2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 28 වැනිදා මධ්‍යම රාත්රියේදී නිකුත් කෙරුණි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්කරුවන් 452,979 ක් පෙනී සිටි අතර එයින් 387,648 ක් පාසල් අයැදුම්කරුවෝ වෙති. එමෙන්ම 65,331 දෙනකු පෞද්ගලික අයැදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය මැයි මස 7 වැනිදා සිට 15 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3527 ක දී මෙම විභාගය පැවැත්විණි.
මේ අනුව නිකුත් කරන ලද විභාග ප්‍රතිඵලවලට අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් මෙවර දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනා ඇත්තේ ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ ඉගෙනුම ලබන හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවියයි. ඇය මෙම විභාගයට පෙනී සිට ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි.
“මම සාමාන්‍ය පෙළ විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරුවා. පාසලෙන් මගේ අධ්‍යාපනයට ලොකු සහයෝගයක් ලබා දුන්නා. පාසලේ ගුරු මණ්ඩලය නිසි පරිදි ඒ විෂයන් කියලා දුන්නා. ඒ වෙනුවෙන් මම විදුහල්පතිනිය ඇතුළු පාසලේ ගුරු මණ්ඩලයට ස්තූති කරනවා. මම උපකාරක පන්තිවලටත් සහභාගි වුණා. මගේ නංගිවත් මම ආදරයෙන් මතක් කරනවා. අපි දෙන්නා එකතු වෙලා පාඩම් කළා. අපි දෙන්නා නිවුන්නු. ඒ නිසා අපිට විෂයන් එකතු වෙලා පාඩම් කරන්න අවස්ථාව ලැබුණා. මම හැමදාම උදේ පාන්දර හතරහමාර පහ අතර කාලයේදී අවදි වෙනවා. මගේ ගාව පුංචි පොතක් තියෙනවා. ඒ පොතේ මම ඒ දවසට කළ යුතු වැඩ ටික පොඩියට ලියා ගන්නවා. ඊට කලින් දවසේ ලියාගෙන මට කරන්න බැරිවුණු වැඩක් තියෙනව නම් අමතක නොකර පසුවදාට මුලින්ම ඒ දේ කරලා අවසන් කරන්න උත්සාහ කරනවා. මේ ජයග්‍රහණය වෙනුවෙන් මම මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ස්තූති කරනවා. ඒ දෙන්නා මේ ජයග්‍රහණය ලබන්න ගොඩක් උදව් කළා. මගේ නංගිවත් මම ආදරයෙන් මතක් කරනවා. එකම අරමුණකින්, හොඳ ආත්ම විශ්වාසයකින් වැඩ කළොත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.” යැයි හිරුෂි මල්ෂා කුමාරතුංග සිසුවිය අදහස් දක්වමින් පැවසීය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුවියන් දෙදෙනකුට දෙවැනි ස්ථානය දිනා ගැනීමට හැකි විය. ඒ කොළඹ මියුසියස් විදුහලේ කුලුනි මෙත්සලා දියණිය සහ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ විමන්සා ජයනදී රත්නවීර දියණියයි.
“කුරුණෑගල මලියදේව බාලිකාවේ ඉගෙනුම ලබන විමන්සා දියණිය දිවයිනෙන් දෙවැනි තැනට තේරී අප පාසලට ලොකු ආඩම්බරයක් ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒ ගැන අපි හැමෝම සතුටු වෙනවා. විමන්සා දියණිය වගේම තවත් දියණියන් බොහෝ දෙනෙක් සාමාර්ථ ලබාගෙන අප පාසලට ජයග්‍රහණ ලබා දීලා තියෙනවා. විමන්සා දියණිය අපේ පාසලේ සෑම ත්‍යාග ප්රදානෝත්සවයකම සෑම විෂයකටම වගේ තෑග්ගක් ලබාගත් දියණියක්. ඇය දක්ෂ දියණියක්. ඇය වගේම ඇයට අධ්‍යාපනය ලබාදුන් ගුරු මණ්ඩලයත් ඇය කෙරෙහි ලොකු විශ්වාසයක් තියාගෙන හිටියා. ඇය උසස් ජයග්‍රහණයක් ලබා ගනීවි යැයි අපි අපේක්ෂා කළා. විමන්සා දියණිය ඒ විශ්වාසය අද ඉෂ්ඨ කරලා තියෙනවා. ඉතින් මලියදේව බාලිකාවට ඇය ලොකු ආඩම්බරයක්.” යැයි කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ විදුහල්පතිනිය පැවසීය.
“මම දෙමාපියන්ට, මට උගන්වපු හැම ගුරුවරියකටම වගේම මගේ පාසලටත් ගෞරවයක් ගෙන එන්න හැකිවීම ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ හැමෝටම මේ ජයග්‍රහණයේ ගෞරවය හිමිවෙන්න ඕනෑ. තමන් ඉගෙන ගන්න දේට කැමැත්තෙන්, අරමුණක් ඇතිව වැඩ කළොත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.” යැයි විමංසා ජයනදී රත්නවීර දියණිය පැවසීය.
කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ විමන්සා දියණිය දෙවැනි ස්ථානය දිනා ගනිද්දී, කොළඹ මියුසියස් බාලිකාවේ කුලුනි මෙත්සලා දියණිය ද එහි සම තැනට පත් විය.
“මේ ජයග්‍රහණය ගැන මට හරි සතුටුයි. මම පාසලේ ඉගෙන ගත්ත දේ පමණයි ඉගෙන ගත්තෙ. කිසිම අමතර පන්තියකට සහභාගි වුණේ නෑ. ඒ නිසා මේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලයේ සෑම දෙනාටම ස්තූති කරනවා. පාසලේ ඉගැන්වීම්වලට අමතරව මම ස්වයං අධ්‍යයනය කරලා විභාගයට මුහුණ දුන්නා. විභාගය ලියද්දිත් හොඳ කල්පනාවෙන් මම විභාගයට මුහුණ දුන්නා. මට පුළුවන් උපරිමයෙන් මම විභාග කටයුතු කළා. ලංකාවෙන්ම දෙවැනියා කියලා මම අන්තර්ජාලය හරහා ලැබුණු ප්‍රවෘත්තියකින් තමයි දැනගත්තේ. ඒ වෙද්දිත් මම පාසලේ තවත් පුහුණුවීමකට සහභාගි වෙලා හිටියේ. මම අමතර පන්තිවලට සහභාගී වෙන්න කැමති වුණේ නෑ. ඒ නිසා මගේ අම්මයි තාත්තයි මට ඒකට බල නොකර මගේ විදිහට වැඩ කරන්න අවශ්‍ය වටපිටාව හදලා දුන්නා. මම එක වසරේ සිට ඉගෙන ගත්තෙ කොළඹ මියුසියස් විදුහලෙන්. ඒ නිසා එක වසරේ සිට ඉගැන්වීම් කරපු ගුරු මණ්ඩලයේ සියලු දෙනාට ගොඩක් ස්තූති කරනවා. විභාගයට සූදානම් වෙන දවසේ සිට විභාගය ලියා අවසන් කරන තාක් කල් ඔවුන් අපි පිටිපස්සේ හිටියා. අපිට ප්‍රශ්න ඇතිවෙන විටදී ඒවා ඔවුන් එක්ක කතාබහ කරලා නිරාකරණය කරගන්න හැකියාව ලබා දුන්නා. ඉතින් ඉදිරියේදී විභාගවලට සූදානම් වන නංගිලා මල්ලිලාට මම කියන්නේ, ඔබේ උපරිමයට ඔබ සූදානම් වෙන්න. ඔබේ සූදානමට සරිලන විදිහට ප්‍රතිඵලයක් ඔබට ලැබෙයි.” යැයි කොළඹ මියුසියස් බාලිකා විදුහලේ කුලුනි මෙත්සලා දියණිය පැවසීය.
කුලුනි මෙත්සලා අධ්‍යාපන කටයුතුවලට මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලටද දක්ෂ පාසල් සිසුවියකි. ඇය පාසලේ පෙරදිග වාද්‍ය කණ්ඩායමේ සංගීතය මෙහෙයවන්නිය ලෙස කටයුතු කරන්නීය. ඇය පියානෝ වාදනය කිරීමට ද දක්ෂ සිසුවියකි. සංගීතය මෙන්ම නාට්‍ය කණ්ඩායමේ ද සාමාජිකාවකි. ඇය පොත පත කියැවීමට කැමති දියණියකි. උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබීමට බලාපොරොත්තු වන කුලුනිගේ මව වෛද්‍යවරියකි. ඇය අයි.ඩී.එච්. රෝහලේ සේවය කරන්නීය. කුලුනී භාවනා වැඩ කටයුතුවල නිරත වන පාසල් සිසුවියකි. විශේෂයෙන් ඉරිදා දිනයන්හි කුලුනි ඒ කටයුතුවලට වැඩි වශයෙන් නැඹුරු වන්නීය. ඇයගේ පියා ද ජාතික රුධිර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරයෙකි.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ නවයම ලබාගත් සිසුන් සංඛ්‍යාව 13,309ක් ලෙස දැක්වේ. උසස් පෙළට සුදුසුකම් ලැබූ ප්‍රතිශතය 75.72% කි. මෙය පසුගිය වසරවලට සාපේක්ෂව ගත් කල යම්කිසි මට්ටමක සාධනීය තත්ත්වයක් බව සඳහන් කළ හැකිය. ප්‍රතිඵලවලට අනුව ජයග්‍රහණය කළ මුල් දස දෙනා අතරින් නව දෙනකුම සිසුවියන් වන අතර එක් සිසුවෙක් මෙයට ඇතුළත් වෙයි. විෂයන් සියල්ලම අසමත් වූ සිසුන් ප්‍රතිශතයක් ලෙස 2.12% ක් ලෙස සඳහන් වේ. ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයැදුම්පත් කැඳවීම ඔක්තෝබර් මස පළවෙනිදා සිට ඔක්තෝබර් මස 14 වෙනිදා දක්වා සිදු කිරීමට නියමිතය.
• දිශානි ජයමාලි කරුණාරත්න