ශ්‍රී ලංකාවේ අංක එකේ මහා පරිමාණ මෝල් හිමියකු මෙන්ම සහල් ව්‍යාපාරිකයකු ද වන ඩඩ්ලි සිරිසේන පසුගිය සතියේ මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සහාය පළ කිරීමක් වශයෙන් අරලිය යන වෙළෙඳ ලාංඡනය යටතේ අලෙවි කරන සහල් පාලන මිලට දීමට තීරණය කළ බවය. “ඇතිවෙච්චාවෙ හෝ නැතිවෙච්චාවෙ මම මෙම තීරණය ලබන ජනවාරි මස 20 දින දක්වා ක්‍රියාත්මක කරනවා” යැයි හෙතෙම ස්ථිරසාර හඬින් ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය ඇසීමෙන් පසු බොහෝ දෙනා දැනගත්තේ ඩඩ්ලි මෙතෙක් කල් පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කළ බවය. පාලන මිලක් පනවා තිබියදී සහල් වැඩි මිලට විකුණන්නේ නම් ඒ පාලන මිලෙන් ඇති වැඩේ මොකක්දැයි ඔවුහු ප්‍රශ්න කරන්නට වූහ.පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන්නේ නම් එම ස්ථාන වටලා වරදකරුවන් අධිකරණයට ඉදිරිපත් කර දඩ සහ සිරදඬුවම් පැමිණවිය හැකිය. එහෙත් මෙම බලගතු ව්‍යාපාරිකයාට එම න්‍යාය වලංගු නොවූයේ මන්ද යන්න ගැටලුවකි.
මේ පිළිබඳව සහල් වෙළෙඳුන් පැවසුවේ තමන්ට අලෙවි කිරීම සඳහා පාලන මිලට අඩුවෙන් සහල් සැපයිය යුතු නමුත් තවමත් එවැන්නක් සිදුව නැති බවය. මේ පිළිබඳව ලේඛකයා ද වෙළෙඳපොළේ සිදු කළ ගවේෂණයකදී තහවුරු වූයේ සහල් මිල පහළ ගොස් නොමැති අතර නාඩු සහ කැකුළු සහල් වෙළෙඳපොළේ නැති බවයි. සම්බා සහල් ද පැවතියේ ස්වල්පයක් වශයෙනි. මෙම තත්ත්වය නිවැරදි නොකළහොත් ඉදිරියේදී වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බවද පැවසිය හැකිය.
ඩඩ්ලි සිරිසේන යනු දේශපාලන බල අධිකාරිය මෙන්ම සහල් ව්‍යාපාරය ද තනිවම මෙහෙයවන ප්‍රබලයෙකි. පසුගිය රජය තිබියදී ඔහු සහල් මිල නියම කළා අපට මතකය. ආණ්ඩුවේ මිල පසෙකලා හෙතෙම සහල් මිල මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කළේය. මුදලාලිලාට භාණ්ඩ මිල තීරණය කළ හැකි නම් ආණ්ඩුවක් මොකටදැයි මිනිස්සු ඇසූහ. මෙම කෙටි ලිපියෙන් අප සාකච්ඡා කරනුයේ සහල් මිල ගැටලුව පිළිබඳවය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාගෙන් මේ ගැන පළමුව ඇසුවෙමු.
“කොච්චර පාලන මිලක් දමලා තිබුණත් මෙච්චර කල් ඒ මිලට හාල් දුන්නේ නැත්තේ ඒ මිලට දෙන්න බැරිවීම නිසයි. එහෙම නම් එවැනි පාලන මිලක් දැමීම අර්ථ විරහිතයි. බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබාගන්න බැහැ. එම මිලට අලෙවි කළ යුතු යැයි බලපෑම් කළේ ද නැහැ. මෙයින් ගම්‍ය වන අදහසක් තමා පවතින පරිසරය තුළ පැනවූ උපරිම මිලට සහල් විකුණන්න බැරි බව සියල්ලන්ම වටහාගෙන තිබීම. එසේම ඒ මිලට සහල් අලෙවි කළොත් එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට විශාල හානියක් සිදුවෙනවා. කොතරම් සහල් නිෂ්පාදකයන් රට තුළ සිටියද අරලිය සහල්වලට ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ලංකා සතොසට සහල් මිලට බලපෑමක් කරන්න බැහැ. ඒ නිසා පවතින උපරිම සිල්ලර මිල දිගටම පවත්වාගෙන යාමට පුළුවන්ද කියන එක ගැන දැඩි අවිනිශ්චිතතාවක් ඇතිවෙලා.
වී සහල් බවට පත් කරන විට විශාල වැයක් කරන්න සිදුවෙනවා. වී වල තත්ත්වය අනුව සහල්වල ප්‍රමිතිය තීරණය වෙනවා. වී මිල වගේ සහල් මිල දෙගුණයක් වෙන බවට අතීතයේ පිළිගැනීමක් තිබුණා. වී සහල් කිරීමේදී මහා පරිමාණ මෝල් හිමියන්ට වියදම අඩුවන අතර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට විශාල පිරිවැයක් දරන්න සිදුවෙනවා. ප්‍රවාහනය සඳහා තමන්ගේම වාහන හා ප්‍රවාහන ජාලයක් මහා පරිමාණ ව්‍යාපාරිකයන් සතු වුවත් සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට එවැනි පහසුකම් නැහැ. ප්‍රවාහන වැය ඉහළයි. ගබඩා පහසුකම් නැතිවීමද ප්‍රශ්නයක්. ඩඩ්ලි වැනි මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පාඩුවට වුණත් සහල් දෙන්න පුළුවන්. ඒ මොකද ඔවුන්ගේ ව්‍යාපාර ජාලය ශක්තිමත්. ඔවුන් විශාල ලාභයක් තමා ලබන්නේ. ඒ නිසා ටික කාලයක් පාඩුවට දුන්නත් ඔවුන්ට එය දැනෙන්නේ නැහැ. ඒ නිසා තමයි තමන්ට පාඩුවට ව්‍යාපාරය කරගෙන යා හැකි බවට කියන්නේ. එහෙත් සෙසු සැම දෙනාටම එය කරන්න බැහැ. ඔවුන්ට විශාල වශයෙන් ගබඩා පහසුකම් නැහැ. ඒ නිසා ලොකු තොග ගබඩා කර තියාගන්න බැහැ. වී ගබඩා විද්‍යානුකූලව විධිමත්ව නඩත්තු කළ යුතුයි. අනිත් අතට වී ගබඩා කර තබා ගත්තත් සහල් ගබඩා කර තබාගන්න බැහැ. හාල් ඉක්මනින් නරක් වෙනවා. ගුල්ලෝ ගහනවා. විනාශ වෙනවා. ඒ නිසා කුඩා ව්‍යාපාරිකයන්ගේ සහල් තොග වහා අලෙවි කරගත යුතු වෙනවා. එබැවින් ඔවුන්ට ඉතාම අඩු ලාභයක් තබාගෙන හෝ අලෙවි කරන්න සිද්ධ වෙනවා. එහෙත් මහා පරිමාණ මෝල් හිමියන්ට සහල් බවට පත් නොකර වී තොග සෑහෙන කාලයක් ගබඩා කර තබාගත හැකියි. එසේ තියාගෙන සිට වෙළෙඳපොළ හොඳ වෙනකොට අලෙවි කර විශාල වශයෙන් ලාභ ලැබිය හැකියි. ඒ නිසා ඔවුන්ට කවදාවත් ව්‍යාපාරවලින් පාඩු වෙන්නේ නැහැ.
සහල්වලට උපරිම සිල්ලර මිලක් පනවන්නේ නම් එය විශාල මෝල් හිමියන්ට වගේම කුඩා කුඩා ව්‍යාපාරිකයන්ටද සාධාරණ විය යුතුයි. සිල්ලර වෙළෙන්දාගේ පිරිවැය ගණනය කර එයට ඔහුගේ ලාභාංශ ද ඇතුළත් කළ යුතු වෙනවා. ඒ නිසා පාලන මිල දැමීමට පෙර වෙළෙඳපොළ පිළිබඳ ගැඹුරු විමර්ශනයක් කළ යුතු වෙනවා. එසේම අවුරුද්දේ දිගටම එකම මිලක් තබාගන්න බැහැ. කන්නෙන් කන්නෙට නිෂ්පාදන පිරිවැය වගේම අස්වැන්න ද අඩු වැඩි වෙන නිසා කන්නයක් පාසා උපරිම මිල නියම කරන්න සිදුවෙනවා.
