ශ්‍රී ලාංකීය දේශපාලන සංස්කෘතියේ වෙනසක් පිළිබඳ අපේක්ෂාව අන් කවරදාටත් වඩා දලුලමින් තිබේ. තීරණාත්මක මැතිවරණයක් අවසානයේ තවත් මැතිවරණයක් කරා ශ්‍රී ලංකා දේශපාලනය අවතීර්ණ වී ඇත. පාර්ලිමේන්තු මැතිවරණය 2024, සඳහා සකස්වෙන පක්ෂ දේශපාලන ලැයිස්තු දේශපාලන සංස්කෘතියේ වෙනසක් කෙරෙහි කොතරම් බලපෑමක් කරයිද? අප විමසා බැලීමට සූදානම් වන්නේ ඒ පිළිබඳවයි.
දේශපාලන සංස්කෘතියේ වෙනසක් සඳහා වැඩ කරමින් සිටින සිවිල් ක්‍රියාකාරිකයකු සහ විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු වන ලංකා තරුණ සංවිධාන ජාලයෙහි සභාපති අරුණ ප්‍රදීප් කුමාර මහතා මේ පිළිබඳ සංවාදයට අප සමඟ එක් විය.
“අපි මේ වන විට අපේක්ෂක ලැයිස්තු සකස් විය යුතු ආකාරය පිළිබඳ මැතිවරණ කොමිසම සමඟ සංවාදයක් ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂ සමඟත් සංවාදයකට අවතීර්ණ වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ 2024 මහ මැතිවරණය සඳහා දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තු සහ ජාතික ලැයිස්තු සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ සපුරාලිය යුතු නිර්ණායක මාලාවක් සකස් කොට හමාරයි. ලැයිස්තු තුළ විනිවිදභාවය ආරක්ෂා කිරීම සහ කුසලතාව දිරිමත් කිරීම තහවුරු කිරීමේ අරමුණින් ලංකා තරුණ සංවිධාන ජාලය (LYON) විසින් මෙය ප්‍රකාශයට පත් කළා.
අරුණ ප්‍රදීප් කුමාර මහතා සමඟ අප සංවාදයකට අවතීර්ණ වන්නේ අපේක්ෂක ලැයිස්තු සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති නිර්ණායක පදනම් කර ගනිමිනි. ඔහු පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලාංකීය දේශපාලනයේ මෙතෙක් පක්ෂ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශ සඳහා නිසි වටිනාකමක් ලැබී නොමැත.
“වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට ඔවුන් සඳහන් කළා, දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශ ක්‍රියාත්මක නොකරන අවස්ථාවලදී ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය නෛතික පසුබිමක් ඔවුන් නිර්මාණය කරන බව. එය බොහොම හොඳයි. එහෙත් මේ දක්වා ලංකා දේශපාලන ඉතිහාසයේ සිදුවී තිබෙන්නේ ජයග්‍රහණය කරන කඳවුරෙන් පඹයකු, හොරකු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කර ඔහු ජයග්‍රහණය කිරීමයි.”
තත්ත්වය එසේ වුවද බොහෝ විට සුදුස්සන් මහජන නියෝජිතයන් ලෙස තෝරා නොගැනීම පිළිබඳව පොදු මහජනතාව වෙත චෝදනා එල්ල වෙයි. ප්‍රදීප් අරුණ කුමාර මහතා පැහැදිලි කරනුයේ මනාප පළ කිරීම සඳහා පක්ෂ විසින් සුදුසු ලැයිස්තු ඉදිරිපත් නොකරන පසුබිමක මෙම චෝදනාව පදනම් විරහිත වන බවකි.
“ඒ නිසාම අපි මේ මොහොතේ සිතනවා, දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේදී විශේෂ අවධානයක් අපේක්ෂක ලැයිස්තු වෙත යොමු කළ යුතුයි කියලා. මේ තාක් අපි කතා කළේ මහජනතාව විසින් තෝරාගත යුතු පුද්ගලයාගේ හැඩය පිළිබඳව. ඔහු අවංක විය යුතුයි, බුද්ධිමත් විය යුතුයි යන පදනමින් අපි සංවාදය නිර්මාණය කළා. නමුත් මේ මොහොතේ සිදුවිය යුත්තේ සමස්ත ලැයිස්තුවේ හැඩය පිළිබඳ කතා කිරීම. ඒ නිසයි මේ නිර්ණායක අපි ඉදිරිපත් කරලා තියෙන්නෙ.”
