දශක 4කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සක්‍රීය දේශපාලනයේ නිරතව සිටි ‘කළුගන්තොට සිංහයා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම සැප්තැම්බර් 28 වැනිදා අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අතර ඒ වන විට ඔහු 74 වන වියේ පසුවිය.
ඔහු මෙරට දේශපාලනය තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ මෙන්ම නොමැකෙන මතක ඉතිරි කර ගිය දේශපාලනඥයකු බව ඔහුගේ සමකාලීන දේශපාලනඥයන්ගේ අදහසයි.
මේ, ඔහු පිළිබඳව කෙරෙන මතකාවර්ජනයකි.
“මම එන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාර පවුලකින්”
1950 වසරේ අප්‍රේල් 5 වැනිදා උපන් කුමාර වෙල්ගම ප්‍රවාහන ක්ෂේත්රයේ ව්‍යාපාරිකයකු වන එස්.ඒ. වෙල්ගම සහ බියට්‍රිස් වෙල්ගමට දාව උපන්නේය.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය ලද ඔහු යටදොල සාන්ත ජෝර්ජ් වතුයායේ වතු කළමනාකරණය පිළිබඳව හදාරා වැවිලිකරුවකු සහ ව්‍යාපාරිකයකු වශයෙන් කටයුතු කළ අයෙක් විය.
සාමාජිකයන් 5 දෙනකුගෙන් යුත් පවුලක හැදී වැඩුණු ඔහුට පුතුන් දෙදෙනෙකි.
ඔහු වරෙක රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ “මම එන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාර පවුලකින්” යනුවෙනි. තම පියා මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ ලොරි රථ වැඩිම ගණනට හිමිකම් කී ව්‍යාපාරිකයකු වූ බවද ඔහු එහිදී පැවසීය.
කුමාර වෙල්ගමගේ සහෝදරයන් ද ව්‍යාපාරිකයන් වන අතර ඔවුන් සතු ව්‍යාපාර අතර Upali Newspapers (Pvt) Limited, Kandos සහ Ideal Motors ආදී ව්‍යාපාර වෙයි.
“මට ළමයෙක් ඉන්නවාද කියලවත් ගමේ මිනිස්සු දන්නේ නැහැ. ඒ තරම්ම මම විනෝදකාමී, හිටියේ නිකම් තරුණයෙක් වගේනේ. කොල්ලෙක් වගේ තමයි.” ඔහු එම රූපවාහිනී වැඩසටහනේ දී පැවසීය.
දේශපාලන දිවිය
කුමාර වෙල්ගම ශ්‍රී ලංකාවේ සක්‍රීය දේශපාලනයට පිවිසෙන්නේ 80 දශකයේදීය.
1982 වසරේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිරිමාවෝ බණ්ඩාරනායකගෙන් පත්වීම් ලබා කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසන සංවිධායක ලෙස දේශපාලන දිවිය ආරම්භ කළේය.
අනතුරුව 1994 වසරේදී පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් වූ කුමාර වෙල්ගම මිය යන තුරුම අඛණ්ඩව වසර 30 ක කාලයක් අපරාජිත මන්ත්‍රීවරයකු වශයෙන් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ දේශපාලනඥයෙක් විය.
වසර 42 ක දේශපාලන ඉතිහාසයකට උරුමකම් කී ඔහු 1989 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 1994 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, 2005 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ 2020 වසරේදී සමගි ජනබලවේගය පක්ෂ සහ සන්ධාන සමඟ කටයුතු කළේය.
කුමාර වෙල්ගම සිය දේශපාලන දිවිය තුළ ඔහු නියෝජනය කළ ආණ්ඩුවල අමාත්‍ය ධුර ද හෙබවීය.
2000 වසරේදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය, 2001 වසරේදී විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය, 2005 වසරේදී කර්මාන්ත අමාත්‍ය හා ත්‍රිවිධ හමුදා සුබසාධක අමාත්‍ය සහ 2010 වසරේදී ප්‍රවාහන අමාත්‍ය ආදී වශයෙන් ඔහු අමාත්‍ය ධුර දැරීය.