කීරි සම්බාවල අස්වැන්න අඩු නිසා මිල ඉහළයි. මේ වනවිට කිලෝව රුපියල් 260 මට්ටමේ තියෙන්නේ. බොහෝ ගොවියන් සම්බා, නාඩු වැනි සහල් වර්ග වගා නොකරන නිසා මේ වනවිට වෙළෙඳපොළේ ඒවායේ හිඟයක් ඇතිවෙලා තියෙනවා. එහෙත් සෑම වී වර්ගයක්ම සමාන අන්දමට වගා කළ යුතුයි. මිල තීරණය කරන විටම එකිනෙකට සිදුවන පිරිවැය වෙනස තේරුම්ගෙන මිල කළ යුතුයි. කෙසේ වුවද මිල තීරණය කිරීමේදී මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් ඉඩ නොදී රජය මැදිහත් වී කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද අසාධාරණයක් නොවන පරිදි කටයුතු කළ යුතුයි. කොහොම වුණත් ආණ්ඩුවට මේ වගකීමෙන් බැහැර වෙන්න කොහොමත් බැහැ. එවිට සහල් ඒකාධිකාරය තනි පුද්ගලයකු අතට යන්නේ නැහැ.”
මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් පවසන්නේ පාලන මිලට සහල් දෙන වැඩපිළිවෙළ පටන්ගෙන ඇත්තේ කුඩා සහල් මෝල් හිමියන් නැත්තටම නැති කිරීමේ උපක්‍රමයක් ලෙස බවය.
“මහ මෝල් හිමියෝ තමා සහල් මිල ඉහළ දැම්මේ. දැන් පහළ දමනවායි කියන්නෙත් ඒ අය තමා. මෙය රජය සහාය පළ කිරීමක් බව ප්‍රකාශ කළත් මෙයින් කරන්නේ කල දුටු කල වළ ඉහ ගැනීමක්. ඔවුන් ගොවියන්ගෙන් වී ගන්නේ ගොයම් කැපෙන කාලයට අඩු මිලකටයි. ගොවියන්ට බැංකු ණය ගෙවන්න තියෙනවා. තවත් ජීවත් වීමට ගත් ණය ද ගෙවිය යුතු වෙනවා. ළඟටම පැමිණ එවේලේම මුදල් දෙන නිසා ඔවුන් වී පහළ මිලට දෙනවා. වැඩියෙන් දෙන්න කියලා ළඟ තබා ගැනීම අවිනිශ්චිතයි. ඒ හින්දා ඉල්ලන මිලට දෙනවා. එහෙම ගත්ත වී වලින් කෙටූ සහල් තමයි දැන් අඩු මිලට දෙන්න යන්නේ. මේකෙන් ඒ අයට ලාභයක් මිස කිසිම පාඩුවක් නැහැ. කිලෝවට රුපියල් 14 ක් තමා අඩු කළාය කියන්නේ. අපි ගත් බැංකු ණය ගෙවන්න තියෙනවා. අපේ අලාභය ඒ අය ගන්නවද? නැහැනේ.
ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කරලා තියෙන්නෙ ලබන ජනවාරි 20 දක්වා මිල අඩු කරන බවයි. දිගටම මේ විදියට ගියොත් ඒ වෙනකොට කුඩා මෝල් හිමියන් නැත්තටම නැති වෙනවා. අපේ ව්‍යාපාර අතහරින්න වෙනවා. එහෙම මිල අඩු කරනවා නම් ඇයි මෙච්චර කල් හිටියේ. මේ ඊයෙ පෙරේදා නාඩුවලට රුපියල් 20 ක් වැඩි කළා. කල් දුන්නෙ නැහැ. එකපාරටම වැඩි කළා. අනිත් අය ළඟ නාඩු තිබුණෙ නැහැ. ඉතින් ඒගොල්ලන්ගෙ කරල පැහෙනවා. සෑම කුඩා ව්‍යාපාරිකයකුම බැංකුවලට රුපියල් ලක්ෂ 100 – 200 ණයයි. ඒ වාරික සහ පොලිය ගෙවන්න තියෙනවා. ඒ නිසා මේ සහල් ව්‍යාපාරවලින් අපට විශාල ලාභයක් නැහැ. ණය හිඟ හිටියොත් විශාල අමාරුවක වැටෙනවා. අති විශාල පාඩුවක් අපට දරාගන්න බැහැ. ලොකු මෝල් හිමියන් විශාල ලෙස ලබාගෙන ව්‍යාපාර කරන පිරිසක් නිසා ටික කාලයක් පාලන මිලට දුන්නා කියලා ඒ අයට දැනෙන්නෙවත් නැහැ. ඩඩ්ලි මේ තීරණය අරන් තියෙන්නෙ කුඩා ව්‍යාපාරිකයෝ නැත්තටම නැති කරන්නයි. අනිත් අතට මෙම තීරණයට සෙසු මහා පරිමාණ මෝල් හිමියන්ගේ එකඟතාව ලැබිලා නැහැ. මේක ඩඩ්ලි සිරිසේනගේ තනි තීරණයක්.”
