අද ලෝකය පුරා ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පොත් ගෙදරටම ගෙන්වා ගැනීම ජනප්‍රිය වී තිබේ. එදා පොත් සාප්පුවලට ගොස් පොත් ගැනීමට පුරුදු වී සිටි පාඨකයන් අතරින් සමහරු ටික කලක සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ හෙවත් ඔන්ලයින් ක්‍රමයට පොත් නිවසටම ගෙන්වා ගැනීමට පුරුදු වී සිටිති. කොවිඩ් වසංගත කාලයේ මේ ක්‍රමය අප රටේ බොහෝ ජනප්‍රිය විය. දුරබැහැර අයට පොත් ගැනීමට මෙය වඩාත් පහසු ක්‍රමයක් ලෙස භාවිත කෙරේ. අප රටේ විශාල පරිමාණ ප්‍රකාශන ආයතන සැමෙකක්ම පාහේ මේ වනවිට ඔන්ලයින් සේවා පවත්වාගෙන යයි. ඔන්ලයින් පොත් සාප්පුවක් මුලින්ම දැමූ කිහිප දෙනා අතරට ලේඛිකා කාංචනා ප්‍රියකාන්ත ද අයත්ය. ඇය කේබුක්ස් ආරම්භ කළේ අදින් වසර හතකට පෙරාතුවය. මෑතකදී කේබුක්ස් වෙතින් කේරීඩර් නමින් ඊ පොත් ව්‍යාපෘතියක්ද ආරම්භ කෙරුණි. මේ කාංචනා ඔන්ලයින් පොත් අලෙවිය ගැන දැක්වූ අදහස්ය.
ඔන්ලයින් පොත් ව්‍යාපාරයට එක්වීමට ඔබට හිතෙන්නේ ඒ ගැන වැඩි දෙනෙක් උනන්දුවක් නොදක්වන කාලයක. එහිදී මතු වූ අභියෝග මොනවද?
අපේ ප්‍රධාන අරමුණ වුණේ ලොව පුරා වෙසෙන පාඨක ප්‍රජාවට ලාංකීය සාහිත්‍යය සහ වෙනත් ප්‍රකාශන පහසුවෙන් සමීප කරවීමයි. කේබුක්ස් ප්‍රකාශන ආයතනය ආරම්භ කරලා වසර පහකට පස්සේ තමයි අපි කේබුක්ස් ඔන්ලයින් ව්‍යාපාරය වෙත පිවිසුණේ. ඒ 2017 වසරේදී. ඒ කාලයේදී ඔන්ලයින් ව්‍යාපාර ලංකාවේ ඒ තරම් ප්‍රචලිත නැහැ. ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයට සාපේක්ෂව ඉතා සෙමින් ඩිජිටල්කරණය වෙන රටක්. අපි මේ ක්ෂේත්රයට පිවිසි යුගයේදී බොහෝ දෙනා වෙබ් අඩවියක් හරහා සාර්ථකව ඇණවුමක් දමන ආකාරය පිළිබඳව හෝ දැනුවත්කමක් තිබුණේ නැහැ. ඒ වගේම සමහරු මේක පොත් සාප්පුවලට තර්ජනයක් විදිහටත් දැක්කා. සමහර අය මේ සංකල්පය අවප්‍රමාණ කළා. ඒ නිසා සමහර ප්‍රකාශන ආයතන ඔන්ලයින් සාප්පුවලට ඔවුන්ගේ ප්‍රකාශන සඳහා ඉතා අඩු වට්ටම් ලබා දෙන්න උත්සාහ කරපු අවස්ථා තිබුණා. අපේ උත්සාහය අගය කරපු අපිට සහයෝගය දීපු අය වගේම ප්‍රසිද්ධියේම අපට එදිරිවාදිකම් කරපු අයත් හිටියා.
අද වනවිට විශාල පිරිසක් ඔන්ලයින් පොත් අලෙවියට ඉදිරිපත් වී තිබෙනවා. මේ තරගය ඔබට බලපාන්නේ කෙසේද?
