක්‍රාකාරයෙන් සහාය පළ කරමින් ගෙවුණු වසර ගණනකට පසු 2019 වසරේ පැවති ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වන අනුර කුමාර දිසානායක ඉදිරිපත් වූයේ නව දේශපාලන සන්ධානයකිනි.

2019 ජනාධිපතිවරණයට පෙර, ජාතික විද්වත් සභාව නමිත් වෘත්තිකයන් ඇතුළත් සංවිධානයක් ගොඩනැගූ අතර, 2019 ජනාධිපතිවරණයට පෙර ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන ගණනාවක් එක් වී නිර්මාණය කළ ජාතික ජන බලවේගයයි.
සුපුරුදු “රතු” තේමා වර්ණයත්, “සීනුව” සලකුණත් පසෙකින් තබා නව දේශපාලන පක්ෂය යටතේ “මාලිමාව” සලකුණෙන් ජනාධිපතිවරණයට තරග කළ ජනාධිපති අනුර කුමාර දිසානායකට එවර ලබාගත හැකි වූයේ ඡන්ද 418,553 ක් එනම් ප්‍රතිශතයක් වශයෙන් 3% ක් වීම නිසා දේශපාලන ප්‍රතිවාදීහු ඔවුන්ට පහර ගැසීමට ද “3%” යන්න යොදා ගත්හ.

මෙහිදී අනුර කුමාර දිසානායකගේ දේශපාලන උපාය මාර්ගය බොහෝ දෙනෙක් ප්‍රශ්න කළෝය. ඊට තවත් සාක්ෂි සාධක සැපයූයේ නැවතත් 2020 මහ මැතිවරණයේ දී ද ජාතික ජනබලවේගය 3.84% ක ඡන්ද ප්‍රතිශතයක රැඳී සිටීමයි. එම මැතිවරණයේදී ජාතික ජනබලවේගය ප්‍රමුඛ කඳවුරට හිමිවූයේ මන්ත්‍රී ආසන දෙකක් හා එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් පමණි.

කෙසේ නමුත් අවසන් වරට ජනතා විමුක්ති පෙරමුණ ලෙස තරග කළ 2015 මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 544,154 ක් හිමි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 6 ක් ද හිමිව තිබුණි.

මෙම තත්ත්වය තුළ පවා සිය දේශපාලන උපාය මාර්ගය අත් නොහල අනුර කුමාර දිසානායක, ගෝඨාභය රාජපක්ෂ පාලනයේ පැවැති දුර්වලතා තම කඳවුරට ඉතා වාසි සහගත ලෙස භාවිත කරන්නට විය. කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය සමඟ පැන නැගුණු 2022 ජන අරගලය අනුර කුමාර දිසානායකගේ දේශපාලන ඉතිහාසයේ සලකුණුගත සංධිස්ථානයක් බවට පත් විය. ජනතාව විසින් නව දේශපාලන ප්‍රවේශයක් ඉල්ලා සිටින තත්ත්වයක් උද්ගත වූ අතර ඒ සඳහා ආසන්නතම විකල්පය ජාතික ජන බලවේගය බවට පරිවර්තනය වීම සඳහා ගත වූයේ වසර දෙකක පමණ කාලයකි.

2019 වසරේදී ජය ලබා ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය අවසන් වීමටත් පෙර ආර්ථික අර්බුදයෙන් පීඩාවට ලක් වී සිටි මහජනතාව විසින් ගෙන ගිය අරගලය හේතුවෙන් ඔහුට රටින් පිටව ගොස් ඉල්ලා අස්වීමට සිදු වූ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පැවති ඡන්දයක දී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් විය. මෙම සිදුවීම් පෙළේ එක්තරා අවස්ථාවකදී අනුර කුමාර දිසානායක වෙත ද කොන්දේසි සහිතව අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට ඇරයුම් ලැබුණු නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කරන ලදී.

අවසානයේ 2024 ජනාධිපතිවරණය එළැඹෙන විට ජාතික ජන බලවේගය මෙරට දේශපාලනයේ ප්‍රබල කඳවුරක් බවට පරිවර්තනය වීමට සමත් වූයේ අනුර කුමාර දිසානායකගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේය. 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පළමු වටයේ ඡන්ද ගණන් කිරීම අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පළමු ස්ථානය හිමි කරගෙන තිබිණි.

මෙය ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පෙරළිකාර මැතිවරණ ප්‍රතිඵලයක් ලෙස සලකුණුගත විය. කෙසේ වෙතත් පළමු වටයේදී සජිත් ප්‍රේමදාස දෙවැනි ස්ථාන හිමි කරගෙන සිටි අතර, ඔවුන් දෙදෙනාටම 50% ප්‍රතිශතය ඉක්මවා ඡන්ද ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.

පළමු වටයේ ඡන්ද ගණන් කිරීම අනුව, අනුර කුමාර දිසානායක ඡන්ද 5,634,915 ක් ලබාගෙන සිටි අතර එහි ප්‍රතිශතය 42.31% කි.

සජිත් ප්‍රේමදාස ඡන්ද 4,363,035 ක් ලබාගෙන 32.76% ක ප්‍රතිශතයක් හිමි කරගෙන තිබිණි.

ඒ අනුව, අනුර කුමාර දිසානායක මූලික වටයේ ඡන්ද ගණනය කිරීම අනුව, සජිත් ප්‍රේමදාසට වඩා වැඩි ඡන්ද 1,271,880ක් ලබා සිටියේය.

කෙසේ වෙතත්, දෙදෙනාටම 50% ඉක්මවා ඡන්දය ලබා ගැනීමට නොහැකි වූ හෙයින් දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කෙරිණි. තෙවැනි ස්ථානයේ පසු වූ රනිල් වික්‍රමසිංහ ඡන්ද 2,299,767 ක් ලබාගත් අතර එහි ප්‍රතිශතය 17.27% කි.
දෙවැනි වටයේ මනාප ගණන් කිරීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය තහවුරු වූ අතර, ඔහු ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සිදුවිය.

දශක තුනකට අධික අනුර කුමාර දිසානායක දේශපාලන පරිච්ඡේදයේ කූඨප්‍රාප්තිය වෙත එළඹියේ මේ සමඟයි. මෙය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂීම සිදුවීමක් විය. මේ වන විට එම ප්‍රතිඵලය ශ්‍රී ලාංකික ජනතාව අත්විඳිමින් සිටිති. කෙසේ වෙතත් අනුර කුමාර දේශපාලන පරිච්ඡේදයේ අලුත් කතාව මේ මොහොතේ පවා ලියැවෙමින් පවතී. එහි අවසානය ශ්‍රී ලංකාව නම් රාජ්‍යයේ අනාගතය කෙරෙහිද දැඩිව බලපානු ඇති බව අවසානයේ සටහන් කොට තබමු.

සටහන - චමිඳු නිසල් ද සිල්වා
මූලාශ්‍ර – BBC සිංහල
ඡායාරූප - අන්තර්ජාලයෙනි