මේ අනුව ලංකා තරුණ සංවිධාන ජාලය (LYON) ඉදිරිපත් කොට ඇති නිර්ණායක මෙම ලිපියට සමගාමීව අප ඔබ වෙත ඉදිරිපත් කර තිබේ. මෙම නිර්ණායක ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන පක්ෂ වෙත බල කර සිටීමේ වගකීම සහ හැකියාව ඇත්තේ ශ්‍රී ලාංකික පුරවැසියන් සතුවය.
“අප සඳහන් කර ඇති නිර්ණායක අනුව අපේක්ෂක ලැයිස්තු සකස් වෙනවා නම්, සමස්ත රටේම දේශපාලන හැඩයත් ඊට අනුරූප වෙන බව සහතිකයි. කවදා හෝ දිනක ව්‍යවස්ථාව හරහා ලැයිස්තු සකස් කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක නෛතිකව පනවන තුරු, දේශපාලන පක්ෂ මේ කටයුත්ත සිදු කළ යුතු වෙනවා.”
දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයක් සඳහා ඉතිහාසය විසින් නිර්මාණය කර දී ඇති හොඳම අවස්ථාවක් මේ මොහොතේ අප අත්දකිමින් සිටින බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත් එම වෙනස සිදුකිරීමට නම් මෙවර පාර්ලිමේන්තුව වෙත සුදුසුකම්ලත් වගකීම් සහගත පිරිසක් අවතීර්ණ විය යුතුව තිබේ. සියලු සමාජ පන්ති කණ්ඩායම් ද ඔවුන්ගේ අදහස් ද ඒ තුළ නිරූපණය විය යුතුමය.
“ඉතිහාසය පුරා සිදුවෙලා තිබෙන්නේ ලබාගන්නා නායකත්වයේ සමීපතමයන් සහ ඥාතීන් මහජනතාව විසින් පාර්ලිමේන්තු යැවීම. ඒ අයට යම් බලයක් තිබෙන බවත් ඒ හරහා තමන්ගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට හැකිවනු ඇති බවත් ජනතාව විශ්වාස කිරීම තමයි ඊට හේතුව වුණේ. රාජ්‍ය නායකයන්ගේ සහ දේශපාලන ප්‍රබලයන්ගේ ඥාතීන් දේශපාලනය තුළ විශාල බලයක් අත්පත් කර ගැනීමටත් හේතුව එයම තමයි.”
මෙහිදී අරුණ ප්‍රදීප් කුමාර මහතා මෙරට පවතින දේශපාලන සංස්කෘතිය විග්‍රහ කොට දක්වයි. පැවති දේශපාලන කඳවුරුවල දේශපාලනඥයන් වෙත මහජන ආකර්ශනය ලැබීමත්, ඔවුන් මැරයන් සහ වංචනිකයන් ලෙස කටයුතු කිරීමත් සිදුව ඇත්තේ අපේක්ෂක ලැයිස්තු නියාමනයට නිසි ක්‍රමවේදයක් නොවීම හේතුවෙන් බව ඔහු පෙන්වා දෙයි.
සැබැවින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මූලික කාර්යභාරය නිසි පරිදි වගකීමකින් යුතුව සිදු කිරීමට සුදුසු පිරිසක් මෙතෙක් පාර්ලිමේන්තුව තුළ නොවීම, වර්තමාන දේශපාලන සමාජ ඛේදවාචකයට මූලික හේතුවක් වූ බව දැන් අප සැම අවබෝධ කරගත යුතුය. එසේ හෙයින් අපේක්ෂිත දේශපාලන සංස්කෘතියේ වෙනස අපේක්ෂක ලැයිස්තුවලින්ම ආරම්භ කිරීමේ වගකීම දේශපාලන පක්ෂ සතුය. අපි ඊට ධනාත්මක ලෙස බලපෑම් කරමු.
