කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සහ ස්වර්ණ පුස්තක සම්මාන හැම අවුරුද්දකම අඛණ්ඩව පැවැත්වීම ගැන මටත් සතුටුයි. ලංකාවේ පටන්ගත් සමහර සාහිත්‍යය උත්සව අතරමගදි නැතිවුණු අවස්ථා තිබෙනවා. මම ලංකාවේ හිටියොත් අනිවාර්යයෙන් මේකට යනවා පොත් තෝරාගන්න.
මම සිංහල පොතුත් කියවනවා. පසුගිය කොවිඩ් කාලෙ ලැබුණු විවේකය නිසා සිංහල කියවන්න ඉගෙන ගත්තා. ඒ කාලෙ කෙටිකතා කිහිපයකුත් ලිව්වා. දැන් දෙමළ ඉගෙන ගන්නවා. ලංකාවේ පාඨකයන්ගෙ මම දකින දුර්වලතාවය තමයි සාහිත්‍යය වශයෙන් බෙදී සිටීම. සිංහල පාඨකයො ලේඛකයො වැඩිදෙනෙක් සිංහල පමණයි ඇසුරු කරන්නේ. ඔවුන් ඉංග්‍රීසි සහ දෙමළ කියවන්නෙ නෑ. සිංහල පාඨකයෝ ඉංග්‍රිසි ලේඛකයො හඳුනාගන්නෙ පරිවර්තන මගින්. මගේ සෙවන් මූන්ස් ඉන් මාලි අල්මේදා නවකතාව සහ චයිනමන් නවකතාවත් සිංහලට පරිවර්තනය වී තිබෙනවා. ඉංග්‍රීසි පාඨකයො සිංහල කියවන්නෙ නෑ.දෙමළ පාඨකයො සිංහල කියවන්න උනන්දුවක් නෑ. මම මේ භාෂා තුනෙන්ම කියවන්න කැමතියි. මේ විදිහට ලංකාවේ භාවිත කරන භාෂා තුනම මිශ්‍ර වී කියවන්න අපේ රටේ පාඨක ජනතාව උනන්දු වුණොත් අපට පුළුවන් ශ්‍රී ලංකා සාහිත්‍යයක් හදන්න, දැන් තිබෙන සිංහල සාහිත්‍යය වෙනුවට. එවිට සිංහල සහ දෙමළ පොත් ජාන්‍යන්තරයට පවා ගෙනියන්න පහසු වෙනවා.
ඒ වගේම ලංකාවේ පළවන සිංහල සහ දෙමළෙන් පළවන හොඳ පොත් තෝරාගෙන පරිවර්තනය කිරීම අත්‍යවශ්‍ය දෙයක් විදිහට මම දකිනවා. එවිට තමයි අපට අසල්වැසියාගේ සාහිත්‍යය ගැන අවබෝධයක් ලැබෙන්නේ. අන්න ඒ කාරණාව සාර්ථක කර ගැනීමට පොත් ප්‍රදර්ශනය සංවිධානය කරන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය උනන්දු වුණොත් ඒක ලාංකීය සාහිත්‍යයට ලොකු සේවයක්.
ලංකාවේ කියැවීම අඩුවෙලා කියලා මැසිවිලි නැගෙනවා අපට පේනවා. නමුත් මම නම් ඒකට එකඟ නෑ. මේ පොත් ප්‍රදර්ශනයට ලක්ෂ ගණනින් සෙනග එනවා දකින විට ඒක නිකම්ම බොරු කතාවක් වෙනවා. ප්‍රදර්ශනයේදී තරුණ වැඩිහිටි ළමා පිරිස් කොච්චර දැකගන්න ලැබෙනවාද? ඒ හැමෝගෙම අතේ එක පොතක්වත් තිබෙනවා. සමහරු පොත් බෑග් කිහිපයක් අරන් යනවා දැකගන්න පුළුවන්. මේක දකින එකත් ලොකු සතුටක්. නමුත් මට මෙවර පොත් ප්‍රදර්ශනයට නම් එන්න වෙන්නෙ නෑ, අමෙරිකානු සංචාරයක යෙදී සිටින නිසා. නමුත් මම කොළඹ පොත් ප්‍රදර්ශනයට සුබ පතනවා.
• කුසුම්සිරි