2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ඇල්ටෙයාර් එකෙන් නෙළුම් කුලුනට පැන්න අබිරහස

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:04 229

අහස් කුස වෛවර්ණයෙන් සිත්තම් කරන නෙළුම් කුලු‍න දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලු‍න ලෙසින් මෙරටට දායාද වූයේ 2022 වසරේදීය. එය උසින් මීටර් 356 කි. නෙළුම් කුලු‍න මහල් 29 කින් සමන්විත අතර සුදු මහත්වරුන්ගේ පොකැට්ටු හොල්ලන්නට නෙළුම් කුලු‍නේ අමුතු අමුතු සෙල්ලම් පෙන්වීම පටන්ගෙන තිබිණි. එතරම් උස කුලු‍නකින් බිමට පැනීමට විදේශිකයෝ වැල නොකැඩී පසුගිය කාලය පුරාවට මෙරටට පැමිණියහ. ඒ ලෝක ප්‍රසිද්ධ ත්‍රාසජනක ක්‍රීඩාවක් වන “ගෝ බංජි ජම්ප්” නම් ක්‍රීඩාව නෙළුම් කුලු‍නේ ප්‍රදර්ශනය වූ බැවිනි. මෙම ත්‍රාසජනක ක්‍රීඩාව නැරඹීමට දෙස් විදෙස් බොහෝ දෙනා සහභාගී වූයේ දිවා රෑ නොබලා ආලෝක ධාරා මැදින් බිමට පනින ශූරයන්ගේ සුරුවිරුකම් දැකබලා ගන්නටය. මෙතෙක් අප අසා තිබුණේ නෙළුම් කුලු‍නේ ඒ පැනිල්ල ගැන පමණි. ඒ පැනිල්ල බලන්නට එදා අපි නෙළුම් කුලු‍නට ගියෙමු. එහෙත් ඇහුවාම දුක හිතෙන පැනිල්ලක් අසන්නට තරම් අප දෙසවන් අවාසනාවන්ත වී තිබේ. මෙවර සිදුවීම දා ඒ ගැන සොයා බලන්නට ඒ නෙළුම් කුලු‍නටම නොයා සිටින්නට අපට හැකිවූයේ නැත.

මේ කියන්නට යන්නේ සුරංගනා කතාවක් හෝ පෙර දා දුටු සිහිනයක් හෝ නොව, සත්‍ය සිදුවීමකි. වයස අවුරුදු 17 ක දැරියක් නෙළුම් කුලු‍නෙන් වැටී ඉකුත් 7 වැනිදා සිය දෑස් පියාගත්තාය. ඇය නමින් රද්‍යා මෙත්මලී ගුණසේකරය. දරු දෙදෙනකුගෙන් යුතු පවුලේ 25 හැවිරිදි වැඩිමල් දියණිය බෙලරූස් වෛද්‍ය විද්‍යාලයක දෙවැනි වසරේ ඉගෙනුම ලබන අතර පවුලේ බාලයා වූ 17 හැවිරිදි රද්‍යා සිය මව සහ පියා සමඟින් පදිංචි වී සිටියේ කොල්ලු‍පිටිය ප්‍රදේශයේ නිවෙසකය. කොළඹ 7 ග්‍රෙගරි පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ රද්‍යා එන වසරේ ලන්ඩන් ඕලෙවල් විභාගයට මුහුණ දීමට සූදානමින් සිටියාය. නෙළුම් කුලු‍නේ 29 වැනි මහල හෙවත් නැරඹුම් මැදිරියේ සහ 3 වැනි මහලේ එකම කැළඹිලි ස්වභාවයක් දිස්වෙයි. එක් පසෙක බිම නිල ඇඳුම බහාලූ කාන්තා බෑගයකි. තවත් පසෙක ගලවා තැබූ පාවහන් යුගලකි.

“පාසල දහවල් 2 ට අවසන් වෙනවා. දුව පාසල් යන්නේ එන්නේ මගේ වාහනයෙන්. ගිය සතියේ දවස් දෙකක් පාසල් ගියේ නෑ. හිටපු ගමන් යන්න බෑ කියනවා. සමහර වෙලාවට මහන්සියි කියලා පාසල් යන්නේ නෑ. ඊයේ මම උදේ 7.10 ට පාසලේ ගේට්ටුව ළඟට අරන් ගියා. හවස අමතර පන්ති යන්නත් තියෙනවා කියලා තිබුණා. ගීතිකා පුහුණුවකුත් තියෙනවා කියලා තිබුණා. ඒකට යන්නත් අපි අවසර දුන්නා. දුව අතට ෆෝන් එකක් දීලා තියෙනවා. මම හවස 4.55 ට කෝල් එකක් දුන්නා. දවල් 2 ට ගිහින් කෑමත් ගිහින් දීලා දුවට කතා කරලා ආවෙ. සවස 4.55 ට ඉස්කෝලෙ ළඟට ගිහින් දුවට කතා කළාම ෆෝන් එක ආන්සර් කළේ පොලිසිය.”

