2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

වසන්තය උදාවේම මිලිනව යන අපේ පරිවර්තන සාහිත්‍යය

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:05 87

අපේ පරිවර්තන සාහිත්‍යයට දිගු ඉතිහාසයක් තිබේ. එය විවිධ වූ පිමි පනිමින් වර්ධනය වූ සහ තවමත් වර්ධනය වෙමින් පවතින අත්‍යවශ්‍ය සාහිත්‍යාංගයකි. මෑත කාලීනව ඩිජිටල් පරිවර්තක උපාංග සහ AI හෙවත් කෘත්‍රිම බුද්ධි පරිවර්තක සහායකයන්ගේ අතපෙවීමත් සමඟ ගුණාත්මකභාවයේ අඩුලුහුඬුකම් ගැන විවේචන එල්ල වෙමින් පැවතිය ද තවමත් පරිවර්තන කෘති සඳහා හොඳ ඉහළ ඉල්ලුමක් අපේ පාඨක ලෝකය තුළ පවතී.

මුල් කාලයේ අපේ සාහිත්‍යකරුවෝ විශ්ව සාහිත්‍යයේ අභාෂය ලැබ සිය නිර්මාණ ඉදිරිපත් කළ අතර, ඒ මුල් කෘති මුළුමනින්ම පරිවර්තනයට පෙළඹුණේ නැත. පියදාස සිරිසේන, කුමාරතුංග මුනිදාස, ඩබ්ලිව්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ වැනි වියතුන් නිදසුන්ය.
පසුකාලීනව අනුවාද සහ අනුවර්තන සමඟ පරිවර්තන රැසක්ම කලඑළි බසින්නේ විශ්ව සාහිත්‍යයේ රසයෙන් මෙරට සහෘදයන් හද කුළු ගන්වමිනි. ඒ හැම කෘතියකම මුල් පොත කියැවීමේ, ලේඛක තතු සොයා යාමේ, සාහිත්‍ය පිපාසාව පාඨකයන් තුළ මතු කරමින් දිගු සොයා යාමක මුල් පියවර ඔසොවමිනි. මේ කාලයේ පරිවර්තන දායකත්වය සැපයූ බොහෝ දෙනා මැනවින් දෙබසම දත්, මුල් කෘතිය හා ලේඛකයා මෙන්ම ඔහු විසූ කාලසීමාව, ඒ මුල් කරගත් පරිසරය, එහි භූ දේශපාලනික හා සංස්කෘතික මායිම් ගැන දැනුමෙන් පවා යුතු වූවා මෙන්ම ලේඛකයා ලියූ රිද්මය ද කතාවේ ගලා යාම ද නොබිඳ එය අපේ බසින් චතුරව කියන්නට සමත් වූ හෙයින්ම ඒ කෘති පාඨකයන් සිත් වහා ඇදබැඳ ගත්තේය.

මේ අනුවාද අතර ලන්ඩන් පළමු පෙළ උපාධිධාරී ගුරුවරයකු වූ ඊ.ආර්. එරත්න අනුවාදිත ඩිකන්ස් කතාවක් වන රොමාගේ වාසනාව, තාගෝර් කෙටිකතා සහ ජීව භාෂාව නම් අනුවාදිත ද ඇතුළත් පාඨ ග්‍රන්ථය කැපී පෙනෙයි. මේ අතරට මහානාම රාජපක්ෂ කළ මහොෂධය, ජී.බී සේනානායකයන් කළ රණරාළ, අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ලයන් කළ මනුතාපය, කේ.බී. සුගතදාසයන් විසින් තිළිණ කළ විප්‍රයෝගය සහ දේවතාපය බඳු ග්‍රන්ථ ද එක්ව ඇත.

මුල් කාලයේ පරිවර්තන ග්‍රන්ථ මගින් සිදුවූ සාහිත්‍යමය ප්‍රබෝධයට ගුණසේන සමාගමේ ප්‍රකාශන ප්‍රධානියාව සිටියදී පෙන්ගුවින් සමාගම අනුව යමින් ‘ලිහිණි පොත්’ ව්‍යාපෘතිය ආරම්භ කළ, මුල්ම සිංහල කෙටිකතාවේ හිමිකරු ලෙස ද විවාදාත්මක වී.ඩී. ද ලැනරෝල් මහතා ඉහළ දායකත්වයක් ලබාදුනි. සමන් ප්‍රකාශන ආයතනය ද අමුතු ප්‍රමාණයේ නවමු පෙනුමැති සොඳුරු පොත් රැසකටම උපත දුන්නේය.

‘උදා තරුව’, ‘හිරෝෂිමාවේ මල්’, ‘ගලිවරය’, ‘රවින්ද්‍රනාත් තාගෝර්’, නයිට්වරුන්ගේ වීර කතා’, ‘හැම්ලට්’, ‘කළු දළ මල’, ‘බළල් බිල්ල’, ‘ඔතෝමිය’ වැනි සුවිශේෂ කෘති කිහිපයක් තිළිණ කළ හියුබත් දිසානායක ග්‍රීක දේව කතා සමූහයක් ඇතුළත් ‘යවන පුරාණය’, ‘බහිරව දඟය’, ‘ගැමි පැටික්කි’, ‘කළු නදිය’, චීන ලේඛක යංෂුද්ගේ නවකතාවක් වන ‘රම්‍ය භූමි’ ඇතුළු වටිනා සාහිත්‍ය දායකත්වයක් ලබාදුන් දීගොඩ පියදාස වැනි ද්වීභාෂා නිපුණයන්ගේ බලපෑම ඒ අතර සුවිශේෂීය.

කලා ලොව අංශ කිහිපයකම දක්ෂයකු වූ ඒ.පී. ගුණරත්නයන් මේ අතර වෙනස්ම ආරක කතා ශානරයක් අපේ සාහිත්‍ය ලෝලීන් වෙත රැගෙන ආවේය. ඒ 1913 වසරේ ලෙනාඩ් වුල්ෆ් විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද The Village in the Jungle නවකතාවෙහි විශිෂ්ට සිංහල පරිවර්තනයක්, ඒ.පී. ගුණරත්නයන් විසින් 1949 වසරේ දී ‘බැද්දේගම’ ලෙස පළ කිරීමත් සමඟිනි. ඒ.පී. ගුණරත්නයන් කැලෑවට වඩාත් ඇලුම් කළේය. ඒ නිසා ආර්.එල්. ස්පිටල්ගේ කැලෑ පරිසරය පසුබිම් කර ලියූ ‘වනසරණ’ (Savage sanctuary) කෘතිය ද ‘මැකී ගිය දඩමං’, ‘සුදු ගෝනා’ කෘති ද පරිවර්තනය කළේය. මේ වන විට පරිවර්තනයට ලක්ව තිබූ එකම නවකතා කෘතිය වූයේ ජෝන් ස්ටීල්ගේ ‘වන ප්‍රවාහය’ (Jungle Tide) ග්‍රන්ථයයි. ඒ පරිවර්තනය කළල්ඇල්ලේ ආනන්දසාගර හිමියන් විසින් සිදුකර තිබුණි.

රොඩ්නි ජොන්ක්ලාස්ගේ ‘වාලම්පූරි’ නවකතාව ද ඒ.පී. ගුණරත්නයන්ගේ පරිවර්තනයකි. ආතර් වේල් නම් ඉංග්‍රීසි ජාතික ලේඛකයා පරිවර්තනය කළ චෙං එන් නම් චීන ජාතික ලේඛකයා ලියූ ‘The Monkey’ නම් කෘතිය ඔහු ‘වානරයා’ ලෙස පළ කරමින් 1960 වසරේ හොඳම පරිවර්තනයට හිමි සාහිත්‍ය ත්‍යාගය ද හිමිකර ගත්තේය. ඔහුගේ පුළුල් භාෂා දැනුමේ සහාය ඇතිව ප්‍රංශ ගත්කරුවන්ගේ කෘති (ප්‍රංශ කෙටිකතා නමින් පළ විය) හා රුසියන් ගත්කරුවන්ගේ කෘති කිහිපයක් (රුසියන් කෙටිකතා නමින් පළ විය) පළ කිරීමට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පවා පියවර ගත්තේය.

ප්‍රංශ, ජපන්, චීන කතා මෙන්ම ඉන්දියානු කතා ද මෙරට සාහිත්‍යයට මේ සමකාලීනව එක්විය. රුසියානු සාහිත්‍යය මේ අතර දැඩි බලපෑමක් කිරීමට සමත් වූයේය. එරට බස උගෙන එරටෙන්ම විවාහ වී දශක තුනකට ආසන්න කාලයක් මොස්කව් හි ජීවත් වෙමින්, 25 වසරක් සාහිත්‍යකරණයේ නිරත වූ දැදිගම විරුද්‍රිගු සූරින්, හැඟීම් වැහෙන සිංහල බස යස අපූරුවට යොදා මතක හිටින පරිවර්තන රැසක් තිළිණ කර දුන්නේය. ඔහු විවිධ රුසියානු සහ සෝවියට් පොත් 250 ක් පමණ පරිවර්තනය කර තිබේ. ඒවා අතර දේශපාලන න්‍යාය, විද්‍යා ළමා කතා සහ ප්‍රබන්ධ යනාදී විවිධ ක්ෂේත්‍ර ඇතුළත්ව ඇති අතර අපේ පරිවර්තන ක්ෂේත්‍රයේ වැඩිම දායකත්වයක් ලබාදුන් තනි මිනිසා ඔහුය.

රුසියානු පරිවර්තන රැසක් සමඟ ලෝක සාහිත්‍යයේ සම්භාව්‍ය ග්‍රන්ථ රාශියක් සිංහල පාඨකයන්ට ස්වභාෂාවෙන් කියැවීමේ වරම ලබාදුන් තවත් විශිෂ්ටයකු වන්නේ සිරිල් සී. පෙරේරා සූරින්ය. තෝල්ස්තෝයිගේ ‘යුද්ධය සහ සාමය’, ගොගොල්ගේ ‘මළ මිනිස්සු’, ප්ලෝබෙයාර්ගේ ‘එමා බෝවාරි’, දොස්තොවුස්කිගේ ‘කර්මසොව් සහෝදරයෝ’ හා ‘අපරාධය සහ දඬුවම’, ෂොලොහොව්ගේ ‘පෙරළු නැවුම් පස’ වැනි බරසාර කෘති මෙන්ම හෙමිංවේගේ ‘මහල්ලා සහ මුහුද’, ආතර් සී. ක්ලාක්ගේ ‘ගැඹුරු මුහුද’, බෲනෝ ආපිට්ස්ගේ ‘වෘකයන් අතර නග්නව’ වැනි කෘති රැසක් ඔහු දායාද කළේය. ඔහුගේ ‘එමා බෝවාරි’ පරිවර්තන කාර්යය යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් සිංහල ලේඛකයන්ට සිරිල් සී. පෙරේරා සූරීන්ගෙන් ලද මාර්ගෝපදේශක කෘතියක් වැනි වෙයි.

තවත් විශිෂ්ට පරිවර්තකයකුගේ දායකත්වය අපට ලැබෙන්නේ මේ අතරය. ඒ මුනිදාස සෙනරත් යාපා සූරීන්ය. මුලින්ම අයිරිෂ් ජාතික මහා කවියා වූ ඔලිවර්ගෝල්ඩ්ස්මිත්ගේ එකම නවකතාව වන ‘ද විකාර් ඔෆ් වේක්ෆීල්ඩ්’ කෘතිය සිංහලට නැගීමට ඔහු පෙළඹිණ. ඉන්පසු සිංහලට නැගුණු ලෝක පූජිත මහා ලේඛක ටොල්ස්ටෝයිගේ ප්‍රථම කෘතිය ලෙස ‘ඇනා කැරනිනා’ ඔහු අතින් පරිවර්තනය විය. මුල් කෘතිය කියවා, සිනමා පටය නරඹා ඇතිවූ උද්‍යෝගයෙන් කැළඹී ඒ නිර්මාණය ස්වකීය කරගත් අපූරු ග්‍රන්ථයක් ලෙස මුනිදාස සෙනරත් යාපා සූරීන් කළ ‘අපරාජිත බිස්මාකය’ නම් ග්‍රන්ථය දැක්විය හැකිය. ‘අපරාධය හා දඬුවම’, ‘රෝම ලලනායනය’, ‘මල්ගුඩි ව්‍යාඝ්‍රාණය’ මෙන්ම කාම සූත්‍රය ද සිංහලයට නැගූ ඔහු ඩේල් කානගිගේ ජීවිතය දිනන මග කියූ ග්‍රන්ථ කිහිපයක් ද තිළිණ කළේය. මේ සියල්ල අතර වඩාත් කැපී පෙනෙන දායකත්වය වූයේ ඔහු කළ ‘සදර්ථවාහිනී’ නම් ඉංග්‍රිසි සිංහල ශබ්දකෝෂයයි.

