2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

රසික ජනතාවක් නැතිකම පුදුම ප්‍රශ්නයක්! - - සුරස ප්‍රකාශන අධිපති ප්‍රේම් දිසානායක

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:03 129

අවැසි වැසි නොවැසි පොළොවක්

නොවැසි වැසි අවැසි පොළොවක්...

තෙමාලනු පිණිස මහ වැහි අවැසිව තිබෙන වග දැනේ. භවය සංසාරය හා යා කරන රැහැන් පට අන් කිසිවක්ම නොව ආදරය වග මගේ විශ්වාසයයි. ආදරය, ප්‍රේමය, ස්නේහය, මේ කවර ළතෙත්මය මනෝභාවයක් වුව හදවතින් හදවතට යා කරන්නට ගීතයට, කවියට, සාහිත්‍යයට හැකි වගට දැනෙන හදවත් හමුවීම තරම් සාක්ෂියක්ද තවත් නැති වග කියනු කුමටද?

ඉතින් දැනෙන අකුරු වියමන් අතර සරනය වඩාත් හෘද සංවේදී වන්නේද ඒ නිසාමය. සුරස පොත් සුවඳ සොයා සැප්තැම්බරයේ අකුරු වසන්තය විඳිනු රිසින් මා ගියේද එබැවිනි.

සුරස රස සරාගය අපට තිළිණ කළ මාධ්‍යයේ සොඳුරු හිතවතාණන් ප්‍රේම් දිසානායකය. කතා කරන්නට බොහෝ දේ දන්නා මාතෘකා සන්තකයක් වූ ප්‍රේම් දිසානායකට පොත් යනු ඒ සමුදායෙන් එක් මාතෘකාවක් පමණකි.

පොත් ප්‍රකාශකයන් මුහුණදෙන අර්බුදය යන මාතෘකාවේදී බොහෝ අය කතා කරන්නේ ද්‍රව්‍යමය මිල ඉහළ යාම වැනි භෞතික කරුණු පාදක කරගත් ගැටලු සහ ඒ ඔස්සේ නිර්මාණය වන සහ නිර්මාණය විය හැකි අර්බුදය ගැනයි. එහෙත් මම හිතන්නේ පොත් ප්‍රකාශකයන් අද මුහුණදෙන ප්‍රබලතම ගැටලුව බහුතර පාඨක රසවින්දනයේ ගුණාත්මකභාවය ගිලිහී යාම ඔස්සේ හොඳ පොතක් කියවන්න දෙන්නෙ කාටද කියන ප්‍රශ්නයයි. වසර ගණනක් පොත් අතර සරන ඔබට කොහොමද මේ වගක් දැනෙන්නේ?

ඇත්තටම ඔව්... පොත් ප්‍රකාශකයෝ විදිහට රසික ජනතාවක් නැතිකම තමා පොත් ප්‍රකාශකයන් මුහුණ දෙන මම දකින ප්‍රබලම ගැටලුව. කඩදාසි ප්‍රශ්න, ද්‍රව්‍යමය ප්‍රශ්න විසඳගන්න මාර්ග හොයන්න පුළුවන්. මොකද ඒ සියලු ප්‍රශ්න නිර්මාණය වෙන්නේ භෞතික සාධක පාදක කරගෙන. භෞතික සාධක මූලිකව ගොඩනැගෙන ඕනෑම ප්‍රශ්නයකට භෞතික කාරණා පාදකවම විසඳුම් සෙවිය හැකියි. එහෙත් යම් සමාජයක රසිකත්වය, වින්දනාත්මක ශක්‍යතාව පිරිහී යනවා නම් එය යළිත් ගොඩනැංවීමේ සුබවාදී දිශානතින් නිර්මාණය කිරීම සරල කාරණයක් නෙවෙයි. භෞතික ගැටලුවකට භෞතික විසඳුම් සොයනවට වඩා ආධ්‍යාත්මික ගැටලුවකට විසඳුම් සෙවීම, ආධ්‍යාත්මික හිස්තැන්වලට පරිපූර්ණ ආදේශක සෙවීම අසීරුයි. රසඥතාව පිරිහී ගිය, සෞන්දර්යාත්මක වින්දනීය ඉසව් මඟහැරගත්, රසාස්වාදනීය සාහිත්‍යමය රස ඉසව් සොයා නොයන බහුතර රසිකත්වයකට උසස් රසවින්දනාත්මක සාහිත්‍යයක් කලාවක් කොහොමද පිරිනමන්නේ. පොත් නොකියවන තාක්ෂණය කේන්ද්‍ර කරගත් මාධ්‍ය තුළ පමණක් ලෝකය සහ රසය සොයන සමාජයකට කියවන්න පොත් මුද්‍රණය කරන්නෙ කොහොමද? එහෙත් ඒ සියල්ල තුළත් තවමත් පොත්වලට ආදරය කරන, පොත්වල නැවුම් සුවඳ ඉඹගන්න, පොත් ඉල්ලන, පොත් මඟ නොහරින, පොත් හොයාගෙන එන පාඨකයන් පිරිසක් ඉතුරු වෙලා ඉන්නවා. ඒ පාඨකයන්ට හදවතින්ම ආදරයෙන් ගෞරවයෙන් ස්තූතියි කියනවා.

තාක්ෂණය කේන්ද්‍ර කරගත් මාධ්‍ය හැරෙන්නට එවැනි තත්ත්වයක් නිර්මාණය වීම විෂයෙහි වගකිව යුතු ප්‍රබල සාධක විදිහට ඔබ හඳුනා ගන්නේ මොනවද?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ක්‍රමවේදයන් ඊට ඍජුවම වගකිව යුතු තවත් පාර්ශ්වයක්. අධ්‍යාපනයේ දිශානතින් සකස් විය යුත්තේ අධ්‍යාපනයේ අරමුණු කේන්ද්‍රීයවයි. රටක අධ්‍යාපනය සකස් වෙන්නේ විභාගය සහ රැකියාව කේන්ද්‍රීයව නම් එය අතිශය බරපතළ ඛේදවාචකයක්. අද්‍යතනය වෙද්දි විශ්වවිද්‍යාල සිසුන් බහුතරයක් පොත් කියවීමෙන් දුරස් වෙලා. පාසල් වියේ සිටම බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කියවන්නෙ විෂය කේන්ද්‍රීය පොතක් විතරයි. සංකල්පනාත්මක ශක්‍යතාව, පරිකල්පනමය ශක්තිය, නිර්මාණශීලීත්වය, චින්තනමය ශක්තිය, පෙනෙන දෙයක් පෙනෙන දෙයින් එහාට දැකීමේ විචාරමය දෘෂ්ටිය අද බහුතරයක් දාරක මානසිකත්වයෙන් ගිලිහී ගිහින්. එහෙත් 60 – 70 දශකයේ අපට විද්‍යා, කලා, වාණිජ, මේ කවර විෂය ධාරාවෙන් අධ්‍යාපනය හැදෑරුවත් සාහිත්‍යය විෂය මාලාවක් තුළින් ආධ්‍යාත්මික සහ සෞන්දර්යාත්මක සුපෝෂණයක් ලබා ගැනීමේ ඉඩ හසර තිබුණා. මම ඉස්කෝලේ යද්දි අධ්‍යාපනය ලැබුවේ කලා විෂය ධාරාවෙන් නොවුණත් සාහිත්‍ය ග්‍රන්ථ පහක් විතර අපිට ඉගෙන ගන්න තිබුණා. ජීව භාෂාව, සිංහල බෝධිවංශය වැනි උසස් සාහිත්‍යමය සෞන්දර්යයෙන් පරිපූර්ණ ග්‍රන්ථ ඊට ඇතුළත් වුණා. වර්තමානය වෙද්දි විෂය මාලාවට සාහිත්‍යය කෘති ඇතුළත් වුණත් ඒවා අඩංගු කර තිබෙන්නේ එම සාහිත්‍යය කෘතිවලින් තෝරාගත් කොටස් විදිහට. දරුවන් විභාගයට උත්තර ලියන්න සාහිත්‍යය කෘතියක මුල මැද අග නැති කොටසක් විතරක් රසවිඳිනවා නෙවෙයි, කටපාඩම් කරනවා. අග මුල ගිලිහී ගිය තැනක හිස්තැනක් මිසක් රසයක් රැඳී තියෙන්නේත් එයින් රසයක් ජනනය වෙන්නේත් කොහොමද? අතු රිකිලි කපලා දාලා මල් ඵල ගිලිහුණු ලොකු වෙන ගස් විතරක් දකින්න, පැළ පැළ කරලා වැඩක් නෑ. එහෙම ගස් හැදෙන හැම පොළොවක්ම නිස්සාරයි.

සාහිත්‍යයෙන්, සෞන්දර්යෙන්, රසවින්දනයෙන් දුරස් වූ පරම්පරාවක් තුළින් ආදරයේ සෞන්දර් යේ සහ මනුෂ්‍යත්වයේ සාරයන් ගිලිහී යන තැන් වැඩි වග මට දැනෙද්දි ඒ වග ඔබට දැනෙන විදිහකුත් තියෙනවද?

ඔව්... ඒ සියල්ලෙන් දුරස් වූ මිනිසුන් අතිශය පෞද්ගලිකත්වයන් තුළ මනස කේන්ද්‍ර කරගත් ආත්මාර්ථකාමී පසුතලයක ඉන්න වග මටත් දැනී තියෙනවා. ඒ අය තුළ තියෙන්නේ ඉවසීමක්, සංයමයක්, ආදරයක්, බලා හිඳීමක් වෙනුවට ඉක්මන් තරගයක් සහ තනියෙන් දිනුමක්. පොතක් අතට අරගෙන කියවද්දි පොතක අකුරු එක්ක ඒ අකුරු ඔස්සේ නිර්මාණය වන චරිත, සංසිද්ධීන් සහ මනෝභාව සමඟ ඇතිවෙන බැඳීම හරි ගැඹුරුයි. කවියත්, ගීතයත්, සිනමාවත්, රසවින්දනයත්, ඒ ඔස්සේ අප සංවේදී කරවන්නේ මානව මනෝභාවයන්ට. ඒ සියල්ලෙන් වියුක්ත මුඩු බිමක කොහොමද මනුස්සයෙක් සාර සුබාවට පැලවෙන්නෙ කියන ප්‍රශ්නය මගේ ඉදිරියේ තියෙනවා.

පුද්ගලයන් වශයෙන් තමන් තමන්ට අහිමි වී යාම, ජීවිතය හා යා වෙමින් ගීතය, කවිය, සාහිත්‍යය විඳින්නට ඇති තැන් මඟහැරී යාම රසිකත්වය ගිලිහී ගිය හිස් සමාජයක් බිහිවෙන්න හේතු වුණේ කොහොමද?

ඉස්සර සාදයකදි, මධුවිතක් විඳිද්දි, තේ කෝප්පයක්, කෝපි කෝප්පයක් බීවත්, අපි එකතු වෙලා එතැන රසගුලාවක්. අපි කතා කරන්නේ පොතක්, කවියක්, ගීතයක්, චිත්‍රපටයක් ගැන. ඒ හෝරාවන් හරි රසවත්. දැනුම, වින්දනය හැමදේම උපදින තැන් ඒ. ඒත් අද මම හිතන්නේ එහෙම තැන්වලදිත් හුඟාක් අය කාගෙ හරි ඕපදූපයක් මිසක් කතා කරන වෙන දෙයක් නෑ.

සුරස සැප්තැම්බර් පොත් වසන්තයට අරන් ආව පොත් ගොන්න ගැනත් දැන් ඉතින් ඔබ කියන්න?

පොත් 40 ක් විතර මෙවර සාහිත්‍යය වසන්තය වෙනුවෙන් අපි මුද්‍රණය කළා. පරිවර්තන කෘති අටක්, ස්වතන්ත්‍ර 11 ක්, කෙටිකතා පොත් 4 ක්, කවි පොත් 6 ක්, විශේෂාංග රචනා පොත් 10 ක් ඇතුළුව පොත් 40 ක් විතර පොත් එකතුවක් සුරස ප්‍රකාශන වෙතින් නිකුත් වීම විශේෂත්වයක්. විශේෂයෙන් කවිය හා කෙටිකතාව කෙරේ රසික ආකර්ෂණය දුරස් වී යන යුගයක කවි හා කෙටිකතා පාඨක සුරතට බාරගන්නවනම් එය කවියෙහි හා කෙටි කතාවෙහි අනාගතය වෙනුවෙන් සුබවාදී ලකුණක් විදිහටයි මම දකින්නේ. රජත පුස්තක සාහිත්‍යය උළෙලත් මේ පිබිදීමට හේතුවක් වෙන්න ඇති.

• සංජීවිකා සමරතුංග