රබර් කර්මාන්ත‌ ව්‍යාපාරිකයකු වන දැරියගේ පියා වන දොන් මංගල ගුණසේකර කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි ඉදිරියේ සාක්ෂි දෙමින් එසේ සඳහන් කළේය. මරදාන පොලිසියේ පොලිස් සැරයන් 49602 එච්.ඒ. සමන්ත සාක්ෂි මෙහෙයවූ අතර රද්‍යාගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණය කොළඹ නාගරික මරණ පරීක්ෂක කාර්යාලයේදී පැවැත්විණි. ඒ අවස්ථාවේ ද මා එම මරණ පරීක්ෂණය පැවැත්වුණු ස්ථානයට ගියේ මෙම සිදුවීමේ සත්‍ය දැන ගැනීමටය. සිද්ධිය වූ දින තමන් අමතර පන්ති යන බව පවසා පාසලෙන් පිටව ගොස් ඇත්තේ මිතුරන්ට බොරු කියා බවත් අමතර පන්ති ගොස් නැති බවත් ඇය මෙම දිවිනසා ගැනීම සැලසුම් කර සිදුකර ඇතැයි තමන් විශ්වාස කරන බවත් මරණ පරීක්ෂණයේ සාක්ෂිවල සඳහන් වෙයි. නැරඹුම් මැදිරියේ සිට 3 වැනි මහලට පැනීමෙන් මියගිය දැරිය බොරැල්ල කනත්තේ ආදහනාගාරයේදී සදහටම දෙනෙත් පියාගත්තාය.

මෙම මරණය සම්බන්ධයෙන් සමාජයේ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී ඇති අතර මරණය සම්බන්ධයෙන් සහ අධ්‍යාපනය ලැබූ බව කියන කොළඹ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලේ සිදුවෙනවා යැයි කියන අනිසි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද සිදු වූ හෙළිදරව්වක් මේ වනවිට සමාජයේ ගැටලු‍ රැසක් මතු කර අවසන්ය. කෙසේ වෙතත් මරණ පරීක්ෂකවරයාගේ අවසන් තීන්දුව වී තිබුණේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් සිදුවිය යුතු බවයි. සමාජයේ කවරාකාර කතා තිබුණද මෙම මරණය සම්බන්ධයෙන් සුලමුල සොයා ගැනීමට නීතියේ පිහිට අත්‍යවශ්‍යය. මරණ පරීක්ෂණ වාර්තාවේ එක් තැනක මෙසේ ද සඳහන්ය.

“ඉස්කෝලේ නවක වධය ලොකුවට තියෙනවා. මේ ගැන ළමයින්ගෙන් ඇහුවත් එයාලා කියන්නේ නැහැ. නවක වධයට දෙන්නේ මොන වගේ වධයන්ද කියලා කියන්නෙත් නැහැ. දුව 2022 වසරේ ඉඳන් විෂාදය නමැති රෝගයට ඖෂධ භාවිත කළා. ඒකෙන් සනීප වුණා. 2024 ජූලි මාසයේ අල්ටයර් ගොඩනැගිල්ලෙන් වැටී මියගිය යුවළ මගේ දුවගේ යාළුවෝ. මගේ දුව ඒ දෙන්නා එක්ක හුඟාක් ළඟින් හිටියා. ඒ සිද්ධිය වුණු දවසේ මගේ දුව ඒ දරුවන්ගේ මවුපියන් එක්ක කතාත් කළා.”

ඉකුත් ජූලි මස 2 වැනිදා කොළඹ 2 කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ලේ හැටහත් වැනි මහලේ සිට තුන්වැනි මහලට වැටී කොළඹ ජාත්‍යන්තර පාසලක සිසු යුවළක් සිය ජීවිතවලට සමු දුන්හ. නිල ඇඳුම් බෑගයේ දමා ඇඳුම් මාරු කර සපත්තු පසෙක තබා ඇදවැටී සිටි මෙම යුවළගේ සිරුරු 3 වැනි මහලෙන් හමුවිය. මෙම සිදුවීම අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී පළමු වරට වූ මරණ බවට වාර්තා විය. මෙකී මරණ ස්ථාන තෝරා ගැනීමෙන් මරණකරුවන් අපේක්ෂා කරනුයේ පෙර නොවූ විරූ සමාජ අවධානයක් දැයි සම්බන්ධයෙන් විමර්ශකයන්ගේ විමර්ශනයට භාජනය විය යුතු යැයි මම සිතමි. ඒ ආකාරයට රද්‍යා දැරියගේ මරණය සහ ඉහත කී මරණ අතර යම් අවධානය යොමු කළ යුතු හෝඩුවා රැසක් ආරක්ෂක අංශ සහ බුද්ධි නිලධාරීන්ගේ අවධානයට යොමු වන්නේ මෙකී මරණකරුවන් මිය යාමට පෙර හැසිරීමේ ස්වභාවයේ ඇතැම් සමානතා සහ කොළඹ නෙළුම් කුලු‍නෙන් වාර්තා වූ පළමු මරණය වීම හේතුවෙනි.

මෙය හුදෙකලා මරණයක් ලෙස සමාජයේ ගිලෙන්නට ඉඩ හරිනවාද? එසේත් නැතිනම් මීළඟ බිල්ලට පෙර යථාර්ථය සොයා ගන්නවාදැයි සම්බන්ධයෙන් සමාජ වගකීමක් ඇත. එකී යථාර්ථය සොයා ගන්නවාද, එසේත් නැතිනම් පණිවුඩකරුවාට වෙඩි තබනවාද යන්න සම්බන්ධයෙන් වූ තීරණය සමාජය සතුය. කෙසේ වුවත් මෙතැන් පටන් අප සඳහන් කරන කරුණු ඉහත මරණවලට අදාළ වුවත් නැතත් මෙරට ළමා පරපුර රැක ගැනීමේ සමාජ වගකීමේ පරම වගකිවයුත්තකු වශයෙන් සලකා විමර්ශන නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ අවධානය කරුණු කිහිපයක් යටතේ මෙසේ සටහන් කර තබන්නෙමි.

දැනට වසර දෙක තුනකට පෙරාතුව කොළඹ හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයෙන් වැටී තරුණයෙක් මිය ගියේය. එය ද එකී නිවාස සංකීර්ණයෙන් පැනීමෙන් වූ පළමු මරණය බවට එකල වාර්තා විය. එකී සිදුවීම සමඟ එම තරුණයා වීඩියෝ ක්‍රීඩාවකට ඇබ්බැහි වී සිටියේදැයි අනාවරණය කරගැනීමට ආරක්ෂක අංශවලට එකල හැකියාව ලැබිණි. එසේම දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය - කොට්ටාව ගුවන් පාලමක සිට අධිවේගී මාර්ගයට පැන වාහනයක ගැටී පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවකු සිය ජීවිතයට සමුදුන්නේ ඉකුත් මැයි මාසයේදීය. එකී සිදුවීමත් මෙරට අධිවේගී මාර්ගයක ඒ ආකාරයට වූ පළමු මරණය බවට වාර්තා විය. මේ කතා අතර ලොව පුරා තහනමට ලක් වී ඇති වීඩියෝ ක්‍රීඩාවක් සම්බන්ධයෙන් අපි ගවේෂණය කළෙමු. අප මෙම කරුණු අනාවරණය කරනු ලබන්නේ මෙවැනි සමාජ විරෝධී ක්‍රියාවලට අත්වැල් සැපයීමට නොව, මේ සම්බන්ධයෙන් මෙරට බලධාරීන්ගේ මෙන්ම මවුපිය සහ වැඩිහිටියන්ගේ නිසි අවධානය දැන්වත් යොමු විය යුතු බැවිනි.