මේ වන විට වැඩි දෙනෙක් ඔන්ලයින් පොත් අලෙවිකරණයට ඇවිත් කියලා කියන්නෙම අපි කරපු දේවල්වල සාර්ථක සහ යහපත් ප්‍රතිඵල තියෙනවා කියන එක. තරගය කියන වචනය ගැන අපේ විශ්වාසයක් නැහැ. ඒ වෙනුවට අපි විශ්වාස කරන දේ තමයි සාමූහිකත්වය කියන එක. තරගයකදී ජයග්‍රාහකයෙක් සහ පරාජිතයෙක් ඉන්නවා. අනෙකාගේ අසාර්ථකත්වය පරාජිත බව තව කෙනෙක්ගේ සතුටට සාර්ථකත්වයට හේතුවක් විදිහට දකිනවා නම් එයා දියුණු සිතුවිලි තියෙන මනුස්සයෙක් වෙන්න බැහැ. ඒ වගේ මිනිස්සු ව්‍යාපාරිකයන් වෙන්න සුදුසුත් නැහැ. රටක ව්‍යාපාර සහ විවිධ ක්ෂේත්‍ර ආචාරධර්මවලින් තොර වුණාම සේවයක් සිද්ධවෙනවට වඩා සිදුවෙන අගතීන් වැඩියි. එවිට අනවශ්‍ය තරගකාරී බවක් ඇතිවෙලා හැම පාර්ශවයක්ම අගතියට පත් වෙනවා. සාමූහිකත්වය තුළ සියලු දෙනාම සුරක්ෂිතයි. ක්ෂේත්රයක් දියුණු කරන්න වගේම කර්මාන්ත දියුණු කරන්න, නගා සිටුවන්න ඒ ක්ෂේත්රවල ඉන්න මිනිසුන්ගේ සාමූහිකත්වයයි වැදගත්ම.
පොත් සාප්පුවලට ගොස් පොත් මිලදී ගන්නා පාඨකයා ඔන්ලයින් ඔස්සේ පොත් ගෙන්වා ගැනීමට සිතන්නේ ඇයි?
පොත් සාප්පුවලින් පොත් මිලදී ගන්නා පාඨකයා සහ ඔන්ලයින් ඔස්සේ පොත් ගෙන්වා ගන්නා පාඨකයා දෙන්නෙක්. එකම කෙනා මේ පාඨක භූමිකා දෙකටම ප්රවිශ්ට වෙන අවස්ථා තියෙනවා. ඒ ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව. පොත් සාප්පුවක් ළඟ පාතක නැති, එහෙම තිබුණත් වැඩ රාජකාරි එක්ක පොත් ගන්න යන්න වෙලාවක් නැති හෝ පොත් සාප්පුවකට වෙලා පොත් හොය හොයා කාලය ගත කරන්න වෙලාවක් නැති කෙනෙක් තමයි ගොඩක් වෙලාවට ඔන්ලයින් පොත් ඇණවුම් කරන්න කැමති. ඉන් ඔවුන්ට සැලසෙන්නේ ඉතාම විශාල පහසුවක්. අනික පොත් සාප්පුවක භෞතිකව තියාගන්න පුළුවන් පොත්වල සීමාවක් තියෙනවා. ඒ නිසා භෞතික පොත් සාප්පුවකට ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත්වෙන හැම පොතකටම ඉඩ හදන්න අපහසුයි. ඔන්ලයින් සංකල්පය එයට හොඳ විසඳුමක්. ඒ නිසා මුද්‍රණයේ පවතින ඕනෑම පොතක් ඔන්ලයින් හරහා පහසුවෙන් සොයා ගන්න පුළුවන්.
සමහර ඔන්ලයින් පොත් අලෙවිසල්වලට එල්ල වන චෝදනවක් තමයි ඇණවුම් සැපයීම ප්‍රමාද වන බව. එමෙන්ම සැපයෙන සමහර පොත්වල පිටු අඩු බව. මේ ගැන ඔබ හිතන්නේ කුමක්ද?
ඔන්ලයින් සේවාවක ස්වභාවය පිළිබඳ අවබෝධයක් නැති පිරිස් එවැනි චෝදනා කිරීම සාමාන්‍ය දෙයක්. අපේ ඔන්ලයින් වෙබ් අඩවියේ පමණක් පොත් විසි පන්දහසකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉන් මුද්‍රණයේ පවතින පොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා කියලා හිතමු. කලිනුත් කිව්වා වගේ ඔය පොත් ඔක්කොම භෞතිකව ළඟ තබාගැනීම විශාල ඉඩකඩක් වැය වෙන කාරණයක්. එතැනදී බොහෝ වෙලාවට වේගයෙන් අලෙවි වෙන පොත් සහ තමුන්ගේ ප්‍රකාශන තමයි තොග වශයෙන් තබාගැනීම බොහෝ විට සිදුවන්නේ. එසේ නොවෙන අවස්ථාවලදී අදාළ ප්‍රකාශකයාගෙන් පොත් ගෙන්වා ගැනීමට යම් කාලයක් වැය වෙනවා. කලිනුත් කිව්වා වගේ පොත් සාප්පුවකින් පාඨකයෙක් ඇවිත් පොත් ගන්න එක සෙල්ෆ් සර්විස් එකක්. පාඨකයම පොත හොයාගෙන, පොත් තෝරාගෙන ඇවිත් කැෂියර් එකෙන් මුදල් ගෙවනවා. ඒත් ඔන්ලයින් සාප්පුවකදී සේවය සපයන ආයතනය එක් ඇණවුමක් වෙනුවෙන් වැය කරන කාලය, ශ්‍රමය සහ මුදල් ආයෝජනය භෞතික සාප්පුවකදීට වඩා වැඩියි. බොහෝ වෙලාවට වෙබ් අඩවිය හරහා ඇණවුම දැමීමේ සිට කුරියර් ආයතනය වෙත පොත් ලබාදීම වගේම කුරියර් ආයතනවලට නැවත නැවත මතක් කරමින් ඇණවුම පාඨකයා වෙත ලබා දීමට අපේ ආයතන වෙන වෙහෙස ඉතාම අපරිමාණයි. ඇණවුමක් ලැබුණාම ඒ ලැයිස්තුව ලබාගෙන ඒ හැම පොතම හොයලා ඒවායේ පිටු හරියට තියෙනවාද කියලා බලලා සුරක්ෂිතව පොත් පාර්සල් කරලා කුරියර් ආයතනවලට ලබාදීම දක්වා මිනිස් පැය සහ ශ්‍රමය වැය වෙන විදිහ පොඩ්ඩක් හිතන්න. ඒ වගේම වෙබ් අලෙවි සල වෙනම නඩත්තුවට පිරිස් සහ ඒවායේ සර්වර් ගාස්තු වගේ බොහෝ වියදම් තියෙනවා. ඔන්ලයින් කියන්නේ එහි හිමිකරුවන්ට පොත් සාප්පු දෙකක නඩත්තුවක්. පොත් බෙදාහරින්නේ තුන්වැනි පාර්ශවයක් හරහා. එවිට ප්‍රමාදයන් සිදුවන අවස්ථා තිබෙනවා. සමහර ප්‍රමාදයන්ට සාධාරණ හේතු තියෙනවා. මේ දේවල් ගැන නිසි අවබෝධයක් තියෙන පාඨක පිරිස් ඉතාම සහයෝගයෙන් අවබෝධයෙන් බුද්ධිමත්ව සහකම්පනයෙන් යුතුව කටයුතු කරනවා. එසේ නොවෙන අවස්ථාත් තියෙනවා.
කුසුම්සිරි