අපේක්ෂක ලැයිස්තු සඳහා නිර්ණායක
1. ස්ත්‍රී පුරුෂ භාවය සහ තරුණ නියෝජනය
දේශපාලන පක්ෂ, කාන්තා හා තරුණ නියෝජනය සමතුලිතව සහතික කළ යුතුය. ඇතුළත් කිරීම සහ විවිධත්වය පෝෂණය කිරීම සඳහා නිශ්චිත ප්‍රතිශතයක් (උදා: 25% කාන්තාවන්, 30% අවු. 35ට අඩු තරුණයන්) ඇතුළත් කළ යුතුය.
2. ප්‍රතිපත්ති සම්පාදනයේ පළපුරුද්ද
අපේක්ෂකයන් ප්‍රතිපත්ති සම්පාදනය, පාලනය හෝ රාජ්‍ය සේවයේ අදාළ අත්දැකීම් ප්‍රදර්ශනය කළ යුතුය. ජාතික සහ ප්‍රාදේශීය ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් නොමැති සුදුසුකම් නොලත් අපේක්ෂකයන් මගහරිමින් ඵලදායී ප්‍රතිපත්ති සැකසීමට දැනුම සහ හැකියාව ඇති පුද්ගලයන් ඉදිරිපත් කිරීම මෙමගින් සහතික කෙරේ.
3. ක්ෂේත්‍ර ප්‍රවීණතා විවිධත්වය
විවිධ ක්ෂේත්‍රවල (උදා: ආර්ථික විද්‍යාව, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, තාක්ෂණය) පසුබිම් සහිත අපේක්ෂකයන් පිරිසක් පාර්ලිමේන්තුවට බහු-විනය විශේෂඥතාව ගෙන එනු ඇත. එවැනි විවිධත්වය බහුවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් සංකීර්ණ ගැටලු විසඳීමට උපකාරී වේ.
4. පෞද්ගලික හෝ දේශපාලන සම්බන්ධතා නොමැති වීම
අපේක්ෂකයන් වත්මන් හෝ හිටපු මන්ත්‍රීවරුන්, නායකයන් හෝ වෙනත් ඉහළ පෙළේ නිලධාරීන්ගේ ඥාතීන් හෝ සමීපතමයන් නොවිය යුතුය. මෙම රීතිය මගින් ඥාති සංග්‍රහය සහ අනුග්‍රහය වැළැක්වීම, පෞද්ගලික සම්බන්ධතාවලට වඩා කුසලතා මත පදනම්ව නව අපේක්ෂකයන් තෝරා ගැනීම සහතික කිරීම අරමුණු කරයි.
5. හිටපු ජනාධිපතිවරුන්, ප්‍රතික්ෂේපිත අපේක්ෂකයන් සහ දේශපාලන හිතවතුන් බැහැර කිරීම.
දැනටමත් ජනාධිපතිවරුන් ලෙස කටයුතු කර ඇති, මීට පෙර මහජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද හෝ බලවත් දේශපාලනඥයන්ගේ සමීප දේශපාලන හිතවතුන් ලෙස දන්නා අපේක්ෂකයන් බැහැර කරනු ලැබේ. මෙය පිරිසුදු ලැයිස්තුවක් සහතික කරන අතර නැවුම් හඬවල් සඳහා අවස්ථා විවෘත කරයි.
6. ස්වාධීනත්වය සහ ප්‍රගතිශීලී බව
පක්ෂයක් විසින් නම් කරනු ලැබුවද අපේක්ෂකයන් ස්වාධීන හා ප්‍රගතිශීලී මතවාද ප්‍රදර්ශනය කළ යුතුය. යල් පැන ගිය ප්‍රතිපත්තිවලට අභියෝග කිරීමටත්, නවෝත්පාදන සහ ප්‍රතිසංස්කරණ පෝෂණය කරමින් පක්ෂ භේදවලින් ඔබ්බට සමාජයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමටත් ඔවුන් කැමැත්තක් දැක්විය යුතුය.