ඔහු මිය යන විට 2021 වසරේදී සිය නායකත්වය යටතේ ආරම්භ කරන ලද නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කරමින් සිටියේය.
“මගේ සටන් සගයා අද අපිව දාලා යනවා” - රාජිත සේනාරත්න
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න තම සමකාලීන දේශපාලනඥ කුමාර වෙල්ගමගේ අභාවය සම්බන්ධයෙන් බී.බී.සී. සිංහල සේවය සමඟ අදහස් දැක්වීය.
ඔහු පැවසුවේ, තමන් සහ කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවට පිවිසියේ එකම අවධියේ දී බවය.
“ඔහු 1994 අපිත් එක්කම පාර්ලිමේන්තුවට පැමිණියා. අපි දෙන්නා පිල් දෙකකින් ආවේ. මම එක්සත් ජාතික පක්ෂයෙන් ආවේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඔහු විශිෂ්ට සේවයක් කළුතර දිස්ත්‍රික්කයට කළා. නොමැකෙන නාමයක් කළුතර දිස්ත්‍රික්කයේ.” වෛද්‍ය සේනාරත්න බී.බී.සී.ය සමඟ සිය මතකය ආවර්ජනය කළේය.
ඔහු පෙන්වා දුන්නේ, කුමාර වෙල්ගම ‘මහින්ද සුළඟ’ නම් දේශපාලන ප්‍රවර්ධන ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයකු බවය. එහි සිට එවකට තමන් ඇතුළු පැවති රජයට විරුද්ධව ඔහු කටයුතු කළ බව වෛද්‍ය සේනාරත්න පැවසීය.
“නමුත් ඔහු අවසානයේදී ගෝඨාභය රාජපක්ෂව පත් කිරීමේදී කිව්වා, කිසි දවසක ඒක කරන්න එපා, විශාල විනාශයක් වෙනවා කියලා. ඇත්තටම ජයග්‍රහණය පෙනි පෙනී ඔහු එතැනින් ඉවත් වුණා. ඒක තමයි ඔහුගේ තියෙන ප්‍රතිපත්තිය.” ඔහු සඳහන් කළේය.
ඉකුත් අරගල සමයේදී කුමාර වෙල්ගම පහර කෑමට ලක්වූ අවස්ථාවේ සිට ඔහු රෝගාතුරව පසු වූ බව වෛද්‍ය සේනාරත්න බී.බී.සී.ය සමඟ පැවසීය.
“එතුමාටත් පහර දුන්නා. එදා රෑ වෙනකොට නොයෙකුත් ලුම්පන් ජාතියේ මිනිස්සු තමයි පාරවල් අත්පත් කරගෙන හිටියේ. එතැනින් තමයි ඔහු රෝගාතුර වෙන්න පටන් ගත්තේ.”
අවසන් වරට ඔහු තමා හමු වූ අවස්ථාවේදී, එළැඹි මහ මැතිවරණය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ප්‍රකාශය ද රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා මෙලෙස සිහිපත් කළේය.
“අවසානයේදී ඔහු මාව හමුවුණු වෙලාවේදී කිව්වා “මමයි ඩොක්ටයි අපි දෙන්නම ඉල්ලන්නේ එක ලැයිස්තුවෙන්.” කියලා. ඇත්තටම අපි දෙන්නා එක ලැයිස්තුවෙන් තමයි ඉල්ලන්න හිටියේ. ඔහු ඔක්කොම ඉස්සරහ කිව්වා, මේ සැරෙත් අපි දෙන්නා තමයි එන්නේ කියලා.”
ඔහු වැඩිදුරටත් පැවසුවේ “මගේ සටන් සගයා අද අපිව දාලා යනවා. ඒ වැඩ කොටස අපි එතුමාගේ පුතත් එක්ක ඉදිරියට කරගෙන යනවා.” යනුවෙනි.
