2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ඊශ්‍රායල Iron Dome ආරක්ෂා පද්ධතිය!

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

ඉරාන ප්‍රහාරයත් සමඟ ඊශ්‍රායලයට අයත් අයන් ඩෝම් හෙවත් යකඩ ආරක්ෂණ වළල්ල පිළිබඳ නැවත කතාබහ ඇරැඹී තිබේ. සතුරු මිසයිල මගින් ඊශ්‍රායල ජනතාව සහ භූමිය බේරා ගන්නා රට වට කොට ගුවනින් බැඳි වැටක් ලෙස මේ Iron Dome ආරක්ෂා පද්ධතිය හැඳින්විය හැකිය.

සැබැවින්ම Iron Dome යනු ඊශ්‍රායල සතු ජංගම, සර්ව කාලගුණික ක්‍රියාකාරිත්ව හැකියාවෙන් යුතු ගුවන් ආරක්ෂක පද්ධතියකි. මෙම පද්ධතිය සැලසුම් කර ඇත්තේ කිලෝමීටර් 4 සිට 70 දක්වා (සැතපුම් 2-43) දුරක සිට වෙඩි තබන කෙටි දුර රොකට් සහ කාලතුවක්කු උණ්ඩ ගුවනේදීම කඩා බිඳ විනාශ කිරීමට සහ ඒවායේ ගමන් පථය ඊශ්‍රායල ජනාකීර්ණ ප්‍රදේශ වෙතින් ඉවතට හරවා යැවීමටය. මෙම මිසයිල නාශක ආරක්ෂක වැට ක්‍රියාත්මක වීම ඇරැඹුණේ මුල්වරට 2011 මාර්තු 27 Beersheba අසල සිටය. පද්ධතිය විසින් ප්‍රථම වරට 2011 අප්‍රේල් 7 වැනි දින, ගාසා තීරයේ සිට දියත් කරන ලද රොකට්ටුවක් සාර්ථකව වළක්වන ලදී. 2012 මාර්තු 10 වැනි දින ජෙරුසලම් පෝස්ට් වාර්තා කළේ, ජනාකීර්ණ ප්‍රදේශවලට ගොඩබැස්සවීමට තිබූ ගාසා තීරයෙන් දියත් කළ රොකට්වලින් 90% ක් මෙම පද්ධතිය විසින් බිම හෙළූ බවයි. මෑත කාලීනව 2024 අප්‍රේල් මාසයේදී ඊශ්‍රායලයට එරෙහි ඉරාන ප්‍රහාර අතරතුර, Iron Dome යොදවා ඉරානයේ ප්‍රහාරවලට බාධා කරන ලදී.

යකඩ ආරක්ෂණ වළල්ල පිළිබඳ අදහස මතු වූයේ 90 දශකයේදීය. ලෙබනනය පදනම් කරගත් හිස්බුල්ලා සංවිධානය 1990 ගණන්වල උතුරු ඊශ්‍රායල ජනාකීර්ණ මධ්‍යස්ථාන වෙත රොකට් ප්‍රහාර එල්ල කළ අතර එය ඊශ්‍රායලට දැඩි ආරක්ෂක අභියෝගයක් විය. ඒ අනුව ඊශ්‍රායලය තමන්ගේම කෙටි දුර මිසයිල නාශක පද්ධතියක් පිළිබඳ අදහස ඉදිරිපත් කර තිබුණත්, එය ”‍අසාර්ථක වීමට”‍ ඉඩ ඇති බවට එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීහු අනතුරු ඇඟවූහ. 2004 දී, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) පර්‌යේෂණ හා සංවර්ධන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් ජෙනරල් ඩැනියෙල් ගෝල්ඩ් පත් කිරීමත් සමඟ Iron Dome සඳහා වූ අදහස වේගවත් විය. ඔහු මිසයිල නාශක ව්‍යාපෘතියේ ප්‍රබල අනුග්‍රාහකයකු වූ අතර, මූල්‍යකරණය සුරක්ෂිත කිරීම සඳහා හමුදා කොන්ත්‍රාත්තු රෙගුලාසි පවා නොසලකා හරින ලද අතර මෙම ව්‍යාපෘතියට සහය දැක්වීමට ප්‍රධාන දේශපාලනඥයන් පොළඹවා ගැනීමට ද උදව් කළේය. 2006 දෙවැනි ලෙබනන් යුද්ධය අතරතුර, රටේ උතුරු දකුණු දෙදිගටම මිසයිල ප්‍රහාර 4000 - 8000ත් අතර ප්‍රමාණයක් එල්ල වූයේ 44 ක් මරා දමමින් මිලියන ගණනකගේ ජීවිත අවතැන් කරමිනි. ගාසා සිට පැමිණි අඛණ්ඩ මිසයිල ප්‍රහාර හමුවේ ඊශ්‍රායල ආරක්ෂාව පිළිබඳ නැවතත් දැඩි අවධානයක් යොමුවිය.

2007 පෙබරවාරියේදී ආරක්ෂක අමාත්‍ය අමීර් පෙරෙට්ස් මෙම කෙටි දුර රොකට් තර්ජනයට එරෙහිව ඊශ්‍රායලයේ ආරක්ෂාව ලෙස Iron Dome තෝරා ගත්තේය. එතැන් සිට, IDF  සමඟ එක්ව වැඩ කරන රෆායෙල් උසස් ආරක්ෂක අංශය විසින් ඩොලර් මිලියන 210 ක් වැය වන මේ පද්ධතිය සංවර්ධනය ආරම්භ කර ඇත. Iron Dome පද්ධතියේ මූලික සංවර්ධන කටයුතු සහ ඒ සඳහා වූ අරමුදල් ඊශ්‍රායලය විසින් සපයන ලදී. මෙය පළමු Iron Dome පද්ධති දෙක ස්ථාපිත කිරීමට ඉඩ සැලසීය. ඉන්පසු ඇමෙරිකාව විසින් මේ ආරක්ෂණ පද්ධති සඳහා 2011 සිට 2021 කාලය තුළ ඩොලර් බිලියන 1.6 අරමුදල් ලබා දී ඇති අතර 2022 දී කොංග්‍රසය තවත් බිලියන 1 ක් අනුමත කර තිබුණි.

සාමාන්‍ය ගුවන් ආරක්ෂක මිසයිල අනුඛණ්ඩයක් හෙවත් බැටරියක්, රේඩාර් ඒකකයක්, මිසයිල පාලන ඒකකයක් සහ ලෝන්චර් හෙවත් මිසයිල විදින උපකරණ කිහිපයකින් සමන්විත වන අතර ඒවා සියල්ලම එකම ස්ථානයක පිහිටා ඇත.
නමුත් Iron Dome ඉදිකර ඇත්තේ විසිරුණු රටාවකට යෙදවීමටය. මේ අනුඛණ්ඩයකට ලෝන්චර 3-4 ක් ඇති අතර මෙහි එක් ලෝන්චරයකට නාශක මිසයිල 20 ක් අඩංගුය. මේ සෑම ලෝන්චරයක්ම එකිනෙකින් ස්වාධීනව ඇති අතර ආරක්ෂිත රැහැන් රහිත සම්බන්ධතාවයක් හරහා දුරස්ථව ක්‍රියාත්මක වේ. වාර්තා වන පරිදි, සෑම  Iron Dome ප්‍රහාරක බැටරියකටම ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර 150 (වර්ග සැතපුම් 58) ක නාගරික ප්‍රදේශයක් ආරක්ෂා කිරීමට හැකියාව ඇත. මෙම ඒකකයන් විසින් ඉහළ උපාමාරු සඳහා විද්‍යුත් දෘශ්‍ය සංවේදක සහ සුක්කානම් වරල් කිහිපයකින් සමන්විත Tamir interceptor මිසයිල භාවිත වේ. ඊශ්‍රායලය තුළ මෙන්ම මුහුද ආශ්‍රිතව Sa’ar6 පන්තියේ යාත්‍රා තුළ පිහිටවූ ප්‍රහාරක බැටරි කිහිපයක් ද භාවිත වේ.

ඊශ්‍රායලය සමහර Iron Dome පද්ධති විදෙස් රටවලට අපනයනය කර ඇත. බොහෝ විදෙස් වෙළෙඳපොළවල් සඳහා මතුව ඇති දුර්වලතාවයක් වන්නේ සෑම Iron Dome පද්ධතියක්ම වර්ග කිලෝමීටර් 100-150 (වර්ග සැතපුම් 39-58) ට වඩා වැඩි ප්‍රමාණයක් ආරක්ෂා නොකිරීමයි. මෙය ඊශ්‍රායලය වැනි කුඩා රටක සෑහෙන නමුත් විශාල රාජ්‍යයන් සඳහා ප්‍රමාණවත් නොවේ. ඊශ්‍රායලයේ වුවද, ප්‍රහාරයේ අවදානමට අනුව අනු ඛණ්ඩ හෙවත් බැටරි එහා මෙහා ගෙන යා යුතුය. ස්වෛරී දූපත් නගර රාජ්‍යයක් වන සිංගප්පූරුව Iron Dome මිලදී ගෙන ඇති බව වාර්තා වන අතර එක්සත් ජනපද හමුදාව ද විදේශීය කඳවුරු ආරක්ෂා කිරීම සඳහා ප්‍රහාරක බැටරි දෙකක් මිලදී ගෙන ඇත.

• සුගත්