2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා!

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 32

මේ වන විට ඊශ්‍රායලය ලෙබනනයට ඇතුළු වී භෞමික සටන් අරඹා තිබේ. මේ සටනට මුල පිරුණේ හිස්බුල්ලා සංවිධානය මගින් ඊශ්‍රායලය වෙත සිදු කළ ප්‍රකෝපකාරී ප්‍රහාරයන්ය. ඊශ්‍රායල ප්‍රහාරයේ දරුණුතම විපාකය වූයේ හිස්බුල්ලා වෙත එහි නායකත්වය අහිමිව යාමය. ඔහු හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාය.

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා සහ විප්ලවවාදී ආරක්ෂක බළකායේ ජෙනරාල් අබ්බාස් නිල්ෆෝරුෂාන් යන දෙදෙනා ඇතුළු ඉහළ පෙළේ හිස්බුල්ලා අණදෙන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් හත් දෙනෙක් පසුගිය සතියේ බේරූට් හි පිහිටි ඔහුගේ භූගත මූලස්ථානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගියහ. මේ ප්‍රහාරය 1980 ගණන්වල මුල් භාගයේදී එය පිහිටුවීමෙන් පසු ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායමට එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙස වාර්තාගතය.

හසන් නස්රල්ලා ෂියා ඉස්ලාමීය දේශපාලන පක්ෂයක් සහ මිලීෂියාවක් වන හිස්බුල්ලාහි 1992 සිට 2024 සැප්තැම්බර් මාසයේදී ඔහුගේ ඝාතනය දක්වා මහ ලේකම් ලෙස සේවය කළ ආගමික නායකයකු සහ දේශපාලනඥයෙකි. 1960 දී බේරූට් තදාසන්න මැට්න් දිස්ත්‍රික්කයේ Bourj Hammoud හි ෂියා පවුලක දරුවන් දස දෙනාගෙන් නවවැන්නා ලෙස උපත ලැබීය. ඔහු පළතුරු වෙළෙන්දකු වූ ලෙබනන් ජාතිකයකුට දාව උපන් අයෙකි. පවුලේ උදවිය වැඩි ආගමික නැඹුරුවක් සහිත නොවූවත් ඔහු දේවධර්මය ඉගෙනීමට උනන්දු විය. නස්රල්ලා, ඕනෑම සමාජයක ප්‍රශ්නවලට විසඳුම ඉස්ලාමය සතු බව තදින් විශ්වාස කළ අයෙකි.

1975 දී, ලෙබනන් සිවිල් යුද්ධය පුපුරා යාමෙන්, එවකට වයස අවුරුදු 15 ක් වූ නස්රල්ලා ඇතුළු පවුලට බසූරිහි පිහිටි ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ නිවසට යාමට බල කෙරුණි. එහිදී නස්රල්ලා ටයර්හි රජයේ පාසලෙන් ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කළේය. එහිදී ඔහු කෙටි කලකට ලෙබනන් ෂියා දේශපාලන කණ්ඩායමක් වන අමල් ව්‍යාපාරයට සම්බන්ධ විය.

1976 දී, වයස අවුරුදු 16 දී, නස්රල්ලා ඉරාකයට ගිය අතර එහිදී ඔහු නජාෆ්හි ඉරාක ෂියා විශාරදයකු වන අල්-සද්ර්ගේ සෙමනේරියට ඇතුළත් කරන ලදී. 1978 දී තවත් ලෙබනන් සිසුන් දුසිම් ගණනක් සමඟ නස්රල්ලා ඉරාකයෙන් නෙරපා හරින ලදී. අල්-සද්ර් සිරගත කර, වධහිංසා පමුණුවා, කුරිරු ලෙස ඝාතනය කරන ලදී. අනාගත ඉරාන උත්තරීතර නායක රුහොල්ලා කොමේනි සහ අබ්බාස් මුසාවි ඇතුළු බොහෝ ෂියාවරුන් සදාම් හුසේන් විසින් නෙරපා හරිනු ලැබ සිටි බැවින්, එම කාලය වන විට ඔහුගේ අධ්‍යයනයේ පළමු කොටස අවසන් කර සිටි නස්රල්ලාට ද1979 දී ලෙබනනයට ආපසු යාමට සිදු විය. නැවතත් ලෙබනනයේදී, නස්රල්ලා අමල් ව්‍යාපාරයේ නායක අබ්බාස් අල්-මුසාවිගේ පාසලේ ඉගෙනගෙන ඉගැන්වූ අතර පසුව බෙකාහි අමල්ගේ දේශපාලන නියෝජිතයා ලෙස තෝරාගෙන ඔහුව මධ්‍යම දේශපාලන කාර්යාලයේ සාමාජිකයකු බවට පත් කළේය.