පරිවර්තකයන් දෙදෙනකු සමගියෙන් සමාදානයෙන් එක්ව නිර්මාණ දායකත්වයට කැපවූ අපූරු දුලබ අවස්ථාවක් ද අපේ පරිවර්තන සාහිත්‍යය තුළ දක්නට ලැබේ. ඒ පූජ්‍ය උෟරාපොල හේමාලෝක හිමි සහ හේමපාල විජයවර්ධන දෙපළය. මේ සුසංයෝගය මගින් අපට විශ්ව සාහිත්‍යයේ අපූර්වතම නිර්මාණයන් වූ ‘ගසක කඳුළු’ සහ ‘සාර භූමි” තිළිණ වී තිබේ. කේ.ජී. කරුණාතිලක සූරින් මේ සැමදෙනා අතර මෑත යුගය දක්වා වෙනස්ම විශ්ව සාහිත ග්‍රන්ථ රැසක් පාඨකයන් වෙත ගෙන ආ විශේෂ චරිතයක් ලෙස කැපී පෙනෙයි. වඩාත් ජනප්‍රිය වූ රයිඩර් හැගාර්ඩ්ගේ ‘ටාර්සන්’ පොත් පරිවර්තනයට පෙර මුල් කාලයේ ‘බිම්ගෙයි සිරකරුවා’ කෙටිකතා සංග්‍රහය, ‘අබිරහස් මන්දිරය’ හා වෙනත් ප්‍රංශ කෙටිකතා, වැලි කතරක අතරමංව සහ වෙනත් ශ්‍රේෂ්ඨ ජගත් කෙටිකතා, මෙන්ම කෆ්කාගේ ‘රූප විපර්යාසය’ ද ‘දණ්ඩන කඳවුර’ සහ වෙනත් කෙටිකතා ද ‘මෝපසාංගේ ‘ඉවට්’ සහ ‘ඉටි බෝලය’ ද ගෝර්කිගේ ‘මකාර් චූද්‍ර’ ද ඔහුගේ පරිවර්තන අතර කැපී පෙනුණි. ඇලෙක්සැන්ඩර් ඩූමාස්ගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා වැඩිම ආකර්ශනයක් ලද පරිවර්තන අතරින් ප්‍රමුඛය. මේ වන විට වැඩිම පොත් සංඛ්‍යාවක් පරිවර්තනය කළ විශිෂ්ටතමයා ලෙස ඔහු තබා ඇති වාර්තාව සම කිරීමට මෙතෙක් කිසිවකු හෝ සමත්ව නැත.

විද්‍යා ප‍්‍රබන්ධ කතා කලාව ආරම්භ කළ බවට වඩාත් ප‍්‍රසිද්ධියට පත් වූ ජූල්ස් වර්න්ගේ ‘ලීග 20,000ක් මුහුද යටට’, ‘පෘථිවිය මැදට ගිය ගමනක්’, ‘ලොව වටා දින 80 කින්’ සහ ‘පොළොවේ සිට සඳ බලා’ කෘති සමඟ ලංකාවේ විද්‍යා ප්‍රබන්ධයන්ට ආකර්ශනය වීම ඇරැඹිණි. ඒ සමගාමීව ජේ.ඊ. ගුණසේකරයන් විසින් ‘උභය ජීව’ සහ ‘කුංච නාද’ කතා පරිවර්තන මගින් සෝවියට් විද්‍යා ප්‍රබන්ධ ලේඛක ඇලෙක්සැන්ඩර් බෙලායෙෆ් හඳුන්වා දෙන ලදී.

සිංහලට පෙරළුණු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය ශානරය වඩාත් ප්‍රබල ලෙස ප්‍රචලිත වූයේ ආතර් සී. ක්ලාක්ගේ ග්‍රන්ථ පරිවර්තනය කළ එස්.එම්. බන්දුසීලයන් හේතුවෙනි. දැන් මේ නව ප්‍රබන්ධ කලාවට අයත් පත පොත ද බහුලව පරිවර්තනය වෙමින් තිබෙනු දැකිය හැකිය. ඇසිමෝව්රේ බ්‍රැඩ්බරිෆෙඩ්රික් පෝහල් ඇතුළු ප්‍රවීණයන්ගේ ග්‍රන්ථ එකතු වීමත් සමඟ මීට වසර කිහිපයකට පෙර සිට පරිවර්තන සාහිත්‍යය සඳහා වසන්තය උදා වී තිබේ. අලුත් පරිවර්තකයන් මෙන්ම අලුත් පරිවර්තන පොත් රැසක් විවිධ සාහිත්‍ය ශානර ඔස්සේ කලඑළි බැසීමත් සමඟිනි. නමුත් ඉක්මන් ප්‍රසිද්ධිය සහ වෙළෙඳ ලාභ බලාපොරොත්තුවෙන් ආප්ප බාන්නාක් මෙන් තරගකාරීව කඩිමුඩියේ සිදුකෙරෙන වත්මන් පරිවර්තනවල අන්තර්ගතය භාෂාවේ පොහොසත් බව මුල් නිර්මාණයේ ජීව ගුණය රඳවා ගැනීම අතින් ඉපැරැණි පරිවර්තකයන් සතු වූ බුහුටි බව - සූර බව ගිලිහී ගොස් ඇති බවට නැගෙන චෝදනා මැද ඒ, කී වසන්තය මිලිනව යමින් ඇති සෙයකි.

• සුගත් පී. කුලතුංග ආරච්ච