“හොඳ නරක දෙකම මිශ්‍ර වුණු චරිතයක්” - මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර
දේශපාලනඥ කුමාර වෙල්ගමගේ දේශපාලන භාවිතය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර බී.බී.සී. සේවය සමඟ පැවසුවේ “ඔහු පාර්ලිමේන්තුව තුළ දේශපාලන පරිණතභාවය විදහා දැක්වූ දේශපාලනඥයකු” බවය.
“මම දැක්කා එතුමා පහුගිය කාලය තුළ බොහොම කෙළින් කතා කරපු දේවල්. කියන්න ඕනෑ දේ කෙළින් කිව්වා. දේශපාලන චරිතයක තියෙන හොඳ නරක දෙකම මිශ්‍ර වුණු චරිතයක්.” ඇය තවදුරටත් පැහැදිලි කළාය.
මහාචාර්යවරිය පෙන්වා දුන්නේ, හොඳ නරක සම්මිශ්‍රණය වුණු දේශපාලන චරිතයක් වූ ඔහු “අපි දකින වාසියට ඉන්න චරිතවලට වඩා බොහොම ප්රතාපවත් මනුස්සයෙක් දේශපාලනය තුළ” යනුවෙනි.
ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ සිදුවීම්
මෙරට දේශපාලනය තුළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ සහ එවැනි සිදුවීම්වලට මැදි වූ දේශපාලනඥයකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ කුමාර වෙල්ගම පුවත් මවන්නෙක් විය.
ප්‍රවාහනය මෙන්ම කාන්තා ආකර්ශනය සම්බන්ධයෙන් ගත් කල ඔහු මෙරට දේශපාලන වේදිකාව තුළ දැඩි ලෙස කතාබහට ලක්වුණු චරිතයකි.
ඔහු වරෙක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ “මම අඩි 6 කට වඩා උස මිනිහෙක්. සාමාන්‍යයෙන් කාන්තා පක්ෂයේ අය මට කැමතියි. මම මොනවා කරන්නද ඒකට.” යනුවෙනි.
එපමණක් නොව, ඔහු 2019 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට ද විරුද්ධ වූ අයෙකි.
ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු 2022 වසරේ අප්‍රේල් මස පාර්ලිමේන්තුවේදී මෙලෙස පැවසීය.
“Gota Go Home කියන එක පළමුවෙන්ම මුළු රටටම ඇහෙන්න කෑගහලා කිව්වේ මම. අගමැතිතුමාට ඒක නැහැ කියලා කියන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව මේ රටේ ජනාධිපති අපේක්ෂකයා හැටියට යෝජනා කරන කොට පළමුවෙන්ම විරුද්ධ වුණේ මම. මම කිව්වා දෙන්න එපා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි, මෙතුමා කවදාවත් දේශපාලනයට ගෑවිලා නැහැ. ඒ නිසා මෙතුමාට දෙන්න එපා, ජ්‍යෙෂ්ඨත්වයට දෙන්න කියලා. නමුත් මහින්ද මහත්තයා ඒක ඇහුවේ නැහැ.”
අරගල සමයේදී ද ඔහු දැඩි ලෙස කතාබහට ලක්වුණු මන්ත්‍රීවරයකු බවට පත් වූයේ, පහරකෑමකට ලක්ව දින ගණනාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙනි.
කුමාර වෙල්ගම මෙවර ජනාධිපතිවරණයට පෙර එනම්, ජූලි මස 10 වැනිදා පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ “මම කියන්නේ නැහැ ඔක්කොම හොඳයි කියලා. අපි ඔක්කොම හොරු. බොරුවට මම හොඳයි, මම සුදනයි කියන්න බැහැ. අපි ඔක්කොම හොරු.” යනුවෙනි.
ඔහු එහිදී ප්‍රශ්න කළේ, ඉදිරියේදී රට පාලනය කිරීමට සූදානම් වන්නේ මෙවැනි පිරිසක් ද යනුවෙනි. තම එකම අරමුණ හොරුත් සමඟ කටයුතු කරන නායකයන් සිටී නම් ඔවුන් පන්නා දැමීම බව ඔහු එහිදී අවධාරණය කළේය.
• BBC