ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් තරග නොකරන බවත්, තරුණ පිරිසට අවස්ථාව සලසා දීම තම අරමුණ බවත් දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේස්වරන් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරයකු වූ කනකසභාපති විසුවලිංගම් විග්නේස්වරන් මහතා 2013 වසරේ දේශපාලනයට පිවිසියේ උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙසිනි. 2020 පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා 2024 සැප්තැම්බරයේ පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් උතුරු පළාත නියෝජනය කළේය. කලක් දෙමළ ජාතික සන්ධානය සමඟ කටයුතු කළ ඔහු පසුව තම නායකත්වය යුතු දෙමළ ජනතා ජාතික පක්ෂය බිහි කළේය. දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම උදෙසා හඬක් නැගුවේය. පසුගිය ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන පක්ෂ දකුණේ දේශපාලන පක්ෂවලට සහාය දෙන විට උතුරේ ජනාධිපති ධුර අපේක්ෂක පී. අරියනේත්රන්ට සහාය පළ කළේය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළේ ඇයිදැයි දේශය පුවත්පත ඔහුගෙන් විමසා සිටි අතර, පහත පළවන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස්ය.
ඔබ වසර කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්. එහෙත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර තිබෙනවා. එවැනි තීන්දුවක් ගැනීමට හේතුව කුමක්ද?
මේ රටේ දේශපාලනයට තරුණයන් අවශ්‍යයි. මට දැන් වයස අවුරුදු 85ක්. වයසට යනකොට අපි අපේ තරුණ පිරිසට අවස්ථාව දීල පැත්තකට විය යුතුයි. මම දේශපාලනයෙන් ඉවත් වන්නේ නැහැ. ඉදිරියේදී කුමක් කළ යුතුද කියලා පසුව සිතා බලනවා. දෙමළ ජනතාව අභිමානවත් ජනතාවක්. තවමත් අපිව සුළු ජාතිය ලෙසයි හඳුන්වන්නේ. එහෙත් උතුරේ සහ නැගෙනහිර මහ ජාතිය අපියි. අපේ ජනතාව වෙනම භාෂාවක් කතා කරන, වෙනම සංස්කෘතියක් සහිත පිරිසක්. අපේ අවශ්‍යතා වෙනස්. අපේ තරුණ පිරිස පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියන මතයේ මම සිටිනවා.
ඔබ හැමදාම කිව්වා ඒකීය රාජ්‍යයක් තුළ ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍යයි කියලා. අලුත් පරපුර සිටින්නෙත් එම මතයේද?
අපේ සිංහල සහෝදරයෝ අපි සිටින ආකල්පය කුමක්දැයි හොඳින් වටහාගෙන සිටිනවා. අපි උතුරු නැගෙනහිර පළාත්වල අවුරුදු 3000 කට වැඩි කාලයක් ජීවත් වුණු මිනිස්සු. අපිව සුළු ජාතියක් ලෙස තියෙන පිළිගැනීම ඉවත් කරල අපිටත් සමානව සලකන දවසට දෙමළ ජනතාවගේ ගැටලුව අවසන් වේවි. අපේ ජාතියටත් සමාන අයිතිවාසිකම් ලබා දෙනවා නම් එතකොට ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය නැහැ. අලුත් ජනාධිපතිවරයා කියල තියෙනවා සැමට සමානව සලකනවා කියලා. එහෙම කළොත් හැම ගැටලුවක්ම නිරාකරණය වේවි. හැමෝම සතුටින් සමගියෙන් සිටීවි. 13 වැනි සංශෝධනය අනුව උතුරු සහ නැගෙනහිර එක පළාතක් ලෙස පැවතුණා. දැන් එය පළාත් දෙකක් ලෙස ක්‍රියාත්මකයි. එම පළාත්වල සිටින දෙමළ ජනතාව හුදෙකලා නොකොට ඔවුන්ට ද දකුණේ ජනතාවට හිමි වරප්‍රසාද ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි.
ජාතික ජනබලවේගය ජයග්‍රහණය කළොත් රටේ අර්බුදයක් නිර්මාණය වේවි කියල ඔබ ජනාධිපතිවරණයට පෙර පවසා තිබුණා. එහෙත් ජනතාව තෝරා පත්කර ගත්තේ එම පක්ෂයේ ජනාධිපතිවරයෙක්. දැන් ඔබේ අදහස කුමක්ද?
ජනාධිපතිවරණයට පෙර මම එහෙම ප්‍රකාශ කළා. එහෙත් ඔවුන් දැන් කරමින් සිටින වැඩපිළිවෙළ හොඳයි. අපි ඒක පිළිගන්නවා. රටේ සියලුම ජනතාවට ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාට සමාන අයුරින් සලකන බව අපට පෙනෙන්නට තිබෙනවා.
ඔබ හිටපු විනිශ්චයකාරවරයෙක්, උගතෙක්, බුද්ධිමතෙක්. එවැනි අයෙක් යළි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට අදහසක් නැහැ කියන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට සුදුසු පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට අහිමිවීමක් නේද?
මා කලින් පැවසූ පරිදි අපි දැන් මහලුයි. එය අපි පිළිගත යුතුයි. අපි හැමදාම බලය අත්පත් කරගෙන සිටින්න හොඳ නැහැ. අවශ්‍ය වෙලාවට සුදුසු කෙනකුට අවස්ථාව ලබා දිය යුතුයි. පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් මම තරුණයන්ට අවශ්‍ය මගපෙන්වීම කරනවා. දැනටමත් මගේ පක්ෂයේ හොඳ උගත් තරුණ පිරිසක් සිටිනවා. ජීවත්ව සිටින ඉතිරි කාලයේ ඔවුන්ට හරි මග පෙන්වා දීමයි වැදගත් වන්නේ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට උතුරු නැගෙනහිර පළාත්වල සෑම කොට්ඨාසයකටම වගේ උගත්, බුද්ධිමත් පුද්ගලයන් අපේ පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට අපි අදහස් කරනවා. බොහෝ උගතුන් දේශපාලනයට එන්නට කැමැති නැහැ. අපි දේශපාලනයට එන්නට කැමැති එවැනි පුද්ගලයන් සොයමින් සිටිනවා. මෙවර මගේ පක්ෂය වෙනත් පක්ෂ සමඟ එක් නොවී තනිව තරග කරනවා.
ඔබ හිටපු ජනාධිපතිවරයා පිළිබඳ දැඩි විශ්වාසයකින් කටයුතු කළ කෙනෙක්. ඔබ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළේ රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වූ නිසාද?
අපෝ නැහැ. මම මැතිවරණයට ඉදිරිපත් නොවීමත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජයත් අතර කිසිදු සම්බන්ධයක් නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජයග්‍රහණය කළත් මම කියන්නේ අපේ කාලය දැන් අවසානයි. අලුත් අයට තැන දිය යුතු නිසා ඉවත් විය යුතුයි කියලයි. තරුණයන් පසුපසින් සිට ඔවුන්ගේ දේශපාලන ගමනට සහාය දැක්වීමයි අපේ යුතුකම වන්නේ.
ඉදිරි කාලයේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් ඔබ එයට ඉදිරිපත් වෙනවද?
පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් එයට ඉදිරිපත් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙන් තවම තීරණය කර නැහැ. ඒ ගැන ඉදිරි කාලයේ සලකා බලනවා. පළාත් සභා මැතිවරණයක් කවදා පැවැත්වෙයිද කියලා කියන්න බැහැ. 13 වැනි සංශෝධනය පිළිබඳව අලුත් ආණ්ඩුවත් යමක් ප්‍රකාශ කරල නැහැ. පළාත් සභාව ක්‍රියාත්මක වුවහොත් දෙමළ ජනතාවට සුළුවෙන් හෝ පාලන බලයක් ලැබේවි.