1982 ඊශ්‍රායලයේ ලෙබනන ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා පිහිටුවන ලද හිස්බුල්ලා සංවිධානයට නස්රල්ලා එක් විය. ඉරානයේ කෙටි කාලයක් ආගමික අධ්‍යයනයෙන් පසු නස්රල්ලා ලෙබනනයට ආපසු ගොස් ඔහුගේ පූර්වගාමියා වූ අබ්බාස් අල්-මුසාවි 1992 දී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කිරීමෙන් පසු හිස්බුල්ලා නායකයා බවට පත් විය. 1997 සැප්තැම්බරයේදී නස්රල්ලාගේ ප්‍රසිද්ධ ප්‍රතිරූපය නාටකාකාර ලෙස වෙනස් වූයේ ඊශ්‍රායල හමුදා විසින් ඔහුගේ වැඩිමහල් පුත්‍රයා මරා දැමීම සමඟ ඔහු කල කතාවත් සහ අනෙකුත් ශෝකයෙන් සිටින පවුල් වෙත ඔහුගේ සංචාරයත් සමඟය.

නස්රාල්ලාගේ නායකත්වය යටතේ හිස්බුල්ලා දිගු දුර පරාසයක් සහිත රොකට් අත්පත් කරගත් අතර එමගින් උතුරු ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට හැකි විය. ඊශ්‍රායලය වසර 18 ක දකුණු ලෙබනනය අල්ලා ගැනීමේදී දැඩි හානිවලට ලක්වීමෙන් පසුව, එය 2000 දී සිය හමුදා ඉවත් කරගත් අතර, එමගින් කලාපය තුළ හිස්බුල්ලාගේ ජනප්‍රියත්වය සහ බලය බෙහෙවින් වැඩි විය. එලෙස නස්රල්ලාගේ නායකත්වය යටතේ ලෙබනනය තුළ හිස්බුල්ලාගේ ස්ථාවරය ශක්තිමත් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු ලෙබනනයේ ඊශ්‍රායල ආක්‍රමණය අවසන් කිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ සහ අරාබි ලෝකයේ ගෞරවය නස්රල්ලාට හිමි විය.

2004 දී ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ඇතිවූ සංකීර්ණ සිරකරුවන් හුවමාරු කිරීමේ ගනුදෙනුවක දී නස්රල්ලා ප්‍රධාන භූමිකාවක් ඉටු කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පලස්තීන සහ ලෙබනන් සිරකරුවන් සිය ගණනක් නිදහස් කර ඔහුගේ පුත්‍රයා ඇතුළු බොහෝ මිනිසුන්ගේ සිරුරු කොටස් ද ලෙබනනයට ආපසු ගෙන යන ලදී. මෙම ගිවිසුම හිස්බුල්ලා සංවිධානයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස අරාබි ලෝකය පුරා විස්තර කරන ලද අතර, මෙම ජයග්‍රහණ අත්කර ගැනීම සම්බන්ධයෙන් නස්රල්ලා පෞද්ගලිකව ප්‍රශංසාවට ලක් විය.

ඔහුගේ ධුර කාලය යටතේ, හිස්බුල්ලා එක්සත් ජනපදය සහ අනෙකුත් ජාතීන් විසින් මෙන්ම යුරෝපා සංගමය විසින් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබ ඇත. අරාබි ලීගය 2016 හි හිස්බුල්ලා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ නමුත් 2024 වන විට එය තවදුරටත් එලෙස නොසලකයි. 2015 වන විට රුසියාව හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයක් බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් හිස්බුල්ලා නීත්‍යානුකූල සමාජ දේශපාලන සංවිධානයක් ලෙස සැලකීය. 2012 වන විට චීනය මධ්‍යස්ථව සිටින අතර හිස්බුල්ලා සමඟ සම්බන්ධතා පවත්වන තත්ත්වයකට පත් වූයේ නස්රාල්ලාගේ නායකත්ව භූමිකාවේ සාර්ථකත්වය හේතුවෙනි.

සිරියානු සිවිල් යුද්ධයේදී හිස්බුල්ලා සංවිධානය, සිරියානු රජයේ පාර්ශ්වයෙන් සටන් කළේ ‘ඉස්ලාම් අන්තවාදීන්’ ලෙස නස්රල්ලා හැඳින්වූ කණ්ඩායමට එරෙහිවය. ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට විරුද්ධ කණ්ඩායම්වල අවිධිමත් සභාගයක් වන ‘ප්‍රතිරෝධයේ අක්ෂය’ ද නස්රල්ලා ප්‍රවර්ධනය කළේය. 2023 හමාස් විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව, හිස්බුල්ලා ඊශ්‍රායලයට එරෙහිව යුද්ධයේ නිරත වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දේශසීමාවේ දෙපැත්තටම බලපෑ අඛණ්ඩ ගැටුමක් ඇති විය. 2024 සැප්තැම්බර් 27 වැනි දින ඊශ්‍රායලය සිය ගුවන් හමුදාව යොදා කණ්ඩායමේ මූලස්ථානයට පහර දුන් විට නස්රල්ලා ඝාතනයට ලක් වූවේය.

සුගත්