ගසක් උඩ ඉදිකළ තාවකාලික පැලක එක් රැයක් ගත කරන්නට සමහරු හරි කැමැතිය. ගම්මානයක විනෝද චාරිකාවක් ගිය මොහොතක එවන් පැලක් උඩ ඉනිමගක නගින්නට, මුළු රැයක් ඒ පැලේ ගත කරන්නට සමහරු කැමැතිය. එහිදී ගන්නා ලද ඡායාරූප තම මුහුණුපොත හරහා තම මිතුරන්ට පෙන්වන්නට ද සමහරු කැමැතිය. නමුත් සෑම දිනකම තම බිරිඳ දරුවන් තිදෙනා සමඟ ගසක හැදූ පැලේ ගත කරන්නට සිදුවන්නේ නම් එය මොන තරම් අසරණකමක්ද?
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් “නවෝදාගම” නම් දුෂ්කර ගම්මානයේ විශාල කොහොඹ ගහක ඉදිකළ පැලක සුසන්ත කුමාර තම පවුලේ අය සමඟ ජීවත් වෙයි. ඒ තමන්ටම කියා ජීවත් වන්නට නිවසක් නොමැතිකම නිසාවෙනි. එය එතරම් පහසු නොවේ. වර්ෂාවට පොල් අතු සෙවිලි කළ වහළයෙන් දිය බේරෙයි. කුප්පි ලාම්පු එළියෙන් රැයක් පහන් කරන ඔවුන්ට අලි තර්ජන ද එමටය.
සුසන්තගේ උපන් ගම අවිස්සාවේල්ල රුවන්වැල්ලය. ඔහු උපන් දා සිට වසර 39 කට ආසන්න කාලයක් ජීවත් වූයේ රුවන්වැල්ලේය. ඔහු එහිදී වගා කළේය. ඒ අඳේටය. නමුත් හොඳ ඵලදාවක් ලබන අතරතුරේ ඉඩම් අයිතිකරුවෝ සුසන්තගෙන් ඉඩම් අයිති කර ගත්හ. ඒ නිසාම ඔහුට ජීවත් වන්නට මගක් නොවීය. ඒ වෙද්දී ඔහු මහන්සියෙන් ගොඩනගාගත් නිවෙසක් තිබුණි. ඒ රුවන්වැල්ලේ සුසන්තගේ පියාට අයිති ඉඩමකය. සුසන්තට සහෝදරියන් තුන් දෙනෙක්ද සහෝදරයන් හය දෙනෙක් ද සිටිති. අවසානයේදී සහෝදර පරපුරේ ඒකමතික තීරණය වූයේ ඉඩම් බාල සහෝදරයාට පැවරීමටය. ඒ තීරණයට විරුද්ධ වන්නට සුසන්තගේ හිත ඉඩ දුන්නේ නැත. මේ නිසාම තමන්ගේ නිවෙස ද බාල සහෝදරයාට හිමිකර දෙන්නට සුසන්තට සිදුවිය.
“රුවන්වැල්ලේ එකම බිම් අඟලක්වත් මට නැති වෙද්දි මම පුදුම විදිහට අසරණ වුණා. මම අඳුරන අක්කා කෙනෙක් දඹුල්ලේ හිටියා. “අනේ අක්කේ... මට පැලක් හරි කමක් නෑ, දරුවෝ එක්ක ඉන්න ගෙයක් හොයලා දෙන්න” කියලා මං කිව්වා. ටික දවසකින් ඇය මට අනුරාධපුරයේ මහවිලච්චියේ වත්තක් හොයලා දුන්නා. එතැනට අලි නිතරම ආවා. කරන්න දෙයක් නැති නිසාම අපි එතැන පදිංචි වුණා.” යැයි සුසන්ත ඒ ආගමනය ගැන දේශයට පැවසීය.
රුවන්වැල්ලේදී ඔහු ගොවිතැන් කළේය. ගස් කැපුවේය. කම්කරු රස්සාවල් කළේය. වඩුවැඩ කළේය. නමුත් ගෙවුණු කොවිඩ් වසංගතයේදී ඒ සියල්ල ඔහුට ද අහිමි විය. රුවන්වැල්ලේදී ඔහු අක්කර ගණනාවක ඉඩම්වල වගා කළේය. ඒවායින් ඵලදාව ගත්තේය. නමුත් ඉඩම් හිමියන් ඉඩම් ඉල්ලා ගනිද්දී ඒ සියල්ල අතහැර දමන්නට සුසන්තට සිදුවිය. සුසන්තට දරුවන් තිදෙනෙකි. වැඩිමහල් පුතාගේ වයස අවුරුදු දහ අටකි. දෙවැන්නා දියණියකි. ඇයගේ වයස අවුරුදු එකොළහකි. ඇය ඉගෙනීමට දක්ෂය. බාලයා අවුරුදු පහක් වයසැති පුතෙකි.
රුවන්වැල්ලේදී ඔහු කළ රැකියාවලින් ඔහුගේ අතේ යම් මුදලක් ඉතිරි වී තිබුණි. එයින් රුපියල් හතළිස් දෙදහසක් වැය වූයේ එතෙක් නිවෙසේ තිබූ අඩුම කුඩුම ගෙන ලොරියක නැගී රුවන්වැල්ලේ සිට අනුරාධපුරයට එන්නට ලොරියක් කුලියට ගැනීමටය. අනුරාධපුර සිට මහවිලච්චියට ඒ බඩු ගෙන යන්නට තවත් රුපියල් පන්දහසක් වැය විය. කෙසේ වුවද ඒ සියල්ල සමඟ ඔහු අත රුපියල් අසූ දෙදහසක් ඉතිරි විය. මහවිලච්චිය විශාල වත්ත ගස් වැවුණු එක්තරා කැලෑවකි. මේ නිසාම සුසන්ත පළමුව මේ කැලෑව දින ගණනාවක් වෙහෙස මහන්සි වී එළි පෙහෙළි කළේය. එය ලෙහෙසි වූයේ නැත. ඒ අතරතුර ඇනුණු කටුවක වේදනාව අදටද පහව ගොස් නැත. මාස එකහමාරක් පමණ ඔහු අනුරාධපුර රෝහලෙන් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත්තේය. අවසානයේ ඉතිරි කරගත් මුදල ද නිස්කාරණේ ඒ වෙනුවෙන් වැය විය.
“රුවන්වැල්ලෙන් මම අනුරාධපුරයට ආවේ මගේ කියලා කිසිම කෙනෙක් මේ අනුරාධපුරේ නොසිටියදී. හැබැයි මේ ගමේ මිනිස්සු හරි හොඳයි. මට ගොඩක් උදව් කළා. අපි වගේම අසරණ මිනිස්සු වුණාට ඒ අයට අපේ බඩගින්න තේරුණා. අපිට කෑම පවා දුන්නා. උයාගෙන කන්න හාල් දුන්නා. අද මට මේ ගමේ මගේ නොවන නෑදෑයෝ යාළුවෝ ඉන්නවා. ඒ හැමෝම හරි හොඳයි. එයාලගෙන් මට අඩුපාඩුවක් නැහැ. ඒ මිනිස්සුන්ගේ හිත් හරි ලස්සනයි.” යැයි සුසන්ත කුමාර පවසයි.
අද සුසන්ත ජීවත් වන්නේ කොහොඹ ගසක් උඩ සාදාගත් පැලකය. ඔහු පවසන්නේ ඒ කොහොඹ ගස යට පුදුමාකාර නිදහසක් ඇති බවය. ගස හේතුවෙන් කිසිදු කරදරයක් ඔවුන්ට නැත.
“මේ වගේ පරිසරයක මට මෙහෙම ඉන්න ලැබෙයි කියලා හිතුවේ නැහැ. මේ ඉඩමේ පර්චස් පහළොවක් තියෙනවා. ඒක මගේ නමට ප්‍රාදේශීය ලේකම්තුමිය මැදිහත් වෙලා බදු ඔප්පුවකින් හදලා දුන්නා. මේක ගමේ මහත්තයෙක්ගෙ ඉඩමක්. ඒ මහත්තයා මේ ඉඩම මට දුන්නා. ඊට පස්සේ ඒ ඉඩමේ කාමරයක අත්තිවාරමක් දැම්මා. ඒත් ඉතිරි වැඩ ටික කරගන්න සල්ලි නැහැ. වේලක් සොයා ගන්නේ හරි අමාරුවෙන්. අපි මාස තුනක්ම වට්ටක්කා තම්බලා කෑවේ.” සුසන්ත වැඩිදුරටත් පැවසීය.
සුසන්තට ස්ථිර රැකියාවක් නැත. ඔහු පළතුරු වතුවල ගස් කප්පාදු කරයි. ගස් කපයි. වතු උදලු ගායි. දෛනිකව තමාට ලැබෙන රැකියාවල නිරත වීමෙන් ඔහු දිනකට එක්දහස් පන්සීයක්, දෙදහසක් පමණ උපයයි. මේ සියල්ලටම සුසන්තට සවිය වන්නේ සෝමා චාන්දනී වූ ඔහුගේ බිරිඳය. ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ වූ ඔවුන් රැය පහන් කරන්නේ බියකිනි. ඒ අලි තර්ජනය හේතුවෙනි. සුසන්තට සිහිනයක් ඇත. ඒ අත්තිවාරම දැමූ නිවෙසේ බිත්ති බඳින්නටය. වහළය හදන්නටය. නිවෙස ගොඩනගන්නටය. දවසක ඒ සිහිනය සැබෑවක් වනු ඇත.
මෙවැනි ජීවිත ගත කරන බොහෝ දෙනා දුෂ්කර ප්‍රදේශවල ජීවත් වෙති. ඇතැමුන්ට තම්බා කෑමට වට්ටක්කාවත් නැත. ජලය පානය කර හෝ හුස්ම පමණක් ගන්නට හීන දකින අහිංසක ජීවිත ගැන අප නොදැන සිටියාට ඔවුන් ද මේ සමාජයේ ජීවත් වෙති. සුසන්ත එවැනි එක් ජීවිතයක් පමණි. මෙවන් ජීවිත තව ඕනෑ තරම්ය.
විශේෂ ස්තූතිය
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් මංජලී සී චන්ද්‍රදාස මහත්මියට.
• දිශානි ජයමාලි කරුණාරත්න