ඔබ පළාත් සභාවේ මහ ඇමැතිවරයකු ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් කටයුතු කර තිබෙනවා. මේ තනතුරු දෙකෙන් ඔබ වඩාත් කැමති කුමන තනතුරටද?
මම පළාත් සභවේ බොහොම ආසාවකින් වැඩ කළා. මන්ද මා සේවය කළේ අපේම මිනිසුන්ට. ඔවුන්ගේ වැඩවලට සහාය දක්වමින්, ඔවුන්ගේ අවශ්‍යතා හැකි පමණින් ඉටු කරමින් ඔවුන්ට වැඩි සේවයක් කිරීමට මට පළාත් සභාවේදී අවස්ථාව ලැබුණා. ඇතැම් කටයුතු ඉටු කරගන්න නොහැකි වුණේ මධ්‍යම ආණ්ඩුවෙන් සහායක් නොලැබුණු නිසයි.
ජනාධිපතිවරණයේදී උතුරේ දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් මහතා සිව්වැනි තැනට පත් වුණා. උතුරේ වැඩි පිරිසක් ඔහුට ඡන්දය ප්‍රකාශ කර තිබුණා. ඔබ හිතන්නේ දෙමළ ජනතාව දකුණේ පක්ෂ කෙරෙහි වැඩි විශ්වාසයක් නැහැ කියලද?
අරියනේත්‍රන් මහතා සිව්වැනි ස්ථානයට පත්වීම විශාල ජයග්‍රහණයක්. මන්ද ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ ඉතාම සුළු කාලයක් තුළයි. ඒ කියන්නේ අපිට තිබුණේ දවස් 41 යි. උතුරු නැගෙනහිර ජනතාව ඔහුව පිළිගත්තා අපේ කෙනෙක් විදිහට. යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාස වැඩි සංඛ්‍යාවක පළමු ස්ථානය ඔහුට ලැබුණා. ඒක අපේ ජයග්‍රහණයක්. ඉදිරි මැතිවරණවලට එය විශාල බලපෑමක් වේවි. දකුණේ පක්ෂවලටත් ඡන්දය ලැබුණා.
උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඉදිරියෙන් සිටිනවා. ඔවුන් මෙවර ජනාධිපතිවරණයේදී උපකාර කළේ දකුණේ දේශපාලන පක්ෂයකට. උතුරේ ජනතාව තුළ එම පක්ෂයට මේ වන විට ඇති පිළිගැනීම කුමක්ද?
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සහාය පළ කළේ දෙමළ පොදු අපේක්ෂකයාට නෙවෙයි, දකුණේ ජනාධිපති අපේක්ෂකයකුට. එම පක්ෂයේ සුමන්තිරන් මහතාගේ දේශපාලන කාර්යභාරය සම්බන්ධයෙන් උතුරේ දෙමළ ජනතාව තුළ එතරම් පැහැදීමක් නැහැ. ඔහු සිතන්නේ දකුණේ පක්ෂ සමඟ සහයෝගයෙන් වැඩ කළොත් දෙමළ ජනතාවට යමක් ලබාගත හැකියි කියලයි. එහෙත් දකුණේ පක්ෂ දෙමළ ජනතාවට කිසිවක් අද වෙනකම් ලබා දී නැහැ. ඒ නිසා අපේ අනෙකුත් පක්ෂ සුමන්තිරන් සමඟ එකඟතාවයකින් කටයුතු කරන්නේ නැහැ.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔබේ පක්ෂයේ සාමාජිකයන් කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත් වුවහොත් මෙතෙක් ඔබ මධ්‍යම රජයෙන් ඉල්ලා සිටි විවිධ ඉල්ලීම් ඒ විදිහටම ඉල්ලා සිටිනවද?
ඔව් අපි ඉල්ලා සිටිනවා. දෙමළ ජනතාව සුළු ජාතියක් ලෙස නොසලකා දකුණේ පුරවැසියන්ට සලකන ආකාරයෙන් සමාන ලෙස පිළිගන්න කියලයි අපේ ප්‍රධාන ඉල්ලීම.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා