2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ස්ටාලින්ලා ආයෙමත් සටනට සැරසෙයි

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

ස්ටාලින් යන නාමය රුසියානු භාෂාවට අනුව ‘වානේ වන් මිනිසා’ ලෙස අර්ථ දැක්වේ. සෝවියට් දේශයට ජෝෂප් ස්ටාලින් නමින් විප්ලවවාදියෙක් සිටියේය. ඔහු දෙවැනි ලෝක යුද්ධයේ කෝටි ගණනක මානව සංහාරයකින් පසුව සෝවියට් දේශය මුදා ගත්තේය. ඔහු ලොව බිහිවූ කෲරතම ආඥාදායකයකු ලෙස සැලකෙයි. ඔහු තම‌ දේශපාලන ක්‍රමය වෙනුවෙන් සාහසික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය. හෙතෙම යුද්ධයේදී සිත්පිත් නැතිව රතු හමුදාවේ සේවය කළ තම පුතා ද සතුරන්ට බිලි දුන්නේය.යුක්රේනියානු සාගතයේදී ගොවියන්ගේ ඉඩම් බලෙන් අල්ලා ගනිමින් අස්වනු උදුරා ගනිමින් සාමූහික ගොවිපොළ ක්‍රමයක් ඇරඹුවේය. ගොවිපොළ ක්‍රමය පවත්වාගෙන යාමට තමන්ගේ කණ්ඩායමක් පත් කර ඔවුනට උදැල්ල වෙනුවට ලබා දුන්නේ පිස්තෝලයයි. මෙකී ක්‍රියාදාම හේතුවෙන් සාගතයක් ඇතිවූ අතර එයින් එරට මහා පිරිසක් මිය ගියහ. දැදිගම වී රුද්‍රිගුගේ ‘පෙරුළුණු නැවුම් පස’ පරිවර්තනයේ ඇත්තේ මේ කතාන්දරයයි. ලොවක් හොල්ලා සෝවියට් දේශය කණපිට හැරවූ මේ ජෝෂප් ස්ටාලින්ගේ මළගම දා මුළු සෝවියට් දේශයම කම්පා විය.

සෝවියට් දේශයට ඒ ස්ටාලින් වගේම අපේ රටටත් ස්ටාලින් කෙනෙක් සිටියි. ඒ ස්ටාලින් කෙතරම් හොඳ ද නරකදැයි නොදන්නාමුත් අපේ රටේ ස්ටාලින් ද වෘත්තීය සටන් සගයකු ලෙස දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ බොහෝ අරගලවල ක්‍රියාකාරිකයෙක් වෙයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් ඔහු එදා මෙදා තුර ගුරුවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භීතව පෙනී සිටින්නෙකි. මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා පත් වී මේ වනවිට ගත වී ඇත්තේ සති තුනක කාලයකි.මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු සිසු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අපේ රටේ ජෝෂප් ස්ටාලින්ගේ නිර්භීත හඬ නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ජරාජීර්ණ දේශපාලන මඩගොහොරුවේ වැටෙන්නට නොදී සිටින්නට අත්වැලක් නොවූ බව කිව නොහැකිය. කාලයෙන් කාලයට පුවත් මවන ස්ටාලින් ගැන මේ වන විටත් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති බව පෙනෙයි. ඒ මන්ද යත් යළිත් ඔහු හොඳ අඩව්වක් අල්ලන්නට සූදානමින් යැයි බොහෝ දෙනා සිතා සිටිති. ස්ටාලින් අරගලයකට අර අදිනවාදැයි සැකයක් ඉපදී තිබේ. මේ සම්බන්ධයෙන් සැබෑ තතු විමසා බැලීමට මත්තෙන් කවුද මේ ජෝෂප් ස්ටාලින් කියා විමසා බලන්නට අපි සිතුවෙමු.

ස්ටාලින් ප්‍රාථමික ගුරුවරයකු ලෙස පුහුණුව ලබන්නේ හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයෙනි. ඉන්පසු ඔහු පළමු ගුරු පත්වීම ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් වන තන්තිරිමලේ වන්නිහැලඹෑව නම් අති දුෂ්කර විදුහලට පත්වීම් ලැබීය. ඒ පාසලේ දීර්ඝ කාලයක් සේවය කළ ඔහු ස්ථාන මාරුවක් ලබා තෙල්දෙණිය අධ්‍යාපන කොට්ඨාසයේ තවත් දුෂ්කර පාසලක් වූ සඳසිරි දුනුවිල විදුහලට මාරු විය. එහි සේවයෙන් පසු කොළඹ බ්ලූමැන්ඩල් විදුහලක සේවය කරන ඔහු ඉන්පසු පූර්ණකාලීනව ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයෙක් ලෙස සේවය කරයි. ස්ටාලින් වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වී නැතැයි පවසනුයේ දීර්ඝ කාලයක සිට ඔහු ගුරු සේවයෙන් ඉවත් වී සිටින බැවිනි. මෙරට බොහෝ පොදු ජන අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන්වලදී ජෝෂප් ස්ටාලින් ඉදිරියෙන්ම සිටියේය. ජනාධිපති ගෝඨාභයට සිය තනතුර අතහැර ගෙදර යාමට වූ ගෝල්ෆේස් අරගලයේදීත් ඔහු ජනතාව පැත්තේ සිට ගත්තේය.

නව ආණ්ඩුව පත් වී සති ගණනකි. ඒ අල්ලපනල්ලේ ලංකා ගුරු සංගමය තමන්ගේ ප්‍රශ්න පත්‍රය වත්මන් ආණ්ඩුවේ බලධාරීන්ටත් මේ වනවිට ඉදිරිපත් කර හමාරය. ඔහු යළිත් ගුරුවරුන් වෙනුවෙන් පාරට බැසීමට සූදානමින් සිටියි. මාධ්‍ය හමුවේ ඔහු මේ සම්බන්ධයෙන් පැවසූයේ මෙවැන්නකි.

“ආණ්ඩුව පත්වෙලා ඉතා කෙටි කාලයක්. පසුගිය කාලයේ විශාල ප්‍රශ්නයක් තිබුණා රාජ්‍ය සේවයේ වැටුප ප්‍රමාණවත් නෑ කියලා. ඒක ගුරු විදුහල්පතිවරුන්ට විශේෂයි. වැටුපෙන් තුනෙන් දෙක ලබා ගැනීම විශේෂයි. අපි ගුරුවරුන් සමඟ පසුගිය කාලයේ දිනයක ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවේදී අපට පහර දුන්නා. ඒ අරගලය යටගැහුවා. ඒත් පහුගිය ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දයට දින දෙක තුනක් තියෙද්දී පැවති ආණ්ඩුව වැටුප් වැඩි කරන්න කතා කළා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතළ ගැටලු ගණනාවක් තියෙනවා. විශේෂයෙන් වැටුපේ තුනෙන් දෙක ලබා ගැනීම සහ වෙනත් ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා ගැනීම ආදිය. මේ අතරතුර නව රජය පත් වී තියෙනවා. නව රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. බලධාරීන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ නැතිනම් අපිට ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙන්න වෙයි. අපි කිසිලෙසකින් කිසිම දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. අපේ ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් රජය ගන්නා ප්‍රවේශය බලා තමයි අපි ඉදිරි තීරණ ගන්නේ.”

ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ ආයතන රැසකට නව නිලධාරීහු පිරිසක් මේ වනවිට පත්වීම් ලැබ සිටිති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසූයේ පත් කර ඇති අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් ඇතැමුන් දූෂණ චෝදනා ඇති පුද්ගලයන් බවයි.

“මෑතකදී ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වී තිබුණා, ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන්. 2022 වසරට අදාළව රුපියල් මිලියන 26 ක් වියදම් කර තියෙනවා. පොත් විශාල ප්‍රමාණයක් මේ ආකාරයට මුද්‍රණය කර ගබඩා කර එකී පොත් විශාල ප්‍රමාණයක් විනාශ වී තියෙනවා.” මේ සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ස්ටාලින් මහතා පැවසූයේ නව අධ්‍යාපන අමාත්‍යවරිය මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරනු ඇතැයි තමන් සිතන බවය.

මෙරට හිටපු ඇමැතිවරයකු වරක් චෝදනාවක් කළේය. ඒ “ගුරුවරුන්ට නායකත්වය දෙන අය කාලකණ්ණින්” යනුවෙනි. කවුරුන් කෙසේ කීවත් ස්ටාලින් තම සටන අතහරින, සටන පාවාදෙන පාටක් නැත.

• සසංක චලන ගිම්හාන