රාජාංගණ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සහ ජාතික ඒකාබද්ධ ගොවි සංගමයේ ලේකම් නිහාල් වන්නිආරච්චි
“අලුත් ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න කියලා තමයි පාලන මිලට සහල් දෙන්නේ යනුවෙන් ප්‍රචාරය කරනවා. ජනාධිපතිවරයා පත්වූ ගමන් මේ ඇතිවුණු අනුකම්පාව ගැන අපට සැකයක් ඇතිවෙනවා. මෙච්චර කල් අපේ රටේ පාලන මිලක් තිබුණට ව්‍යාපාරිකයෝ එය යන්තම්වත් ගණන් ගත්තේ නැහැ. හාල් දුන්නේ ඒගොල්ලන්ගේ මිලටයි. පාලන මිලක් දාලා තිබුණේ බොරුවට. සහල් මිල නියම කළේ මහා පරිමාණ මුදලාලිලා. එවකට හිටපු රජය එය නොදැක්කා. නොඇහුණා වගේ හිටියා. දැන් තමා වැඩ පටන් ගන්න යන්නේ.
අද විකුණන්නේ පහුගිය මාස් කන්නයේ අඩු මිලට ගත්ත වී වලින් කොටපු සහල්. ගොවියෝ අතරමැදියන්ට වී දුන්නේ ආණ්ඩුවේ සහතික මිලට අඩුවෙන් තමයි. වී අලෙවි මණ්ඩලය කවදත් අසාර්ථකයි. සහල් කරපුවා ලොකු කාලයක් තබාගන්න බැරි හින්දයි ඔය දැන් සහතික මිලට දෙනවය කියන්නේ. ඇයි ඒ කාලෙ දෙන්න තිබුණනෙ. රජයේ තියෙන දුර්වලතා මෝල් හිමියෝ දන්නවා. ඒ අය එයින් ප්‍රයෝජන ගන්නවා. සහල් නැති කරන්න, ඇති කරන්න පුළුවන් ඒගොල්ලන්ට තමා. පහුගිය කාලයේ සම්බා වී ගත්තේ නැහැ, සම්බා සහල් මිල අඩු නිසා. දැන් තරමක් මිල ඉහළ ගිහින්. අඩුවට ගත්ත සම්බා දැන් තමා වෙළෙඳපොළට දාන්නේ. ගොවියාටවත් පාරිභෝගිකයාටවත් සෙතක් අත්වුණේ නැහැ. සැමදාම ජය ගත්තේ අතරමැදියන්. පාලකයන් මේ අය ගැන එදත් අදත් බලන්නේ නැහැ. නොදන්නා හැටියට ඉන්නවා.
පොහොර සහනාධාර මුදල වැඩි කරන්න කියලා කවදාවත් ගොවියන් ඉල්ලා නැහැ. අපි ඉල්ලුවේ අපේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් දෙන්න කියලා. ගොවියා නිෂ්පාදනය කරන්නේ සහල් විතරක් නෙවෙයි. තව කොච්චර දේවල් වගා කරනවද? සහනාධාර ඇතත් නැතත් අපට අවශ්‍ය හොඳ මිලක්. හොඳ මිලකට අලෙවි කරන්න හැකි නම් සහනාධාර මතම යැපෙන්න ඕනෑ නැහැ. අපේ නිෂ්පාදන අසාධාරණ මිලට ගැනීම නිසයි ඒකාධිකාරයක් ඇතිවෙලා තියෙන්නේ. අපට හොඳ මිලක් දෙනවා නම් සහනාධාරවලට දෙන මුදල් වෙනත් කාර්යයවලට යොදන්න පාලකයන්ට පුළුවන්.”
• යසවර්ධන රුද්‍රිගු