7. තාරුණ්‍යය සහ පරිණතභාවය මිශ්‍ර කිරීම
නාමයෝජනා තරුණ ජවය සහ පළපුරුදු ප්‍රඥාව අතර සමබරතාවයක් ඇති කළ යුතුය. තරුණ නාමයෝජනා නැවුම් ඉදිරි දර්ශන ගෙන එන අතර, පළපුරුදු අපේක්ෂකයන් අත්දැකීම් සහ ප්‍රායෝගික තීක්ෂණ බුද්ධිය සපයයි.
8. පාර්ලිමේන්තු කාර්ය සාධනය සහ පැමිණීම
මීට පෙර පාර්ලිමේන්තුවේ සේවය කළ අපේක්ෂකයන් ප්‍රතිපත්ති සම්පාදනයට ඔවුන් දක්වන දායකත්වය සහ පාර්ලිමේන්තු සැසිවාරවලට පැමිණීම මත ඇගයීමට ලක් කෙරේ. දුර්වල පැමිණීමක් හෝ අඩු දායකත්වයක් ඇති අය සලකා බැලීමෙන් ඉවත් කරනු ලැබේ.
9. පක්ෂ මාරු වීම වැළැක්වීම
අපේක්ෂකයන් පෞද්ගලික වාසි තකා දේශපාලන පක්ෂපාතීත්වය මාරු කිරීම වැළැක්වීම සඳහා පක්ෂ දැඩි අභ්‍යන්තර ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුය. නිතර පක්ෂ මාරු කරන අය මහජන විශ්වාසය පළුදු කර දේශපාලන අස්ථාවරත්වයට දායක වෙති.
10. දිස්ත්‍රික් නියෝජනයේ විවිධත්වය
දිස්ත්‍රික් මට්ටමේ නාමයෝජනා කලාපයේ ජනවාර්ගික සහ ප්‍රජා විවිධත්වය පිළිබිඹු කළ යුතුය. මෙය සුළු ජාතීන් ඇතුළු සියලුම කණ්ඩායම් සඳහා නියෝජනය ප්‍රවර්ධනය කරයි. කිසිදු ප්‍රජාවක් අඩු නියෝජනයක් හෝ කොන් කිරීමක් සිදු නොවන බව සහතික කරයි.
11. දූෂණ හෝ අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ අපේක්ෂකයන් බැහැර කිරීම
දූෂණයට හෝ අපරාධවලට සම්බන්ධ අපේක්ෂකයන් බැහැර කළ යුතුය. නියෝජිතයන් මහජන යහපතට ප්‍රමුඛත්වය දෙන බව සහ සදාචාරාත්මක ප්‍රමිතීන් ආරක්ෂා කරන බව සහතික කරමින්, අඛණ්ඩතාව සහ පරාර්ථකාමී සේවය පිළිබඳ වාර්තාවක් ඇති පුද්ගලයන් පමණක් සලකා බැලිය යුතුය.
12. ජාතික ලැයිස්තු නිර්ණායක
ජාතික ලැයිස්තුවට හිටපු ජනාධිපතිවරුන්, දේශපාලන නායකයන්ගේ ඥාතීන් හෝ සමීපතමයන් ඇතුළත් නොවිය යුතුය.
ජාතික ලැයිස්තුව හඳුන්වා දෙනු ලැබුවේ කාලය, දේශපාලන දැනුම හෝ ජනප්‍රිය ආකර්ශනය නොමැති වටිනා දැනුමක් හා කුසලතා ඇති පුද්ගලයන් මැතිවරණවලට තරග කිරීම සඳහා ගෙන්වා ගැනීම සඳහාය. එබැවින්, ලැයිස්තුව මූලික වශයෙන් විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් සහ වෘත්තිකයන්ගෙන් සමන්විත විය යුතුය.
මැතිවරණ ක්‍රියාවලියේදී තරග කළ නොහැකි සුදුසුකම්ලත් කාන්තාවන් ඇතුළත් කර පාර්ලිමේන්තුවේ ස්ත්‍රී පුරුෂ සමතුලිතතාවය වැඩිදියුණු කිරීමට ජාතික ලැයිස්තුව සකස් කළ යුතුය.
ජාතික ලැයිස්තුවට ඇතුළත් නොවන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් නොකළ යුතුය.
• සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා