2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

තාඹුගල කියන කෝටි 30 කප්පම

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:03 731

කලින් කලට මේ රටේ විවිධ කෝටිපතියෝ බිහිවෙති. සමහරුන් පරම්පරාගත කෝටිපතියන්ය. සමහරු මහන්සි වී දීර්ඝ කාලයක් ව්‍යාපාර කර දියුණු වූ අයයි. තවත් පිරිසක් හදිසියේ ප්‍රාධුර්භූත වූ අය වෙති. ඒ කවුරු කවුරුත් මේ රටේ නීතියට අනුව වැඩ නම් අපට ප්‍රශ්නයක් නැත. එපමණක් නොව ඔවුන් නීතිගරුක පුරවැසියන් නම් ඔවුන්ට නීතියේ ආරක්ෂාව රැකවරණය තිබිය යුතුමය.

මේ නීතියෙන් ආරක්ෂා කළ යුතු හෝ නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන සහ පුද්ගලයන් සම්බන්ධයෙන් මේ රටේ කෝටිපතියකු යැයි කියාගන්නා අයකු විසින් කළ හෙළිදරව්වකි. මෙය එසේ මෙසේ හෙළිදරව්වක් නොව, අධිකරණ‍ය ඉදිරියේ විවෘතව සිදු කළ ප්‍රකාශයකි. ඒ නිසා මෙය ලෙහෙසියෙන් බැහැර කරන්නට බැරිය. මේ කතාවේ කතානායකයා නම් අවුරා ලංකා ආයතනයේ හිමිකරු වූ විරංජිත් තාඹුගලය. තමාට විවිධ ව්‍යාපාර ඇති බවත් පේටන්ට් බලපත්‍ර ඇති බවත් ඔහු සමාජය ඉදිරියේ ප්‍රකාශ කර ඇත. එහෙත් අපි ඒවා ගැන ඇත්ත නැත්ත නොදනිමු. ඒ ගැන සෙවීම මෙරට ආරක්ෂක අංශවලට අයත් කාර්යයකි. එහෙත් තමා පුරවැසියකු ලෙස මේ රටේ කප්පම්කරුවන්ගේ ගොදුරක් වීම සම්බන්ධයෙන් ඔහුට යුක්තිය ඉෂ්ඨ විය යුතුය. ඒ වෙනුවෙන් කරන සටනට අප නියත වශයෙන් සහාය ලබා දිය යුතුමය. විරාජිත් තාඹුගල මීට පෙර සමාජය ඉදිරියේ පවසා සිටියේ තමාට මේ රටේ ණය ගෙවීමට තරම් හැකියාවක් ඇති බවය. එහෙත් එකී පුද්ගලයාගෙන් පිරිසක් කප්පම් ගන්නට ගිය කතාවක් පසුගියදා අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය ඉදිරියේ දිගහැරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සහ යම් දේශපාලනඥයන් පිරිසක් එක්ව තමන්ගේ ධනය කොල්ලකෑ බව ඔහු මෙහිදී සඳහන් කර සිටියේය. අවුරා ලංකා කන්ස්ට්‍රක්ෂන් සමාගම හරහා සෑම පොලිස් ස්ථානයකටම සීසීටීවී සවි කරන ලෙසට නීතිය සාමය භාර ඇමැති ටිරාන් අලස් මහතා තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්  ඊට යන වියදම ඔහුට බැර කරන ලෙස තමාට පැවසූ බවත් ඔහු සඳහන් කර සිටියේය. තමා ඊට එකඟ නොවීම නිසා ඔහු සහ පොලිසිය තමන් සමඟ අමනාප වූ බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් විරංජිත් තාඹුගල යන අයට විරුද්ධව නීති විරෝධී වත්කම් උපයාගත් බවට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත. එම පරීක්ෂණය සිදුවන අතරතුර ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ පාලිත රංගේ බණ්ඩාර මහතාගේ බෑනා වන නීතිඥ එරංග වැලිඅංගේ යන අය පැමිණ තමාව හමුවූ බවත් ඔවුන් පැමිණ මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ තමන්ට විරුද්ධව විමර්ශනයක් රහස් පොලිසිය මගින් ආරම්භ කර ඇති බවට පැවසූ බවත් තාඹුගල සඳහන් කළේය. එමෙන්ම එම විමර්ශනය සිදු කළහොත් තමන්ට ද ලලිත් කොතලාවලට මෙන් දේපළ අහිමිවිය හැකි බවද ඒ නිසා රහස් පොලිසියේ නිලධාරීන්ට යම්කිසි මුදලක් ලබාදිය යුතු බවද දන්වා ඇතැයි හෙතෙම පැවසීය.

ඒ අනුව මෙම සිදුවීමේ යම් දිගුවක් ලෙස රහස් පොලිසියේ එවකට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ නීති විරෝධී වත්කම් කොට්ඨාසයේ ප්‍රධානී ලක්සිරි ගීතාල් යන අය කෝටි 30 ක මුදලක් ඉල්ලා සිටි බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. කෙසේ වෙතත් එම මුදල ලබාදීමට නොහැකි බැවින් කෝටි 30 කෝටි 12 දක්වා ද, ඉන් පසුව එය කෝටි පහ දක්වා ද අඩු කරගත් බවද ඔහු පවසා සිටියේය. පසුව ඔහු කෝටි 5 න් කෝටි දෙකක මුදලක් රහස් පොලිසියට ලබා දී ඇත. එපමණක් නොව, රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතාට ද තමා කෝටි දෙකහමාරක මුදලක් ලබාදුන් බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මේවා කටවචන ද, එසේත් නැතිනම් අසත්‍යයක්ද යනුවෙන් අපට සැකයක් මතු වේ. එහෙත් විරංජිත් තාඹුගල පවසා සිටියේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය හඬ පට සහිත සියලු සාක්ෂි තමාට ලබා දිය හැකි බවය.

එසේම ටිරාන් අලස් මහතා සියලු පොලිස් ස්ථාන සඳහා සීසීටීවී කැමරා සවි කිරීමට ඉල්ලා සිටි බවත් එයට එකඟ වුවද ඊට වැය වන මුදල ඔහුට ලබාදෙන ලෙස ඉල්ලීම් කළ බවත් මෙහිදී තාඹුගල අධිකරණය ඉදිරියේ වැඩිදුරටත් සඳහන් කළේය. ඔහු කියා සිටියේ තමන්ට හිමි වත්කමින් මේ රටේ ණය බරින් අඩක් ගෙවා දැමීමට හැකියාව ඇති බවය. මේ සියලු වත්කම් විදෙස් රටවලදී ලබාගත් ඒවා බවත් ඒවා නීත්‍යානුකූල දේපළ බවත් හෙතෙම මෙහිදී සඳහන් කර සිටියේය.  

විරංජිත් තාඹුගල අධිකරණ ඉදිරියේදී ඉදිරිපත් කළ සාක්ෂිය එසේය. එහෙත් ලියුම්කරුට ප්‍රශ්න දෙකක් පැන නැගෙයි. පළමුවැන්න නම් කෝටි 30 ක කප්පමක් ලබා ගැනීමට රහස් පොලිස් නිලධාරීන් බෙල්ල තැබුවේ ඇයිද සහ ඒ වෙනුවෙන් නීතිඥ රඛිත සහ වැලිඅංගේ මැදිහත් වූයේ ඇයිද යනුවෙනි. සැකය ඇත්තේ එතැනය. එනම් මේ කෝටි 30 සැබැවින්ම හිමිවූයේ රහස් පොලිසියටද, නැතිනම් නොපෙනෙන තවත් බලවේගයකටද යනුවෙනි. තාඹුගල පවසන ආකාරයට රඛිත සහ වැලිඅංගේ මැදිහත් වීම මත එම සැකය තවදුරටත් තහවුරු වේ. දෙවැනි ප්‍රශ්නය නම් මේ දේපළ නීත්‍යානුලකූල වත්කම් නම් කෝටි හතරහමා‍රක් රහස් පොලිස් නිලධාරීන්ට ලබා දුන්නේ ඇයිද යන ගැටලුවයි. තමන් උපයාගත් ධනය නීත්‍යානුකූල නම්, එනම් ඒවා නීති විරෝධී නොමැති නම් එම පරීක්ෂණය යට ගසන්නට තාඹුගල කුමන අරමුණෙන් එම මුදල් ලබා දුන්නේ ද යනුවෙනි. ඊටත් වඩා එසේ ලබා දෙනවා නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොට්ඨාසයට දන්වා ඔවුන්ව කොටුකර ගන්නට උත්සාහ නොකළේ මන්ද? ඇතැම් විට තාඹුගලට පැවති රජයෙන් බලපෑමක් වෙතැයි සැකයක් ඇතිවුණාදැයි අපි නොදනිමු. එහෙත් අපට පැන නැගෙන ප්‍රශ්නය එයයි.

කෙසේ වෙතත් තාඹුගල සාක්ෂි සහිතව මේ ඉදිරිපත් කරන්නට යන කතාව සුළුපටු නැත. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කප්පම්කරුවන් ලෙස කප්පම් ගැනීම ද අපි අනුමත නොකරමු. මීට පෙර නාකොටික් නිලධාරීන් කුඩු විකිණූ බවට චෝදනාව එල්ල විය. දැන් රහස් පොලිසියට චෝදනා  එල්ල වී ඇත. රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කුණු ගඳ ගහන කුණු වළවල් බවට පත්වීම රටකට කෙතරම් අසුබදායී දැයි අමුතුවෙන් කිවයුතු නැත.  වර්තමාන ආණ්ඩුව සිස්ටම් හදන විට එය ලෙහෙසි පහසු නොවනු ඇත. කෙසේ වෙතත් මේවා ගැන සොයා බැලීම වර්තමාන ආණ්ඩුවේ මූලික අරමුණ විය යුතුය.

• ගයාන් ගාල්ලගේ