මේ සම්බන්ධයෙන් 2016 වසරේදී රුසියානු පුවත්පතක් පළමුවරට හෙළි කරන අතර එය මාළුවකුගේ නාමයක් සහිත දින 50 ක ත්‍රාසජනක ක්‍රීඩාවකි. මෙය සමාජ ජාලය හරහා එෆ් 57 නමින් රහසිගත කණ්ඩායමක් හරහා ක්‍රියාත්මක ඔන්ලයින් ක්‍රීඩාවකි. ඒ සම්බන්ධයෙන් රුසියාවේ මහාචාර්ය ඇලෙක්සැන්ඩ්‍රා ආර්කිපෝවා කළ පර්‌ෂණයකින් කරුණු අනාවරණය කර ගත්තේ මෙම ක්‍රීඩාවට ඇබ්බැහි වූ තරුණ වයසේ බොහෝ පිරිසක් ක්‍රීඩාව අවසානයේ සියදිවි නසා ගැනීමට යොමුවන බවයි. ක්‍රීඩාවේ මුල් පියවරවල උදෑසන අවදි වීම සහ සත්වයකුගේ රූපයක් සිය ශරීරයේ කොටා ගැනීමට උත්සාහ කරන බවත් ඒ වෙනුවෙන් ඔවුන්ගේ මනස ක්‍රමානුකූලව දින 50 ඇතුළත සැකසෙන බවත් එහිදී අනාවරණය විය. රුසියාවේ සරසවියක අධ්‍යාපනය ලැබූ සයිබීරියාවේ සිසුවකු විසින් 2013 වසරේදී මෙම ත්‍රාසජනක ක්‍රීඩාව නිර්මාණය කර ඇති අතර මෙම ක්‍රීඩාවට ඇබ්බැහිවීමෙන් රට රටවල තරුණ තරුණියන් දිවිනසා ගැනීමේ සිදුවීම් වාර්තා වීමත් සමඟ මෙම තරුණයා වසර තුනක් සිර භාරයට ද පත්විය. රද්‍යා දැරියගේ පියා පවසන ආකාරයට ඔහු සහ දැරියගේ මව දැරිය වෙනුවෙන් කැපවී සිට ඇත. දැරියට දුරකථනයක් සහ ලැප්ටොප් පරිගණකයක් ලබා දුන්නත් ඔවුන් ඒ සම්බන්ධයෙන් දැරියගේ ක්‍රියාකාරකම් නිරන්තර අධ්‍යයනය කරමින් සිටි බව පියා පවසයි. එවන් කැපකිරීමක් කරන මවුපියන් තම දරුවාගේ මෙවැනි අකල් වියෝවක් දරා ගැනීම නම් ඛේදජනකය. එය ඒ තරමටම සංවේදීය. මෙය මානසික ගැටලු‍වක් සේ සලකා සිද්ධිය කේවළ කිරීමට එහා ගිය ගැඹුරු වූ පතුලක් මෙහි දැකිය හැකි බව මම සිතමි.

උස් ස්ථානයකට ගොස් පාවහන් ගලවා තබා එතැන් සිට පහළට පැන මිය යන දසුන් සුලබව දකින්නට ලැබෙනුයේ කොරියානු නාට්‍ය සහ සිනමා කෘතිවලය. එහෙත් එය ලාංකික සමාජයේ සජීවීව දක්නට ලැබීම සමාජ ගමන් මග පිළිබඳ අවිනිශ්චිතතාවක් ඉතිරි කරයි. දරුවන් නොමග යවන සුළු සමාජ විරෝධී ක්‍රියාවලට අන්තර්ජාලය හරහා ඇතුළුවීමේ හැකියාව සොයා බලා ඒ කඩතොලු‍ වැසීම මෙරට විදුලි සංදේශ නියාමන කොමිසම, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඇතුළු බලධාරීන්ගේ වගකීමකි. මෙම සිදුවීමත් සමඟ මෙරට ජාත්‍යන්තර පාසල්වල නියාමනයක් නොමැතිවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට බලධාරීන්ගේ දෑස් විවර වී තිබෙනු අපි දුටුවෙමු. දැනට වසර ගණනාවකට පෙර සිට විගණන වාර්තාවල පවා සඳහන් වූ එකී කරුණ සම්බන්ධයෙන් දැන්වත් සල්ලි මිටිවලට යට නොවූ විධිමත් නියාමනයක් විය යුතු යැයි අපි ද විශ්වාස කරමු. එමෙන්ම රද්‍යාගේ මරණයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මගින් දැරිය ඉගෙනගත් ජාත්‍යන්තර පාසලෙන් වාර්තාවක් ද කැඳවා තිබිණි. අපි කිසිවකුට මරණය අපේක්ෂා නොකරන මුත් එදා කැලණියේ දැරිය, අද රද්‍යා, හෙට දවසේ තවත් දරුවකුට නොවීමට නම් මේ සම්බන්ධයෙන් සමස්ත නීති පද්ධතියේ සහ මවුපියන්ගේ නිසි අවධානය යොමුවිය යුතු බව මගේ හැඟීමය.

• සසංක චලන ගිම්හාන

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:04